වොෂිංටනයේ සිට කොළඹ දක්වා උදව්වට එන හැමෝම “ඩීල් පප්පො”

වොෂිංටනයේ සිට කොළඹ දක්වා උදව්වට එන හැමෝම “ඩීල් පප්පො”

එවකට ප්‍රංශ ජනාධිපති නිකොලොස් සර්කෝසිගේ ව්‍යාපාරික හිතවතෙකුට යූරෝ මිලියන 400 ක වන්දි මුදලක් ගෙවීම අනුමත කිරීම සම්බන්ධයෙන් සර්කෝසි ආණ්ඩුවේ මුදල් ඇමතිනිය වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් නොසැළකිලිමත් තීන්දුවකට වගකිව යුතුයැයි  2016 දෙසැම්බර 16 වන දින ප්‍රංශයේ විශේෂ අධිකරණයක් වන “සමූහාණ්ඩුවේ සාධාරණත්වය සඳහාවන අධිකරණය” විසින් තීන්දු කළේය. එම තීන්දුව මතභේදාත්මක තීන්දුවක් වූයේ, ඇයගේ තනතුර නිසා නොවේ. එකී විශේෂ අධිකරණයට ඇයව යුරෝ 13,000 ක දඩයක් සමග වසරක සිර දඬුවමකට යටත් කළ හැකිව තිබියදී, එසේ නොකර ඇයව නිදහස් කිරීම හේතුවෙනි. එසේ ඇය නිදහස් කිරීම සාධාරණය කෙරුණේ ඇයට පෙර සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාවූ ඩොමිනික් ස්ට්‍රවුස්-කාන් 2011 දී බරපතල ලිංගික අතවර චෝදනාවක් හමුවේ ඉල්ලා අස්වූ හෙයින් ඒ ආසන්නයේ ඇයව වරදකරු කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නායකත්ව අර්බුදයකට එය හේතුවිය හැකි යැයි කෙරුණු අනුමානය සමගය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊට පෙර සිටි තවත් ප්‍රධානියෙකුවන රොඩ්රිගො රාටෝ ස්පාඤ්ඤ බැංකුවක ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අවධියේ එහි අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුවක ඔහු ප්‍රධාන චූදිතයෙකු විය. (බ්රිතාන්‍යයේ “ඉන්ඩිපෙන්ඩන්ට්”සහ “බීබීසි” පුවත් ඇසුරෙනි).

රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගත කිරීම

මහ භාණ්ඩාගාරයෙන් මාධ්‍යයට ලබා දුන් තොරතුරු අනුව, එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත්ව “ප්‍රතිව්‍යුහගත කිරීමට” නියමිත රාජ්‍ය ව්‍යාපාර 430 ක් පමණ ඇත. ඒවායෙන් ඉකුත් අවුරුද්දේ වැඩියෙන්ම ණය වුනු රාජ්‍ය ව්‍යාපාර 22 ට අයත් වූ ව්‍යාපාර අතර ඉහළින්ම සඳහන්ව තිබූයේ ඛනිජ තෙල් සහ විදුලිබල සංස්ථාවන් ය. ජල සම්පාදන මණ්ඩලයත් ඒවාට අමතරව තිබිණ. මෙම ප්‍රතිව්‍යුහගත කිරීමට මෙතෙක් ලාභ ලැබූ බහුතර කොටස් රජයට හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි පෞද්ගලික ව්‍යාපාරද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි රාජ්‍ය ව්‍යාපාරද ඇතුළත්ව තිබේ.

මේ “ප්‍රතිව්‍යුහගත කිරීම” මගින් ඩොලර බිලියන 04.5 ක ආදායමක් ආණ්ඩුව අපේක්ෂා කරන බවට ප්‍රවෘත්ති තිබිණ. වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රතිව්‍යුහගත කිරීම යැයි කියන්නේ කුමකටදැයි ඉන් පැහැදිලිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ඇතිව ඔවුන් “විකුණා දැමීමට” ප්‍රතිව්‍යුහගත කිරීම යැයි අලුත් අර්ථයක් ලබා දී ඇත.

ආණ්ඩුවේ එම තීන්දුව ඉකුත් මාර්තු 23 වන දින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් අමතා ජනාධිපති වික්‍රමසිංහ නැගූ තර්කයෙන් සනාථ වන්නේය. පාඩු ලබන ආයතන වලට අමතරව, ලාභ ලබන ආයතනත් අලෙවි කරන්නේ මන්දැයි මාධ්‍යවේදිනියක් එදින නැගූ ප්‍රශ්නයට ඉතා දැඩි ස්වරයෙන් ජනාධිපති වික්‍රමසිංහ පිළිතුරු දුන්නේ “රජය බිස්නස් කරන්නේ මොනවටද?.... මොන රටේද ඒවට නීති තියෙන්නේ? ඉන්දියාව ලාභ ලබන ගුවන් තොටුපළවල් පවා විකුණනවා. අපි පාඩු ලබන ඛනිජ තෙල් සහ විදුලිබල මණ්ඩලයට අධ්‍යාපනයට වඩා ගෙවලා තියෙනවා..... එංගලන්තයේ ටෙලිකොම් අයිති කාටද? ප්‍රංශයේ කාටද? ඇමෙරිකාවේ?........එහෙමයි අපි දියුණු වෙන්න ඕනෙ. එහෙම නැත්තං....උතුරු කොරියාව වගේ වැටෙන්න වෙයි” කියා ය.

ආරම්භයේදීම කිව යුත්තේ රජයෙන් කළ යුත්තේ “බිස්නස්” නොවන බවය. රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ ගැටුම හදා ගන්නේම ඒවා පෞද්ගලික ව්‍යාපාර මෙන් අනිවාර්යෙන් ලාභ ලැබිය යුතු “බිස්නස්” ව්‍යාපාර යැයි තීන්දු කිරීමෙනි. රජය විසින් පවත්වා ගන්නේ සමාජයට අනිවාර්යවන අත්‍යාවශ්‍ය සේවාවන් ය. දූෂණ වංචා වලින් තොරව සැපයෙන සේවා වෙනුවෙන් යම් බදු මුදලක් වෙන් කිරීමට ආණ්ඩුවට සිදුවන්නේ නම්, එය කළ යුතුය. එවැනි ආයතන විසින් සැපයෙන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස සැළකීමේදී ඒවායේ ලාභ-පාඩු ගණන් හැදිය යුත්තේ පෞද්ගලික ව්‍යාපාරවල ගණන් හැදීමේ ක්‍රමයට නොවේ. එවැනි රාජ්‍ය ව්‍යාපාර වෙතින් සමාජයට ලැබෙන සේවා ප්‍රතිලාභ සඳහාද වටිනාකමක් ලබා දීම සමගින්ය.

බලශක්ති, පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික වශයෙන් රජය විසින් සුභසාධන සේවා ලෙස පවත්වා ගත යුතු සේවාවන්ය. ආණ්ඩුවක අසම්මුතික වගකීම වන්නේ, ඒවා සාමාන්‍ය ජනතාවට පහසුවෙන් ලබාගත හැකි මිලකට, කාර්යක්ෂම හා හොඳ ප්‍රමිතියකින් ලබා දීමය. එවැන්නක අවශ්‍යතාව ඇත්තේ පලදායි නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වා ගත හැකි සමාජයක් සඳහාය. රටේ නිෂ්පාදන වියදම ගෝලීය වෙළඳපලෙහි තරගකාරීව පවත්වා ගැනීම සඳහාත් ය. අත්‍යාවශ්‍ය සේවා ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට විකිණීමෙන් ජනතාවට ඔරොත්තු දිය හැකි මිලකට හා ගෝලීය වශයෙන් තරගකාරී නිෂ්පාදන වියදමක් පවත්වා ගැනීමේ සහතිකයක් ලැබෙන්නේ නැත.

අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමේදී ඒවායෙන් සමාජයට හා ජාතික නිෂ්පාදනය සඳහා ලැබෙන දායකත්වය ගණන් නොබැලීම, ඉතා වැරදි ප්‍රවේශයකි. නිදසුනක් ලෙස කිවහොත්, විදුලිබල මණ්ඩලයේ සියලු දූෂණ, වංචා සහ නාස්තිය ගණන් නොබලා, එම දූෂණ වංචා, නාස්තිය පිටු දැකීමේ කිසිදු පියවරක් නොගෙන, සමස්ථ පාඩුව රුපියල් ශත වලින් පියවා ගැනීමට ඉකුත් අගෝස්තුවෙහි සියයට 60 ට වැඩි ප්‍රමාණයකින් සහ ජනවාරියේ තවත් සියයට 70 කින් විදුලිය ගාස්තු වැඩි කිරීම, පිරිසිදු රාජ්‍ය ආයතනයක සේවාව වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම හා සැසඳිය නොහැකි බරපතල පාපයකි. විදුලිබල මණ්ඩලයේ පාඩු වෙනුවෙන් ගාස්තු වැඩිකර අපනයන නිෂ්පාදන වියදම් අසීමිතව ඉහළ දැමීම නිසා බංගලාදේශය, වියට්නාමය වැනි රටවල නිෂ්පාදන වියදම් හා අපට තරග වදින්නට දැන් අසීරුය. ඉන්ධන ගාස්තුද ඒ සමග වැඩි කිරීමෙන් නිෂ්පාදන වියදම් තවත් වටයකින් ඉහළ ගියේය. වැදගත් ආයෝජකයින්ගේ පැමිණීම නිෂ්පාදන වියදම මත තීන්දු වන බැව් කාටත් අමතකව ඇත.

රාජ්‍ය ආයතන දූෂීත වූයේ කොහොමද ?

රාජ්‍ය ආයතන දූෂිත, නාස්තිකාර තත්ත්වයකට පත් වන්නේ ඒවා හුදෙක් රාජ්‍ය අයිතියට සීමාවන නිසා නොවන බැව් මාධ්‍ය විසින් සාකච්ඡාවට තැබිය යුත්තකි. රාජ්‍ය ආයතන පිහිටවූ දින සිට දසක ගණනාවක්ම ඒවා පාලනය කර ඇත්තේ විෂය භාර ඇමතිවරයාගේ අභිමතය මත මිස, ඒවායේ පැවතිය යුතු දූෂණයෙන් තොර කාර්යක්ෂම කලමනාකරණය සහ සැළසුම් කිරීම් සමග නොවේ. එනිසා උත්තරය ඇත්තේ ඒවා විකුණා දැමීමෙහි නොවේ. උත්තරය ඇත්තේ ඒවා දූෂිත දේශපාලන බලපෑමෙන් ගලවා නිවැරදි සැළසුම් හා කලමනාකරණයක් සමග යළි තහවුරු කිරීමෙහිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කලමනාකරණ ප්‍රතිසංවිධානයකි. එය මේ දේශපාලනයෙහි කවර පක්ෂයක හෝ ඇමතිවරයෙකු යටතේ කමිටු හැදීමෙන් කළ හැක්කක් හෝ කළ යුත්තක් නොවේ. එය කළ යුත්තේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට වග කියන්නාවූ ස්වාධීන කොමිසමකින් ආරම්භ කරන විවෘත සමාජ සාකච්ඡාවක් හරහා ය.

ඉහතින් සඳහන් කෙරුණු මාර්තු 23 වන දින මාධ්‍ය හමුවේදී ජනාධිපති වික්‍රමසිංහ මාධ්‍යවේදිනියට දෙනු ලැබූ පිළිතුර නූතන ලෝකයේ “යථාර්ථයට” සම්බන්ධයක් නැති අසම්පූර්ණ පිළිතුරක් වන්නේ එනිසාවෙනි. වත්මන් යුරෝපයේ රාජ්‍ය ආයතන සඳහාවන අලුත් නැඹුරුවක් දැන් ඇත. “නැගී එන යුරෝපයේ රාජ්‍ය ව්‍යාපාර - හොඳ, නරක සහ අවලස්සණ” නමැති 2017 වසරේ ජා.මූ.අරමුදලේ කාර්යසාධන පත්‍රිකාවෙහි (WP/17/221) සඳහන් අයුරු සියලු ක්ෂේත්‍ර ගත් විට, රාජ්‍ය ව්‍යාපාර සතු ආර්ථික පලදාව සියයට 01 සිට 12 දක්වා වන අතර, සමස්ථ රැකියා සංඛ්‍යාව සියයට 0.5 සිට 08 දක්වා වන්නේය. රාජ්‍ය ව්‍යාපාරවල වැඩිම ආර්ථික දායකත්වයක් ඇත්තේ ස්වීඩනයේ, පෝලන්තයේ හා ස්ලෝවේනියාවේ වන අතර, වැඩිම රැකියා සැපයුම ඇත්තේ ස්වීඩනයේ, බල්ගේරියාවේ හා ස්ලෝවේනියාවෙහිය. බලශක්ති ක්ෂේත්‍රය ගත්විට බල්ගේරියාවේ, පෝලන්තයේ, හංගේරියාවේ සහ ස්ලෝවේනියාවෙහි රාජ්‍ය ව්‍යාපාර සියයට 60 ට වැඩි උත්පාදනයක් ලබා දෙති.

බලශක්තිය රජයෙන් ගැලවීම

යුරෝපීය රටවල අලුතින් වර්ධනයවන රාජ්‍යවාදී ව්‍යාපාර සමග දැකිය හැක්කේ වෙළඳපල තීන්දු කිරීමේ හැකියාව තමන් අත රඳවා ගනිමින් ඔවුන් පෞද්ගලික සමාගම් කිහිපයකටද ඉඩ තබන බවය. බලශක්ති ක්ෂේත්‍රයෙහි සියයට 60 ක දායකත්වය රජයේ ආයතන මගින් යැයි කීමේ අරුත එය ය.

ඒ සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු කාරණාව වන්නේ ඒවායේ දේශපාලන සංස්කෘතිය සහ සමාජ අවබෝධය හා සම්ප්‍රදායන් විසින් පිරිසිදු, කාර්යක්ෂම රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගැනීමට ඉඩ තබා ඇත යන්න ය. ජනාධිපති වික්‍රමසිංහ එදින මාධ්‍ය හමුවේ කියූ මෝඩි ආණ්ඩුවේ ගුවන් තොටුපල අලෙවිය එවැනි පිරිසිදු ප්‍රතිපත්තිමය අලෙවියක් නොවේ. ජනාධිපති වික්‍රමසිංහ නොකීවත් එය අන්ත දූෂිත ගනුදෙනුවක් බව සමස්ථ ඉන්දියාවම දන්නා කරුණකි. ගුවන්තොටුපල කලමනාකරණය පිළිබඳ පූර්ව අත්දැකීම් අවශ්‍ය නොවන බවත් ඕනෑම සංඛ්‍යාවක් එක් ඉල්ලුම්කරුවකුට ලබාදිය හැකි බවත් මෝඩි ආණ්ඩුව පත්කළ විශේෂ කමිටුව තීන්දු කරනු ලැබුවේ ගුජරාත් සමයේ සිට මෝඩිගේ හවුල්කරුවකුවන අඩානිට පළමු ගුවන්තොටුපල 07 න් 06 ක්ම ලබා දීමට බව විවෘත කතාවකි.

අපේ “ප්‍රතිව්‍යුහගත කිරීමද” ඊට වෙනස් විය නොහැක. ඒවා රාජ්‍ය අයිතියෙන් ඉවත්කර පෞද්ගලික අයිතියට දෙනු ලබන්නේ ජාවාරම්කාර දූෂිත ව්‍යාපාරික ලෝකයකට ය. මේ වනවිට බල ශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කංචන විජේසේකර ඇමතිවරයාගේ සහායට පැමිණ ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය ආයතනයක් වන “යූඑස්ඒඩ්” ආයතනය ය. කොළඹ බොහෝ රාජ්‍ය ආයතන හා දේශපාලන නායකයින් සමග ඇමෙරිකානු තානාපතිනිය තබා ගන්නා ඉතා සමීප ගනුදෙනු අනුව ආණ්ඩුවේ තීන්දු තීරණ වලට ඔවුන්ගේ අත පෙවීම් නැතැයි සිතීමත් අසීරුය. ඇමති විජේසේකරගේ නිල “ට්විට” පණිවුඩයකට අනුව ඔහු ඇමෙරිකානු ආයතනයේ නියෝජිත කණ්ඩායම සමග බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි සැළසුම් ගැන සාකච්ඡා සති 08 ක් ඇතුළත සම්පූර්ණ කිරීමට නියමිතය.

ඒ අතරතුර, මහ භාණ්ඩාගාරයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් රාජ්‍ය ව්‍යාපාර 04 ක් අන්සතු කිරීමේ උපදේශන කාර්ය වෙනුවෙන් පෞද්ගලික ආයතන ගණනාවක් තෝරා ගෙන ඇතැයි වාර්තා විය. ඒවායෙන් සමහර ආයතන අතිශය දූෂිත ආයතන ලෙස ප්‍රකටය. ඉන් එක් ආයතනයක් වන “ප්‍රයිස් වෝටහවුස් කූප” සමාගමට එරෙහිව නව දිල්ලි මහ අධිකරණයේ හිටපු අග විනිසුරු ඒ.පි ශාහ් විසින් 2017 ජූලියේදී අගමැති මෝඩිට යොමු කළ ලිපියෙන් ඔවුන්ගේ අවංකත්වය ප්‍රශ්න කර ඇත. අග විනිසුරු ශාහ් එහි සඳහන්කර ඇත්තේ වෝටහවුස් කූප ශාඛා සමාගම් විසින් සිදුකර ඇති නීති විරෝධි කටයුතු මගින් ප්‍රදර්ශනය කෙරෙන්නේ මහා අයිස් කන්දක මුදුන පමණක් වන හෙයින් ඒවා පරීක්ෂා නෙකෙරෙන්නේ නම්, ඉදිරියේදී සමාජයටත් ජාතික ආරක්ෂාවටත් ඉමහත් තර්ජනයක් විය හැකි බවය. එවගේම එම වසරේ මාර්තුවේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කිරිට් සොමායියා ට්විට පණිවුඩයකින් කියා තිබුණේ “ග්ලෝබල් ට්‍රස්ට් බැංකුවේ” මහා වංචා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඒකාබද්ධ කමිටුව මගින් වෝටහවුස් කූප සමාගමට එරෙහිව දැඩි දඬුවම් නිර්දේශ කර ඇති බවය. ඒ ඔවුන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා අතුරින් දෙක තුනක් පමණි.

විගණනය

එළෙස තෝරාගනු ලැබ ඇති තවත් සමාගමක් වන්නේ බ්රිතාන්‍යයේ යෝධ විගණන සමාගමක් වන “ඩෙලොයිට්” සමාගම ය. ඔවුන්ට එරෙහිව “ගෝ-අහෙඩ්” ප්‍රවාහන සමාගමේ 2016 සිට 2021 දක්වාවන වාර්ෂික ගිණුම් විගණනය කිරීමේ කටයුතු සම්බන්ධ පරීක්ෂණ ආරම්භකර ඇතැයි “මූල්‍ය වාර්තා මණ්ඩලය” මාධ්‍යයට පවසා ඇත. එකී ප්‍රවාහන සමාගම  විසින් රජයට බැර කළ යුතු බ්රිතාන්‍ය පවුම් මිලියන 80 ක මහජන මුදල් වසර 04 ක් පුරා වසන්කර තබා ගැනීම ඊට හේතුවය. ඊට අමතරව “සිග්” ගොඩනැගිලි ද්‍රව්‍ය සමාගමේ වාර්ෂික විගණන වාර්තා සම්බන්ධයෙන්ද ඩෙලොයිට් සමාගමට බ්රිතාන්‍ය පවුම් ලක්ෂ 09 ක දඩයක් “මූල්‍ය වාර්තා මණ්ඩලය” විසින් ඉකුත් දෙසැම්බරයේදී නියම කරනු ලැබ තිබේ.

වැදගත් වන්නේ ඔවුන්ගේ දූෂණ පමණක් නොවේ. දූෂණය පිටුදැකීමේ නීති හා සැළසුම් සකස් කිරීමේ වගකීම බාර ගන්නා ජා.මූ.අරමුදලේ හැදියාවය. ජා.මූ.අරමුදලේ වත්මන් ප්‍රධානී ක්‍රිස්ටලීනා ජ්‍යෝජීවා 2018 වන විට ලෝක බැංකුවේ ප්‍රධාන විධායිකාව වූවාය. ලෝක බැංකුව “ව්‍යාපාර කිරීම - 2018” වාර්තාව සකසන විට, එම වාර්තාවෙහි චීනයේ ස්ථානය ඉහළ දැමීම වෙනුවෙන් දත්ත සකස්කරන ලෙස අදාල නිලධාරීන් කිහිප දෙනාට ඇය අනවශ්‍ය බලපෑම් සිදු කළේ යැයි ලෝක බැංකුවේ ආචාර ධර්ම කමිටුව විසින් පැවැත් වූ ස්වාධීන පරීක්ෂණයෙන් හෙළිවී ඇත. (www.euractiv.com/)

හවුල් වන අයගේ පැටිකිරි අනුව මේ පොරොන්දුවන ප්‍රතිව්‍යුහගත කිරීම් රාජ්‍ය ව්‍යාපාර පිරිසිදු කෙරෙන්නක් නොවේ. නියත වශයෙන්ම කිව හැක්කේ අලෙවිකරණයට හවුල් වූ, ඊට ආධාර කළ පංගුකරුවන් වෙනුවෙන් ඒවායේ නිෂ්පාදන හා සේවා සැපයුම් මිල ක්ෂණිකව නොවුනත් ක්‍රමානුකූලව ඉහළ දමනු ඇත යන්නය. රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමුණු පසු මේ ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකයේ නඩත්තුවන ආණ්ඩුවේ දේශපාලන නායකයින්ට ඒවායේ සේවා මිල පාලනය කිරීමට අවසර නොලැබෙණු ඇත. ඒ වෙනුවෙන් නීති සැකසූවත් ක්‍රියාත්මක වනු ඇත්තේ අඩාලෙටය.

ජා.මූ.අරමුදලේ නායකත්ව හැදියාවද සමග ඒ සියල්ල සැළකූ පසු අනාගතය සඳහා අපට ඉතිරිවන එකම විසඳුම වන්නේ විශේෂයෙන් බලශක්ති ඇතුලු අත්‍යාවශ්‍ය සේවා කිහිපය සඳහා දේශපාලන බලපෑමෙන් නිදහස් කෙරෙන පිරිසිදු රාජ්‍ය ආයතන පවත්වා ගැනීමය. එම ආයතනවල වංචා, දූෂණ, නාස්තිය නැවතිය හැකි කාර්යක්ෂම ස්වාධීන කලමනාකරණයක් ස්ථාපිත කෙරෙන නව ප්‍රතිසංවිධානයක් ඇතිකර, සාමාන්‍ය ජනයාටද සහනයක් වන අයුරු ගෝලීය වෙළඳපලෙහි තරගකාරී නිෂ්පාදන වියදමක් පවත්වා ගැනීමය. ඒ අනුව කෙටිම කතාව වන්නේ, රාජ්‍ය ආයතන ඇගයිය යුත්තේ රුපියල් ශත අනුව විගණනය කරන ලාභ හා පාඩු මත වන ශේෂ පත්‍රයකින් නොව, පුරවැසියනට, සමාජයට සහ ජාතික ආර්ථිකයට ලැබෙන සේවාව හා ප්‍රතිලාභ සඳහා නිසි වටිනාකමක් දීමෙන් යන්නය.

| කුසල් පෙරේරා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී හා සමාජ විශ්ලේෂක

2023 මැයි 29