ණය ප්‍රතිව්‍යුහගතකරණයේ බිල්ලා සහ ‘සිම්පල්’ කතා

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ බිල්ලා සහ ‘සිම්පල්’ කතා

දැන් කතාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙනි . ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එය කළ යුතු සහ කළ හැකි ලෙස දකින අතර තවත් පිරිසක් කියන්න හදන්නේ මෙය මහා විපතක් විය හැකි බව ය. ඇතැමුන් කියන්නේ බය හිතෙන කතා ය. ඒ සියල්ල කියන්නේ ආණ්ඩුවට බෑ කියන්නට සහ මෙම වැඩ පිළිවෙළ අසාර්ථක බව කියන්නට ය.

මේ කතාවල ඇත්ත බොරු විමසන්නට පෙර අප මතක් කරගත යුතු වන්නේ පසුගිය කාලයේ අසන්නට ලැබුණු මෙවැනි කතා පිළිබඳව ය. එකල කීවේ ආණ්ඩුවට අර්බුදයෙන් රට ගොඩ ගන්නට හෝ පෝලිම් නැති කරන්නට හෝ නොහැකි බව යි. ආණ්ඩුවට ජන වරමක් නැති බවත්, එයට මුල්‍ය අරමුදලේ හෝ ජාත්‍යන්තර ප්‍රජාවගේ හෝ සහය නොලැබෙන බව ද කී ය. රට ගොඩ ගන්නට නම් ඩොලර් බිලියන හතරක, පහක ක්ෂණික ණය මුදලක් අවශ්‍ය බවත්, රජයට ශතයක් වත් සොයාගත නොහැකි බවත්, කී ය. සියල්ල මගින් කියන්නට හැදුවේ මේ රජය යටතේ රටේ විනාශය මිස ගොඩ යාමක් නැති බව ය.

කෙසේ වෙතත්, මාස තුන හතරකින් පෝලිම් අවසන් කරන්නට රනිල්ගේ ආණ්ඩුවට හැකි වී ය. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම ද, සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇත. ජන ජීවිත කඩා වැටීම මේ වන විට අවසන් ය. 

ගොඩ ගත නොහැකි දැවැන්ත අර්බුදයක රට ගිලී ඇති බවත්, රට ගොඩ ගන්නට කිසිදු වැඩ පිළිවෙළක් රජයට නැති බවත්, කී උදවිය දැන් කියන්නේ සම්පුර්ණ වෙනස් කතාවකි.

දැන් කට්ටිය කියන්නේ රනිල් කළ හාස්කමක් නැති බව ය. ජාජබයේ අනුර කුමාර මෙන් ම සජබයේ කිරිඇල්ල ද කියන්නේ රනිල් කළේ සිම්පල් වැඩක් බව ය. “ ණය ගෙවීම නැවැත්තුවා, ආනයන සීමා කළා, ඒ සල්ලි වලින් තෙල් , ගැස් වලට ගෙව්වා - එච්චරයි “ ඒ දැන් කියන කතාව යි.

ඒ කියන විදිහට රනිල් කර තිබෙන්නේ මහා බැරෑරුම් අර්බුදයකට සිම්පල් උත්තරයක් දීම යි. එහි ඇත්ත නැත්ත කුමක් වුවත්, ප්‍රශ්නය තිබෙන්නේ අර්බුදයට මෙච්චර සිම්පල උත්තරයක් ඇති බව රනිල් එය කරන තෙක් අනෙක් දේශපාලඥයින් දැන නොසිටීම ය.

දැන් කියන කතා ද කලින් කී කතා වගේ ම ය. ඔවුන් කියන විදිහට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය සමග ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ සාර්ථක වන්නේ නැත. ණය ප්‍රතිව්‍යුහගත කරණය කළ නොහැකි ය. සිදුවන්නේ රට තවත් ණය උගුලක පැටලීම යි.

මේ කතාව පාර්ලිමේන්තුවේ දී ඉතා පැහැදිලිව කීවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ යටතේ 2027 වන විට ඩොලර බිලියන 14 ක ණය කපා හැරීමක් කළ යුතු බව කී ඒ මහතා එලෙස ණය කපන්නට කැමතිවන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.

 ඒ සමග ඔහු තවත් ප්‍රශ්නයක් මතු කළේය. එනම් 2027 අවසානයේ මෙරට සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 20 ක් බව වාර්තාවේ සඳහන් බව යි ඔහුට අනුව එහි තේරුම ණය කපන අතර තවත් ණය ලබාගෙන තිබීම යි.

නමුත් ඇත්ත කතාව නම් ඔහුගේ පළමු ප්‍රශ්නයට පිළිතුර දෙවැනි ප්‍රශ්නය තුළ තිබීම යි. එනම් ඒ කියන තරමේ  ණය කැපීමක් ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන තුළ නැති බව සහ මෙම වසර කිහිපයේ ගෙවීමට ඇති මුදල අඩු කර ගැනීම ගැන පමණක් සඳහන් වන බව යි.

විදේශීය ද්වි පාර්ශවික ණය සම්බන්ධයෙන් කරන්නට යන දේ මුල්‍ය අරමුදලේ වැඩ සටහන් වාර්තාවේ 16 පිටුවේ මෙසේ සඳහන් කොට ඇත.

The authorities’ proposed restructuring perimeter excludes debt owed to international financial institutions (IFIs), central bank currency swaps, emergency credit lines extended in 2022, and any new disbursements made after the moratorium announcement. The remaining FLFC debt to official bilateral and commercial creditors is expected to be restructured through extension of grace period and maturity, interest rate reduction, nominal haircut, or a combination of these

මේ අනුව ප්‍රතිව්‍යුහගත කරන්නට යන්නේ ක්‍රම කිහිපයක් අනුව ය. එනම්

  1. සහන කාලය සහ ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම
  2. පොලිය අඩු කිරීම
  3. නාමික කොණ්ඩය කැපීමක් හෙවත් නාමික  ණය කැපීමක්

එහි කියන්නේ  මෙම ක්‍රම අතුරින් එකක් හෝ කිහිපයක් යොදාගත හැකි බව යි.

මෙහි දෙවැනි සහ තෙවැනි ක්‍රමවලට ණය හිමියන් එතරම් කැමති නොවනු ඇත. විශේෂයෙන් චීනය එයට කැමති නැති බව පෙනෙන්නට තිබේ. එසේ වුවත්, ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන ඉලක්ක පළමු ක්‍රමය මගින් පමණක් වුව ද, බොහෝ දුරට සපුරා ගත හැකි බව පෙනෙන්නට තිබේ.

ණය කළමනාකරණය පිලිබඳ ඉලක්ක ද මුල්‍ය අරමුදලේ පැහැදිලිව සඳහන් වෙයි .

  ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා කියන ඩොලර් බිලියන 14 සැදෙන්නේ 2023 දී ඩොලර් මිලියන 3,376 ක්  , 2024 දී 3,328 ක් , 2025 දී 3,655 ක් 2026 දී 2,246 ක් සහ 2027 දී 1,482 ක් වශයෙනි.

දැන් අප මතක් කරගත යුතු වන්නේ ශ්‍රී ලංකාවේ ණය ගැන අපේ ණය හිමියන් මෙතෙක් කියා ඇති කතා පිළිබඳව ය. ප්‍රතිව්‍යුහගත කිරීමේ කතා ආරම්භ කරන්නටත් පෙර චීනය කීවේ තමන් වසර දෙකක ණය සහන කාලයක් ලබාදෙන බව යි. එම වසර දෙක ශ්‍රී ලංකාව ණය ගෙවීමේ නතර කළ පසුගිය අප්‍රේල් සිට ගණන් බලන්නේ නම් එය ලබන වසරේ අප්‍රේල් දක්වා වලංගු ය. නැතහොත් මෙම වසර සහ ලබන වසර විය හැකි ය. ණය සහන කාලය යන්නෙහි තේරුම මෙම කාලයේ චීනයට ඇති ණය ගෙවීම අවශ්‍ය නැති බව යි.

ණය හිමියන්ගේ පැරිස් සමාජය යෝජනා කළේ ශ්‍රී ලංකාවට වසර දහයක සමා කාලයක් සහ ණය ගෙවීමට තවත් වසර පහලවක් දිය යුතු බව යි. ඉන්දියාව කියා ඇත්තේ අනෙක් රටවල් සමග සමාන බරක් දැරීමට සුදානම් බව යි.

මෙහි තෙරුම නම් චීනය ප්‍රකාශ කළ වසර දෙකක සමා කාලය මේ වන විට, එනම්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර බලාපොරොත්තු තැබිය හැකි අවම සහනය වන බවයි.

චීනය , පැරිස් සමාජය ඇතුළු ද්වි පාර්ශවික ණය හිමියන් එයට එකඟ වන්නේ නම් එය ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග සාකච්ඡාවල පදනම ලෙස යොදා ගැනීමේ හැකියාව ද තිබිය යුතු ය.

එවිට නිගමනය කළ හැක්කේ මෙම 2023 සහ 2024 වර්ෂවල ගෙවීමට ඇති ඩොලර් බිලියන පහක හයක මුදලක් නොනිල වශයෙන් මේ වන විටත් ප්‍රතිව්‍යුහගත කරණයට යොමු වී ඇති බව යි. එම මුදල ගෙවීම සමා කාලයෙන් පසුව කිරීමට එකඟත්වයකට පැමිණීමට ඉඩ තිබිය යුතු ය.

ණය සමා කාලය තවත් වැඩි කරන්නට චීනය එකඟ වුවහොත් තත්ත්වය වඩා යහපත් වනු ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කරණයේ අනෙක් වැදගත් මෙවලම වන්නේ ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීමයි. සරලව කිව හොත් ඉදිරි වසර පහකින් ගෙවන්නට තිබෙන ණය ගෙවන්නට වසර දහයක් , දොළහක කාලයක් ලබා ගැනීම යි.

පෙනී යන ආකාරයට මෙම මෙවලම් දෙකෙන් පමණක් ණය ප්‍රතිව්‍යුහගත කරණයේ සැලකිය යුතු කොටසක් සාර්ථකව ඉටු කළ හැකි ය.

කෙසේ වෙතත්, මෙය මෙතරම් සරලව සිදු නොවන්නට ඉඩ ඇත. ණය හිමියන් සියලු දෙනා කියන්නේ මෙහි අවාසි සමානව බෙදී යා යුතු බව යි. චීනය ප්‍රශ්නය ගැන කටයුතු කරන ආකාරය ද වෙනස් විය හැකි ය. අවසන් ප්‍රතිඵලය වන්නේ එම සියලු කේවල් කිරීම් වල ප්‍රතිඵලය යි.

ණය හිමියන් විශාල සංඛ්‍යාවක් වීමත්, ඔවුන් විවිධ පදනම් යටතේ ණය දී තිබීමත් නිසා ඒ සියල්ල තුලනය කිරීම සංකීර්ණ කටයුත්තක් බව පෙනෙන්නට තිබේ. එසේ වුව ද, එය කළ හැකි බව පැහැදිලි කරුණකි.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කියූ පරිදි සහ වෙනත් අය තැන් තැන් වල කියන පරිදි ඩොලර් බිලියන 14 ක ණය කැපීමක් ගැන මුල්‍ය අරමුදලේ යෝජනාවක් නැත. එය තේරුම් නොගෙන හිතළු කතා කීම රටේ අනාගතය භාර ගන්නට ඉදිරිපත්ව සිටින අනුර කුමාර වැනි දේශපාලඥයකුගෙන් සිදු නොවිය යුතු වරදකි. ඔහු දැනගෙන කරුණු විකෘති කළේ නම් වරද තවත් බරපතළ ය.

මුල්‍ය අරමුදලේ වාර්තාවේ ඇති තවත් බොහෝ දේ මෙම දේශපාලඥයින් දැක නැත. නැතහොත් නොතකා හැර ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සමස්ත ණය සීමා කිරීම සහ ණය ගෙවීමේ බර අඩුකිරීම ගැන මොවුන් කිසිවක් කියන්නේ නැත.

සමස්ත ණය 2027 වන විට ඩොලර් බිලියන 20 ඉක්මවා යන බව පෙන්වන විට ඔවුන් නොපෙන්වන කතාවක් නම් එම වසර අවසානයේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 14 ක් ඉක්මවා යා යුතු බවට ඉලක්ක කොට තිබීම යි.

මේවා සඟවා  කතා කිරීමෙන් තාවකාලිකව ජනතාව මුලා කිරීමේ හැකියාව ඇත. නමුත් කෙටි කලෙක දී මේ සියල්ල බොරු වීමට නියමිත ය. එවිට බිඳ වැටෙන්නේ මෙම දේශපාලඥයින් කෙරෙහි ජනතාවගේ යම් පිරිසක් තුළ ඇති විශ්වාසය යි. එහි හානිය අවසානයේ එල්ල වන්නේ ඔවුන්ට ම ය.

ඉහත කී ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වුවහොත්, අනුර කුමාර වැනි අය මෙසේ කීමට ඉඩ ඇත.

“ කිසි හාස්කමක් නැහැ. ණය කැපුවේ නැහැ . කල් දැම්මා. පස්සේ ගෙවන්නම් කිව්ව්ව. එච්චරයි . හරි සිම්පල්” යැයි මොවුන් එදාට කියන්නට ඉඩ තිබේ.

එසේ වුවත්, මොවුන් බොරු සමාජ ගත කිරීමෙන් කරන හානිය නම් එතරම් සිම්පල් නැත.

එමෙන් ම , මෙම කතන්දරය සිම්පල් වුවත් එය ක්‍රියාවට නැගීම සංකීර්ණ බව ද පැහැදිලි කාරණයකි. තේරුම් ගත යුතු වන්නේ එය මෙම දේශපාලඥයින් කියන පරිදි නොකළ හැක්කක් හෝ විනාශයක් හෝ නොවන බව පමණකි.   

| සී. ජේ. අමරතුංග