රාජ්‍ය සේවය, විශ්‍රාම යාමේ වයස සහ ඉනික්බිති

රාජ්‍ය සේවය, විශ්‍රාම යාමේ වයස සහ ඉනික්බිති

සියලු රාජ්‍ය සේවකයන් වයස අවුරුදු හැට සැපුරුණ මොහොතේ විශ්‍රාම යායුතු බවට වූ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ මෙම වසරේ සැප්තැම්බර් 14වන දින යි. මෙම මස 31වන දින සිට එය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. එය රාජ්‍ය පාර්ශ්වයෙන් ගත් විට රජයට වාසිදායක ය. තවත් පසෙකින් ගත් විට අවාසිදායක තත්ත්ව ද නැතුවා නොවේ. සේවක පාර්ශ්වයෙන් ගත් විට ද වාසි අවාසි යන දෙපාර්ශ්වය ම පවතී.

අයවැය 2022 : ඔබට බලපාන්නේ කොහොමද?

අයවැය 2022 : ඔබට බලපාන්නේ කොහොමද?

මීට වසරකට පමණ පෙර එනම් 2021 නොවැම්බර් මස 12වන දින එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රාජ්‍ය සේවකයන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරෙන යෝජනාවක් 2022 වසරට අදාළ අයවැය යෝජනාවලට ඇතුළත් කර තිබිණ. ලංකා ඉතිහාසයේ මුදල් අමාත්‍යවරයෙක් විසින් ගන්නා ලද අමනෝඥම ක්‍රියාවක් ලෙස එය හැඳින්විය හැකි ය. මන්ද ඒ වන විටත් රට දැවැන්ත අගාධයකට ගමන් කරමින් සිටින බව දැන දැන ම හුදෙක් දේශපාලන අවස්ථාවාදය පෙරටු කරගනිමින් එබඳු තීරණයක් ගැනීම ය. ඒ මොහොතේ අදාළ තීරණයට පක්ෂපාත අදහස් ඉතා සුළු වශයෙන් ඉදිරිපත් වුව ද රටේ බහුතරයකගේ මතය වූය් එය ඉතාම අමනෝඥ ක්‍රියාවක් බවයි.

රාජ්‍ය සේවයේ ඉතිහාසය

මෙරට රාජ්‍ය සේවයේ ඉතිහාසය පිළිබඳ සොයා බලන විට දක්නට ලැබෙන ආකාරයට එය පුරාණ රජ දවස දක්වා දිව යන්නක් ලෙස සඳහන් කළ හැකි ය. නමුත් එකල රාජ්‍ය සේවය යනු රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම ලෙස හඳුනාගත නොහැකි ය. එය සම්පූර්ණයෙන් ම රජු හෝ රැජින වෙනුවෙන් කළ සේවයකි. ආරම්භක යුගයේ රාජ මාලිගාවේ කටයුතු සහ යුද කටයුතු සඳහා පමණක් සීමා වූ මෙම සේවය පොළොන්නරු යුගයට පිවිසෙන විට රජුට ආදායම් එකතු කිරීම දක්වා වර්ධනය විය. ඒ යුගය වන විට රාජ්‍ය සේවක පිරිස් සඳහා නිශ්චිත නිල නාම ද නොපැවතිණ. ඒ සඳහා නිශ්චිත නිල නාම එකතු වන්නේ කෝට්ටේ යුගයේ දී ය. එකී නාම: කෝරලේ, දිසාවේ සහ නිලමේ යන නම්වලින් හැඳින්විණ.

මෙම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වන්නේ බටහිර ජාතින් විසින් ලංකාවේ බලය අල්ලා ගනු ලැබීමෙන් අනතුරුව ය. ඔවුන් සිය පාලනයට නතු කරගත් ප්‍රදේශවල පරිපාලන ව්‍යුහය ඔවුන්ගේ ම ක්‍රමයකට වෙනස් කළේ ය. එහෙත් එහි යම් යම් අඩුපාඩු දක්නට ලැබිණ. එකී අඩුපාටු අවම මට්ටමෙන් හෝ අහෝසි කෙරෙමින් එතෙක් පැවති රාජ්‍ය සේවය නවමු හැඩයක් ගන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය ආරම්භයේ දි ය. 1802 වසරේ දී ඇරඹෙන සිවිල් සේවය එහි අඩිතාලම ලෙස හැඳින් වේ. එය ද ක්‍රියාත්මක වූයේ හුදෙක් නීතිය සහ සාමය ක්‍රියාත්මක කිරීමට සහ ආදායම් එකතු කිරීම සඳහා ය.

download 7

එතැන් සිට 1946 වසර දක්වා විවිධ සංශෝධන යටතේ රාජ්‍ය සේවය මෙරට ක්‍රියාත්මක විය. එතෙක් පැවති රාජ්‍ය ව්‍යුහය යළි වෙනසකට බඳුන් කෙරෙන්නේ 1946 වසරේ මැයි මස 15වන දින රාජඥාවක් මගින් මෙරට ප්‍රථම රාජ්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙන් අනතුරුව ය. එමගින් රාජ්‍ය නිලධාරින් සහ සාමාන්‍ය සේවක සේවිකාවන්: පත්කිරීම, උසස්වීම් ලබා දීම, විනය පාලනය මෙන් ම සේවයෙන් පහකිරීම පිළිබඳ සියලු විධායක බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරිණ.

එතැන් සිට විසි හය වසරක් පැවති මෙම ව්‍යුහය අහෝසි කෙරෙන්නේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමගිනි. එම අවස්ථාව වන විට එතෙක් ස්වාධීනව පැවති කොමිෂන් සභාව රාජ්‍ය සේවය පිළිබඳ අධිකාරි බලය සහිත අමාත්‍ය මණ්ඩලය වෙත පැවරිණ.

එතැන් සිට සය වසරක් පැවති ක්‍රමය යළි වෙනසකට බඳුන් කෙරෙන්නේ 1978 වසරේ දී සම්මත වූ දෙවන ජනරජ ව්‍යවස්ථාව හේතුවෙනි. ඒ මොහොතේ රාජ්‍ය සේවා කොමිෂන් සබාව ස්ථාපිත කළ අතර එතැන් සිට මෙම කර්තව්‍ය අමාත්‍ය මණ්ඩලයේ බලයට යටත්ව ක්‍රියාත්මක කෙරිණ.

70 දශකයේ ආරම්භය දක්වා ම සුදුස්සාට පමණක් සුදුසු තැන හිමිවූ රාජ්‍ය සේවය සමගි පෙරමුණ ආණ්ඩු සමයේ දී අයාලේ යාම ඇරඹිණ.

රාජ්‍ය සේවය දේශපාලනීකරණය හෙවත් පාදඩකරණය වීම

අතීත තොරතුරු සොයා යාමේ දී දක්නට ලැබෙන්නේ 1948 වසරේ ඊනියා නිදහස ලබන තෙක් මෙරට සේවයේ නියුතුව සිටියේ අත්‍යවශ්‍ය සේවක පිරිසක් පමණක් බවයි. නමුත් 1948 වසරෙන් පසු බලයට පත්වූ ස්වදේශික පාලකයෝ හෙවත් දේශපාළුවෝ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා රාජ්‍ය සේවය සඳහා සේවක සේවිකාවන් බඳවාගත්හ. මෙය උඩුදිවීම ආරම්භ වන්නේ 1970 වසරේ බලයට පත්වූ සමගි පෙරමුණ ආණ්ඩුවෙනි. මන්ද එම ආණ්ඩුවට පාර්ශ්වකරුවෝ තෙපළක් අයිතිවාසිකම් කීහ. ඒ: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යි. මෙකී තෙපාර්ශ්වයෙන් ම රාජ්‍ය සේවය සඳහා පිරිස් බඳවාගත්හ.

නමුත් එකල එකී බඳවාගැනීම්වල වුව ද කිසියම් ප්‍රමිතියක් පැවතිණ. එනම් බොහෝ දුරට සුදුසුකම් නිරීක්ෂණයට බඳුන් කළ අතර තරග විභාග ද පැවැත්විණ. ඒ අතර ලිංගික අල්ලස් ලබාගෙන පත්වීම් ලබා දුන් බව ද නොරහසකි. පසු කලක දී රටේ ජනාධිපතිධුරයට පත් දේශපාළුවෝ ද එකල ඒ ආකාරයේ පත්වීම් ලබා දුන් බව නොරහසකි. එකල මෙම පත්වීම් හැඳින් වූයේ ‘‘රෙස්ට්හවුස් පත්වීම්’’ හෝ ‘‘තානායම් පත්වීම්’’ යනුවෙනි. එහි අරුත පහදා දීමට අවශ්‍ය නොවන බැවින් ඒ පිළිබඳ වැඩි විස්තර නොලියමි.

J R JAYAWARDENA 1

J R JAYAWARDENA 1මෙකී ක්‍රමය වඩ වඩාත් වර්ධනය වන්නේ ධර්මිෂ්ඨ සමාජයක් ස්ථාපිත කර ධාන්‍ය රාත්තල් අටක් ද දෙන පොරොන්දුව මත බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ දී ය. එසමයේ කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන හෙන්චයියෝ රජයේ රැකියා සඳහා බඳවාගත්තේ මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රිවරියගේ නිර්දේශය මතය. ඒ වන විට සුදුස්සා පසෙකට විසි වී හුදෙක් දේශපාලන සුදුසුකම් මත පමණක් ම රැකියා දීම සහ ලබාගැනීමේ ප්‍රවණතාවක් පැනනැගිණ.

එකල ලංගම (පසුව එය විවිධ නම්වලින් හැඳින්විණ) කොන්දොස්තරවරු ලෙස බඳවාගත් ඇතැම් අඩු අධ්‍යාපනලාභී දේශපාලන හෙන්චයියෝ වසරක් දෙකක් ගතවන විට ඩිපෝ අධිකාරිවරු බවට උසස්වීම් ලැබූහ. මෙම බඳවාගැනීම් කෙතරම් අසංවිධානාත්මක ද යත් 1994 වන විට එක් ලංගම බස් රථයක් සඳහා සේවකයන් හත්දෙනෙක් අට දෙනක් දක්වා වර්ධනය විය. එක් බස් රථයකින් ලැබෙන ආදායමෙන් ලංගම නිලධාරින් ප්‍රමුඛ පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නඩත්තු කරන්නට සිදුවිණ. ලංගම නමැති පොදු ප්‍රවාහන සේවය අගාධයට ඇද වැටෙන්නේනට පුද්ලික බස් සේවාව පමණක් නොව මේ හේතුව ද බලපෑය.

එතැන් සිට මේ දක්වා බලයට පැමිණි හැම ආණ්ඩුවක් ම ඉවක් නොබලා තම තමන්ගේ දේශපාලන හෙන්චයියන් රාජ්‍ය සේවයට බඳවාගත්හ. ඇතැම් අවස්ථාවල දී ඉතා කෙටි කාලයක් ඇතුළත එකම පුද්ගලයා අමාත්‍ය ධුර කිහිපයක් දරන විට ඒ සෑම අමාත්‍යංශයකට ම තම ඡන්ද බල ප්‍රදේශයේ සිටින හෙන්චයියන් ඇතුළත් කරගත්තේ ය. මේ වන විට ද මෙය ඉතා නින්දිත ආකාරයෙන් සිදුවෙමින් පවතී. ඉදින් රාජ්‍ය සේවය රටට බරක් වීම අරුමයක් නොවේ.

දේශපාලනීකරණයේ උච්ච අවස්ථාව

මේ වන විට රාජ්‍ය සේවක බර රාජ්‍යයට දරාගැනීමට නොහැකි තරම් ය. එම තත්ත්වය සමනය කරගැනීම සඳහා ගන්නා විවිධ ක්‍රියාමර්ග ද අත් කර දුන්නේ අසුබ ඵල මිස සුබ ඵල නොවේ. අවසන රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා මුදල් ට්‍රිලියන ගණනින් අච්චු ගැසීමට පවා සිදු විණ. මෙය රටක උද්දමනය ඉහළ යාම සඳහා ප්‍රමුඛව බලපෑ ය. 2016 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ රාජ්‍ය සේවයේ නිරත පිරිස් කෙතරම් ද යන්න පිරික්සීමේ දී යට කී දේශපාලනීකරණය කෙතරම් බරපතළ ද යන්න පැහැදිලි කරගත හැකි ය.

2016 වසරේ කළ සංගණනයකට අනුව ඒ වන විට අර්ධ රාජ්‍ය සහ රාජ්‍ය සේවක සේවිකා පිරිස එකොළෙස් ලක්ෂ දහ දාහකට ආසන්න පිරිසක් සිටි බව වාර්තා වී තිබේ. 2019 වසර වන විට එම ප්‍රමාණය දාහතර ලක්ෂ පනස් දහස ද ඉක්මවා තිබිණ. එය වසරක් තුළ එනම් 2020 වන විට පහළොස් ලක්ෂ විසි අට දහසක් දක්වා වර්ධනය වී තිබිණ. මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන විට එම ප්‍රමාණය ලක්ෂ දහසය ඉක්මවා ගොස් ලක්ෂ දාහතට ද ආසන්න වී තිබේ. මෙසේ බඳවාගත් සේවක පිරිස් අතුරෙන් වැඩි පිරිසක්: කම්කරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක පිරිස් බව ද වාර්තා වේ. ඊට හේතු වී තිබෙන්නේ බොහෝ උසස් නිලතල සඳහා විශේෂ සුදුසුකම් නිරීක්ෂණය කළ ද යට කී තනතුර සඳහා අවම අධ්‍යාපන සුදුසුකම් සැලකිල්ලට ගැනීම ය. රජයේ ඇතැම් නිලධාරින් සඳහා වෙන් කළ එක් නිල රථයක් වෙනුවෙන් රියදුරන් හතරක් පමණ සිටි අවස්ථා ද වාර්තා වේ.

මේ ආකාරයට අකාර්යක්ෂම ලෙස බඳවාගත් රාජ්‍ය සේවකයන් සමස්තය ගත් විට එය රටේ ජනගහන අනුපාතයට අනුව 33%ක් පමණ වේ. ඔවුන්ගේ වැටුප් සහ දීමනා සඳහා ගෙවිය යුතු රුපියල් ට්‍රිලියනය ද ඉක්මවන මුදල සොයාගත යුත්තේ හෝ ගෙවිය යුත්තේ ඉතිරි ජනගහනය ගෙවන බදු ආදායමෙනි. එහෙත් අප දන්නා පරිදි රටේ ආදායමට සාපේක්ෂව ගත් විට වියදම අවම වූ කාල වකවානුවක් මතකයේ නැති තරම් ය. වසරෙන් වසර සිදු වුයේ රටේ සමස්ත ආදායමට වඩා කිහිප ගුණයකින් වැඩි වියදමක් දැරීමට සිදුවීම ය. එය වුව ද වසරෙන් වසර වර්ධනය වුවා මිස පහළ බැසීමක් සිදු නොවිණ. එය රටක් ලෙස දරාගැනීමට නොහැකි වන විට ඊට විකල්ප සෙවීම, සොයා පිළියම් යෙදීම කළ යුතු ම කාර්යයකි. ඒ සඳහා කළ යුතු පිළියම් දෙකක් පවතී. පළමුවැන්න නම් අතිරික්ත සේවක පිරිස් පිළිබඳ නිසි අධ්‍යයනයක් කර, ඔවුන්ට වන්දි මුදලක් ගෙවා ඉවත් කිරීම ය. දෙවැන්න රාජ්‍ය සේවය සඳහා සේවක පිරිස් බඳවා ගැනීම අවම කිරීම ය.

එය ද ප්‍රායෝගිකව තරමක් අසීරු කාර්යයකි. මන්ද වසරක් පාසා විශ්‍රම යන පිරිස් සමග සාපේක්ෂව ගත් විට විශ්‍රාම ගිය සේවක සේවිකාවන්ගෙන් ලබාගන්නා සේවයට සාපේක්ෂ සේවයක් අලුතෙන් බඳවාගන්නා පිරිස් වෙතින් ලබාගත නොහැකි ය. ඒ, ඔවුන්ගේ පළපුරුද්ද අවම බැවිනි. අනෙක් පසින් ගත් විට විශ්‍රම ගැන්වෙන වයස දීර්ඝ කිරීම තුළ ද තව තවත් ගැටලු පැණ නැගේ. විශේෂයෙන් ම වසරක් පාසා රැකියා ක්ෂේත්‍රයට යොමුවන්නට බලාපොරොත්තුවෙන් සිටින පිරිස වෙනුවෙන් රැකියා වෙන් කිරීමට සිදුවීම ය. කිසියම් රාජ්‍ය සේවකයෙකු (නිලධාරි මට්ටමේ සිට පහළ තනතුරු දක්වා) විශ්‍රාම යන විට අනිවාර්යයෙන් ම පුරප්පාඩුවක් පවතී. අදාළ පුරප්පාඩුව විශ්‍රාම ගිය පුද්ගලයාගේ තනතුර ම විය නොහැකි ය. මන්ද ඔහුගේ හෝ ඇයගේ තනතුරට ඊළඟ අනුප්‍රාප්තිකයා පත් කෙරෙනු ඇත. එසේ පිළිවෙළින් අනුප්‍රාප්තිකයන් පත් කරන විට කොතැනක හෝ පුරප්පාඩුවක්  ඉතිරි වේ. එම පුරප්පාඩුව වෙනුවෙන් නවක සේවකයෙක් හෝ සේවිකාවක බඳවාගත යුතු ම ය. යට සඳහන් කළ පරිදි විශ්‍රාම යන වයස දීර්ඝ කළහොත් අවම වශයෙන් එක් වසරකට දහ දහසක් ලෙස ගණන් ගැනුණ ද වසර පහක් යනු මිනිස් ශ්‍රම බළකායේ පනස් දහසක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු ය. එය රටක් වශයෙන් දැවැන්ත අර්බුදයකි. එසේ නම් කළ යුත්තේ දැනට පවතින ක්‍රමවේදය අනුව අදාළ සේවක පිරිස් විශ්‍රාම ගැන්වීම ය. ඊට සාපේක්ෂ පිරිසක් ම නොව අත්‍යවශ්‍ය පිරිසක් නව සේවක සේවිකාවන් ලෙස බඳවා ගැනීම ය.

විශ්‍රාම ගැන්වීමෙන් ඉක්බිති

රාජ්‍ය සේවක පිරිස් විශ්‍රාම ගැන්වු පසු රාජ්‍ය කිසියම් බරකින් නිදහස් වුවා යැයි කිසිවකු අදහස් කරන්නේ නම් එය මුළාවකි. මන්ද විශ්‍රාමිකයන් වෙනුවෙන් ද රජය කිසියම් මුදලක් වෙන් කළ යුතු බැවිනි. මෙහි දී රජයේ සියලු සේවක පිරිස් වෙත විශ්‍රාම වැටුප ලබා නොදෙන්නේ යැයි කිසිවකු තර්ක කළ හැකි ය. එනම් ඇතැම් රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් සඳහා නිර්දේශ වී තිබෙන්නේ පාරිතෝෂික දීමනාවක් වන බැවිනි. පාරිතෝෂික දීමනාවට හිමිකම් කියන බොහෝ සේවක පිරිස් වෙත අවධානය යොමු කළ විට දක්නට ලැබෙන්නේ ඔවුන් බොහොමයකගේ වයෝවෘද්ධ දිවිය දුක් කම්කටොලුවලින් ගහන  බවයි. එනම් ඇතැම් පුද්ගලයෙක් සිය පාරිතෝෂිත මුදල යොදවා නිවසක් තැනිය හැකිය. තවත් පුද්ගලයෙන් නිවසක් තනාගැනීම හෝ ඉඩමක් මිලදී ගැනීම සඳහා ලබාගත් ණය මුදල පියවිය හැකි ය. එවන් අවස්ථාවල දි අදාළ පුද්ගලයා විශ්‍රාම දිවියෙන් පසු දැඩි අපහසුතාවට පත්වේ. එය කල් තියා හඳුනා ගන්නා පිරිස් වඩ වඩාත් නැඹුරු වන්නේ විශ්‍රාම යන මොහොතේ පාරිතෝෂික දීමනාව හිමි රැකියාවකට නොව මියෙන තෙක් ම සහ කාලත්‍රයාට ද කිසියම් මාසික දීමනාවක් ලැබෙන විශ්‍රාම වැටුපට හිමිකම් කිව හැකි රැකියාවක් සොයාගැනීම පිණිස ය. ඒ නයින් ගත් විට රාජ්‍ය සේවක පිරිස් විශ්‍රාම ගැන්වූවා යැයි රාජ්‍ය වැය බරෙන් නිදහස් නොවේ. විශේෂයෙන් ම එම විශ්‍රාම වැටුප ගෙවන්නේ කිසිදු සේවයක් ලබා නොගෙන ය.

n 1

‘‘ඒ වුනාට රජයෙ සේවකයො එයාලගෙ සේවා කාලෙ දි කොච්චර කැප කිරීමක් කරල තියෙනව ද...?’’ යැයි කිසිවකු විමසිය හැකි ය. මම පුද්ගලිකව ඒ අදහසට විරුද්ධ ය. මන්ද ඔවුන් සේවය කරන සමයේ සේවයට සරිලන වැටුපක්, දිරි දීමනා සහ වෙනත් සෑම දීමනාවකට හිමිකම් ලබන්නේ ය. එනම් සේවා කාලයේ දී කිසිදු අඩුපාඩුවකින් තොරව තමන්ට හිමි වේතනය ලබාගන්නේ ය. විශ්‍රාම යාමෙන් අනතුරුව පෙර කළ සේවය පිළිබඳ අධි තක්සේරුවක සිටීම එතරම් සදාචාර සම්පන්න නොවේ.

පසුගිය වසර පහක පමණ කාලය තුළ එකතු වූ විශ්‍රාමික රාජ්‍ය සේවක පිරිස අවම ලක්ෂයක් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. එමෙන් ම වසරක් පාසා එයට එකතුවන විශ්‍රාමික පිරිස අවම වශයෙන් දෙදහස් පන්සියයක් පමණ වේ. 2022 වසර වන විට එම පිරිස සඳහා රජය වාර්ෂිකව වැය කළ යුතු මුදල (2022 වසරට අදාළව) රුපියල් කෝටි විසිහතර දහසක් බව සඳහන් වේ. මීට අමතරව මෙම වසරට අදාළ පාරිතෝෂික දීමනාව පමණක් රුපියල් මිලියන තිස්පන් දහසක් බවත්, යුද්ධය වෙනුවෙන් මිය ගිය සහ අබාධිත තත්වයට පත්වු පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පිරිස් සඳහා ද අවම වශයෙන් වසරකට රුපියල් මිලියන හාරසියක් පමණ වැය වෙන බවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. ජගත් ඩී. ඩයස් පවසා තිබිණ. ඒ අනුව ගත් විට යට සඳහන් සියලු දීමනා සඳහා රජය අවම වශයෙන් වසරකට රුපියල් මිලියන හතළිස් දහසක් පමණ වැය කළ යුතු බව ඔහු පවසා තිබිණ. ඔහු පවසන අන්දමට එම මුදල දළ වශයෙන් ගණනය කළ හොත් රජයේ සමස්ත පුනරාවර්තන වියදමෙන් 12 – 15% අතර මුදලකි. ලංකාවේ පවතින තත්ත්වය අනුව එය විශාල වැය පාර්ශ්වයකි.

අවසන් වශයෙන් ගත් විට ඉහත සියලු වැය දැරිය යුත්තේ රටේ ජනතාවගෙන් අය කරගන්නා බදු මුදලෙනි. නමුත් වසර ගණනාවක සිට පවතින අය වැය පරතරය අනුව රජය ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් මේ සියලු වියදම් ආවරණය කරගැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. නමුත් මෙම කටයුත්ත රජයේ වගකීමකි. මා දන්නා පරිදි රටේ කුමන අර්බුදයක් ඇති වුව ද මේ දක්වා යට කී කිසිදු දීමනාවක් නොගෙවා පැහැර හැරීමට කිසිදු ආණ්ඩුවක් යටතේ පැවති රාජ්‍යයක් කටයුතු කර නොමැත. ඒ පෙර කී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බැවිනි.

ප්‍රශ්ණය ගැටලුවක් වී ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට පෙර...

දැන් එළඹ තිබෙන්නේ මේ සා වියදමක් දැරීමට නොහැකි නම් රාජ්‍යයක් ලෙස අප ක ළයුත්තේ කුමක් ද යන්න පිළිබඳ විමසා බැලීම ය. මේ වන විට දක්ෂිණාංශික පක්ෂ මතු නොව වාමාංශික බලවේග පවා රාජ්‍ය සේවය සඳහා බඳවාගන්නා පිරිස් අවම කළ යුතු බව පිළිගෙන හමාර ය. නමුත් දිනපතාම පාහේ රාජ්‍ය සේවය සඳහා තමන් බඳවා ගන්නැයි වැඩි පුරම වීදි සටන්වල නියැළෙන්නේ ද මෙකී වාමාංශික පාරශ්වය යි. දැන් පසු ගිය දෑ අමතක කළ ද සිදු කළ යුතු දේ පිළිබඳ නිශ්චිත අදහසක් අදාළ වාමාංශික පක්ෂවලට ද තිබිය යුතු ය; එමෙන් ම අදාළ යෝජනා ජනගත කළ යුතු ය. එය හුදෙක් පක්ෂයක ජයග්‍රහණයක් නොව සමස්ත රටේ ම ජයග්‍රහණයකි. ජයග්‍රහණය කෙසේ වුව ද රටේ වැය බර අවම කරගැනීම සඳහා වන පිළියමකි.

ඉදින් මේ මොහොතේ රටේ පවතින සියලු පක්ෂ ක්‍රියා කළ යුත්තේ විශ්‍රාම යන වයස දීර්ඝ කරන ලෙස හෝ රාජ්‍ය සේවය සඳහා කඩිනම් බඳවාගැනිම් කරන ලෙස උද්ඝෝෂණය කිරීම නොව හැකිතාක් දුරට රාජ්‍ය සේවය සඳහා බඳවාගන්නා පිරිස් අවම කර, සිටින පිරිස වෙතින් උපරිම සේවාවක් ලබාගැනීම සඳහා වූ වැඩ පිළිවෙළක් වෙත අවතීර්ණය වීම ය. ඒ සඳහා තමන්ට බලය ලබා දෙන්නැයි ආයාචනා කිරීම හෝ බලහත්කාරය පෑමෙන් මෙම ප්‍රශ්නය නොවිසඳේ; සිදුවන්නේ එක් ප්‍රශ්නයක් වෙනුවට තවත් ගැටලු මතු වී එම ගැටලු අර්බුද බවට පත්වී අවසන ව්‍යසන බවට පත්වීම ය. එසේ නොවීම සඳහා කටයුතු කිරීම රටේ සක්‍රීය දේශපාලනයේ නියැළී සිටින සියලු පාර්ශ්වවල වගකීමකි.

සුමිත් රත්නායකට විවෘත අභියෝග කිහිපයක් - (ජයසිරි අලවත්ත)

| ජයසිරි අලවත්ත / නිදහස් ලේඛක / This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(leader)