ලාභ ලැබුවත් කම්කරුවන්ගේ වැටුප වැඩිකරන්න සමාගම් ලෑස්ති නෑ - නීතිඥ ස්වස්තිකා ආරුලිංගම්

ලාභ ලැබුවත් කම්කරුවන්ගේ වැටුප වැඩිකරන්න සමාගම් ලෑස්ති නෑ - නීතිඥ ස්වස්තිකා ආරුලිංගම්

වත්මන් ආර්ථික අර්බුදය තුල පුද්ගලික අංශයේ සේවකයන් මුහුණ දෙන අභියෝග මොනවාද?

ජීවන වියදමට සරිලන විධියට වැටුප් වැඩි නොවන නිසා සීඝ්‍රයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ කම්කරුවන් ලොකු පීඩනයකට පත්වෙලා. ඉතිහාසයේ කිසිදාක කම්කරුවන්ට ඔවුන්ගේ එදිනෙදා වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වැටුපක් තිබුණේ නැහැ. 2020 වසරේ රාජ්‍ය අංශයට වැටුප් වැඩි කළා. 2016 සිට පෞද්ගලික අංශයට වැටුප් වැඩි කළේ අයවැය සහන දීමනාවක් වශයෙන්. 2015 වසරේ පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදුන් රු. 2500 අයවැය සහන දීමනාව රුපියල් 40,000ට වැඩි වැටුප් ලබන සේවකයන්ට ලැබුණේ නැහැ. ආණ්ඩුව 2021 වසරේ අවම වැටුප රු. රු. 10000.00 සිට 12500.00 දක්වා වැඩි කළත් එය ලැබුණේ වැටුප රු. 12,500 ට අඩුවෙන් ලබාගන්නා ශ්‍රමිකයන් සඳහා පමණයි. ඊට සාපේක්‍ෂව එතැනින් ඉහල වැටුප් ලබා ගන්නා අයට වැටුප් වැඩි විය යුතුව තිබුණත් එහෙම වුණේ නැහැ.  අපි 2016 ට සපේක්‍ෂව වැටුප් සහ භාණ්ඩවල මිල සංසන්දනය කරන විට, වෙනස ඔබට පෙනෙනු ඇත. වර්තමාන ආහාර උද්ධමනය 85% ඉක්මවයි. ප්‍රවාහන වියදම දෙගුණයක් වෙලා. විදුලි පිරිවැය තුන් ගුණයකින් වැඩි වී ඇත. ඉතින් පෞද්ගලික අංශයට තියෙන ප්‍රධානම අභියෝගය තමයි සාධාරණ ජීවන වැටුපක් ලබා ගැනීම.

රජයේ වැරදි කළමනාකාරීත්වය නිසා ඇතැම් සමාගම්වල සේවකයන්ට රැකියා අහිමි වන බවට පළවන ආරංචිය ගැන ඔබ මොකද හිතන්නේ?

මෙම අර්බුදය තුළත් අපනයන සමාගම් දිගින් දිගටම ලාභ වාර්තා කළා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව 2022 වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක (සේවා අපනයන හැර) ඉහළම වෙළඳ භාණ්ඩ අපනයන ආදායම වාර්තා කරල තියෙනවා. කෙසේ වෙතත්, කම්කරුවන්ගේ අවම වැටුප රු. 16,000.00 වැඩි කරන්න සමාගම් ලෑස්ති නැහැ.  කුඩා ව්‍යාපාර වසා දැමීම නිසා ඇති වීමට නියමිත විරැකියා අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුව තවමත් සූදානම් නැහැ. මේ අතර බලහත්කාරයෙන් සේවයෙන් පහකරන විට සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනතේ ඇති වන්දි ගෙවීම වැනි කම්කරුවන්ට ඇති ආරක්ෂාවත්  ඉවත් කරන්නයි ව්‍යාපාරිකයන් ලෑස්ති වෙන්නේ.

සංවිධිත සහ අසංවිධිත කම්කරුවන්ට මෙය වෙනස් ලෙස බලපානවාද?

ILO සංඛ්‍යාලේඛනවලට අනුව රාජ්‍ය සේවය ඇතුළු සමස්ත ශ්‍රම බලකායෙන් 10% කට අඩු ප්‍රමාණයක් තමයි ලංකාවේ වෘත්තීය සමිතිගත වෙලා තියෙන්නේ. පුද්ගලික අංශයේ වෘත්තීය සමිතිගත වු සේවක අනුපාතය ඊටත් වඩා අඩු විය යුතුයි. කම්කරුවන් වෘත්තීය සමිතිගත නොවන විට ප්‍රමාණවත් වැටුප්, වැඩ කරන පැය ගණන, කාන්තා කම්කරුවන්ට ආරක්ෂාව, වෘත්තීය ආරක්ෂාව වැනි සාමූහික ඉල්ලීම් දිනා ගැනීමට කරන අරගල සාර්ථක කරගත නොහැකියි. එබැවින් පුද්ගලික අංශවල විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයේ සේවක ගැටළු ඇති වන්නේ මෙම අසංවිධිත ශ්‍රම බලකාය හේතුවෙන්.

මේ තත්ත්වය මෑන්පවර් සේවකයන්ට තවත් බරපතලයි. මෑන්පවර් කම්කරුවන්ට මම කියන්නේ  නීති අදාල නැති කම්කරුවෝ කියලයි. ඔවුන්ට සේවා යෝජකයෙකු නොමැති බැවින් ඔවුන් ආරක්ෂා කිරීමට නීතියක් නැහැ. සමහර මෑන්පවර් සමාගම් ව්‍යවස්ථාපිත ගෙවිම් කරනවා. කෙසේ වෙතත් බොහෝ දෙනා එසේ නොවේ. ඒ නිසා මෑන්පවර් සේවකයන් දිනපතා වැඩ කලත් ආණ්ඩුවට ඔවුන්ගේ අනාගතය සඳහා කිසිදු සැලසුමක් නැහැ. ආර්ථික අර්බුදය ආපු වෙලාවේ මුලින්ම රැකියා නැති වුණේ ඒ අයටයි. මෑන් පවර් කම්කරුවන් බොහෝ දුරට අසංවිධානාත්මක වීම නිසා තවදුරටත් දුර්වල වෙනවා.

 

 

ස්වස්තිකා ආරුලිංගම් 2012 වසර පමණ සිට කටුනායක බියගම වෙළඳ කලාපවල, පාලකයන්ගේ දැඩි සූරාකෑම්වලට ලක්වෙමින් සේවය කරන සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වන්නියක්. වෘත්තියෙන් නීතීඥවරියක වන ඇය දැනට වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපතිනිය වන අතර එක්සත් කම්කරු සම්මේලනය නියෝජනය කරමින් ජාතික කම්කරු උපදේශක සභාවට සහභාගි වේ.

 

නිදහස් වෙළඳ කලාප සහ අනෙකුත් BOI යටතේ ඇති සමාගම්වල අසංවිධානාත්මක කම්කරුවන්ගේ විශේෂ ගැටළු මොනවාද?

කම්හලක සිටින කම්කරුවන් සූරාකෑමට ලක්වීමේ සීමාව රඳා පවතින්නේ සමාගමේ අනුකම්පාව මතයි. අඩු වැටුප්, අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම්, ලිංගික හිංසනයන්, වෘත්තීය සුරක්ෂිතතා ගැටළු, සේවකයන්ට ලබාදෙන ආහාරවල ගුණාත්මකභාවය අඩුවීම වැනි ගැටළු බහුලයි. කර්මාන්තශාලාව තුළ ස්වාධීන කේවල් කිරීමේ නියෝජිතයෙක් හෙවත් වෘත්තීය සමිතියක් නැත්නම් මෙම ගැටළු කිසිවක් විසඳෙන්නෙ නැහැ.

සමාගම්වලට මූල්‍ය බලය ඇති නිසා නීතිය කඩ කරමින් දශක ගණනාවක් පුරා කෙරෙන වෘත්තීය සමිති කඩාකප්පල් කිරීම් හේතුවෙන්,  සේවකයන් වෘත්තීය සමිතිගතවීමට බියව සිටිනවා. සේවකයන් සමහරෙක් වෘත්තීය සමිති පිහිටුවීමට හෝ වඩා හොඳ සේවා තත්ත්වයන් ඉල්ලා සිටීමට සූදානම්ව සිටියත් කම්කරු දෙපාර්තමේන්තුව ද ඉක්මනින් හෝ නීතිය කඩ නොකිරීමට සමාගම්වලට බල කරන ආකාරයෙන් ක්‍රියා නොකරන නිසා ඔවුන්ගේ ඉදිරියට පැමිණීම අඩුයි. සංවිධානය වීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කරන කම්කරුවන් සඳහා නීතිමය සහන ලබා ගැනීමට සමහර විට වසර හතකට වඩා ගත වේ. කම්කරුවෙකුට මෙපමණ කාලයක් දරා සිටිය නොහැක.

නිදසුනක් වශයෙන්, වෘත්තීය සමිති පිහිටුවීම හේතුවෙන් කම්කරුවන් සේවයෙන් පහ කරනු ලැබුවහොත්, ඒ පිළිබඳව සමාගම වරදකරු වුවහොත් එම කාලය තුළ කම්කරුවන්ට නැවත සේවයට පැමිණිය හැකි වන සහන මාස තුනක් ඇතුළත ලබා ගත යුතුයි. එහෙත් අසාධාරණ කම්කරු ව්‍යවහාරයන් පිළිබඳ නඩු වසර ගණනාවක් ඇදී යනවා. ඒ හේතුවෙන් වෘත්තීය සමිති කැඩී බිඳී යනවා. මෙයින් පෙනෙන්නේ නීතිය ක්‍රියාත්මක වන්නේ එය සාදන ලද අරමුණ පරාජය කිරීමට බවයි.

එබැවින් ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා කිහිපයක අපි වෘත්තීය සමිති ලෙස සැබෑ සාමාජිකත්වයක් පවත්වා ගැනීමට වඩා සේවක අවශ්‍යතා සඳහා මැදිහත් වෙනවා. ෆැක්ටරියක් ඇතුලත් යුනියන් එකක් තියෙනවා වගේ එවැනි මැදිහත්වීම් ප්‍රබල නැහැ.

සාකච්ඡා සටහන - උපාලි ලෙව්ලියැද්ද