ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය කරන්නේ ඇයි? - රංග ජයසූරිය

ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය කරන්නේ ඇයි? - රංග ජයසූරිය

ගිය සතියේ, නිදහස් අධ්‍යාපනය ‘විනාශ කිරීමට’ ආණ්ඩුව ගන්නා ප්‍රයත්නයට විරෝධය පාමින් සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිසක් පොලීසිය මගින් කඳුළු ගෑස් ගසා විසුරුවා හරින ලදි. ඒ අවාසනාවන්ත සිසුන්ට ජල ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ වීඩියෝ පට එදා රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති සඳහා අපූරු අමුද්‍රව්‍ය වීමට නියමිතව තිබීම කෙසේ වෙතත්, මේ විරෝධතා පිළිබඳ ජනතා අප්‍රසාදය දිනපතා වැඩි වෙමින් තිබෙන බව කිව යුතුය.

විරෝධතාකරුවන්ගේ කුහක භාවය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විශාල විවේචනයක් දක්නට ලැබේ. තවත් අය, ඊළඟ බුද්ධිමත් පරපුරේ අනාගතය ගැන කනගාටු වෙති. යුහුසුළු කාර්යයෙහි නිරත වන ආණ්ඩුවක් නම්, ඒ මහා නිහඬ බහුතරයේ අදහස ඉදිරියට ගත යුතුය. ඒ හඬ වැඩි දියුණු කළ යුතුය. තෝරාගත් සුළුතරයකට නොව, සියලු ශ්‍රී ලාංකීය ළමුන්ට ප්‍රවේශ විය හැකි උසස් අධ්‍යාපන පද්ධතියක් සඳහා වන පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිගැනීමට සූදානමක් දක්වන ඒ මහජනතාවගේ මතය ප්‍රයෝජනයට ගත යුතුය.

ස්වල්ප දෙනෙකුගේ ‘නිදහස් අධ්‍යාපනය’ වෙනුවෙන් විශාල බහුතරයකින් අයකරගන්නා වන්දිය

‘නිදහස් අධ්‍යාපනය’ ආරක්ෂා කිරීම සඳහා යැයි කියමින් විරෝධතා දක්වන මේ පිරිසේ නරුම සරදම වන්නේ, දැනට පවතින අසාධාරණ තත්වයක් දිගටම ආරක්ෂා කරගැනීමට ඔවුන් ප්‍රයත්න දැරීමයි. එනම්, සමස්ත ශිෂ්‍ය පරම්පරාවේ වියදමින්, ඒ ශිෂ්‍ය පරපුරේ සියයට 10-15 කටත් අඩු පිරිසකගේ වරප්‍රසාද සහගත තත්වයක් ආරක්ෂා කරගැනීමට ඔවුන් ගන්නා ප්‍රයත්නයයි. ඒ බව අවබෝධ කරගැනීම සඳහා මේ සංඛ්‍යා ලේඛන සැලකිල්ලට ගන්න: 2021 දී, අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 311,359 කි. එයින්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 194,366 වන ශිෂ්‍ය පිරිසෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 102,788 ක් අයදුම් කළෝය. එහෙත් ඔවුන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තෝරාගැනුණේ 43,927 ක් පමණි.

එහි අදහස වන්නේ, සුදුසුකම් ලැබූවන්ගෙන් 140,000 ක් හෙවත් සුදුසුකම් ලැබූවන්ගෙන් පහෙන් හතරකට ආසන්න ප්‍රමාණයක්, පවතින උසස් අධ්‍යාපනයෙන් බැහැර කෙරුණු බවයි. ඔවුන්ගෙන් 12,400 ක් රාජ්‍ය-නොවන විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා ඇතුළත්ව ඇත. තවත් 8000 ක්, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිළිගත්, අනුබද්ධිත විදේශ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා ලියාපදිංචි වී ඇත.

එසේ තිබියදීත්, තවත් 120,000 ක්, පිටරට අධ්‍යාපනය සඳහා ගිය අතමිට සරු පවුල්වල දෙතුන් දහසක් දරුවන් හැරුණුකොට, අතරමඟ හැලෙති. මේ සියල්ලට අමතරව, අපොස උසස් පෙළ සමත් නොවන 117,000 ක ශිෂ්‍ය පිරිසකගේ ඉරණම සැලකිල්ලට ගත් විට මේ චිත්‍රය තවත් අඳුරු වෙයි. මේ පිරිස සඳහා පවතින වෘත්තීය අධ්‍යාපනික අවස්ථා ඉතා අල්පයි. ඒ නිසා, මේ ශිෂ්‍ය පිරිසෙන් අතිබහුතරයක් දාස තත්වයට වැටෙති.

ඊටත් අමතරව, සාමාන්‍ය පෙළ සමත් නොවන තවත් ශිෂ්‍ය පිරිසක්ද සිටිති. කෙසේ වෙතත්, මෑතක පටන් අනුගමනය කෙරෙන යහපත් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ ප්‍රමාණය දැන් සීග්‍රයෙන් අඩු වෙමින් තිබේ. එසේ වෙතත්, ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන්, අනිත් ශිෂ්‍යයන්ට වඩා ඉතා අඳුරු බව කිව යුතුය. මන්ද යත්, රාජ්‍ය ප්‍රමුඛ කිසි වෘත්තීය අධ්‍යාපන වැඩපිළිවෙලකට ඔවුන්ව යොමු නොකෙරෙන බැවිනි.

මේ සියල්ල සැලකිල්ලට ගත් විට, ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිවල පවතින, දුර නොපෙනෙන ගතිය නිසා අපේ දරුවන්ගෙන් අති විශාල පිරිසක් නිස්කාරණේ නාස්ති වෙති. වෙනත් ක්‍රම හරහා රෝහණ විජේවීරත්, වේලුපිල්ලේ ප්‍රභාකරනුත් කෙළේ එයමයි.

ත්‍රීවීලර් රියැදුරන් මිස ඛේත ශිල්පීන් බිහි නොකිරීම

උසස් අධ්‍යාපන අංශය ප්‍රතිසංස්කරණය කිරීමට අසමත් වීම, ශ්‍රම හමුදාව තුළ පවතින ඉතා නරක තත්වයකට මඟ පාදා තිබේ. ලංකාවේ ශ්‍රම බලකාය ගත්තොත්, එහි විශාලතම අංශය වන රාජ්‍ය සේවය ළඟට දෙවැනි විශාලතම ශ්‍රම බලකාය වී ඇත්තේ ත්‍රීවීලර් රියැදුරන් ය. රාජ්‍ය සේවයේ නියුතු ප්‍රමාණය 1,400,000 කි. (දහහතර ලක්ෂයකි). ත්‍රීවීලර් රියැදුරන්ගේ සංඛ්‍යාව 500,000 කි.

ඒ හැරුණුකොට, 1,700,000 ක් වන (දහහත් ලක්ෂයක්) වන ශ්‍රී ලාංකීය සංක්‍රමික ශ්‍රමිකයන් ප්‍රමාණයෙන් විශාල බහුතරයක්, නුපුහුණු හෝ අර්ධ-පුහුණු කාණ්ඩයට අයත් ය. 2022 වසරේදී විදේශගත වූ 330,000 (තුන් ලක්ෂ තිස් දහසකින්) සියයට 59 ක් නුපුහුණු හෝ අඩු-පුහුණු කාණ්ඩයට අයත් වෙති. ඒ අයගෙන් සියයට 25 ක් ගෘහ සේවයේ ය. අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගෙන් අති බහුතරයක් ඒ ක්‍රමය තුළින්ම පහත් අඩියකට හෙළා තිබීම, ලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන කුරිරුතම සරදමයි.

ඒ අධ්‍යාපන ක්‍රමය සැලසුම් වී තිබෙන්නේම, සුළු පිරිසකගේ වරප්‍රසාදිත තත්වය දිගටම පවත්වාගැනීම සඳහා, ප්‍රශස්ත ශ්‍රම සැපයුමට බාධා කිරීමටයි. ආර්ථික අර්බුදයෙන් තමන් තරම් බැටකන තවත් පිරිසක් නැති බවක් පෙන්වීමට මෙන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රඟදැක්වූ විකාර සංදර්ශනය මතක් කරගන්න.

ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි. වෘත්තීය අභ්‍යාස ආයතන අවශ්‍යයි. රටේ දරුවන්ගෙන් අතිමහත් බහුතරයකගේ යහපත සඳහා වන අවස්ථා නිර්මාණය කිරීම උදෙසා උසස් අධ්‍යාපනික මට්ටම් සහිත ආයතන පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වයෙන් ගොඩනඟාගත යුතුයි. උසස් අධ්‍යාපනය මත පවත්වාගෙන යන අර්ධ-රාජ්‍ය ඒකාධිකාරය විසින් නඩත්තු කෙරෙන වැඩවසම් ක්‍රමය අවසානයක් කර දැමීම සඳහා එසේ කළ යුතුව ඇත.

මේ ගැන ආණ්ඩුව කියන කතා නිවැරදි මුත්, ඒ සඳහා වන පැහැදිලි මූලෝපායක් ආණ්ඩුවට නැත. අලුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට ආණ්ඩුව අනුමැතිය දෙන බව ජනාධිපතිවරයා කියා තිබේ. එය හොඳ වැඩක් වන නමුත් ඒවා, පවතින අධ්‍යාපන අර්බුදයට අලවන පැලැස්තර පමණි. දීර්ඝ කාලයක් තිස්සේ රටේ ළමුන් පීඩාවට පත් කරන ක්‍රමයක් අවසන් කිරීමට නම් ඊට වඩා විදග්ධ ආකාරයෙන් සිතිය යුතුය. මුලින්ම, පෞද්ගලික උසස් අධ්‍යාපනය සඳහා නියාමන රාමුවක් අවශ්‍ය කෙරේ. වෙනත් බොහෝ ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන්ද දක්නට ලැබෙන, ආයෝජන අධෛර්යමත් කෙරෙන හෝ විවිධ පරිපාලනමය බාධක සහිත ක්‍රමවේදය, ඒ මගින් අවසානයක් කළ යුතුය.

දෙවැනුව, මේ රට තුළ ආයතන ගොඩනැඟීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන්ට විවිධ කාරණා සඳහා පෝලිම්වල රස්තියාදු වීමට සිදු වෙයි නම්, ප්‍රතිපත්ති රාමුව මොන තරම් ප්‍රගතිශීලී වුවත් වැඩක් නැත. 1980 ගණන්වලම එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබුණේ එවැනි ප්‍රශ්නයක් උද්ගත නොවන්නට තිබුණි. එහෙත් ඒ කෝච්චිය ගොසින් දැන් බොහෝ කල් ය. අධ්‍යාපන සේවාවන්, ආයෝජන ආකර්ශනය, දිරිදීම් සහ යටිතල පහසුකම් සහිත රටක් වශයෙන් ගොඩනැඟීම සඳහා, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය වැනි ඒ වෙනුවෙන්ම කැපවුණු ආයතනයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේය. එවැනි ආයතනයක්, සමහරවිට ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනයකින් සැපයෙන ප්‍රමාණවත් මූල්‍ය ආධාරයකින් ශක්තිමත් කළ යුත්තේය.

ලෝකයේ ඉහළම පෙළේ අධ්‍යාපනික ආයතන 500 ට ගැනෙන ආයතන සමග අනුබද්ධ විශ්වවිද්‍යාල හෝ විදේශ උසස් අධ්‍යාපන මණ්ඩප සඳහා, තෝරාගත් දේශීය සහ විදේශීය ආයෝජකයන් ලවා මෙරට තුළ ගොඩනැංවීමේ ආරම්භක ප්‍රාග්ධනයක් වශයෙන් එය පාවිච්චි කළ යුතුය. එසේම, ඒවා සඳහා වසරකට ඇතුළත් කරගන්නා නියමිත අවම ශිෂ්‍ය සංඛ්‍යාවක් සඳහා එකඟත්වයක්ද ඇති කරගත යුතුය.

අලුත් විශ්වවිද්‍යාල ආණ්ඩුව විසින් ආරම්භ කර පවත්වාගෙන නොයන්නේ මන්දැයි කෙනෙකු ඇසිය හැකිය. එහෙත් දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ශෝචනීය තත්වය දෙස බලන විට අලුත් විශ්වවිද්‍යාලයක් පිහිටුවීම යම් සංඛ්‍යාත්මක අගයක් එක් කළත්, පවතින දුර්වල තත්වයත් සමග එක් වූ විට ඒවායේ තත්වය තවත් ශෝචනීය වනු ඇත. ඒ නිසා, දැනටමත් සොයාගන ඇති රෝදයක් නැවතත් සොයාගැනීම සඳහා වෙහෙසෙනවාට වඩා, වැඩියත්ම, ඒ සඳහා අවශ්‍ය කරන සංවිධානාත්මක සහ කළමනාකරණ දක්ෂතා ආණ්ඩුව සතුව නැති තත්වයක් තුළ, දැනටමත් ආණ්ඩුව වෙනුවෙන් ඒ කාර්යයේ නිමග්න කෙනෙකුට එම කාර්යය කරගෙන යාමට පහසුකම් සැලසීම, අපේක්ෂා භරිත ශ්‍රී ලාංකික ශිෂ්‍ය පරම්පරාවට වඩාත් හොඳින් සේවය සැලසීමක් වනු ඇත.

රාජ්‍ය නොවන අධ්‍යාපන අංශය, රජයේ උදව්වකින් තොරව දැනටමත් ශිෂ්‍යයන් 20,000 ක් ඇතුළත් කරගන්නා ධාරිතාවක් සහිතයි. නිවැරදි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ඇතොත්, අවුරුදු කිහිපයක් ඇතුළත ඒ ප්‍රමාණය පස් ගුණයකින් වැඩි කර දීමට ආණ්ඩුවට හැකි වනු ඇත. ඒ අනුව, සුදුසුකම්ලාභී විශාල ශිෂ්‍ය බහුතරයකට අධ්‍යාපනික අවස්ථා සැලසීමට හැකි වනු ඇත.

උසස් අධ්‍යාපනය තුළට මීට වඩා ඇතුළත් වීමේ අවකාශය පුළුල් කිරීම සඳහා, අධ්‍යාපන කලාප පිහිටුවීමට ආණ්ඩුවට පිළිවන. ප්‍රාදේශීය ආර්ථිකයන්ටත් සම්මාදම් විය හැකි කුඩා අධ්‍යාපන නගර සෑම පළාතකම ඇති කළ හැකිය. පර්යේෂණ දිරිගැන්වීම සහ කාර්මික පොකුරු බිහි කිරීමත්, අහලපහළ ඉන්කියුබේටර ඇති කිරීමත් ආදියෙන්, එවැනි සංවර්ධනයන් තවත් ප්‍රවර්ධනය කළ හැකිය.

තුන්වැනුව, ඕනෑම අධ්‍යාපන ප්‍රතිපත්තියක් පදනම් විය යුත්තේ, ගුණාත්මක බව, සමාන සාධාරණත්වය සහ ප්‍රවේශ පහසුව මත ය. එහෙත්, අධ්‍යාපන අවස්ථාවන් තිබෙන්නේ බොහෝ දෙනාට අතපෙවිය නොහැකි දුරකින් නම්, අවසානයට කී කාරණා දෙක සාක්ෂාත් කරගත නොහැකි වනු ඇත. ඒ නිසා, එවැනි තත්වයන්හිදී සියලුම සිසුන්ට ආණ්ඩුව විසින් උපකාරක ගාස්තු සඳහා ණය පහසුකම් සැපයිය යුතුය. එය, බොහෝ දියුණු රටවල උසස් අධ්‍යාපනය තුළ තිබෙන ප්‍රධාන කුලුනකි.

හතරවැනුව, තමන්ගේ ඌනතාවන් සහ වාසිසහගත තත්වයක් අවබෝධ කරගත යුතුය. වියට්නාමය සහ බංග්ලාදේශය වැනි නැඟී එන රටවල් සමග සසඳද්දී, ඔවුන්ගේ ආර්ථික පරාසයට අපට කිට්ටු කිරීමටවත් නුපුළුවන. එහෙත් අපටම ආවේණික වාසිසහගත තත්වයන් අපට තිබේ. ඉන් එකක් වන්නේ, අපේ රටේ තිබෙන ඇතැම් ව්‍යාපෘතිවල පවතින කේන්ද්‍රීය භාවයයි. හම්බන්තොට වරාය, වරාය නගරය සහ චීනයේ ‘තනි තීරුව සහ මාර්ග පද්ධති’ ව්‍යාපෘතිය උදාහරණ වශයෙන් ගත හැකිය.

ලෝකයේ තිබෙන හොඳම විශ්වවිද්‍යාල 500 න් දෙවැනි තැනට වැඩිම විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් තිබෙන්නේ චීනයේ ය. එසේ හෙයින්, හම්බන්තොට ආශ්‍රිතව අධ්‍යාපන නගරයක් ගොඩනැඟීමට ඔවුන්ට ආරාධනා කළ හැකිය. චීනයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල විදේශ මණ්ඩප ලංකාවේ පිහිටුවීම සඳහා ඔවුන්ව දිරිමත් කළ හැකිය. එවැන්නක් ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. අපේ ආසන්නතම අභිප්‍රායමත් ඒ මගින් වහා සාධනය වනු ඇත.

ඉන්දියාව තවත් පැත්තකි. එහෙත් ඉන්දියාවට විශේෂිත වන ඔවුන්ගේ තොරතුරු තාක්ෂණය වැනි විෂයපථයන් මගින් ලෝක මට්ටමේ උපාධිධාරීන් බිහි කළත්, ඔවුන්ගේ අධ්‍යාපන රටාවේ ව්‍යුවහයන් වඩාත් සකස්ව ඇත්තේ ඉන්දියාව තුළටම වැඩි නැමියාවක් තබමිනි. ඊට වඩා, සමහර යුරෝපීය හෝ ඇමරිකානු විශ්වවිද්‍යාල අපේ අවශ්‍යතාවන්ට වඩාත් ගැළපෙන්ට පිළිවන. චීන අධ්‍යාපන ආයෝජන මෙහි වෙතොත්, එවැනි රටවල් ආකර්ශණය කරගැනීම තවත් පහසු වනු ඇත.

පස්වැනුව, ශ්‍රී ලංකාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් වීමේ සිහිනය බොහෝ කලක සිට දකිමින් සිටින රටකි. අඩු මිලට උසස් ගුණාත්මක බවක් සහිත අධ්‍යාපනයක් අපේක්ෂා කරන බොහෝ විදෙස් සිසුන්, ලංකාවේ පවතින අඩු ජීවන වියදම් මට්ටම නිසා මේ රට වෙත පහසුවෙන් ආකර්ශණය කරගත හැකිය. දකුණු ආසියාවේ අධ්‍යාපන වෙළෙඳපොළෙන් ඉතා කුඩා කොටසක් හෝ අප වෙත ඇදගැනීමට අපට හැකි වෙතොත්, ගුණාත්මක අධ්‍යාපනයක් පවතින රටක් බවට ලංකාව පත්කර ගත හැකිය.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යාමට නම්, ගෝලීය සැපයුම් පද්ධතිය සමග බද්ධ වන තරමටම, අප සතු මිනිස් ප්‍රාග්ධනය නවීකරණය කරමින් යාවත්කාලීන කළ යුතුව ඇත. ඒ සඳහා, පෞද්ගලික විශ්වවිද්‍යාල එකක් නොව, සිය ගණනක් වුව ගොඩනැඟිය යුතුය. ප්‍රවර්ධනය කළ යුතුය.

(2023 නොවැම්බර් 14 දින Daily Mirror පුවත්පතෙහි "Why does Sri Lanka need private universities ?" මැයින් පල වූ රංග ජයසූරිය විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය කළේ Governance Lanka වෙතිනි.)