රුපියල් හැත්තෑ දාහක මාසික ආදායම සමාජ රක්ෂණයේ සීමාව විය යුතුයි

රුපියල් හැත්තෑ දාහක මාසික ආදායම සමාජ රක්ෂණයේ සීමාව විය යුතුයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ වගකීම බාර ගෙන ඒ සඳහා සමාජ රක්ෂණ වියදම් කපා දැමීම සැළසුම්කර ඇත. එහෙත් එය කෙරෙන්නේ “මෙන්න කැපුවා” යැයි කියමින් නොවේ. එය කෙරෙන්නේ වඩාත් හොඳින් දුප්පත් පිරිස් ඉලක්ක කෙරෙන ලෙස සමාජ රක්ෂණ ක්‍රියාදාමය කාර්යක්ෂමව හා පිරිසිදුව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ප්‍රතිසංවිධානය කළ යුතුයැයි කියමිනි. ආණ්ඩුව මේ කාර්ය ආරම්භකර ඇත්තේ විදුලිය ගාස්තු ඉහළ දැමීමට තීන්දු කළ අයුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලිකයින් හා සාකච්ඡා කෙරෙන අතරතුර පසුගිය අගෝස්තු මාසයේදී පමණය. ඒ වනවිට, පුද්ගලයින් මිලියන 3.2 ක් අයදුම්පත් පුරවා තිබුණි යැයි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් මාධ්‍යයට කියා තිබිණ.

මේ රටේ දැන් බොහෝ දේ තීන්දු වන්නේ ඇමති මණ්ඩලයේදී හා පාර්ලිමේන්තුවේදී නොවේ. මහ බැංකු පනත හදන්නට තීන්දු ගත්තේත්, දූෂණ විරෝධි පනත හදන්නට තීන්දු ගත්තේත් ඒවායේ අන්තර්ගතය තීන්දු කෙරෙන්නේත් ආණ්ඩු පාලනයේ යහපාලන ක්‍රියාදාමය “ශක්තිමත් කිරීමේ” නිරීක්ෂණ කටයුතු, නිර්දේශ හා ප්‍රතිසංවිධාන කෙරෙන්නේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිගමන අනුවය. ඒ වෙනුවට වෙනත් විකල්ප ගැන කතා කිරීමටද ඉඩක් නැත.

ඇත්තටම අපේ ආණ්ඩුව දැන් අයිති කාටදැයි අසන්නට සිදුව ඇති පසුබිමක “සමාජ රක්ෂණ ජාල” ප්‍රතිසංවිධනය සඳහාවන තීන්දුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීන්දු කෙරුවකි. ඔවුන්ට අනුව, විස්තීරණ අරමුදලින් ලබා දෙන ණය සඳහාවන පළමුවන කොන්දේසිය නම්, “වඩා ශක්තිමත් සමාජ රක්ෂණ ජාල සමගින් මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණ සහ වියදම් පියවා ගැනීමේ බලශක්ති මිල තීන්දු කිරීම් සමග අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සියල්ල දරාගත හැකි අයුරු දැඩි අපේක්ෂා ඇතිව ආදායම් මත සිදුකෙරෙන මූල්‍ය ස්ථාවරත්වය” වන්නේය.

ඔවුන්ගේ නිවේදන, ප්‍රකාශ වැනි සියල්ලෙහි අපේ දුප්පතුන් හා අවදානම් සහගත සමාජ ස්ථර සම්බන්ධයෙන් දක්වන අවධාරණය ඉහවහා ගොසින් තිබෙන්නකි. ලංකාවට විස්තීරණ අරමුදලේ ණය දීම ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවේදී කියුවේ, “ලාංකීය ජනතාවට විශේෂයෙන් දුප්පත් හා අවදානම් සහගත සමාජ ස්ථර වෙත අර්බුදයෙන් ඇති කෙරෙන බලපෑම ගැන අපි කණස්සල්ලෙන් සිටියෙමු” යැයි කියා ය. ඔවුන්ගේ මාණ්ඩලික සේවා වාර්තාවෙහි කියන්නේ “සමාජ රක්ෂණ ජාල තව දුරටත් ශක්තිමත්කර වඩා හොඳින් දුප්පතුන් ඉලක්ක කළ යුතුය” යැයි කියා ය.

රටක් හැටියට දළ වශයෙන් දැන් සියයට 45 ක් පමණ දුප්පතුන්ය. නාගරික දුප්පත්කම ග්‍රාමීය දුප්පත්කමට හා වැවිලිකරයේ දුප්පත්කමට වඩා වැඩිය. දුප්පත් යැයි අප කතා කරන්නේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම වැටුපක් ආදායමක් නැති රටේ ජනගහනයෙන් දෙකෙන් පංගුවකට ආසන්න පවුල් ගැන ය. ඔවුන්ගේ ආහාර වේල දිනපතා සකසා ගැනීමේ සහතිකයක් නැති අවාසනාවන්ත තත්ත්වයක් සමග අනෙක් මූලික අවශ්‍යතා කප්පාදු කෙරෙන හා අතහැර දැමෙන පසුබිමක ය. ආහාර සුරක්ෂාවක් නැති රටක ජීවිත සුරක්ෂාවක් තිබිය නොහැක.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජ රක්ෂණය

එනිසා ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් ගිවිස ගෙන ඇති අලුතින් ප්‍රතිසංස්කරණය කරන්නාවූ “සමාජ ආරක්ෂණ ජාලය” ක්‍රියාත්මක කිරීමේ පදනම හා නිර්ණායක හුදෙක් දිවි නැගුම (සමෘද්ධි), වැඩිහිටි දීමනා, ආබාධිත සහ රජරට වකුගඩු රෝගී ආධාර, ආදි රජයේ ආධාර ලබන ජනතාවට පමණක් සීමා නොවිය යුතුය. ඒවා පිරිසිදු කළ යුතු යැයි හා දුප්පතුන් ඉලක්ක කළ යුතු යැයි කීවාට ඒ කෙසේදැයි යන්න කොතැනවත් සවිස්තරව සඳහන්ව නැත.

දැනට මාධ්‍යයන්හි පළ කෙරෙන හා ප්‍රකාශවන තොරතුරු අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා මත ලෝක බැංකුව විසින් “සමාජ ආරක්ෂණ ජාලය” ස්ථාපිත කිරීම සඳහා ණය මුදලක් ආණ්ඩුවට ලබාදී ඇත. ඇතැම් ගණන් බැලීම් අනුව එමගින් එක් පවුලකට මාසිකව රුපියල් 14,000 ක් ලබා දෙනු ඇතැයි කතා ඇත. මෙම සමාජ රක්ෂණ ජාලයෙහි ප්‍රතිලාභීන් තීන්දු කිරීමේ නිර්ණායක ගැන සමාජ කතිකාවක් තිබිය යුතු වූවත් තවමත් එවැන්නක් නැත. 

මේ සම්බන්ධ ආණ්ඩුව සවිස්තරාත්මක නිල ප්‍රකාශනයක් හා තොරතුරු යාවත්කාලීන කිරීමක් නොකරන හෙයින් තැන තැන ඇති තොරතුරු අනුව, සමෘද්ධිලාභීන් ඇතුළු වෙනත් ආධාර ලබන පවුල් හා පුද්ගලයින්ට අලුතින් අයැදුම්පත් පිරවීමට දැනුම්දීම් කර ඇතැයි දැන ගැනීමට ලැබිණ. දේශපාලන බලපෑම් නිසා එම කාර්යන් සඳහා ග්‍රාමසේවා නිලධාරීන් ඉදිරිපත් නොවන බවත් එනිසා ඒ වෙනුවෙන් අයදුම් පතකට රුපියල් 300 ක මුදලක් ගෙවා ඒ කාර්ය ඉටුකර ගැනීම සඳහා වෙනත් බාහිර පුද්ගලයින් යොදවා ඇති බවත් වාර්තා වේ. ඉල්ලුම්කරුවන්ගේ තොරතුරු අන්තර්ජාල අයදුම්පතකට ඇතුළුකර එය වෙබ් අඩවියක ගබඩා කිරීම ඔවුන්ගේ කාර්ය වන්නේය. ඒ අනුව ලැබෙන්නාවූ කිවූ-ආර් කේතය ඉල්ලුම්කරුට දිය යුතුය. ඒ කාර්ය පිළිබඳව මිස, ඉන්පසු කෙරෙන තේරීම් සඳහාවන නිර්ණායක කවරේද හා එම තේරීම් කෙරෙන්නේ කවරෙකු මගින් හෝ කොතැනින්ද යන්න ඔවුන් දන්නේ නැත. එහෙත් අයදුම්පත් සඳහා ඔවුන් ලබාදුන් කිවූ-ආර් කේත මගින් අයදුම්කරුගේ තොරතුරු සතු නිරවද්‍යතාව සනාථකර ගැනීමට හැකියැයි ඔවුහු කියති.

තොරතුරු සතු නිරවද්‍යතාව සනාථකර ගැනීම හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා වන සුදුසුකම් කවරේද යන්න කතා දෙකකි. සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමේදී අවශ්‍ය වන්නේ නිර්ණායක අනුව ලබා දී ඇති තොරතුරු හා දත්ත නිවැරදිද යන්න සනාථකර ගැනීමය. එය නිර්ණායක කෙතරම් සමාජගතව ඇත්තේද යන්නත් සමග බැඳෙන්නකි. එහෙත් යහපාලනය ගැන කතා කරන, පාරදෘශ්‍යභාවය හා වගවීම අවධාරණය කරන, දූෂණය පිටු දකින බව කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආණ්ඩුව සමග කරන සියලු ගනුදෙනු අතිශය රහසිගතව කිරීමේ එකම හේතුව ප්‍රසිද්ධියේ කෙරෙන සුන්දර කතා කිසිවක් ඔවුන්ගේ කොන්දේසි සමගින්වන ප්‍රතිසංවිධාන සතු නොවීමය. “සමාජ රක්ෂණ ජාල තව දුරටත් ශක්තිමත්කර වඩා හොඳින් දුප්පතුන් ඉලක්ක කළ යුතුය” යැයි කියන්නේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව අවමයකට කපා දැමීම ය. එබැවින් ඒවා විවෘතව, සමාජ කතිකා තුල ක්‍රියාත්මක කළ නොහැකි බැව් ඔවුහු දනිති.

සහනලාභීන් තේරීම

ඔවුන්ගේ ප්‍රශ්නය එය වූවත් මේ සමාජයේ ප්‍රශ්නය වන්නේ වර්ධනයවන ආර්ථික අහේනිය හා ආහාර සුරක්ෂාවට ඇති බරපතල තර්ජනය හේතුවෙන් ජනගහනයෙන් සියයට 45 ට පමණ විශේෂ සහනාධාර අත්‍යාවශ්‍යව තිබීමය. එහෙයින් මූලික නිර්ණායකය ලෙස මෙතෙක් සමෘද්ධි සඳහාවූ පවුලේ මාසික ආදායම දැන් කිසිසේත් අදාල නොවන්නකි. එය තීන්දු විය යුත්තේ සමාජ කතිකාවක් තුල මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන වායු සමීකරණය කෙරුණු කාමරවල නොවේ.

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016-2019 “ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයට” අනුව 2019 දී කොළඹ දිස්ත්‍රික්කයේ පවුලක මාසික ආහාර වියදම පමණක් රුපියල් 27,870 ක් විය. නුවරඑළියේ එය රුපියල් 21,037 ක් විය. අඩුම වියදම දැක්වූයේ රුපියල් 17,780 ක් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ය. මොණරාගල ඊට යාන්තමින් වැඩිවූ රුපියල් 17,813 කි. මීට අමතරව ප්‍රවාහනයට, ඉන්ධන හා විදුලියට, සෞඛ්‍ය අවශ්‍යතා හා ඇඳුම් පැළඳුම් වැනි අනෙක් අවශ්‍යතා සඳහා දළ වශයෙන් රුපියල් 41,000 ක් (ජාතික අගය) තනි පවුලකට අවශ්‍ය විය. සියයට 16 ට වැඩි උද්ධමනයක් ඇතැයි පිළිගනු ලබන මේ බංකොලොත් ආර්ථිකයෙහි, අවම වියදම් ඇති බදුල්ල මොණරාගල දිස්ත්‍රික්කවල ජීවත් වීමට දැන් මාසිකව රුපියල් 52,000 ට වැඩි වියදමක් යනු ඇත. එනිසා කොළඹ, ගම්පහ, මන්නාරම, අම්පාර වැනි දිස්ත්‍රික්කද සළකන්නේ නම් සමාජ රක්ෂණ ප්‍රතිලාභ හිමි විය යුතු පවුලේ මාසික ආදායම රුපියල් 70,000 ක උපරිමය විය යුතුය. එය මාසික වැටුපද ස්වයං ආදායම් සෙවීමද යන්න අදාල නොවන වියදම් මට්ටමකි.

මේවන විට අයදුම්පත් පිරවීම හා කිවූ-ආර් කේත ලබාදීමත් ඒ අනුව ප්‍රතිලාභ ලේඛන පිරිසිදු කිරීමත් සිදු කෙරෙන හෙයින්, එතැන් සිට ඉතිරි කාර්ය ග්‍රාම සේවා නිලධාරීන්ට බාර දිය යුතුය. කිවූ-ආර් කේතය යොදාගෙන පිරිසිදු කරනු ලබන යෝජිත ප්‍රතිලාභි පවුල් ලේඛනයෙහි රුපියල් 70,000 ට අඩු මාසික ආදායම් ලබන පවුල් තෝරා ආසන්න ලේඛනය සකසා, එය ග්‍රාම සේවා වසමෙහි ප්‍රසිද්ධ කරන මෙන් සියලු ග්‍රාම සේවා නිලධාරිනට වගකීම් පැවරිය යුතුය.

යෝජිත ප්‍රතිලාභි පවුල් ලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් පසු එහි ඇතුළත් ප්‍රතිලාභීන්ගේ සුදුසු නුසුදුසුකම් වේ නම්, ඒ බැව් නිශ්චිත කෙටි කාලයක් ඇතුළත ග්‍රාම සේවා නිලධාරි මහතාට හෝ මහත්මියට දැනුම්දීමේ අයිතිය වසමේ පදිංචිකරුවන් සතු විය යුතුය. අනතුරුව එවැනි දැනුම්දීම් අනුව කෙරෙන සංශෝධන සහිත ලේඛනය ග්‍රාම සේවා නිලධාරි විසින් අදාල වසමේ පදිංචිකරුවන්ගේ රැස්වීමකදී අනුමතය සඳහා ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභීන් තේරීම විවෘත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් ලෙස සිදුවිය යුත්තකි.

ඒ වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කිරීමේ අයිතිය මේ රටේ දුප්පතුන් ලෙස දැන් ගණන් හැදෙන සියයට 45 ට පමණ ජනතාවකට ඇති හෙයින්, ප්‍රතිලාභීන් තේරීමේ අයිතිය ඉල්ලා සිටීමේ ඔවුන්ගේ ව්‍යාපාරයකට මුල පුරන්නට ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් ගැන හඬ නගන සමාජ ක්‍රියාකාරීන් ඉදිරිපත් නොවන්නේ මන්දැයි බරපතල ප්‍රශ්නයකි.

මෙය ආණ්ඩු පාලනයේදී සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජා මට්ටමින් තහවුරු කර ගැනීමේ නව සම්ප්‍රදායකට මුල පුරන්නක් බවත් එවැනි සම්ප්‍රදායන් නොමැතිව, දේශපාලකයින්ගේ අහිතකර බලපෑම් නතර කළ නොහැකි බවත් අවසන් වශයෙන් කිව යුතුය.

 Kusal perera 1

| කුසල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී හා සමාජ විශ්ලේෂක