ෆාතිමාගේ කායික නිරුවත සහ පිරිමියාගේ සදාචාරයේ නිරුවත

ෆාතිමාගේ කායික නිරුවත සහ පිරිමියාගේ සදාචාරයේ නිරුවත

ලිංගික ආශාව කායිකයි. එහෙත් ඒ, අත්තිවාරමක් වශයෙන් පමණි.

ඒ අත්තිවාරම මත ගොඩනැඟෙන විශාල ගොඩනැඟිල්ලක් මේ ලිංගික ආශාව තුළ තිබේ. දළ වශයෙන් ඒ සියල්ල වැටෙන්නේ මානසික ලෝකයටයි. අත්තිවාරම බිඳුණොත්, ගොඩනැඟිල්ල කඩාවැටෙයි. අනිත් අතට, ගොඩනැඟිල්ලෙන් තොර අත්තිවාරමක පලක් නැත. ලස්සනක් නැත. කොටින්ම, අත්තිවාරම හරිම අමුයි.

ලිංගිකත්වය සහ සෞන්දර්යය අතර සම්බන්ධය ගොඩනැඟෙන්නේ මේ කියන මානසික ලෝකය තුළ අප හදාගන්නා ආකල්ප/හැඟීම් ආශ්‍රයෙනි. පාසල් කාලයේ අපේ පරමාදර්ශී නාරි රූපය වුණේ, ඇඟපත තියෙන, ලොකු පියයුරු සහිත, සුදු පාට කාන්තාවකි. එදා අපේ ඒ චිත්ත රූප වසඟ කළ ප්‍රධාන මාධ්‍ය වශයෙන් සිනමාව සැලකුවොත්, විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි සහ ජීවරාණී කුරුකුලසූරිය වැනි නම් මතකයට එයි. මේ කාලයේම බටහිර පරමාදර්ශි නාරි රූපය වුණේ, ‘ඉඟ සුඟ ගත හැකි මිටින’ වර්ගයේ හින්දෑරි කාන්තාවන් ය. නැවතත් ඒ කාලයේ බටහිර සිනමාවට ගියොත්, ජීනා ලොලෝබ්‍රිජිඩා වැනි කාන්තාවක් උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

බටහිර සහ අපේ රටේ (සහ ඉන්දියාව වැනි රටවල) මේ නාරි ලාලිත්‍යය පිළිබඳ පිරිමියාගේ ආශාවේ වෙනස ඇති වුණේ, ආකල්ප පද්ධතියක් විසින් ඇති කරන ලද මනෝ ලෝකයක් මගිනි. ඊට, සංස්කෘතිය, කලා සම්ප්‍රදාය, ආහාරපාන, දේශගුණය, ආගම, විශ්වාස සහ ඇදහිලි ආදිය වැදගත් වන්නට ඇත.

(ඉහතින් කී පොදු කුලකය තුළ (ලංකාවේ පිරිමියා ඇඟපත ඇති ගැහැනුන්ටත්, බටහිර පිරිමියා කෙට්ටු ගැහැනුන්ටත් ආශා කළ කුලකය තුළ) වෙනස්කම් කිසිවක් නැති බවක් මෙයින් නොකියැවෙයි. ඒ පොදු ආශාවට වෙනස් ආශාවන් සහිත පිරිමිද සිටිති. එහෙත්, යම් කාරණයක් පැහැදිලි කරගැනීමේ පහසුව තකා පොදු කුලකයක් තනාගැනීමට අපට සිදු වෙයි).

මෙයින් කියැවෙන්නේ කුමක් ද? ගැහැනිය කෙරෙහි පිරිමියා තුළ ඇති කෙරෙන ප්‍රහර්ශය පිරිමියාගේම නිර්මාණයක් වන බවයි. මේ සමස්ත විස්තරය කරන්ට සිදුවුණේ, ගැහැනියගේ සිරුරකින් පිරිමියෙකු තුළ ඇති කෙරෙන ආශාවට ගැහැනියගේ සෘජු වගකීමක් නැති බව පෙන්වා දීමටයි. කලවා වැඩියෙන් පෙනෙන තරමට ගැහැනියගේ ගවුම කොට වන විට එම ගැහැනියට දෝෂාරෝපණය කරන පිරිමියා කරන්නේ, තමාගේ ලිංගික කැළඹීමක කායික/මානසික නොසන්සුන්තාව ගැහැනියගේ පිටින් යැවීමකි. සමහර ස්ත්‍රී දූෂණ සිදුවීම් පවා, ගැහැනියගේ බාහිර ප්‍රකෝපකාරීත්වයක් නිසා ඇති වන්නක් යැයි කියන පිරිමි තවමත් අපේ සමාජයේ සිටිති. සියලු ආගම්, අඩුවැඩි වශයෙන්, ඒ මතයට සම්මාදම් වෙයි. පිරිමින්ගේ ශීලය බිඳින්නිය ගැහැනියයි. අතිබහුතරයක් දෙමාපියන්, සිය පුතා ලොකුමහත් කරන ආකාරයට සපුරා වෙනස් ආකාරයකින් දුව ලොකුමහත් කරන්නේ ද, මේ මතයේ පිහිටා ය. කිතුණු කන්‍යා පාසල් සහ බෞද්ධ කාන්තා පාසල් සහ පිරිමි පාසල් එහි තවත් දිගුවකි.

ඇය, රෙහානා ෆාතිමා ය

මේ ආකල්පය ඉතා සියුම්ව, කලාත්මකව සහ දේශපාලනිකව ප්‍රශ්න කළ ගැහැනියක් පිළිබඳ වාර්තාවක් මේ සතියේ පළ විය. ඇගේ නම, රෙහානා ෆාතිමා ය. කේරලයේ ජීවත් වන, තිස්හතර වියැති තරුණ මවක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වන ඇය, ගැහැනිය පිළිබඳ පිරිමි ආකල්ප එක දිගටම අභියෝගයට ලක්කොට තිබේ.

ඔසප් වීමේ වයසේ පසුවන ගැහැනුන්ට කේරලයේ හින්දු කෝවිලක් තුළට ඇතුළු වීම තහනම් කොට තිබීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගෙන ගිය නඩුවකින් එම තහනම ඉවත් කෙරුණු පසු, ෆාතිමා ඇතුළු තවත් කාන්තාවන් පිරිසක් එම කෝවිලට ඇතුළු වීමට තැත් කළාය. එහෙත් දක්ෂිණාංශික පිරිමි හින්දු භක්තිකයන් පිරිසක් ඔවුන් එහි ඇතුළු වීම වැළැක්වූවා පමණක් නොව, ඉන්පසු යම් පිරිසක් ඇගේ ගෙටත් ගිනි තැබූහ.

ගැහැනියගේ ඔසප් වීම සහ තමන්ගේ උත්පත්තිය, එකකින් එකක් වෙන් කළ නොහැකි බව මේ පිරිමින්ට අමතකයි. ගැහැනියගේ ඔසප් වීම කිල්ලක් නම්, තමාගේ උපතත් කිල්ලක් නොවේ ද යන කාරණය ඒ පිරිමින්ට නොවැටහෙයි.

කෙසේ වෙතත්, පසුගිය සඳුදා (5) ෆාතිමා නැවත මාධ්‍ය ආවරණයට ලක්වන්නේ, තමාගේ නිරුවත් උඩුකය තමාගේ පුතා සහ දුව ලවා සිත්තම් කරගැනීම සහ ඒ දර්ශන, සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරීම නිසා ය. ඈට අවශ්‍ය කෙළේ, නිරුවත් පිරිමි උඩුකයක් කිසි තත්වයක් යටතේ වරදක් වශයෙන් නොසලකන සමාජයක්, නිරුවත් ගැහැනු උඩුකයක් සෑම තත්වයක් යටතේම කාමුක ප්‍රකෝපකාරීත්වයක් වශයෙන් සලකන්නේ මන්ද යන්න ප්‍රශ්න කිරීමයි. ඒ අනුව, තමාගේ නිරුවත් උඩුකය, තමාගේ බාලවයස්කාර පුතා සහ දුව ලවා පින්තාරු කරගෙන සමාජ මාධ්‍ය අවකාශයට මුදාහැරීම මගින් සදාචාරයට, සභ්‍යත්වයට සහ බාල වයස්කරුවන්ට අදාළ නීති උල්ලංඝණය කර ඇති බවටත්, ඒ ක්‍රියාව මගින් බාලවයස්කාර දරුවන් ලිංගික දිසානතියකට යොමු කිරීමත් පිළිබඳව අපරාධ චෝදනා ලැබ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට ඈට සිදු විය. 2020 දී ඈට එරෙහි මේ ක්‍රියාමාර්ගය ගෙන තිබුණේ, ‘ළමා අයිතීන් ආරක්ෂා කිරීම පිළිබඳ කේරලයේ රාජ්‍ය කොමිසම’ මගිනි.

මේ නිර්මාණය සඳහා ඈ මාතෘකා කොට ගත්තේ, ‘කාය කලාව සහ දේශපාලනය’ යන්නයි. තමාගේ සිරුර කැන්වසයක් වශයෙන් ඇය මෙහිදී භාවිත කරන්නේ, එක පැත්තකින් තමාගේ සිරුර කෙරෙහි තමාට ඇති, වෙන කිසිවෙකුට පැහැරගත නොහැකි අයිතිය කියාපෑමටයි. අනිත් පැත්තෙන්, ඒ සඳහා තමාගේ බාලවයස්කාර දරුවන් දෙන්නා යොදාගැනීම මගින්, අද සමාජයේ දරුවන් සම්බන්ධයෙන් සම්මත ලිංගික ප්‍රමිතීන් ප්‍රශ්න කරන්ට ඈට අවශ්‍ය විය. දරුවන්ට පාසලේදීම ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි ඉල්ලා සිටින තරමට අද සමාජය ඉදිරියට ගොස් තිබේ. ලිංගිකත්වය පිළිබඳව ආගම් විසින් ආරෝපණය කොට ඇති ගූඪ භාවයත්, ඒ නිසාම ඇති විය හැකි ලිංගික අපරාධත්, ළමා වියේ සිට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීමෙන් අවම කරගත හැකි බව, අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

එහෙත් අපේ කලාපයේ රටවල ආගම් සහ සංස්කෘතීන් තුළ බොහෝ විට එය සැලකෙන්නේ, ළමයින්ට ‘වල් කම්’ ඉගැන්වීමක් වශයෙනි. ෆාතිමා බැරෑරුම්ව ප්‍රශ්න කෙළේ ඒ මතයයි. බාල වයස්කාර දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඈ කියන්නේ මෙවැන්නකි: “තම මවගේ නිරුවත් සිරුර දැක ඇති පිරිමි දරුවෙකුට වෙනත් ගැහැනියකගේ සිරුරක් අපයෝජනය කළ නොහැකි වනු ඇත. ඒ නිසා, ගැහැනු සිරුර පිළිබඳවත්, ලිංගිකත්වය පිළිබඳවත් තිබෙන වැරදි අවබෝධයට එරෙහි ප්‍රථම එන්නත දිය යුත්තේ ගෙදරදීම ය.”

අධිකරණ විනිශ්චය

කේරල මහාධිකරණය පසුගිය සඳුදා මේ චෝදනාවෙන් ඇයව නිදොස් කොට නිදහස් කෙළේය.

ඒ විනිශ්චය ප්‍රකාශයට පත්කරමින් කේරල මහාධිකරණ විනිසුරු කවුසර් එඩප්පගාත් මෙසේ කීය:

“නිරුවත, කාමයට ඈඳිය යුතු නැත. ගැහැනියකගේ නිරුවත් උඩුකයක හුදු දර්ශනය, එනයින්ම කාමුක සේ නොගත යුතුය. එසේම, ගැහැනියකගේ නිරුවත් සිරුර නිරූපණය වීම, එනයින්ම අසභ්‍ය, අවිනීත හෝ විවෘත කාමුකත්වයක් වශයෙන් නොගත යුතුය. ඊට වෙනස් ආකාරයකින් එය ගත හැක්කේ, වෙනස් සන්දර්භයන් යටතේ පමණි. (මැය සම්බන්ධයෙන් තිබෙන) සන්දර්භය තුළ කියැවෙන්නේ, ඇගේ නිරුවත් උඩුකය නිරූපණය, ඇගේ දේශපාලනික ප්‍රකාශනයක් වන බවත්, ඇගේ දරුවන්ගේ කලාත්මක ප්‍රකාශනයක් වන බවත් ය.”

ඔහු තවදුරටත් මෙසේද කීය:

“මේ වීඩියෝව නැරඹීමෙන්, සාමාන්‍ය පිරිමියෙකු දුරාචාරී වෙතැයි හෝ කෙලෙසෙතියි හෝ කාම තෘෂ්ණාවට පෙළඹෙතියි හෝ සිතීමට මොනම හේතුවක්වත් නැත. අකුරටම බැලුවත්, පෙත්සම්කාරිය (ෆාතිමා) නිර්වස්ත්‍ර පපුවක් පෙන්වා නැත. මන්ද යත්, ඇගේ පියයුරු තීන්තවලින් ආලේප කොට වැසී පැවති බැවිනි. එය, විචක්ෂණ පිරිමියෙකුගේ සිතේ කාමාශක්ත හැඟීම් ඇති කිරීමට කිසි විටෙකත් සමත් නොවෙයි.”

ලිංගික සදාචාරයේ නීති සම්පාදකයා පිරිමියා ද?

ඉහත විනිශ්චයේ ඇති වැදගත්ම වචනය “විචක්ෂණ” යන්නයි. ප්‍රඥාවන්ත සහ සිහිකල්පනාව සහිත යන්න එහි අදහසයි. මේ ලිපියේ මුලින් සඳහන් කළ, ගැහැනියගේ රූපය පිළිබඳ පිරිමියා විසින් ඇති කරගනු ලැබූ හෝ ඇති කරගනු ලැබීමට කුඩා කල පටන් පිරිමියාව පුහුණු කරනු ලැබූ මනෝධාතුවේ ස්වභාවයෙහි ඇති වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ. ගැහැනියකගේ ඇඟිල්ලක් දැකීමෙන් පවා උද්දීපනය වන පිරිමියෙකු සිටිය හැකිය. ඒ අනුව, ගැහැනිය තමන්ගේ ඇඟිලි විස්සත් වැහෙන පරිදි අත්වැසුම් සහ පාවැසුම් හැඳිය යුතු යැයි අද ලෝකයේ කෙනෙකු කියන්නේ නැත. එසේ තිබියදී, පිරිමියාගේ ආශාවේ ස්වභාවය මත පදනම්ව ගැහැනු ශරීරය කොතෙක් දුරට ආවරණය විය යුතුද යන්න තීරණය කළ යුතු බව තීරණය කරන්නේ කවුද? පිරිමියා ය!

සදාචාරමය වශයෙන් වැරදි යැයි සමාජය සලකන සියල්ල අනිවාර්යයෙන් නෛතික වරදක්ද විය යුතු නැති බව කේරල අධිකරණය තවදුරටත් පෙන්වා දුනි. සමාජ සම්මත සදාචාරය සහ සමහර මිනිසුන්ගේ හැඟීම් මිණුම්දණ්ඩක් වශයෙන් ගෙන, යම් ක්‍රියාවක් අපරාධයක් වශයෙන් සලකා කෙනෙකුට දඬුවම් කළ යුතු නැති බව එම විනිශ්චය තුළ පැහැදිලිවම කියැවුණි. ඊට අමතරව, ගැහැනියගේ සිරුරේ පූර්ණ අයිතිය එම ගැහැනියට පැවරීම, සමානාත්මතාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ ඇගේ මූලික අයිතියේ හරය වශයෙන් සැලකිය යුතුව ඇති බවත් අධිකරණය මගින් පෙන්වා දුනි.

විනිසුරුවරයා දිගින් දිගටම අවධාරණය කළ කාරණය වුණේ, නිරුවත යනු එනයින්ම අසභ්‍ය දෙයක් වශයෙන් ගත හැකි දෙයක් හෝ අශෝභන හෝ සදාචාර-විරෝධී දෙයක් වශයෙන් ගත හැකි දෙයක් හෝ නොවන බවයි. අම්මා අතින් දරුවන් දෙන්නෙකු වින්දිත භාවයට පත්කොට ඇතැයි යන පැමිණිල්ල ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා, මෙවැනි නඩුවක් නිසාම ඒ දරුවන් වින්දිත භාවයට පත්විය හැකි බවත් පෙන්වා දුනි. ඒ නිසා, වින්දිත භාවයට පත්ව ඇතැයි කියන දරුවන්ගේ යහපත තකාම, මේ නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයාමට ඉඩ දිය නොහැකි බව කී ඔහු නඩුව වීසි කෙළේය.

ලංකාවේ අපට උගෙනීමට බොහෝ සිල්ලර දේවල් මේ සිද්ධිය තුළ තිබේ. ගුරුවරියන්ට සාරිය අනිවාර්ය කිරීම ඉන් එකකි. සාරියේ ඇතැයි සිතන ‘වනිතා වැදගත්කම’ පිළිබඳ අදහස ඇත්තෙන්ම ලිංගික කල්පනාවකි. එහි අරටුවේ ඇත්තේ, එම ඇඳුම ශරීරයේ වැඩිම කොටසක් ආවරණය කොට තබාගැනීමට උපකාරී වෙතැයි ගන්නා විශ්වාසයකි. වැඩිම කොටසක් වසා තැබීමෙන් වැඩිම රසයක් උත්පාදනය කළ හැකිය. ඇත්තෙන්ම ගත්තොත්, ගැහැනියගේ රූ සපුවේ ඇතැයි ලංකාවේ පිරිමියා සිතන වැඩිම ලිංගික ආකර්ශනය ඇත්තේ සාරියේ ය. එනයින් බලන විට, ලංකාවේ අධ්‍යාපන අංශයේ පිරිමි බලධාරීන් ගුරුවරියට සාරිය අනිවාර්ය කෙළේම, ඒ රහස් ආශාව නිසාම යැයි මට සිතේ.    

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්?

Gamini Viyangoda

| ගාමිණී වියන්ගොඩ - ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක

(අනිද්දා)