ගුරුන්ට වැරදුන අකුරු

ගුරුන්ට වැරදුන අකුරු

ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් වැඩි කර ගැනීමේ උද්ඝෝෂණ නැවත ආරම්භවීමත් සමග රාජ්‍ය සේවයේ අනෙකුත් නිලධාරීන් ද කළබලයට පත්ව තිබේ. ඉතිහාසයේ පටන් වැඩිවිය යුතු වැටුපක් ගැන ගුරු සංගම් කතා කිරීම මෙන්ම ගුරු වැටුප ඉහළ ගියහොත් විශාල වැටුප් විෂමතාවක් වන බව සෙසු රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කිරීම ද පදනම් විරහිත කතා ය. මෙවැනි මතයන්ට  හේතුව වී ඇත්තේ ගුරුවරුන් මෙන්ම සෙසු රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය සේවයේ වැටුප් සකස් කරන අන්දම ගැන නොදැන සිටීමයි.

1994 වර්ෂය කරා ආපස්සට ගියහොත් ඒ වන විට ගුරු-විදුහල්පති-අධ්‍යාපන පරිපාලන යන තුන් ඇදුණු ක්ෂේත්‍රයහි නිලධාරීහු සොච්චම් වැටුපක් ලබමින් අති විශාල දුෂ්කරතාවක සිටියහ. ගුරුවරුන් ලැබූ අඩු වැටුපේ අසාධාරණය මනාව තේරුම් ගත්තේ 1994 දී බලයට ආ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යවරයා වූ, විශ්‍රාමලත් ගුරුවරයකු වූ රිචර්ඩ් පතිරණ ය.

මැතිවරණ ව්‍යාපාරය තුළ මේ සම්බන්ධයෙන් හඩක් නැගූ ඔහුට බලය ලබාගත් විගස ගුරු වැටුප් වැඩි කිරීමේ හදිසි තෙරපුමකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ නිසා රාජ්‍ය සේවයේ සෙසු නිලධාරීන්ට සාපේක්ෂව 35% - 65%ත් අතර ප්‍රමාණයකින් ගුරු වැටුප් ඉහළ දැමුණි. එකක් කඩතොළු මකා ගන්නට ගිය රිචර්ඩ් පතිරණ රාජ්‍ය සේවයේ වැටුප් තුළ කඩ තොළු රාශියක් නිර්මාණය කළේ ය. ඒ අනුව ගුරු, විදුහල්පති හා අධ්‍යාපන පරිපාලන සේවා යන තුන් ඇදුණු විෂයන්වල නිලධාරීන්ට සමාන වැටුපක් ලැබුණි. එක අතකින් ගුරු සේවය තුළ ද අනෙක් අතින් රාජ්‍ය සේවය තුළ ද වැටුප් සම්බන්ධයෙන් අර්බූදයක් නිර්මාණය විය.

1997 දී බීසී පෙරේරා වැටුප් කොමිසම පත් කෙරුණේ රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධයෙන් සොයා බැලීමට ය. 1995 ගුරු වැටුප් අවිධිමත් ලෙස වැඩි කිරීමෙන් රාජ්‍ය සේවය තුළ නිර්මාණය වූ ව්‍යාකූලතාව විසදීමට බීසී පෙරේරා වැටුප් කොමිසමට ද අපහසු විය. 1995 දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් වැඩිවී තිබිම සැලකිල්ලට ගෙන ගුරු වැටුප් වැඩි නොකර රාජ්‍ය සේවයේ සෙසු නිලධාරීන්ට වැටුප් වැඩි කිරීමට බීසී පෙරේරා කොමිසම නිර්දේශ කළේ ය.

තමන්ට අතීතයේ දී සිදුවූ අසාධාරණයක් නිසා වැඩිවිය යුතු වැටුපක් ඇතැයි ගුරුවරු කන්කෙදිරි ගාන්නේ මෙන්න මේ බීසී පෙරේරා වැටුප් කොමිසම 1997 දී ඔවුන්ට වැඩි නොකළ වැටුපට ඇගිල්ල දික් කරමිනි. එහෙත්  රාජ්‍ය සේවයේ සෙසු සේවාවන්වල නිලධාරීන් නොතකා හරිමින් තමන්ට පමණක් 1995 දී වැටුප් වැඩි කිරීම ගැන මේ ගුරු සංගම් මුනිවත රකිති.

1995 දී අවිධිමත් ලෙස ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන විට රජය යම්කිසි නිශ්චිත නිගමනයක සිටියේ ය. එනම් මින් මතු ගුරු-විදුහල්පති සේවාවන්ට බදවා ගත යුත්තේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් හා විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන්ගෙන් පමණක් බව ය. එහෙත් ඒ පිළිබදව ද ගුරු සංගම් දැන් මුනිවත රකී. ඊට හේතුව ප්‍රධාන පෙළේ ගුරු සංගම් සියල්ලෙහිම වාගේ තනතුරු දරන්නේ විශ්ව විද්‍යාල උපාධිධාරී හෝ විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් හෝ නොවන බැවිනි.

අධ්‍යාපන සේවයට උපාධි හෝ විද්‍යා පීඨ ඩිප්ලෝමා හෝ නොමැති අයගෙන් බදවා ගැනීම අවලංගු කිරීමට සමාන්තරව දැනට සේවයේ සිටින එවැනි අය ක්‍රමයෙන් වයස සම්පූර්ණ වූ පසුව විශ්‍රාම යැවීම ද ඉලක්කයකින් යුතුව සම්පූර්ණ කළ යුතු ය. එවිට යම්කිසි ඉලක්ක වර්ෂයක දී ගුරු - විදුහල්පති සේවාවන් තුළ සිටින්නේ උපාධිධාරීන් හා අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් ය. එතැන් සිට ගුරු- විදුහල්පති සේවාවන්වල වෘත්තීය අභිමානය සලකමින් ඔවුන්ගේ වැටුප සෙසු වැටුප් පරිමාණයන් අතර ඉහළින් ඔසොවා තබන්නට හැකිය.

කීයක හෝ වැටුපක් ගෙවන වැටුප් පරිමාණයක තබා ගුරු සේවයක් ස්ථාපිත කිරීම සමාජයක ඉදිරි ගමනට බාධාවකි. අධ්‍යාපන සේවය තුළ සිටින්නන් මානසික තෘප්තියකින් රාජකාරී කළ යුතු ය. එසේම ඇසූ පිරූ තැන් ඇති දැනුමකින් යුතු වියතුන් පිරිසක් ගුරු ප්‍රජාව තුළ සිටිය යුතුය. ඒ සදහා  උපාධිධාරියකු හෝ විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරියකු හෝ "ගුරුවරයකු" බවට පත් කරන ක්‍රියාවලිය ශක්තිමත් හා පොහොසත් වැඩපිළිවෙලකින් සමන්විතව තිබිය යුතුය.

එහෙත් එවැනි ගුණාත්මකභාවයකින් යුතු ගුරු-විදුහල්පති සේවාවක් ගැන ගුරුවරු හෝ විදුහල්පතිවරු හෝ කතා බහ නොකරති. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ වත්මන් ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප වැඩි කර ගැනීමට ය. එහෙත් ඔවුහු කිසිවිටෙක තමන්ට දෙවැනි භාෂාවක පුහුණුවක් ලබා දෙන්න යැයි ඉල්ලීම් නොකරති. ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන ගුරුවන්ට ළමා මනස ගැන විධිමත් පුහුණුවක් ලබා දෙන්න යැයි නොකියති.  යම්කිසි ඉලක්ක ගත වර්ෂයක් සම්පූර්ණ වන විට අධ්‍යාපන මනෝ විද්‍යාව ගැන විධිමත් පුහුණුවක් සමස්ත ගුරු ප්‍රජාවට ලබා දෙන්න යැයි නොකියති. අවසාන වශයෙන් කිව හැක්කේ අධ්‍යාපනයේ කිසිම ගුණාත්මක වර්ධනයක් වෙනුවෙන් ගුරු සංගම් පෙනී නොසිටියත් වැටුප වැඩි කරගැනීමට නම් ඔවුහු උනන්දු බව ය.

තමන්ට වර්ෂ 1997 සිට වැටුප් සම්බන්ධයෙන් අසාධාරණයක් පවතින බව ගුරු සංගම් අමූලික බොරු නොකිය යුතු ය. බීසී පෙරේරා වැටුප් කොමිසමේ නිර්දේශ මත 1997 දී ගුරුවරුන්ට වැටුප් වැඩි නොකළේ 1995 දී ඔවුන්ට පමණක් වැටුප් වැඩි වූ නිසා ය. ගුරුවැටුප් සම්බන්ධයෙන් 1994 පදනම් වර්ෂය ලෙස ගෙන සකස් කළ සුබෝධිනී කමිටු වාර්තාව රාජ්‍ය වැටුප් කොමිසන් සභාව විසින් ප්‍රතික්ශේප කළේ එබැවිනි. එනිසා බොරු තර්ක සමාජ ගත කරමින් නොසිට ගුරු සංගම් මහන්සි විය යුත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගැනීමට ය. එවිට සමාජයට අනාගතය කියාදෙන ගුරුවරුන්ගේ වෘත්තීයහාවය ආරක්ෂාවන හා ගෞරවනීයවන වැටුපක් සදහා සාමූහිකව අරගල කළ හැකිය.

ගුරු සංගම්වල මේ ව්‍යාජ වැටුප් සටනට බිය වී 2021 දී ඔවුන් ඉල්ලා සිටින වැටුප් වැඩිවීමක යම්කිසි ප්‍රතිශතයක් වැටුප් වැඩිවීමක් ලෙස ගුරුවරුන්ට ලබා දුනි. ඒ වැටුප් වැඩි කිරීම නිසා අධ්‍යාපන සේවයේ ගුරු-විදුහල්පති සේවාවන්හි උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හෝ නොමැති ගුරුවරුන්ට ද වැටුප් වැඩි විය. එනිසා රාජ්‍ය සේවයේ සෙසු තනතුරුවලට යම් අසාධාරණයක් සිදුවිය. ඊට පිළියම් සෙව්වේ ගුරු හා විදුහල්පති සේවා සංවෘත සේවාවන් කරමිනි. නමුත් පවතින ව්‍යාකූල අධ්‍යාපන ව්‍යුහය තුළ සුදුසුකම් සහිත හා රහිත සියල්ලන්ගේම වැටුප් ඉහළ දැමීම නිසා රාජ්‍ය සේවාවේ සෙසු නිලධාරීන් තුළ ඇතිවන කළකිරීම තාර්කිකය. එනිසා සිදුවන හානිය බරපතල ය.

මේ කළකිරීම සමාජ ගත වන්නේ ගුරු වැටුප් ඉහළ දැමීමෙන් වැටුප් විෂමතාවක් ඇතිවන බව කියමිනි.  රාජ්‍ය සේවයේ සෙසු තනතුරු වලට බදවා ගන්නා උපාධිධාරීන්ට හා ගුරු සේවයට බදවා ගන්නා උපාධිධාරීන්ට සමාන වැටුපක් හිමි විය යුතු ය යන්න ව්‍යාජයකි. අනිවාර්යෙන්ම ගුරු සේවයේ උපාධිධාරියාගේ වැටුප සාපේක්ෂව ඉහළ මට්ටමක තිබිය යුතුය. එහෙත් එය සාධාරණ වන්නේ ගුරු සේවය ගුණාත්මකව ඉහළ මට්ටමක පවතින්නේ නම් පමණි.

ඒ සදහා අධ්‍යාපන ක්ෂේත්‍රයට උපාධිධාරීන් හා විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් පමණක් බදවා ගන්නා පරිදි බදවා ගැනීම් පටිපාටිය සංශෝධනය කළ යුතුය. එසේම ඔවුන්ට අනිවාර්ය, භාෂාමය පුහුණුවක්,  අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබද පුහුණුවක්,  සංස්කෘතික වටිනාකම් පිළිබද පුහුණුවක් යනාදී වශයෙන් පරිපූර්ණ ගුරුවරයකු බිහි කිරීමට මූලික වන පරිදි පෞර්ෂ වර්ධනයට මූලිකවන හරයාත්මක වෙනසක් ගුරුවරුන් තුළ ඇති කළ යුතුය. ඒ සදහා සුදුසුම ක්‍රමය වන්නේ ගුරුවරුන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගෞරවය රැකදෙන නව ගුරු සේවයක් පිහිටුවීමයි.

රාජ්‍ය සේවාව විධිමත් පරිදි පවත්වාගෙන යෑමට දීප ව්‍යාප්ත සේවාවන් රැසක් පිහිටුවා ඇත. එහි මූලිකම සේවාව වන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයයි. එහි වැටුප් පරිමාණය එස් එල් 01 වේ. ඊට අදාළ වරප්‍රසාදයන් රාශියක් ද ඇත. මීට සමාන්තරව ක්‍රම සම්පාදන, ගණකාධිකාරී, කෘෂිකාර්මික, විද්‍යාත්මක ආදී වශයෙන් සේවාවන් රාශියක් ඇත. ඒ අනුව ගුරු හා විදුහල්පතිවරුන් ඇතුලත් නව ගුරු සේවාවක් පිහිටුවීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රජාව තුළ ප්‍රබෝධයක් ඇති කළ හැකිය. එය දීප ව්‍යාප්ත සේවාවක් ලෙස එස්.එල් 01 වැටුප් පරිමාණයේ පිහිටුවිය යුතුය.

එහෙත් ඒ වෙනුවෙන් අරගල කරන ගුරු ප්‍රජාවක් රටේ නොසිටීම අභාග්‍යයක් බව ඉදුරාම පැවසිය යුතුය.

පිලිප් ශාන්ත