රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ
පැවැත්වීමට නියමිතවූ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම පිළිබඳ සාකච්ඡා කරද්දී මුද්‍රණාලයාධිපතිනිය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් වැනි අය වගකීම නිවැරදිව ඉටු නොකර තම දේශපාලනික නැඹුරුතාවන් අනුව වැඩ කිරීම ගැන කතා වෙනවා. රටේ සිටින අත්දැකීම් සහිතම පරිපාලකයෙක් මෙන්ම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් ලෙස නිලධාරීන්ගේ මේ හැසිරීම ඔබ කොහොමද දකින්නේ?
ලංකාවේ රාජ්‍ය සේවය දේශපාලනික න්‍යායපත්‍රවලට අනුව වැඩකිරීම නිතර දකින්න පුළුවන් දෙයක්. මොකද විශේෂයෙන් ඔබ කිව්වා වගේ, මුද්‍රණාලයාධිපතිනිය උනත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් උනත් කවුරු උනත් බලද්දී එක්තරා විදිහක දේශපාලනික පත්වීම්. ලංකාවේ ලේකම්වරු, දිසාපතිවරු වගේ අයත් දේශපාලනික පත්වීම් කියන්න පුළුවනි එක්තරා අතකින්. ඒ නිසා මෙතන වෙන්නේ උගුරට හොරා බෙහෙත් කෑමක් තමයි.
පැවැත්වීමට නියමිත වූ මැතිවරණයේ වියදම් අයවැයෙන් පාස් වෙලා තිබුණා. එහෙම තත්ත්වයකදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ ගැන ඇමතිවරයාගෙන් අහන්න අවශ්‍යතාවක් නෑ. මොකද මුදල් බලතල යටතේ පාර්ලිමේන්තුවෙන් මුදල් බලතල ලේකම්වරයාට පවරලායි තියෙන්නේ. ලේකම්වරයා අනික් හැමදේ සඳහාම මුදල් වෙන්කරද්දීත් ඒවා ගැන ඇමතිවරයාගෙන් අහනවාද? නෑනේ. ඒ නිසා මේ ඡන්දය නොපැවැත්වීම කියන කාරණයේදී මම හිතන විදිහට ලොකුම වගකීමක් තියෙනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට. අයවැයෙනුත් මුදල් වෙන් කරලා තියෙද්දී මේ විදිහේ සුවීශේෂ දෙයක් කරන්න ඔහු කටයුතු කළා කියන්නේ හිතා මතා වගකීමක් පැහැර හැරීමක් තමයි.
යම් දේශපාලනික බලපෑමකට හෝ නැඹුරුතාවකට අනුව නිලධාරියා ස්වකීය වගකීම පැහැර හැරියත්, ඒ ක්‍රියාවන්ට විරුද්ධව ප්‍රශ්න කෙරෙන අවස්ථාවල ඔහු හෝ ඇය ඊට තනිව මුහුණ දෙන්න වෙනවා නේද?
ඔව්. තමන් සහාය පළකරන ආණ්ඩුව තියෙනකම් ඒ නිලධාරියාට හරි නිලධාරිනියට හරි රැකවරණය තියෙනවා. නමුත් ඒ ආණ්ඩුවට බලය අහිමි උන දාට ඔහුට හෝ ඇයට ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. උදාහරණයක් විදිහට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාම ගනිමු. ඔහු ඒ තනතුරට පත් වෙන්න කලින් හිටියේ පිට ආයතනයකනේ. මං දන්න තරමට ඔහු විදේශගතව ඉඳලා විශේෂයෙන් ගෙන්න ගත්ත කෙනෙක්. ඒ අනුව ඒ වගේ කෙනෙක් තමන්ගේ වගකීමට වඩා දේශපාලනික වගකීම ඉටු කරන එක සමාන්‍යයි. එහෙම කෙනෙක්ට පවත්නා ආණ්ඩුව යටතේ රැකවරණය තියෙනවා. හැබැයි වෙන ආණ්ඩුවක් එද්දී ඔහු රටේ නොඉන්නත් පුළුවන්.
මේ වන විට රාජ්‍ය ආයතන හා රාජ්‍ය සේවකයා සම්බන්ධයෙන් රටේ වැඩිපුරම සාකච්ඡා වන කාරණය පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම. මේ ගැන ඔබේ අදහස මොකද්ද?
ලාභ ලැබීමේ හැකියාව තියෙන හැම රාජ්‍ය ආයතනයක්ම ලාභ ඉපැයිය යුතුයි කියන එකයි මගේ අදහස. මම බටහිර රටවල් කීපයකම ජීවත් වෙලා තියෙනවා. එහිදී මම දැක්ක දෙයක් තමයි, එහෙ තියෙන ගොඩක් රාජ්‍ය ආයතන ලාභ ලබන ඒවා වීම. ඒ වගේම ඒවා විශිෂ්ට මහජන සේවයකුත් සපයනවා. උදාහරණයක් විදිහට කැනඩාව ගත්තොත්, කැනඩාවේ තැපෑල ලාබෙට දුවන්නේ, රක්ෂණය ලාබෙට දුවන්නේ, ටෙලිකමියුනිකේෂන් ලාබෙට දුවන්නේ. පෞද්ගලික දුරකථන සේවා ආයතන තිබුණත් රජය යටතේ තියෙන ඒවාත් එහෙමම තමයි.
ඒ නිසා, මං හිතන විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල වගේ හුදු මහජන සේවය සඳහා වෙන්වුණු ආයතන හැර අපේ පවතින සියලුම රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන මට්ටමක තියෙන්න අවශ්‍යයි. ඒ වගේම ලංකාවේ තියෙන ඒ ආයතන ලාභ ඇති මට්ටමට පවත්වාගන්න අපහසුත් නෑ මම කල්පනා කරන විදිහට.
ඔබ කල්පනා කරන විදිහට එහෙමනම් ඒ ආයතන ඒ මට්ටමින් කඩා වැටීමට හේතු වෙන්නේ මොනවාද?
මූලික වශයෙන් කළමනාකරුවන්ගේ ගැටලුව. මේ වගේ ආයතනවල පාලකයින් හැටියට අපේ රටේ බොහෝ විට පත් කරන්නේ පවත්නා ආණ්ඩුවල හිතවාදීන් මිස ඒ සඳහා නිසි සුදුසුකම් හා අත්දැකීම් ඇති අය නෙවෙයි.
වෙන එකක් අවශ්‍ය නෑ ශ්‍රී ලංකා ටෙලිකොම් ගනිමුකෝ. ඒක මංගල සමරවීර මහත්තයා යටතේ යම් කිසි ප්‍රමාණයකට ප්‍රතිව්‍යුහගතවීමක් වුණා. ඒ නිසා තමයි ටෙලිකොම් ලිමිටඩ් කියලා ආවේ. ඒ අනුව කොටස් නිකුතුවක් කරලා රජයට සීයට හතළිස් නවයක විතර කොටස් තියාගෙන අනික්වා බෙදා දුන්නා. ඒ අනුව මේ ආයතනය කිසියම් දුරකට ලාභදායීව පවතිනවා. නමුත් රජය එහෙම තියෙද්දිත් ඒ වගේ ආයතනවල කළමනාකරණය සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. එහි සභාපති වගේ තනතුරු පත් කරන්නේ මේ කටයුත්ත නිසා. අපිට මතකයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ටෙලිකොම් සභාපති ලෙස තමන්ගේ සහෝදරයාව පත් කරනවා. ඔහුට යම්කිසි දැන උගත්කමක් තියෙන්න පුළුවන්. නමුත් මෙහෙම ආයතනවල කළමනාකරුවන් පත් කරන ක්‍රමය ඒක නෙමෙයි.
වෙන රටවල මේ කටයුත්ත වෙන්නේ එහෙම නෙමෙයි. එංගලන්තේ ඉන්න කාලේ මම හැදෑරුවා මාගරට් තැචර් ගැන පාඨමාලාවක්. ඒ අනුව දැනගන්න පුළුවන් වුණා මාගරට් තැචර් තම රටේ මෙහෙම ආයතනවල ඉහළ තනතුරුවලට කළමනාකරුවන් පත්කළ ආකාරය.
මාගරට් තැචර් බලයට එන විට ඒ රටේ දුම්රිය, තැපෑල වගේ හැම ආයතනයක්ම තිබුණේ යම් කිසි දුරකට අගාධයට ගිහින්. ඉතින් තැචර් ආපු ගමන් කළේ කළමනාකරුවන් විධිමත්ව වෙනස් කළ එක. එතනදී තැචර් දේශපාලන හිතවන්තකම්වත් ඒ ඒ ආයතනයේ ජ්‍යෙෂ්ඨත්වයවත් නෙමෙයි බැලුවේ. ඇය කළේ කළමනාකරණය විවෘත කළ එක. ඒ අනුව රජයේ සේවකයින්ටම ඉල්ලුම් කරන්න පුළුවන්කම තිබුණා ඒ ආයතනය තමන් දියුණු කරන ආකාරය පිළිබඳ විධිමත් සැලසුමක් සමග. ඒ අනුව හොඳම සැලැස්ම ඉදිරිපත් කළ නිලධාරියාට ඒ ආයතනයේ කළමනාකාරිත්වය දුන්නා ඇය විසින්.
ඒ අනුව උදාහරණයක් හැටියට කළමනාකරුවා තෝරගන්නේ ටෙලිකොම්වලට හරි දුම්රියට හරි කියලා හිතමු. ඔහුගේ සැලසුම් බලනවා විතරක් නෙමෙයි ඔහුට යම් ඉලක්කෙකුත් දෙනවා. මේ මේ නිර්ණායක මත මේ මේ සේවාවන් වැඩි දියුණු වෙන්න ඕන, මේ මේ ලාභ කොටස් වැඩිදියුණු වෙන්න ඕන කියලා. මේ අවුරුද්ද වෙද්දී ආයතනය ඔයා මෙතෙන්ට ගේන්න අවශ්‍යයි කියලා කළමනාකරණ නිර්ණායක හෙවත් ඉලක්ක දෙන්න අවශ්‍යයි. එහෙම තෝරලා ඔහු තනතුරට පත් වුණාම ඔහුගේ ධුර කාලය අවසන් වන තුරු රජය අහක බලන් ඉන්නෙත් නෑ. කාර්තුවලට අනුව හෝ වාර්ෂිකව අධීක්ෂණය කිරීමක් කරනවා අදාල කළමනාකරුවා ආයතනය ඉලක්ක දිහාට තල්ලු කරන් යනවාද කියලාත්.
නමුත් අපේ රටේ කළමනාකරුවන් තෝරගන්න ක්‍රමය ගොඩක් සාම්ප්‍රදායිකයි. පරිපාලන සේවයෙන් තෝරගත්තත්, ඉංජිනේරු සේවයෙන් තෝරගත්තත් එක්කෝ තෝරගන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත. නැතිනම් දේශපාලනය මත. එහෙම තෝරගත්තාම අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ. ඒ නිසා අපි මුලින්ම කරන්න අවශ්‍ය කිසියම් තරගකාරීත්වයකින් යුතුව රජයේ සේවයෙන් හෝ පිටින් හෝ කළමනාකාරීත්වය තෝරාගැනීම. ඊට පස්සේ පහුගිය අවුරුද්දේ ආයතනය අලාභ නම් මේ අවුරුද්දේ අදාල කළමනාකරුවා ඒ අලාභය කොච්චර දුරට අඩු කළාද, ඊළඟ අවුරුද්දේ ඒක ලාභයක් කරා ගෙනාවාද කියලා නිතර අධීක්ෂණය කරන්න ඕනෑ. හැබැයි එහෙම කියලා කළමනාකරුවාට කළමනාකරණ තීන්දු ගන්න නිදහස රජය නැති කරන බෑ.
අනික් කරුණ තමයි අපි මේ ආයතන දියුණු කරනවානම් අනවශ්‍ය විදිහට ඒවාට සේවකයින් පුරවන එක රජය නවත්වන්න ඕනෑ. දැන් අපේ රටේ පාඩු ලබන ආයතනවලට මූලිකම හේතුවක් වෙන්නේ අනවශ්‍ය පරිදි සේවකයින් වැඩි කිරීම. මට මතකයි ඉස්සර පොදු පහසුකම් මණ්ඩලය කියන ආයතනයේ සේවකයින් හයදහස් ගාණක් හිටියා. නමුත් පසුකාලීනව ඒ සේවක සංඛ්‍යාව එකසිය හැත්තෑ ගාණකට අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සේවක ප්‍රමාණයෙන් මේ ආයතනය ගෙනියන්න පුළුවන්නේ.
මේ ආයතන පාඩු ලබන නිසා ප්‍රතිව්‍යුහගත කළාම පුද්ගලික අංශය කරන්නෙත් ඔය මම කියපු, නිවැරදි කළමනාකරුවන් පත් කිරීම, ඔහුට විධිමත් වගකීමක් ලබාදීම, ඔහුට නිදහස දීම, ඔහුගේ කාර්යසාධනය ඇගයීම සහ අතිරික්ත සේවකයින් ඉවත් කිරීම වගේ දේවල්ම තමයි. ඒ නිසා ඒ ආයතන ලාභ ලබන තත්ත්වයට පත් වෙන්න ඒවා ප්‍රතිව්‍යුහගත කරන්නම ඕන නෑ. රජය යටතේත් ඒවා කරන්න පුළුවනි.
නමුත් ඇතැම් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රටේ ජනතාවගේද යම් කිසි කැමැත්තක් තියෙන බව පේනවා?
ඒක ඇත්ත. මොකද ලාභ ලබන්න පුළුවන්කම තිබියදී ජනතාවට බරක් වෙමින්, හරි සේවයක්වත් ලබා නොදෙමින් දිගින් දිගට කටයුතු කරන ඇතැම් ආයතන ගැන ජනතාවට ඒ අයුරින් හිතෙන එක පුදුමයක් නෙමෙයි.
අනික් කරුණ තමයි වෘත්තීය සමිති. රජයේ ආයතන පාඩු ලබන එකට දේශපාලනික තීන්දු තීරණ බලපාලා තියෙනවා වගේම වෘත්තීය සමිතිත් බලපාලා තියෙනවා. දැන් හිතන්නකෝ යම් ආයතනයක කළමනාකරණයට අපි කළින් කතා කළා වගේ, සුදුසුකම් නැති මනුස්සයෙක් දැම්මා කියලා. ඊට විරුද්ධව කොයි වෘත්තීය සමිතියද කතා කරන්නේ. ඒ අය එහෙම දේවලට කතා කරන්නේ නෑ.
ඒ වගේම ආණ්ඩුවලින් එක සේවකයෙක් අවශ්‍ය තැනට සේවකයින් විස්සක් විතර දාද්දී වෘත්තීය සමිති ඒවාට විරුද්ධ වෙනවාද? කවදාවත් එහෙම කරන්නෙ නෑ ඒ අය. ඔවුන් ඒකට කැමතියි. මොකද ඒ අයට ඕන ඒ අයත් තමන්ගේ වෘත්තී සමිතියට බඳවාගෙන සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකරගන්න.
මේ විදිහට ආයතන පාඩු ලබද්දී, ඊට හේතුවන කාරණාවලට විරුද්ධව කටයුතු කරනවා වෙනුවට වෘත්තීය සමිති කරන්නේ ආයතනය පාඩු ලබද්දීත් පඩි වැඩිකරපන්, ඕටී වැඩි කරපන්, දීමනා දීපන් වගේ දේවල් කිය කිය ආයතනය තවත් පහළට ඇදලා දාන එක. මේ අය කිසි දවසක උත්සාහ කරන්නේ නෑ ආයතනය ලාභ ලබන තැනකට ගෙනත් ඒ මගින් සේවකයාගේ වරප්‍රසාද තවදුරටත් දියුණු කරගන්න.
මම කියන්නේ, ලංකාවේ වෘත්තීය සමිතිවලට අලුත් චින්තනයක් අවශ්‍යයි කියලා. බටහිර රටවල පවා වෘත්තීය සමිති තියෙනවා. ඒ අය සාම්ප්‍රදායික ඉල්ලීම් ඉල්ලීමේ ක්‍රමයෙන් ඔබ්බට වෘත්තීය සමිති චින්තනය රැගෙන ගියා. විශේෂයෙන් මාගරට් තැචර් වැනි නායකයින් වෘත්තීය සමිති ඒ තත්ත්වයට ගෙනාවා. සේවකයින්ට දීමනා දීම හෝ වැඩි වරප්‍රසාද දෙන්න පුළුවන් වෙන්නේ මේ ආයතන ලාභ ලැබුවොත් විතරයි, මෙච්චර ලාභ ලබන්න ඒ අනුව ඔබලාට ඉන් කොටසක් දෙන්නම් කියලා ඇය වෘත්තීය සමිතිවලට කීවා. ලාභ තව වැඩි කරගන්න වැඩිකරගන්න තව දුරටත් බෝනස් දෙන්න ඇය පොරොන්දු වුණා.
සේවකයින් රැකියාවෙන් ඉවත් කිරීම වගේ දේවල් සේවක අයිතිවාසිකම් අතින් ගත්තාමත් සාමාජීය අතින් ගත්තාමත් විශාල ගැටලුසහගත දෙයක් නේද?
මම කැනඩාවේ ඉඳපු නිසා දන්නවා එහෙ ආයතනවලට අනවශ්‍ය පරිදි සේවකයින් බඳවාගන්නේ නෑ වගේම, යම් ආයතනයක් පාඩු ලබනවානම් ඒ ආයතනයට පුළුවන් සේවකයින් එළියට දාන්නත්. ඒකට විසඳුමක් ලෙස සේවකයින්ගේ පැත්තෙන් තියෙනවා රැකියා රක්ෂණයක්. ඒ අනුව යම් සේවකයෙක් රැකියාවෙන් ඉවත් කළොත් ඊළඟ රස්සාව හම්බවෙන තුරු ඔහුට හෝ ඇයට රක්ෂණයෙන් ගෙවනවා.
ඒ නිසා ඒ රටවල කම්කරු නීතියේම තියෙනවා යම් ආයතනයකට සේවකයින් අනවශ්‍යයිනම්, ඒ ආයතනය පාඩු ලබනවානම් සේවකයින් අයින් කරන්න පුළුවන් නීතියක්. නමුත් අපේ කම්කරු නීතියේ එහෙම නෑ. ඒ නිසා අපි පාඩු ලැබුවත් සේවකයින් තියාගන්නවා. පාඩු ලැබුවත් අතිකාල දෙනවා. පාඩු ලැබුවත් බෝනස් දෙනවා වෘත්තීය සමිතිවල බලපෑම් නිසා. දැන් බලන්නකෝ අපේ රජයේ මාධ්‍ය ආයතනයකයි පෞද්ගලික මාධ්‍ය ආයතනයකයි ඉන්න සේවක සංඛ්‍යාවේ පරතරය. බොහෝ විට පෞද්ගලික ආයතන ලාභ ලබමින්, අර සීමිත සේවක සංඛ්‍යාවෙන්ම තම කාර්යයත් රජයේ මාධ්‍ය ආයතනයට වඩා හොඳට කරනවා. ඒ නිසා ලාභ ලැබුවොත් තමයි ආයතන පවත්වන් යන්න පුළුවන් තව තව ලාභ ලැබුවොත් තමයි සේවකයින්ට බෝනස් ඇතුළු වරප්‍රසාද දෙන්න පුළුවන් කියන තැනට අපේ වෘත්තීය සමිතිත් මිනිස්සුන්ගේ මනසත් හැඩ ගස්සන්න ඕනෑ.
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර (අනිද්දා)