මේ සිරි ලංකාවේ අයවැය කියන්නේ “අමු බොරුවක්”

මේ සිරි ලංකාවේ අයවැය කියන්නේ “අමු බොරුවක්”

“මචෝ, මොනවද හිතෙන්නේ අයවැය ගැන?” කිහිප දෙන ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2024 අවුරුද්ද සඳහාවන අයවැය ගැන දුරකතනයෙන් මා අමතා ඇසූහ. “ඡන්ද අයවැයක් වගේ නේද?” යැයි තවත් අය ඇසූහ. “මොන වගේ උත්තරයක්ද මලයෝ ඕනේ? ආණ්ඩු ගේන අයවැය ගැන ඕනේ දෙයක් කියන්න පුළුවන්. සුමානයක් දෙකක් යනකොට කියපු දේ අදාලත් නැහැ....... අයවැය අදාලත් නැහැනේ” යැයි මම කීවෙමි. එය “බෞද්ධ දර්ශනය පදනම් කරගත් සමජීවිකතා අයවැයක් මිස මැතිවරණ අයවැයක් නොවේ” යැයි ජනාධිපති තමන්ගේ අයවැය ගැන කියූ බැව් සිංහල පුවත් පතක ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා වී තිබිණ.

එවගේම බොහෝ මාධ්‍ය වැඩි අවධානයක් යොමුකර තිබූයේ රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 කින් වැඩි කිරීමටය. ඒ සමග රුපියල් 20,000 ක් ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වූ කණ්ඩායම් නිහඬවී ඇත. රජයේ සේවකයින්ගේ වැටුපට ඇත්තටම රුපියල් 10,000 ක් අලුතින් එකතු කෙරුණේ ඔවුන්ගේ වැන්දඹු හා අනත්දරු අරමුදලට මෙතෙක් වැටුපෙන් කපා ගත් සියයට 06 මේ අයවැයෙන් සියයට 08 ක් කිරීමත් සමගය. දහස් ගණනකගේ වැටුප් එකවර වැඩි කිරීමේ අත්දැකීම වන්නේ ඒ සමග වෙළඳපල භාණ්ඩ මිල ඉහළ යාමය.

බෞද්ධ දර්ශනය පදනම් කරගත් ජනාධිපති වික්‍රමසිංහගේ කෙටි අර්ථ දැක්වීම සිංහල-බෞද්ධයින් වෙනුවෙන් වූවත් රනිල් වික්‍රමසිංහ එය කී විට බහුතරයකට එය එතරම් ආකර්ශනීය නොවුනි. බහු-සංස්කෘතියක් ඇති මේ රටේ වාර්ගිකයින් අතර සංහිඳියාව රටේ දියුණුවට අතිශය වැදගත් යැයි පසුගිය දිනවල නිතර කියූ ජනාධිපති වික්‍රමසිංහ, අනුරාධපුර මහ විහාරයේ පැවති ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය අනුයමින් මහ විහාර විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම, අනුරාධපුරයේ නවීන ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටුවීම, මහනුවර ශ්‍රී ලංකා බෞද්ධ ශිෂ්ඨාචාර කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම, සංහිඳියාවට කුමක් වූවත් ඉදිරි දේශපාලනයේ ඔහුට දකුණේ සමාජය වෙනුවෙන් අත්‍යාවශ්‍ය යැයි ඔහු සිතුවා විය හැකිය.

ශ්‍රී ලංකාව බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ජනාධිපති අභිප්‍රායද දකුණේ දේශපාලනය වෙනුවෙන්ම කියූවක් යැයි පැහැදිලි කෙරෙන්නේ “සාම්ප්‍රදායික කාර්යන් අභිබවමින් නව සංචාරක සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට” 2024 සිට නව ස්වරූපයෙන් “විසිට් ශ්‍රී ලංකා” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අපේක්ෂා කරන බවද අයවැය යෝජනා වලින් කියූ විටය. රජයේ නිවාඩු නිකේතන සතු කාමර 3,750 ක් සහිත නිකේතන 720 ක් නවීකරණය කර සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට යෝජිත ය. ශ්‍රී ලංකාව බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අමතකවී පින්නවල-කිතුල්ගල සංචාරක කොරිඩෝවක් හැදීමට වැඩි අවධාරණයක් ලබා දී ඇත. එය යෝජනා වන්නේ “කිතුල්ගල ජල ඔරු පැදීමේ ප්‍රදේශය, පින්නවල අලි අනාථාගාරය සහ ඒ වටා ඇති අනෙකුත් සංචාරක ආකර්ශනයන් සහිත ස්ථාන සංවර්ධන කලාපයක් ලෙස සංවර්ධනය කරනවා” යැයි කියා ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුම යොදා ගැනීමෙන් “යෝජිත ගලිගමුව නව නගරය මෙම සංචාරක කලාපයේ කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රවර්ධනය කරනවා” යැයිද කියා ඇත.

ශ්‍රී ලංකාව බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට එළෙසින් පත් කිරීම ගැන මේ රටේ සෙසු සංස්කෘතීන් කලබල නොවීම අයවැය යෝජනා සතු සැබෑ වැදගත්කම කියා පාන්නකි. චන්ද්‍රිකා ජනාධිපතිනිය සමයේ සිට රාජපක්ෂ යුගය වාගේම 2015 යහපාලන ආණ්ඩු කාලයද පසුකර පැමිණි අවුරුදු 30 ක කාලයේ ඉදිරිපත් කළ අයවැය සියල්ල මෙවැනි හිස් වාග් හරඹ පමණි. ඒවායේ මුල මැද අග ගැලපෙන්නේද නැත. කලින් වසරේ යෝජනා සමග ඇයි හොඳයිකම් ඇත්තේද නැත. එනිසා කලින් වසරේ ගුණ දොස් විස්තර කතා කිරීමේ වුවමනාවක් මතු වන්නේද නැත.

පෙර අයවැයක් තිබුණේදැයි හෝ නොසිතා නව අයවැය ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායෙහි නිදසුනකි මෙය. වික්‍රමසිංහ අගමැතිගේ යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති රවී කරුණානායක 2016 වසර සඳහා වූ අයවැයෙන් ඩෙංගු, වකුගඩු රෝගය සහ පිලිකාව සම්බන්ධ පර්යේෂණ වෙනුවෙන් යැයි රුපියල් මිලියන 250 ක් වෙන්කර තිබිණ. එදා අවුරුදු 07 ට පෙර රුපියලේ ක්‍රය ශක්තිය අද මෙන් දෙගුණයක් විය. ඒ මුදලින් සිදු කළ රෝග පර්යේෂණ මොනවාදැයි සහ එහි ප්‍රතිපල ගැන කිසිදු සඳහනක් නැතිව 2018 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති කරුණානායක නැවත පාර්ලිමේන්තුවට කීවේ ලංකාව පුරා හැම දිස්ත්‍රික්කයකම වාගේ හඳුනා නොගත් වකුගඩු රෝගය ව්‍යාප්තවන හෙයින් අනුරාධපුර, පොළොන්නරුව හා යාපනය රෝහල් වලට මුත්‍රාශ්‍ර රෝග පරීක්ෂා කිරීම සඳහා නවීන පහසුකම් සැපයීමට රුපියල් මිලියන 450 ක් ලබා දෙන බවය. ඉන්පසු මංගල සමරවීර යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස 2019 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් කීවේ, ඒ වනවිට වකුගඩු රෝගීන් 21,000 ට පමණක් රුපියල් 5,000 ක මාසික දීමනාවක් ගෙවන බවත් පොරොත්තු ලේඛනයේ සියල්ලන්ටම එම දීමනාව ගෙවීම සඳහා තවත් 5,000 ක් වකුගඩු රෝගීන් වෙනුවෙන් රුපියල් මිලියන 1,840 ක් වෙන් කරන බවත් ය. එසේ මුදල් වෙන් කිරීමේදී 2016 දී පර්යේෂණ සඳහා වෙන් කළ මුදලින් කෙරුණේ මොනවාදැයි සහ 2018 අයවැයෙන් යෝජිතවූ නවීකරණ සිදුවිනිදැයි වාර්තා කිරීමේ වුවමනාවක් ඔහුට නොතිබුණි.

මෙවරද පෙර පුරුද්දට අනුව ආබාධ සහිත පුද්ගලයින්, වැඩිහිටි පුරවැසියන් සහ වකුගඩු රෝගීන් සඳහා යැයි රුපියල් මිලියන 5,000 ක් සමග ඔවුන්ට මූල්‍ය ආධාර ලෙස රුපියල් මිලියන 3,000 ක් වෙන්කර ඇත. ජනාධිපති අයවැය කතාවෙහි සඳහන් කළ අයුරු දැන් වකුගඩු රෝගීන් 1,30,000 ක් ඉන්නා අතර ඔවුන්ට දෙන මුදල් ආධාරය රුපියල් 7,500 දක්වා වැඩි කරනු ඇත. ඔහුටද පෙර කතා කිසිවක් අදාල නොවුනු අතර ඉන් මතුවන බරපතල ප්‍රශ්නය වන්නේ ආණ්ඩුවක් මුදල් වෙන් කළ යුත්තේ කුමක් සඳහාද යන්නය. මෙතෙක් අවම අවුරුදු 08 ට ආසන්න කාලයක මුදල් වෙන්කර ඇත්තේ වැඩිවන රෝගීන් සංඛ්‍යාවට ආර්ථික සහන සැපයීමට මිස වකුගඩු රෝග නිවාරණ විශේෂ වැඩපිළිවෙලකට නොවේ.

මේ අයවැය යෝජනා අතර තියෙන එවැනි ලොකුම විහිළුව “හරිත ආර්ථිකය” පිළිබඳ කතාවය. ඉකුත් දස මසක කාලයේ වනාන්තර ගිණි තැබීමේ අනතුරු ඇඟවීම් 106 ක් සනාථ වී තිබිණැයි “ග්ලෝබල් ෆොරස්ට් වොච්” ආයතනය වාර්තා කර ඇත. ඔවුන්ට අනුව, පසුගිය 2022 වසරේ කැලෑ පාළු කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ස්වාභාවික හරිත ආවරණය කි.හේක්ටෙයාර් 8.4 කි. ඒ හේතුවෙන් කාබන් ඩයෝක්සයිඩ් (CO2) වායුව වැඩිපුර මෙ.ටොන් 3.4 ක් පරිසරයට එකතුවී ඇත. මෙය දේශපාලනීකරණය වූ රාජ්‍ය නිලධර පිරිස් ජාවාරම්කාරයින් සමගින් සිදුකරන විනාශයකි. ඇතැම්වාට කැබිනට් අනුමැතිය ලබාදී ඒවා නිත්‍යානුකූල කිරීමේ උත්සාහ ඇත. බෝගහපැලැස්ස වනසංරක්ෂණයේ සොරගුණේ ප්‍රදේශයේ අක්කර 5,000 ක් පමණ බලවතුන්ට බෙදා දී ඇතැයි වාර්තා විය. ත්‍රිකෝණමඩුවේද අක්කර 1,500 ක පමණ එවැනිම ඉඩම් බෙදිල්ලක් සිදුව ඇත. තවත් ඒවායේ දේශපාලන බලහත්කාරයට සියල්ල යටත්ව ඇත.

ඒ විනාශ ගැන කිසි තැකීමක් නොමැති ආණ්ඩුව අනාගතයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා “හරිත ආර්ථිකයක්” නිර්මාණය කිරීමට අයවැයෙන් යෝජනා කරන්නේය. මහ භාණ්ඩාගාරයේ දේශගුණික මූල්‍යකරණ ඒකකයක්ද ජනාධිපති කාර්යාලයේ දේශගුණික විපර්යාස සම්බන්ධ කාර්යාලයක්ද පිහිටුවීමට ජනාධිපති පියවර ගෙන ඇත. ඒ පරිසර විහිළුවේ පෙරවදන පමණි. ඉතිරිය ඇත්තේ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට කොත්මලේ ජලාශයට ඔබ්බෙන් අක්කර 600 ක් දැනටම වෙන්කර ඇතැයි කීමෙනි. කොත්මලේ ජලාශයට ඔබ්බෙන් අක්කර 600 ක් එළි පෙහෙලි කිරීමෙන් කොත්මලේ ජලාශය ආශ්‍රිත පරිසරයට සිදුවන හානිය ගැන ඇගයුමක් කර තිබේද සහ කරනු ඇතිද යන්නත් බරපතල සැකයකි. එහෙත් ළඟදීම දේශගුණ විපර්යාස කොමිසමක් පිහිටුවන්නටද පියවර ගන්නා බව ජනාධිපති අයවැය කතාවෙහි සඳහන් කළේය.

හරිත ආර්ථිකයක් වෙනුවෙන් යෝජනා කෙරෙන සියලු කමිටු, ඒකක, කොමිසම් සහ “දේශගුණ විපර්යාස විශ්ව විද්‍යාලය” වෙනුවෙන් අවුරුද්දටම වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 250 කි. එහෙත් දිස්ත්‍රික්ක 07 ක නාය යෑමේ බරපතල තර්ජන වලට ලක්ව ඇතැයි හඳුනාගෙන සිතියම්ගත කෙරුණු ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව සඳහා යෝජනා සහ මුදල් කිසිත් නැත. අවදානම් සහගත ප්‍රදේශ හඳුනාගෙන සිතියම්ගත කෙරෙන්නේ කුමටදැයි යන්න එබැවින් දහස් ගණනකගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයකි. ජීවිත විනාශ සමගින් නාය යෑම් තව දුවරටත් හුදු ස්වාභාවික විපත් නොවුනත් ස්වාභාවික විපත් හේතුවෙන් හානි සිදුවන මාර්ග, පාළම් අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන්කර ඇත.

මෙවැනි අයවැයක අනෙක් යෝජනා ගැන කිව හැක්කේ මොනවාද? අයවැයෙහි අලුතින් පිහිටුවන, ස්ථාපිත කරන ආයතන 14 ක් සමග අලුත් විශ්ව විද්‍යාල 04 ක් යෝජනා කර ඇත. ජාතික ජනසභා ලේකම් කාර්යාලය, ආර්ථික කොමිසම් සභාව, ජාතික පලදායිතා සභාව, ඩිජිටල් අධිකාරයක්, තාක්ෂණික නවෝත්පාදක සභාවක්, කෘතිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය, ජාතික පලදායිතා කොමිසම, යටිතල පහසුකම් සංස්ථාව, ආදායම් අධිකාරය සහ එය පිහිටුවීමේ කටයුතු සම්බන්ධීකරණ විශේෂ ව්‍යාපෘති කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවීම, ත්‍රිකුණාමල නගරාශ්‍රිත සංවර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්, පළාත් කර්මාන්ත සේවා මධ්‍යස්ථාන, පළාත් කෘෂි හා ධීවර නවීකරණ මණ්ඩල ඇතුළත් ලේඛනයෙහි සඳහන් සියල්ල වෙනුවෙන් රුපියල් බිලියන 08 ට වැඩි මුදලක් වෙන්කර ඇත.

මෙහි ප්‍රශ්නය මුදල නොවේ. ප්‍රශ්නය මෙවැනි ආයතන අලුතින් හැදිය යුතුද යන්නය. ඒ කියන්නාවූ සියළු කටයුතු පවතින රාජ්‍ය ආයතන ඔස්සේ ඉටුකරගත හැකිය. ජනසභා සහ ජනසභා ලේකම් කාර්යාල අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ පළාත් පාලන ආයතනවල නියෝජිත සංඛ්‍යාව දෙකෙන් පංගුවට අඩුකර, ජන සහභාගිත්වය ඇතිව ආයතන ප්‍රජාතන්ත්‍රීය කිරීමේ සංශෝධන කිහිපයක් පමණි. ආදායම් අධිකාරයකින් හා ආර්ථික කොමිසම් සභාවකින් බලාපොරොත්තුවන සියල්ල මුදල් හා සැළසුම් කිරීමේ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන නවීකරණය කර දේශපාලනයෙන් මුදවා ගැනීම මගින් ඉටු කරගත හැකිය. පළාත් කෘෂි හා ධීවර නවීකරණ මණ්ඩල මගින් ඉටු කෙරෙන කාර්ය ගැන සඳහන් වන්නේ වී වගාව ගැන පමණය. ඒ සඳහා පර්යේෂණ ආයතන ගණනාවක් ඇත. ඒවායේ වගකීම් හා කාර්ය ගැන පළමුව අවධානය යොමු කළ යුතුය. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීමේ වගකීම ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සතුය. දියුණු කළ යුත්තේ එය ය. අනෙක් සියල්ල ගැන කිව හැක්කේද එයම ය.

අලුතින් විශ්ව විද්‍යාල 04 ක් ආරම්භ කිරීමත් එවැනිම ය. ඇතැම් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අලුත් පීඨ එකතු කළ හැකිය. අවශ්‍ය වන්නේ ඒ විෂයන්ට අදාල අත්දැකීම් ඇති, අධ්‍යයන හා පර්යේෂණ කර ඇති විද්වත් ආචාර මණ්ඩලයක් සමග දේශනාගාරයක් හා නවීන පුස්තකාල පහසුකම් ය. ප්‍රශ්නය වන්නේ එවැනි මානව සම්පත් සොයා ගැනීමය. පවතින රාජ්‍ය ආයතන සතු වගකීම් හා ශක්‍යතා ගැන කිසිදු කතාවක් නොමැතිව අලුත් ආයතන හැදීමට යෝජනා කිරීමෙන් ඔප්පු කෙරෙන්නේ ආණ්ඩුවට මේ රටේ සිදුවන කිසිවක් ගැන කිසිදු නිනව්වක් නොමැති බවය.

මෑත කාලයේ හැම අයවැයකම ජාතික ආදායම ගණන් හැදුනේ හිතලු වශයෙනි. ඒවා කිසි විටෙක ප්‍රායෝගික නොවීය. මේ 2023 වසරේ අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 2,596 කි. මේ වන විට ඉන් කොපමණ ලබා ගෙන තිබේදැයි මුදල් ඇමති පාර්ලිමේන්තුවට කිව යුතුය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2022 වසරේ කාර්යසාධන වාර්තාවට අනුව එම වසරේදී ඔවුන් ආදායම් බදු වලින් එකතු කරගෙන තිබූයේ සියයට 49.6 කි. වැට් බද්දෙන් සියයට 43.8 කි. මුද්දර බද්දෙන් සියයට 01.2 ක් සහ සමාජ ආරක්ෂණ බද්දෙන් සියයට 3.4 ක් වූ අතර, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු ඇතුළුව අනෙක් කිසිදු බද්දකින් ලබා ගත යුතු බදු ආදායමෙන් සියයට 01 ක් වත් ලබාගෙන නැත. ඉදිරි 2024 වසරේ අපේක්ෂිත රුපියල් බිලියන 4,107 ක ආදායමෙන් සියයට 50 ක් එකතු කර ගතහොත් පසුගිය කෝප් කමිටු විමසීම් වලදී හෙළි වුනු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධරයින් හවුල් වන දැවැන්ත දුෂණ වලට අනුව එය විෂ්මයජනක එකතු කිරීමක් වනු ඇත.

අවසන් වශයෙන් කිව යුත්තේ පසුගිය හැම අයවැයකම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යෝජනා ප්‍රමාණය බොහෝ විට හරි අඩකටත් අඩුය. ක්‍රියාකාරකම් ආරම්භ කර ඇත්තේ සියයට 60 - 70 ක පමණි. මේ 2023 වසරේ මාස 11 ක කාලයක අයවැය යෝජනා අතරින් කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබේදැයි අයවැය තෙවන වර කියවීමේදී ජනාධිපති විසින් එක් එක් අමාත්‍යාංශය අනුව ඒවායේ තත්ත්වය පිළිබඳව විස්තර ඉදිරිපත් කළ යුතු යැයි මම කියමි. ඒ අනුව, ලබන වසරේ අවසානය වන විට මේ අයවැයට හිමිවන ඉරණම කල් තියා කිව හැකි වනු ඇත.

Kusal perera 1

| කුසල් පෙරේරා

2023 නොවැම්බර 16