බැංකු වලින් වැඩිපුර ණය අරන් තියෙන්නේ ආණ්ඩුව - ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල

බැංකු වලින් වැඩිපුර ණය අරන් තියෙන්නේ ආණ්ඩුව - ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල

අද පවතින ආර්ථික අර්බුදය බැංකු කර්මාන්තයට බලපාන්නේ කොහොමද?

අද පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුව අරගෙන තියෙන එක් ක‍්‍රියාවලියක් තමයි බැංකු පොළී රේට්ටු ඉහළ දැමීම. ආණ්ඩුව කියන්නේ උද්ධමනය පාලනය කරන්න මෙහෙම කරනවා කියලා. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලට අධික පොළී අනුපාතයක් පැනවීම නිසා බැංකුවල ස්ථීර තැන්පතුවල පොළිය ඉහල දාන්න වෙනවා. මේ වෙනකොට ගනුදෙනුකරුවන්ට බැංකු වලින් 20%-25% වගේ ඉහළ ප‍්‍රතිශතයක් පොලී වශයෙන් ගෙවනවා. ඒක නිසා බැලූ බැල්මට ගනුදෙනුකරුවන්ට වාසියක් වගේ පේනවා. නමුත් එහෙම වුනත් මේකේ අනිත් පැත්ත ගත්තොත් බැංකුවලට ණය පොළී අනුපාතයත් ඉහල දාන්න සිදුවෙනවා. ඒක මේ දවස්වල 30%-36% වගේ වෙනවා. රස්සාවක් කරන කෙනෙක් බැංකුවකින් ණයක් ගන්න කොට බලනවා එයාගේ පඩියෙන් 40% ක් ගෙදර ගෙනියන්න ඉතුරු වෙනවද කියල ණය වාරිකය කැපුවට පස්සෙ. ඒක රටේ පවතින නීතියක්. ණය ගන්න වෙලාවේ   ගෙදර ගෙනියන්න  පඩියෙන් 40% ක් තියාගෙන ඉතිරි මුදලින් කැපෙන්න ණය ගත්ත අයට අද වෙනකොට පොලී වැඩි වෙලා තියෙන හන්දා ගෙදර ගෙනියන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑ ණයට කැපුනාට පස්සේ. මේ හේතුවෙන් ණය ගෙවීම් පැහැරහැරීම් වැඩිවෙලා තියෙනවා.

ඒ වගේම පාස්කු බෝම්බ ප‍්‍රහාරය හා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ගණුදෙනුකරුවන්ට ලබාදුන්න ණය සහන තවමත් පවතින නිසා සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එම කාලසීමාව අවසානයේදී පවා ජනතාවට ණය ගෙවීමේ හැකියාව අඩුවීම නිසා බැංකුවල ප‍්‍රධාන ආදායම් මාර්ගය වන ණය ආදායම් පහල බැහැලා. මේ කාරණය නිසා අද බැංකු තුළ ද්‍රවශීලතා අර්බුදයක් ඇති වෙලා තියෙනවා. එකක් තමයි පොලිය ඉහලට දැමීම නිසා බැංකුවල තැන්පතු වැඩිවෙලා තියෙනවා. දැන් මෙහෙම බැංකු  ඉහළ පොලියක් දීලා  තැන්පතු එකතු උනාට ඒ ඉහල පොලිය ගෙවන්න  ඕනෙ බැංකුවලින් ගෙවන පොලියට වඩා වැඩි ප‍්‍රතිශතයකට ණය දීලා. නමුත් ඒ වගේ ඉහළ ප‍්‍රතිශතයකට ණය ගන්න පාරිභෝගිකයො කැමති වෙන්නේ නෑ. ඒක නිසා අද මේක බරපතළ අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.

අනිත් කාරණේ තමයි දැන් බැංකුවලින් වැඩිය ණය අරගෙන තියෙන්නේ ආණ්ඩුව.  ඒවට ඇප හැටියට ආණ්ඩුව දීලා තියෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර කියන හිස් කොල කෑලි විතරයි. ඒක නිකන් බැංකුවේ එකවුන්ට් එකේ සල්ලි නැතුව චෙක් නිකුත් කරනවා වගේ වැඩක්.

එතකොට ආණ්ඩුවට සල්ලි නැති නිසා මේ ණය බැංකුවට ආපසු අය කර ගන්න විදිහක් නෑ. ඒක නිසා ඉස්සරහ කාලෙදී බැංකු අර්බුදයට යන්න අවදානමක් තියෙනවා. ඒ වගේ තත්වයක් ඇතිවුන වෙලාවක ගනුදෙනුකරුවෝ තමන් තැන්පත් කරපු සල්ලි ඉල්ලගෙන ආපහු ආවොත් බැංකුවට එතරම් ලොකු මුදලක් එකපාරට දෙන්න සල්ලි නැති වෙනවා. බැංකුවල වත්කම් තිබුණට ඒව හදිසියේ මුදල් කරන්න විධියක් නැති නිසා. මේ වගේ තත්වයක් තමයි ලෙබනනයෙ ඇති වුණේ. මෙන්න මේ කාරණා නිසා රටේ ආර්ථිකය රැකගන්නවා කියලා පොලී ප‍්‍රතිශත ඉහළ දාන එක හොඳ පියවරක් නෙමෙයි.

ආර්ථිකය කළමණාකරණයට අරගෙන තියෙන මේ පියවර ව්‍යාපාරික ප‍්‍රජාවට ආයෝජකයින්ට බලපාන්නේ කොහොමද?

පොලිය ඉහල දැමීම තුළ යම්කිසි ආයෝජකයෙක්  ඇවිල්ලා ලක්ෂ සීයක් ආයෝජනය කරලා ඒකෙන් එයා 10% ක් වගේ ප‍්‍රතිශතයක් ලාභ ලබා ගන්න බලාපොරොත්තු වුණා නම්, එයා ඊළඟට කල්පනා කරනවා සේවකයො අරගෙන ඒ අයට පඩි නඩි ගෙවල සමාජ ආරක්‍ෂණ වියදමුත් කරල කරදර වෙලා පොඩි ලාභයක් හොයනවට වඩා ඒ සල්ලි බැංකුවේ තැන්පත් කරල 20% ක් පොලිය ගන්න එක වැඩිය වාසිදායකයි කියලා. එතකොට රැකියාවලට ආයෝජන අඩුවීම නිසා ජනතාවට රැකියා අවස්ථා නැති වෙනවා. මේ තත්වය සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වලට දැනටමත් බලපාලා තියෙන්නේ. මේ තත්වයට හේතුව ආණ්ඩුව ආර්ථිකය හකුලන්න තීන්දු කිරීම. මේ ක‍්‍රියාදාම හරහා දාම ක‍්‍රියාකාරිත්වයකින් (Chain effect) ආර්ථිකය හැකිළෙන්න වගේම රටේ සාමාන්‍ය ජනතාවට තවතවත් දුක්විඳින්න ඉදිරියේදී සිදුවෙන්න පුළුවන්.

ආණ්ඩුව පොලී රේට්ටු වැඩි කරන්න තීරණය කළේ උද්ධමනය අඩුකරන්න. මේක  ඕනෑම රටක් ගන්න ක‍්‍රියා මාර්ගයක් නේද?

ඔව් ඒක හරි. සාමාන්‍ය උද්ධමන තත්වයකදි එහෙම පොලී රේට්ටු වැඩි කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් ලංකාවෙ තියෙන්නේ සුවිශේෂී තත්වයක්. දැනට පවතින උද්ධමනය 60% ට වැඩියි. මේ වගෙ තත්වයකදි පොලී රේට්ටු වැඩි කළහම වෙන්නෙ ඉහළ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න සාමාන්‍ය මිනිසුන්ට   තමන්ගේ ඉතුරුම් ඒ කියන්නේ බැංකුවල දාල තියෙන මුදල් ආපසු ගැනීම, තමන්ගෙ කණකර ආදිය උගස් තැබීම වගෙ දේවල්. මේ තත්වය තුළ අද දුප්පත් ජනතාව උගස් තියපු රත්රන් බඩු සින්න වෙන්න ඇරල තියෙනව. බඩු මිල වැඩි වුණු වෙලාවට මිනිසුන්ට ඒව ගන්න සල්ලි නැති වුණහම ගැණුම්කරුවන් නැති නිසා මිල පහල යාමක් වෙනව. ඒකෙන් අපිට කියන්න බැහැ රටේ බඩු මිල අඩුවෙලා කියල.

ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුව රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කරන්න යනව. බැංකු ඇතුළු සමහර රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට විකිණීමේ සූදානමක් ගැන ප‍්‍රකාශයට පත්කරල තියෙනව. මේ සම්බන්ධව බැංකු සේවක සංගමය මොන වගේ ස්ථාවරයකද ඉන්නෙ?

බැංකුවල කොටස් යම් ප‍්‍රමාණයක් කොටස් වෙළඳපලේ විකිණීමට සූදානම් බවත් එය ඉටුකර ගැනීමේ දී වෘත්තීය සමිති ගණන් ගන්නේ නැති බවත් මුදල් ඇමතිවරයා කියා තිබෙනව. අපි බැංකු සේවක සංගමය දකින්නේ රාජ්‍ය බැංකුවල කොටස්වල අයිතිය වෙනස්වෙනව නම් ඒක මුළු රටටම බලපාන තත්වයක් වෙනව. ආණ්ඩුවට අසීරු අවස්ථාවලදී රාජ්‍ය බැංකු තමයි දිගටම රටේ අවශ්‍යතා ඉටු කරන්න මැදිහත් වෙලා තියෙන්නෙ. උදාහරණයක් ගත්තොත් ජනතාවට සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න අවශ්‍ය අවස්ථාවලදී සමහර රාජ්‍ය ආයතනවල ගිණුම්වල මුදල් නැතිවුණත් ණයවර ලිපි විවෘත කරන්න කටයුතු කරල තියෙනව. නමුත් රාජ්‍ය බැංකුවල කොටස් වෙළඳපොළේ දැම්මොත් මේ වගෙ කටයුතු කරන්න රාජ්‍ය බැංකුවලට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි දැනට අපගේ සාමාජිකත්වය මේ පිළිබඳව දැනුවත් කරල අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්න තීන්දු තීරණ අරගෙන තියෙනව. අනෙකුත් ආයතන සම්බන්ධයෙනුත් අපගේ ස්ථාවරය වන්නේ පාඩු ලබන ආයතනවල අභ්‍යන්තර පරිපාලන ව්‍යුහයන් වෙනස් කිරීම සම්බන්ධව අපගේ විරුද්ධත්වයක් නැහැ. ඒත් ඒවායේ අයිතිය පුද්ගලික අංශවලට පවරන්න ආණ්ඩුව සැලසුම් කරනව නම් ජනතාවගේ පැත්තේ ඉඳගෙන අපි ඒවට විරුද්ධ වෙනව. ඒ වගේම ඒ ඒ ආයතනවල වෘත්තීය සමිතිත් සමග එකතුවෙලා කටයුතු කරන්න සූදානම්.

පහුගිය කාලයේ ක‍්‍රියාත්මක වුණ අරගලය ගැන මොනවද කියන්න තියෙන්නෙ?

මේ අරගලය ගොඩනැගුණේ ආණ්ඩුව අරගෙන ගිය ක‍්‍රියාමාර්ග නිසා. ජනතාවට අත්‍යවශ්‍ය දේවල් විශේෂයෙන්ම තෙල් පොහොර ගෑස් විදුලිය බෙහෙත් නැතිවීම නිසා තමයි ජනතාව පාරවල්වලට ආවෙ. ඒ භාණ්ඩ සපයන්න බැරිවුණේ  ආණ්ඩුවට ඩොලර් නැතිවීම මත. ආණ්ඩුව රට රටවලින් ණය අරගෙන ඒව කාබාසිනිය කරල දැම්ම. සුඛෝපභෝගී කාර් වගෙ අනවශ්‍ය භාණ්ඩ ආනයනය කළා. ලොකුම හේතුව තමයි ව්‍යාපාරිකයො දේශපාලනඥයින් එක්ක එකතුවෙලා ලංකාවේ තිබුණු ඩොලර් පිටරට ගෙනයාමත් ලංකාවට එන්න තියෙන ඩොලර් පිටරට රඳවා ගැනීමත්. මේ සම්බන්ධව අපි තවත් වෘත්තීය සමිති සහ ආර්ථික විද්‍යාඥයින් එක්ක එකතුවෙලා මහබැංකුවට ඉල්ලීමක් කරල තියෙනව රටේ පවතින අනපනත් අනුව ඒ සල්ලි ගෙන්නගන්න කටයුතු කරන්න කියල. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න ඩොලර් නැති වුණේ ඉහතින් කියපු කාරණා නිසා. ඒ නිසා ආණ්ඩුවේ මේ ක‍්‍රියා මාර්ග නවත්වන්න ජනතාවට පාරවල්වලට බැහැල උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනව. අපිත් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවෙ සාමාජික සංවිධානයක් හැටියට එම උද්ඝෝෂණවලට සක‍්‍රියව සහභාගි වුණා. අප්‍රේල් 28 මැයි 6 සහ ජුලි 9 දිනවල බැංකු සේවක සංගමය වැඩ වර්ජනය කරල එම හර්තාලයට සහභාගි වුණා. ගෝඨාභය ගියාට පස්සෙ හොර පාරෙන් රනිල් ගෙනැත් මේ ප‍්‍රශ්ණය විසඳන්න බැරි බව අද පැහැදිලි වෙනව.

IMF එකෙන් ණය අරගෙන මේ ප‍්‍රශ්නය විසඳන්න ගියොත් තව තවත් ජනතාව පිට බර පැටවෙනව. ව්‍යාපාරිකයෝ සහ දේශපාලනඥයො පිටරටවල හංගල තියෙන කෝටිගණන් ඩොලර් ලංකාවට ගෙනාවොත් මේ ගැටළුව විසඳන්න පුළුවන් ණයට ගන්නෙ නැතිව. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනව. අපි කියන්නෙ මේ වගෙ පහුගිය ආණ්ඩුවලින් හොරකම්කරල තියෙන දේපල ආපසු ගෙන්නගන්න හැකියාවක් ඇති පිරිසක් බලයට ගේන්න ජනතාවට ඉඩ දීල මේ ආණ්ඩුව ඉවත්වෙන්න  ඕන කියල.

(ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුප නන්දුල මහතා සමග විජේපාල වීරකෝන් මහතා විවරණ වෙබ් සඟරාව සඳහා කළ සාකච්ඡාවකි.)