2023 ශ්‍රී ලංකා ආර් ථිකය ගැන අනතරු ඇඟවීමක්

2023 ශ්‍රී ලංකා ආර් ථිකය ගැන අනතරු ඇඟවීමක්

මා මෙහි කියනා කතාව. අද දිනය සහිතව ඔබේ නිවසේ නොමැකෙන ස්ථානයක ලියා තබන්න.

ශ්‍රී ලංකා ආර්ථිකයේ දැවැන්තම කඩා වැටීම, ශ්‍රී ලංකා දේශපාලනයේ අඳුරු තම පරිච්ජේදය 2023 ජූලි මාසය පමණ වනවිට ලියැවීමට නියමිත ය.

ගල් අඟුරු ප්‍රශ්නය නිසා විදුලි කප්පාදුව, විදුලි ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීම, පොලී අනුපාත සම්බන්ධව ගත් ඔලමොට්ටල තීන්දුව, සංචාරක , අධ්‍යාපන, අපනයන කර්මාන්ත, කෘෂි බෝග සැකසීම, කුඩා හා මාධ්‍යපරිමාණ කර්මාන්ත සම්බන්ධ බදු 14% සිට 30% දක්වා වැඩි කිරීම විසින් ඇඟලුම් කර්මාන්තය ද ඇතුලත්ව මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රය මුළුමනින් ම විනාශ කරනු ඇත. ලබන මාර්තු මාසය වනවිටම ඇඟලුම් නිෂ්පාදන පහළ වැටීම ප්‍රදර්ශනය වනු ඇත.

පුද්ගල අදායම් බදු සම්බන්ධව ගත් මි හරක් තීන්දුව නිසා රජයේ රෝහල් වල තබා චැනලින් සෙන්ටර් එකක්වත් ප්‍රමාණවත් වෛද්‍යවරු ඔබට මුණ නොගැසෙන තරමට වෛද්‍ය, ඉංජිනේරු, බැංකු නිලධාරීන්, සරසවි ඇදුරන් ආදී උගතුන් රට හැර යනු ඇත.

ස්ථාවර වැටුප් ලබන්නන්ට බැංකු ණය වාරික, ලිසිං වාරික, රක්ෂණ වාරික ගෙවාගත නොහැකිව පැහැර හැරීම නිසා මෙරට බැංකු හා මුල්‍ය ආයතන මෙතෙක් නොතිබූ ආණ්ඩුව විසින් නිර්මාණය කළ අරබුදයකට මුහුණ පානු ඇත.

මේ සියල්ල මැද රජය විසින් තක්සේරු කරගෙන සිටින බදු අදායමෙන් අඩක්වත් උපයාගත නොහැකිව මෙරට අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා තවදුරටත් බිද වැටෙන අතර, ආණ්ඩුවේ වැටුප් ගෙවීමට යළි මුදල් මුද්‍රණය කිරීමට සිදුවේ.

මේ සියලු විනාශයන් සිදුකොට අත් කර ගැනීමට උත්සාහ කරන ණය අර්බුදය විසඳීම අසාර්ථක වන අතර, අප සිටියාට වඩා දෙගුණකට මදක් අඩු ණය බරක් සහිත ජාතියක් වීමට නියමිත ය. ණය අර්බුදය විසඳීම අසාර්ථක වීමත් සමග රුපියල තවත් කඩා වැටීමෙන් මේ රට යළි ගොඩ නැගිය නොහැකි මට්ටමේ විනාශයකට ලබන වසරේ මැද වනවිට මේ පාලකයින් හා තකතීරු නිලධාරීන් විසින් රැගෙන යනු ඇත.

මෙතෙක් අප රට විනාශ කළ ප්‍රමාණයෙන් නොනැවතී, ලබන වසරේ ඇති වීමට නියමිත මේ අර්බුදය ඔලමොට්ටල පාලකයින් සහ ඔවුන්ට ලණු දෙන නිලධාරීන් විසින් නිර්මාණය කරනු ලබන ජාතික අපරාධය කි.

මේ සියල්ලම වැලැක්වීමට හැකියාව තිබිය දී අප මේ අර්බුදය ආරාධනා කොට වැළඳගන්නා කාලකන්ණි රටක් බව, අද දිනය සහිතව ඔබේ නිවසේ නොමැකෙන ස්ථානයක ලියා තබන්න.

| ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි,

ආර්ථික විද්‍යාව පිළබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

රුහුණු විශ්වවිද්‍යාලය