විකිණීම ආර්ථික අර්බුදයට විසඳුමද? - වත්මන් ආණ්ඩුවට ජනමතයක් නොමැති බව

විකිණීම ආර්ථික අර්බුදයට විසඳුමද? - වත්මන් ආණ්ඩුවට ජනමතයක් නොමැති බව
(2 කොටස) 
 
2020 වසරේදි වත්මන් පාර්ලිමේන්තුවට සැලකිය යුතු ජනමතයක් හිමි වුවත් අද වන විට ජනාධිපති ධූරය මෙන්ම බොහෝ කැබිනට් ධූරද දරා සිටින්නේ 2020දීද ඉහළ ජන මතයක් හිමිකර ගැනීමට අසමත් වූ පුද්ගලයන් විසිනි. එය වත්මන් විධායකයට ජනමතය අහිමි බවට යම් හෝඩුවාවක් දක්වයි.
 
අරගලය මතුව ආවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ 225 එපා යන ආමන්ත්රණය ඇතිවය. කොළඹට ප්රවාහනය නොමැති තෙල් නොමැති මොහොතක මිලියන ගනනක ජන ගංගාවක් පයින්ම කොළඹට පැමිණ විරෝධය පෑම ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පණිවිඩයක් ලෙස සැලකිය යුතුය. එයින් වත්මන් පාර්ලිමේන්තුවට සහ එයින්ම පැනනගින මේ විධායකයට ජනමතයක් නොමැති බව තහවුරු වෙයි.
 
මෙම අරගලය කුමන්ත්‍රණයක් යැයි සලකනු ලැබුවත් ලක්ෂ 20ක පමණ ජනතාව කුමන්ත්‍රණකරුවන් නොවන හෙයින්ම ඉහත ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පණිවිඩයේ වෙනසක් නොවන්නේය. ඊට අමතරෙන් කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස මතුවන මේ ආණ්ඩුව වඩාත්ම අනීතික බැව් එයින් පැහැදිලි වෙයි.
 
ජනතා පරමාධිපත්‍යයට මුල්තැන දෙන ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් රාජ්‍යයක කුමන නීති ප්‍රකාරව ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව පත්වූවත් මේ පත්වීම ප්‍රජාතාන්ත්‍රවාදී මූලධර්මයන්ට පටහැනි හෙයින්  ස්වභාවික නීතිය(Natural Justice) අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුත්තේ තමන් සතු නොවන යමක් තමන් අතට පත් වූ විට කටයුතු කළයුතු ආකාරයෙනි. එනම් පවතින අර්බුදයට යම් සහනයක් දෙමින් රටේ සම්පත් ආරක්ෂා කොටගත හැකි ඉක්මනින් ඡන්දයක් පවත්වා ජනමතයක් ඇති පිරිසකට රට කිරීමට අවස්ථාව සැලසීමයි.
විකිණීමට හේතු?
 
විකිණීමට හේතු ලෙස විදේශයන්ගේ බලපෑම සහ අවස්ථාවාදී දේශපාලකයන් හා නිලධාරීන්ගේ වුවමනාව බැව් අපි හඳුනාගත්තෙමු. එහෙත් මේ මොහොතේ සිදුවන විකිණීමට ඒ හැරුණු කොට වෙනත් හේතු ඇත්දැයි සොයා බැලීම වටී.
 
මීට පෙර වත්මන් ජනාධිපතිවරයා වසර 2015දී අග්‍රාමාත්‍යවරයාව සිටියදී ඔහු යටතේ මහබැංකුව පැවතිණි. එවක සිදුවූවායැයි කියන මහබැංකු බැඳුම්කර වංචාවෙන් ලැබූ මුදල් ප්‍රධාන වශයෙන්ම ඉන් අනතුරුව පැමිණි ඡන්ද කටයුතු සඳහා බෙදාදුන් බව එසමයෙහි පැතිරී ගිය මතය විය. අපට කිසිවක් තහවුරු කොට කිව නොහැකි වුවත් මේ විකිණීමේ ක්‍රියාවලියද මීළඟ ඡන්දයට මුදල් ඉපැයීම පිණිස වියහැකි බැව්ද වටහාගත හැකිය.
ටෙලිකොම් උදාහරණය?
 
ටෙලිකොම් ආයතනයෙහි කළමනාකරණය වසර 2000 දී NTT(Nippon Telegraph and Telephone) ආයතනයට හිමිවීමෙන් එය වඩාත් සංවර්ධනය වීම පුද්ගලීකරණයෙහි සාර්ථක අවස්ථාවකි. ලෝකය පුරා පුද්ගලීකරණය සාර්ථක වූ අවස්ථා බොහෝ ඇතත් අවාසනාවට ශ්‍රී ලංකාවේ අපට උජාරුවට කීමට ඇත්තේ මේ දශකයක පමණ කාලයක් ටෙලිකොම් ලැබූ සාර්ථකත්වය පමණි. 
 
එහෙත් 1990 දශකයේ සිට පුද්ගලීකරණය කළ ආයතන සංඛ්‍යාව 100කට අධිකය. ඒවා ජනතාවට යම් සුභසාධනයක් ගෙන ඒමට තියා, බොහොමයක් අතුරුදන්ව ගොසිනි. වතු සමාගම් පවා බොහොමයක් ඉඩම් වගා නොකරන තත්ත්වයට පත්ව තිබේ. ඊටත් වඩා වතුකම්කරුවන්ගේ ජීවන තත්වය පවා රැකදීමට අසමත් වී තිබෙයි. මෙලෙස වැරදි වුවමනාවන් මත කටයුතු කිරීමේදී සියගණනකින් එකක් දෙකක් හොඳින් සිදුවීම මහා ආශ්චර්යයක් නොවේ.
 
කෙසේ වෙතත් පසුකාලීනව ටෙලිකොම් ආයතනයේ තත්ත්වය වෙනස්වනුයේ නැවත දේශපාලකයින්ගේ අමනෝඥ මැදිහත් වීමෙනි. දේශපාලකයාගේ මැදිහත් වීම වැලැක්වීමට රජය සතු සියළු අයිතිය විකුණා දැමීම, ලාභ ලැබීමට ඇති අයිතිය අමුවේ අහුරා ගැනීමකි. NTT ආයතනයට හිමිව තිබියදී රජයේ කොටස් මගින් ලබාගත් ආදායමද එපා යැයි කියමින් මේ කරන්න්ට වෙරදරන විකිණීම, විදේශ බලපෑම් සහ දේශපාලකයාගේ වාසියට ලඝු වන බැව් පැහැදිලිය.
ශ්‍රී ලංකන් උදාහරණය?
 
ශ්‍රී ලංකන් ගුවන්සේවය අනෙක් අතට ගොඩගැනීමට නොහැකිම ආයතනය ලෙස දක්වා රාජ්‍ය අංශය අසාර්ථක බැව් පෙන්වීමට ගන්නා මූලික ආයතනයකි. 
 
රජය නැවත පවරා ගැනීමෙන් පසු මෙම ආයතනයෙහි පරිපාලනය නුසුදුස්සන් අතට පත්වීමෙන් වත්මන් තත්ත්වය දක්වා පැමිණ තිබේ. ආයතනයේ තත්වය දැන් පවතින කටයුතු කළයුතුව තිබුණු අවසථා බොහෝයි. උදාහරණ ලෙස 2016 මැයි 6වනදා එයාර් බස් 350 යානා 8ක් මිලදී ගැනීම් අවලංගු කළේය. එයින් අනතුරුව දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන්සේවයෙහි පරිමාණය ඊට සාපේක්ෂකව පහතට ගෙන ආවේද යන්න එක් ගැටළුවකි. මේ අවසන් මොහොතේ වුව ගුවන් ගමන් අවලංගු වෙමින් අත් විඳිමින් සිටින්නේ අදට ගැලපෙන තරමින් ආයතනයෙහි පරිමාණය සකස් නොකිරීමේ අර්බුදයයි. 
අතීතය කෙසේ වුවත් ශ්රී ලංකන් ආයතනය විකුණා දමන්නට තැත් කරන්නේ පෙර සඳහන් කළ ඉතා පටු රාමුවේ සිටයි. ඊට අදාළ සේවා වෙන වෙනම විකුණා දමා අවසානයේ ගුවන් සේවය සඳහා ලබා ගතහැකි ආයෝජකයෙක් නොවේ. මෙහිදී උත්සාහයද විකුණාගත හැකි යමක් විකුණා ගැනීමටයි. 
 
විෂය පිළිබඳ දෙස් විදෙස් ප්‍රාමාණික විද්වතුන් සමග සාකච්ඡාවෙන් අප හඳුනාගත්තේ, දකුණු ආසියා කලාපයේ ගුවන් කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව ඉහළට ගෙන ආහැකි බවයි. ඒ මත විදේශ ගුවන් සේවාවක් සමග උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇතිකරගැනීම පවතින ගැටළුව අභිබවා සාර්ථකත්වයක් හිමි කරගැනීමට ප්‍රවේශයකි. විශේෂයෙන්ම ඉන්දියාව තුල එවන් කේන්ද්‍රයක් සඳහා ඉන්දීය නොවන ගුවන්සමාගමකට ඉඩ නොසලසයි. එය ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවකි. අවාසනාවට ඉන්දීය සමාගම්වලට කොටස් වශයෙන් ඒකාධිකාරය ඇති සේවා අංශ විකුණා දැමුවහොත් මෙය කිසිදා ඉටු නොවේ.
 
අනෙක් ප්‍රවේශය වන්නේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය හා එක මිටියකට මේ ගුවන්සේවය ගැනීමයි. මෙලෙස නව ආරකට කටයුතු කිරීමෙන් පමණක් අද අප ඇති තත්ත්වයෙන් ගොඩ ආහැකි අතර දේශීය ආයෝජකන්ගේ ආයෝජන කැමැත්තද මෙහිදී ප්‍රයෝජනයට ගත හැකිය. එහෙත් විෂයට අදාළ අවබෝධයක් ඇති පිරිසකගේ කළමණාකාරීත්වය සහ මෙහෙයවීම මෙහිදී අනිවාර්ය වෙයි.
 
එට්කා විකිණීම
 
එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ බොහෝ අධ්‍යයනයන් සිදු කර ඇති අතර ගිවිසුම් සඳහා කල්පනාකාරීව  එළඹීම රටක දියුණුවට හේතුවිය  හැකි වුවත් ඉන්දියාව සමගින් ඇති කරගන්නා වූ එට්කා වැනි ගිවිසුමකින් ශ්‍රී ලංකාවට වාසියක් අත් කර ගත නොහැකි බව ඒ අධ්‍යනයන් හරහා බොහෝ පැහැදිලිව පෙණින. ගිවිසුමක වාසිය සැලකිය යුත්තේ එහි සමස්ත ප්‍රතිඵලය දෙස නිරීක්ෂණයෙන් මිස යම් ක්ෂේත්‍රයක හෝ යම් කුඩා පිරිසකට සිදුවන වාසි සලකා නොවෙයි. පෙර අපි ඇති කරගත් ගිවිසුම් වලින් ලැබුණු  තීරු බදු අඩු කිරීම්වලින් බොහෝ විට ප්රයෝජන ගත්තේ පිටරටවල කෘෂිකාර්මික ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ ලෙස නැවත අපනයනය කරමින් ලාභ ලැබූ ජාවාරම්කරුවන්ය.  එම අවස්ථාවන් ගොවියාට හිමි නොවන තරම්ය.
 
ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන පැමිණීම ඉතාම දුර්ලභ තත්ත්වයකට පත්ව තිබේ. එයින් මිදීමට ගිවිසුම් හරහා යම් සම්පාදනයන් ඇතිකර ගැනීමට හැකි වුවත් එවන් කිසිම අවස්ථාවක් මේ ආසන්නයේදී අත්සන් කළ ගිවිසුමකින් පවා අප අයත් කරගෙන නැත. සිංගප්පූරු ගිවිසුමෙන් අපට ලැබුණු වාසියක් නැතැයි කීමට එහි සාකච්ඡාවන් සඳහා ගිය ප්‍රධානියා වූ කේ ජේ වීරසිංහට සිදුවීම එය සනාථ කරයි. 
 
එහෙත් ඉන්දියානු ගිවිසුම ඊට වඩා බෙහෙවින්ම ගැටළු සහගත වෙයි. ආර්ථික කාරණාවන්ට සීමා නොවී, දෙශපාලන, සමාජයීය සහ ආරක්ෂක ආදී අංශයන් රාශියකින් මේ දෙස පිරික්සීම අනිවාර්ය වේ. ඉන්දීය රජය මේ වනවිට අඛන්ඩ භාරත් නමින් ආර්ථික කාරණාවලින් ඔබ්බෙහි සමාජ සංස්තික සහ දේශපාලනික ගමනකට පා තබා ඇති හෙයින් වඩාත් විමසිලිවන්ත වීම අනිවාර්ය්ය වේ.
 
කොරෝනා සහ පාස්කු ප්‍රහාරයට ප්‍රථමත් අපේ දේශීය කර්මාන්ත බොහොමයක් ඉන්දියානු කර්මාන්තයන් ගෙන එන පීඩනයට ඔරොත්තු දීමට ප්‍රමාණවත් තරමින් සංවර්ධනය වී තිබුණේ නැත. එහෙත් අදවනවිට ඉහත අර්බුධයන් නිසා කර්මාන්ත සැලකිය යුතු තරමකින් කඩා වැටී තිබීමෙන් මෙම ගැටළුව තවත් උත්සන්නව තිබේ.
 
අද රාජ්‍ය ව්‍යවසාය විකුණා දමන්නා සේම, එට්කා ගිවිසුම හරහා දේශීය වෙළඳපොළත් ඒ හරහා දේශීය කර්මාන්තත්, රැකියා වෙළඳපොළත් යන සියල්ල විකුණා දැමීමට නියමිතය. ඒ පිළිබඳ වැඩි විස්තර එට්කා නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද? යන පොත බාගත කොටගෙන කියවා අවබෝධ කර ගන්න.
 
තවද එක් කරුණක් පමණක් සටහන් කළ යුතුය. ජාත්යන්තර සේවා සඳහා විවෘත වන අවස්ථා හතරකි. ඒවා
 
Mode 1 : සේවාදායකයා සහ සේවාලාභියා සංචරණයනොවී සේවය සපයයි.
Mode 2 : සේවාදායකයා සිටින රටට සේවාලාභියා සංචරණය වේ.
Mode 3 : සේවාදායකයා සේවාලාභියා සිටින රටට සංචරණය වේ. ඒ යම් ආයතනයක සේවානියුක්තිකයෙකු ලෙසයි. 
Mode 4 : සේවාදායකයා සේවාලාභියා සිටින රටට නිදහසේ  සංචරණය වේ. එහිදී ඔහු රැකියාවක් හෝ සේවාලාභියෙකු සොයා ගනී.
 
රැකියා වෙළඳපොළට බලපාන්නේ මේ Mode 3 සහ Mode 4 යන අවස්ථාවන් 2 පමණි. Mode 3 පමණක් විවෘත කළත් බොහෝ රැකියා ඒ මගින් ආවරණය වේ. උදාහරණ ලෙස් මීනිස් ශ්රමය සපයන හෝ තාක්ෂණික සේවා හෝ උපදේශන සේවා සපයන ආයතන මුවාවෙන් ශ්රී ලංකාවට පැමිණෙන ආයතනයකට ඊට අදාළ සියලු රැකියා ඩැහැ ගැනීමේ අවකාශ ඕනෑතරම් තිබේ. විශේෂයෙන්ම මේ ගිවිසුම් ආයෝජන සඳහා විවෘත බැවින් ඉහත අවස්ථාව ඉතා පහසුවෙන් විදේශ ආයෝජනයන්ට හිමිවේ. ඉන්දියානුවන්ට වීසා ගැනීම ඉතා පහසු කොට ඇති නිසා අදවනවිට මේ තත්වය තවත් භයංකර වී තිබේ. එම නිසා Mode 3 විවෘත වීමෙන් පමණක් සියලු සමාජ සංස්කෘතික අර්බුදයන් මතුව එනු ඇත.
 
තවද මේ සියල්ල තුල ඉන්දියාවේ සහ ලංකාවේ වැඩකරන ජනතාව සූරාකෑම පහසුකරවන හෙයිනුත්, ඉන්දියානු දේශපාලකයින්ගේ අඛණ්ඩ භාරත් වැඩසටහනෙහි මනදොළ පුරවාලන හෙයිනුත් ව්‍යජපාරිකයින් සහ දේශපාලකයින් එක ලෙස මේ ගිවිසුම් ගතවීමට උනන්දුවෙයි.
 
නිවැරදි මග
 
පළමුව අප රටක් ලෙස මේ තත්වයට පත් වූ හේතු හඳුනාගත යුතුය.
1. අධික ලෙස ණය ලබා ගැනීම. 
2. වෙළඳ ශේෂ සහ ගෙවුම් ශේෂ ඍණ පරතරය දිගින් දිගටම ඉහළ යාම නොතකා කටයුතු කිරීම.
3. යටිතල පහසුකම් ආදී ව්යාපෘති සඳහා සැලසුම් විරහිත ආයෝජනය.
4. සියලු ව්යාපෘතීන්ගෙන් සොරකම් කිරීම.
5. ඡන්ද පමණක් අරමුණුකොට, සංවර්ධනය සහ අනාගත සුභසිද්ධිය නොසලකා සහනාධාර පැකේජ වරින්වර ලබාදීම.
6. රාජ්‍ය අකාර්යක්ෂමභාවය, නාස්තිය සහ දූෂණය.
7. සම්පත් විදේශයන්ට විකුණා දැමීම.
8. ශක්තිමත් දැක්මක් නොමැති රාජ්‍ය පාලනය.
9. නීතිය ස්වාධීනව ක්රියාත්මක නොවීම.
10. නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති.
 
ඉහත කරුණු පළමුව විසඳා ගතයුතුය.
ආර්ථිකය ගොඩනැගීම පූර්ණ සැලසුමකට අනුව ක්‍රියාත්මක විය යුතුය.
 
අද වනතෙක් සැලසුමකින් තොරව ආර්ථිකය මෙහෙයවීම හේතුවෙන් අපේ රටට මේ මහත් විනාශය අත්වී ඇත. ව්යාපෘති මෙන්ම ආයෝජන, ණය ලැබෙන පරිදි ලබාගැනීමෙන් සහ රටේ ජාතික සම්පත් විකිණෙන පරිදි විකිණීමෙන් රටක් සංවර්ධනය කිරීම කළ නොහැකියි.
දේශීය කර්මාන්ත දියුණු වන ඉහත සඳහන් දුර්වලතා සඳහා විසඳුම් සහිත, ණය ක්‍රමයෙන් ගෙවා තවදුරටත් ණය මත පදනම් නොවූ වැඩ පිළිවෙළක් සකස් කිරීම අනිවාර්ය වෙයි.
එවන් ක්‍රමවේදයක් නොමැති හෙයින් අද කෙරෙන්නේ වෙළඳාමක් පමණයි.
ජාතික අභිලාෂයන් සඳහා මුල්තැන දිය යුතුයි.
 
ජාතික ආරක්ෂාව පවත්වාගැනීම, රටේ ස්වෛරීත්වය, සංස්කෘතිය මතු පරම්පරාව ආදී වූ අංගයන්  අමතක කොට ආර්ථික කාරණා පමණක් සලකමින් කටයුතු කිරීමද සුදුසු නොවේ. 
කාර්යක්ෂමතාව නැංවීම රාජ්‍ය අංශය පුරාවට සිදුවිය යුතුයි. 
 
රාජ්‍ය අංශයේ ව්යාපාර කිහිපයක් පමණක් විකුණා දමා කාර්යක්ෂම කිරීම යනු තවත් මුලාවකි. 
 
විකුණා දැමීමට සැරසෙන ආයතන කීපයක සේවකයින් සංඛ්‍ය
 
ශ්‍රීලංකා ඉන්ෂුරන්ස් - 2700
ටෙලිකොම් -8000
ශ්‍රී ලන්කන් - 5400
 
මිලියන 1.5ක ප්‍රමාණයක රැකියා ප්‍රමාණයක් සහිත රාජ්‍ය අංශය මේ ආයතන කිහිපයක් ගිලිහුණ පමණින් කාර්යක්ෂම නොවේ. වියදම් අවම කිරීමත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට වැඩපිළිවෙලක් රාජ්‍ය අංශය පුරාවට සිඩු නොකොට මේ කාර්යක්ෂමතාව යන්න බොරුවට වයන්නේ රාජ්‍ය ව්‍යවසායන් විකිණිය හැකි අයුරෙන් විකුණා දමන්නටය.
 
(තෙවන කොටස ලබන සතියට)
 
| වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
 
සබැඳි පුවත්