දින දෙකකට කලින් (නොවැම්.22) අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී නැගූ ගෝසාවේ වචනයෙන් නොකියු ජාතිවාදී දේශපාලනයක් ඇත. එය නැවත “සිංහල-බෞද්ධ මහජාතිවාදය” අවුස්සා තැබීමකි. ඔහුගේ පශ්චාත් උපාධිවලද කිසිදු වටිනාකමක් නැතැයි ඔප්පු කරමින් ඔහු ගෝරනාඩු දුන්නේ පාසලට සාරි ඇඳීම අපේ රටේ සංස්කෘතියට අදාලව තෝරා ගත් ඇඳුමක් වන හෙයින් එය කිසි ලෙසකින් වෙනස් කරන්නට දෙන්නෙත් නැතැයි හා වෙනස් කරන්නේත් නැතැයි කියා ය. ඔහු ඉන් කියුවේ මේ රට සිංහල-බෞද්ධයින්ගේ රටක් යැයි කියා ය. අනෙකුන්ද සිංහල-බෞද්ධ ආධිපත්‍යයට අනුගතව ඉන්නා බවය. ඒ වෙනුවෙන් ඔහු වැරදි තොරතුරුද ඉදිරිපත් කෙරුවේ මුස්ලිම් පාසල්වල ගුරුවරියන්ද සාරිය හැඳ “හිජාබය” පළඳින්නේ යැයි කියා ය.
මුස්ලිම් පාසල්වල සාරිය සමග හිජාබය පමණක් නොව, ඔවුන්ගේ සාම්ප්‍රදායික අභායාවද ගුරුවරියෝ පාසලට අඳිති. රජයේ පාසල් වූවත් මුස්ලිම් බාලක බාලිකා පාසල්වල ගුරුවරියන් තම ඇඳුම තේරීමේ නිදහසක් රැකගෙන ඇත. තමන්ගේ කැමැත්ත අනුව වැදගත් ඇඳුමක් තෝරා ගැනීමේ එවැනි නිදහසක් අනෙක් පාසල්වල ගුරුවරියන්ටද තිබිය යුතු යැයි පිළිගැනීම වෙනුවට සුසිල් ප්‍රේමජයන්ත තොරතුරු විකෘතිකර කීවේ ඔහුගේ සිංහල-බෞද්ධ මතවාදය වෙනුවෙන්ය.
එසේ නොකියා “අපේ සංස්කෘතිය” යැයි ඔහු ගුරුවරියනට “සාරිය” අනිවාර්ය කිරීමේ නීති හදන්නට යැයි කියන්නේ එය සිංහල-බෞද්ධයින්ට හිමි ඇඳුමක් යැයි වන දැඩි විශ්වාසය හා ගාම්භීරත්වයක් ඇතිව පමණක් නොව, අනෙකුන්ද එයට අවනත විය යුතු යැයි සිතා ගෙනය. එබැවින් “සාරිය” සතු ඉතිහාසය ගැන ඉතා සැකෙවින් කියා එහි වත්මන් දේශපාලනයට මම හනික එන්නෙමි.
අපි ණයට ගත් අපේ සංස්කෘතිය
රෙදි නිෂ්පාදනය හඳුනාගත් පසු ආදියෙහි මිනිසා ඇඳුමක් යැයි රෙදි පැළඳීම ආරම්භ කරන්නේ ඉතාම සරළ ආකාරයෙන් දිගු රෙදි කඩක් ඇඟෙහි වෙලා ගැනීමෙනි. “සාරි” යන වචනයේ උපත ඇත්තේ සංස්කෘත බසින් රෙදි කඩක් යැයි කියු වදනෙහි යැයි පිළිගනු ලැබේ. ආරම්භයේ ගැහැණු පිරිමි දෙගොල්ලන්ම එසේ ඇඟ වටා රෙදි කඩක් ඔතා ගනු ලැබූයේ ඉණේ සිට පහළට යටි කය වසා ගැනීමට ය. වත්මන් ඉන්දියාවට වඩා බෙහෙවින් විශාල වූ පැරණි මහ භාරතයේ ඔවුන්ගේ විවිධ කුල සහ ප්‍රාදේශීය පාලන සමග ගැහැණුන් යටි කය වසා ගැනීමේදී “සාරි” කැබැල්ල ඔතා ගන්නා ක්‍රම, විවිධාකාරයෙන් විකාශ විය.
එළෙස විකාශවූ “සාරිය” ලාංකීය රජ පෙළපතට හා වංසක්කාර පැලැන්තියට පැමිණියේ 17 වන සියවසේදී පමණ දකුණු ඉන්දියාවෙන් යැයි පිළිගැනීමක් ඇත. මුල්කිරිගල විහාරයේ 18 වන සියවස ආරම්භයේ ඇඳි බිතු සිතුවමකට අනුව එකල ලාංකීය කුල කාන්තාව පැළඳ තිබූයේද උඩුකයට කිසිදු ආවරණයක් නොමැතිව වම් උරයට පොටක් දැමූ ඉණට හැඳි සාරියකි. කන්ද උඩරට කුල කාන්තාවන් උඩුකය වසා හැට්ටයක් ඇඳ සාරිය අඳින විට එය “ඔසරිය” වූයේ එයට නයක්කාර් ආභාෂය සමග ඉණ වට රැළි දැමුණු තෙලගු බසින් “ඔහොරිය” එකතු වූයෙනි. ඒ සමග උතුරේ දෙමළ සමාජයත් දකුණු ඉන්දියාවෙන් පැමිණි ඉස්ලාමීය ප්‍රජාවත් ඔවුන්ගේ සාරිය පැළඳීමේ විශේෂත්වයන් සමගින් ලාංකීය සාරියේ ප්‍රභේද තීන්දු කළහ. කෙටියෙන් කියන්නේ නම්, “සාරිය” සහ “ඔසරිය” ඒවා පැළඳීමේ වෙනස්කම් සහිතව අපේ රටෙහි සිංහල, දෙමළ හා මුස්ලිම් සංස්කෘතික අනන්‍යතා තුනෙහි අංගයක් වූයේ අවුරුදු 400 ට පමණ පෙර සිට ය.
අනතුරුව සාරිය පමණක් නොව කමිසය හා කළිසම පාසලට එන්නේ 40 ගණන්වලින් ඇරඹි ජාතික අධ්‍යාපනයේ විකාශනය සමගින් ය. සාරියත් ඔසරියත් කමිසය හා කළිසමත් අපේ පාසල්වල ජනප්‍රිය භාවිතයට පැමිණියේ එළෙසිනි. ඒ අතර, 1956 බණ්ඩාරනායකගේ සිංහල-බෞද්ධ දේශපාලනය වෙනුවෙන් පිරිමින්ට “ජාතික” ඇඳුමක් ආදේශ කිරීමට අත් දිග සුදු බැනියමත් සුදු සරමත් හඳුන්වා දුන්නද එය ජනප්‍රිය ඇඳුමක් නොවුයේ සරම බැනියම සුව පහසු ඇඳුමක් නොවූයෙනි. එහෙත් පසුගිය දසක දෙක තුනක කාලයේ තවත් සුවපහසු විනීත ඇඳුම් සාමාන්‍ය භාවිතයට පැමිණ ඇත. මේ තරගකාරී වෙළඳපල සමාජයෙහි එවැනි සුවපහසු ඇඳුම් සඳහා වැඩි ඉල්ලුමක් විශේෂයෙන් කාන්තාවන් අතර ඇති බවද යතාර්ථයකි. එවැනි සුවපහසු ඇඳුම් පාසල් දිවියට පැමිණීමෙන් අවහිර කර තිබූයේ අම්මලාටද පාසල් එනවිට අමාත්‍යාංශ නීතියක් රෙගුලාසියක් මත සාරිය අනිවාර්ය කිරීමෙන් නොවේ. සාරියට අනිවාර්ය බවක් ආරූඩ කෙරුණේ විශේෂයෙන් ජනප්‍රිය හා නාගරික පාසල්වල ගෙට්ටුව බාරව ඉන්නා ආරක්ෂකයාගේ අණ පරිදිය.
නීති නැති සිංහල-බෞද්ධ සංස්කෘතිය
බොහෝ දෙනා තේරුම් නොගන්නා කාරණාව වන්නේ ගේට්ටුවේ ආරක්ෂකයා ඉවත් කෙරුණු විගස සුවපහසු ඇඳුමකට මාරු වන්නට කැමැත්තෙන් සිටි අය එසේ සුවපහසු වෙනත් ඇඳුම් වලට වහා මාරු වූ බව ය. රජයේ සේවකයින් වෙනුවෙන් නිකුත් කෙරුණු රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය මේ ගුරුවරියන් ඔවුන්ගේ වාසියට අර්ථකතනය කර ගත්තේ ඒ වෙනුවෙනි. එය ගැටුමකට පරිවර්තනය වන්නේ ගුරුවරුන්ට නිල ඇඳුමක් පිළිබඳ කිසිදු කතාවක් නැතිව ඔවුන්ගේ අභිමතය අනුව ඕනෑම පාටකින් අත් දිග කමිස, අත් කොට කමිස, කපටියා කමිස (දේශපාලකයින්ගේ කොලරය නැති සුදු කමිසය හඳුන්වන ජනප්‍රිය නමකි) ටයි පටි, සෙරෙප්පු සපත්තු පැළඳ පාසල් පැමිණිය හැකි වූවත් ගුරුවරියන්ට පමණක් නීතියක් නොමැතිවම සාරිය අනිවාර්ය කිරීම දේශපාලන තීන්දුවක් ලෙස ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ඇමතිවරයාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔහුගේ ගෝල බාලයිනුත් ඉදිරිපත් වීමෙන්ය.
ඇමතිවරයාගේ සාරිය සඳහාවන තීන්දුව දඩබ්බර සම්මුති විරහිත තීන්දුවක් බවට පත්කර ගැනීමේ ඇති දේශපාලනය සිංහල-බෞද්ධ දේශපාලනයකි. ඔහු අවධාරණය කරන “අපේ සංස්කෘතිය” වෙනකක් නොව, සිංහල-බෞද්ධයින් අනෙක් වාර්ගිකයින් හා ආගමිකයින් මත සිය ආධිපත්‍ය පටවා ගැනීමට මේ වනවිට අන්තවාදීව යොදා ගන්නකි. දේශීය ආර්ථිකයේ සහ සමාජ පැවැත්මේ අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් විශේෂයෙන් ආණ්ඩු බලය රඳවා ගැනීමට යොදා ගන්නා අවියකි. ගුරුවරියන්ගේ සාරිය වෙනුවෙන් “අපේ කම-අපේ සංස්කෘතිය” ගැන කතා කිරීමට ඉදිරිපත්ව ඇත්තේද පසුගිය කාලයේ මුස්ලිම් විරෝධය ඔසවා ගෙන එවැනි සිංහල-බෞද්ධ ආණ්ඩු පාලනයක් වෙනුවෙන් බලසම්පන්න, ශක්තිමත් ඒකාධිකාරී නායකයෙකු සොයා ගිය අන්තවාදී පිරිස්ම ය.
ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කළ යුත්තේ තමන් හා එක ගුරු මණ්ඩලයේ සේවය කළ මුස්ලිම් ගුරුවරුන්ට පාසල් ගේට්ටුව වැසුවේ මේ සිංහල-බෞද්ධ සාරිය පැළඳගත් වැදගත් විනීත ගුරුවරියන් බව ය. පංතියේ සිටි මුස්ලිම් දැරිවියන්ගේ හිජාබය ගැලවූයේත් මුස්ලිම් දරුවන් පංතියෙන් දොට්ට දැම්මේත් ගුරු වෘත්තියේ ගරුත්වය රකින්නට සාරිය පළඳින ගුරුවරියන්ම ය. ඔවුන් නොමග යවන්නට කතා කරන්නේ “ඩොලර් ආධාර ලබන NGO කාරයින්” යැයි කියන්නේද එවැනිම සිංහල-බෞද්ධයින්ම ය.
මේ මොහොතේ හිටි අඩියේ පාසල් ගුරුවරියත් සාරියත් සමග මේ සිංහල-බෞද්ධ මතවාදය ඔසවා ගැනීමේ අවශ්‍යතාවය තේරුම් ගැනීමට නම්, මැතිවරණ ඉල්ලීමේ දේශපාලනයත් තේරුම් ගත යුතු ය. තිස් වසරක් පමණ වූ යුද්ධය 2009 දී අවසන් වූ පසු “ඊළාමය හා බෙදුම්වාදය” තව දුරටත් සිංහල-බෞද්ධ මතවාදය වෙනුවෙන් යොදා ගත නොහැකි වූයෙන් ඒ වෙනුවට “හලාල් විරෝධය” සමග මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් රාජපක්ෂ ආණ්ඩුවේ සිංහලවාදී දේශපාලන කල්ලි මගින් දියත් කළහ. එකල ආණ්ඩුවේ සිටි වීරවංශලා, චම්පිකලා ඒ මුස්ලිම් විරෝධය රාජපක්ෂලා වෙනුවෙන් කරට ගත්හ. අනතුරුව එයට වඳ පෙති, වඳ කොත්තු වල සිට කාන්තා යට ඇඳුම් දක්වා යොදා ගත හැකි හැම දෙයක්ම යොදා ගනු ලැබිණ. වෛද්‍ය ශාෆි ගොදුරුකර ගනු ලැබුවේද ඒ මුස්ලිම් විරෝධයෙනි. තරුණ නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගනු ලැබුවේද එවැනිම මුස්ලිම් විරෝධයක් සමගින්ය.
එවැනි පසුබිමක 2019 ජනාධිපතිවරණයෙන් පත්කර ගනු ලැබූ මහා බලසම්පන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අසාර්ථක බැව් තේරුම් ගන්නට මාස ගණන් අවශ්‍ය නොවීය. ඒ අසාර්ථකත්වය වසා ගෙන සිටින්නට කොවිඩ් වසංගතය ප්‍රමාණවත් නොවුනි. එනිසා ඔවුහු නැවත මුස්ලිම් විරෝධයේ පිහිට පැතූහ. මුස්ලිම් භූමදාන තහනම් කිරීමට ආචාර්ය මෙත්තිකා විතානගේ වැනි විශ්ව විද්‍යාල ඇදුරන් පවා නිර්ලජ්ජිතව හවුල් වූයේ රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධ අන්තවාදය වෙනුවෙනි. මුස්ලිම් විරෝධය ප්‍රචණ්ඩ ලෙස පාරට ගෙනා ඥාණසාර එක රටක් එක නීතියක් හදන්නට යැයි කමිටු ප්‍රධානියෙකු කෙරුවේද සිංහල-බෞද්ධ රාජ්‍ය නායකයාගේ අසාර්ථකත්වය වසා ගැනීමට ය.
මැතිවරණයකට යාර සයක ගුරු සාරිය
ඒ කිසිවකින් රාජපක්ෂලාට සහ ඔවුන්ගේ අන්තේවාසිකයින්ට අන්ත දූෂිත රාජ්‍යයක් හා ආණ්ඩු පාලනයක් පවත්වා ගත නොහැකි විය. ඒ වෙනුවට තනි වික්‍රමසිංහ බලයට ගෙනා “ගෝටා ගෝ හෝම්” තාරුණ්‍යයද අද නැත. ඒ ගාලු මුවදොර විරෝධය කොල්ල කෑ පෙරටුගාමී දේශපාලනය ජනාධිපති වික්‍රමසිංහ තලා දැම්මේය. ජ.වි.පෙ පරණ සොරුන් ගැන කතා කෙරුවට මේ වනවිට බරපතල ගැටළු ලෙස සමාජය හමුවේ ඇති රාජ්‍ය මර්දනයට, කැලෑ පාළු කිරීම හා යාල විනාශයට, කෝටි ගණනින් බදු නොගෙවා මග හරින ජාවාරම්කාරයින් ගැන හෝ ගුරුවරියන්ගේ සාරිය වැනි කිසිවකට කතා නොකරති. සජිත්ගේ විපක්ෂයද රට නොදන්නා විපක්ෂයකි. එවැනි ගන්ධබ්භ දේශපාලනයක දැනට ජනාධිපති වික්‍රමසිංහ සහ රාජපක්ෂලාගේ පැවැත්ම අන්‍යෝන්‍ය පැවැත්මකි.
එහෙත් ඒ දෙපාර්ශවයටම නුදුරේ පැමිණිය හැකි පළාත් පාලන මැතිවරණ සඳහා එකට තරග වැදිය නොහැක. වික්‍රමසිංහට රාජපක්ෂලාගේ පොහොට්ටු පක්ෂය සමග කේවල් කිරීමට එ.ජා.පය නැවත පිළිසකර කරගත යුතුය. ඒ වෙනුවෙන් ඔහු උතුරු-නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඔහුට පුරුදු කමිටු පත් කිරීමට පොරොන්දු විය. වැවිලිකරයේ දෙමළ ප්‍රජාව වෙනුවෙන්ද ඔහු එවැනිම පොරොන්දු දුන්නේය. ඔහු පෙනී සිටින්නට උත්සාහ කරන්නේ සියලු වාර්ගික, ආගමික කොටස්වල ඡන්දය ලබාගත හැකි නායකයෙකු ලෙසින්ය.
එනිසා පොහොට්ටුව නැවත ඔවුන් දන්නා සිංහල-බෞද්ධ දේශපාලනයට ගොඩ වන්නට පාසලින් ගමන් ආරම්භ කළ සෙයකි. 2019 මැතිවරණයේදී ඔවුන් සිංහල-බෞද්ධ ඡන්ද එකතු කෙරුවේ විශේෂයෙන් ග්‍රාමීය පන්සල් හරහා ය. කඨිණ පූජා, පාංශකූළ, සත් දවසේ බණ, ශබ්ද විකාශන ඔස්සේ කෙරුනු පන්සලේ බණ දේශනා වැනි පන්සල මුල්කර ගත් සංඝයා හවුල් වූ මැතිවරණ ව්‍යාපාරයක් එදා දියත් කෙරිණ. එය 1979 දී ඉරාණයේ ෂා විරෝධි කැරැල්ල මුස්ලිම් පල්ලිවල මුල්ලාවරුන් සංවිධානය කළ ආකාරයේ දේශපාලන ව්‍යාපාරයක් විය.
එහෙත් එවැන්නකට දැන් ඉඩක් නැත. ශක්තිමත්ම, බලසම්පන්නම රාජපක්ෂ අන් සියල්ලන්ටම වඩා දුර්වල අසාර්ථක නායකයෙකු යැයි ලොවටම ඔප්පු වූ පසු නැවත පන්සල් ඇසුරෙන් මැතිවරණ කළ නොහැක. එබැවින් මෙවර උත්සාහය පන්සල මෙන්ම පසුගාමී ජාතිවාදී තෝතැන්නක් වන පාසල වේදිකාවක් ලෙස යොදා ගැනීමට ය. පාසල ඔවුන්ගේ සිංහල-බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් සැකසීමය. ඒ සමගින් සමාජ මතය තමන්ගේ දේශපාලනයට ගැලපෙන ලෙස යළි සකසා ගැනීමට හැකි වෙතැයි ඔවුහු සිතන්නාහ.
අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත සහ පොහොට්ටුගාමීන්ගේ තක්සේරුවේ එනමුත් බරපතල අඩුවක් ඇත. මෙවර ඔවුන් පාසල සහ “සිංහල-බෞද්ධ සාරිය” ගැන කතා කරන්නේ වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාන්‍ය ජන ජීවිතය වෙනුවෙන් නොවිසඳන ආර්ථික අර්බුදයේ බරපතල බිඳ වැටීම, පාසල් අධ්‍යාපනය ඔස්සේ ගමට ඉතිරි කෙරෙන බව ගණන් හදන්නේ නැතිව ය. එබැවින් ඔවුන්ම එළියට ගෙනා ගුරුවරියන්ගේ සාරිය සම්බන්ධ වාදය පාසල් ඇසුරෙන් දිග හැරෙන අධ්‍යාපනය බිඳ වැටීමේ ඛේදවාචකයෙන් යට යනු ඇත. ඉදිරි මැතිවරණය එබැවින් සාමාන්‍ය ජනතාවගේ ජීවන අර්බුදය සිංහල-බෞද්ධ මතවාදය නොතකා විසඳුම් ඉල්ලන මැතිවරණයක් වනු ඇත.
| කුසල් පෙරේරා
2022 නොවැම්බර 24