විකිණීම ආර්ථික අර්බුදයට විසඳුමද? – " රට ගෙනයන අත"

විකිණීම ආර්ථික අර්බුදයට විසඳුමද? – " රට ගෙනයන අත"

 (1 කොටස)

පිවිසුම

රටක අර්ථ ක්‍රමය තෝරා ගැනීමේදී වඩාත් තාර්කික සහ ප්‍රයෝගික ප්‍රවේශයක් ගැනීම යෝග්‍ය වේ. එහෙයින් විවිධ අන්තවාදී ආර්ථික ගුරුකුලයන්ට යොමු වීම නුසුදුසුය. සියලුම ව්‍යවසායන් රජය විසින් කළ යුතු බවද රජය විසින් කිසිදු ව්‍යවසායක නොයෙදිය යුතු බවද එවන් අන්තයන් දෙකකි. ජාත්‍යන්තර ගිවිසුම් සඳහා කිසිලෙසටත් නොඑළඹිය යුතු බවද ජාත්‍යන්තර ගිවිසුම් හැකි තරම් අත්සන් කිරීමෙන් රට සංවර්ධනය වන බවද තවත් එවන් ආන්තික මත දෙකකි.

අද වන විට ශ්‍රී  ලංකාවේ  සියලුම ව්‍යසායන් රජය විසින් සිදු කළ යුතු යැයි යන මාතෘකාව ගන්නා පිරිසකගේ හඬක් නෑසේ.  ඉතාමත් විශේෂිත වූ හේතුවක් නොමැති නම්  හැර තව තවත් රාජ්‍ය ව්‍යවසායන් ආරම්භ කළ යුතු බව  පවසා සිටින පිරිසක් නොමැතිවීමෙන් ඒ බව මොනවට පැහැදිලි වේ. එහෙයින් අද පවතින්නේ රජය විසින් කිසිදු ව්‍යවසායක් නොපැවැත්විය යුතුයි යන්නත් උපාය මාර්ගික වශයෙන් අත්‍යාවශ්‍ය වන්නා වූ රාජ්‍ය ව්‍යවසායයන් පවත්වාගනිමින් පුද්ගලික අංශයන්ට මූලිකත්වය දීමෙන් රාජ්‍ය කර යුතුය යන්න මූලික කරගත් කඳවුරු දෙකකි. රාජ්‍ය, ව්‍යසායන් නොකළ යුතු යන අන්තවාදී මතය අත්හළ විට නිතැතින්ම උපාය මාර්ගික වශයෙන් අත්යවශ්ය වන්නා වූ රාජ්ය ව්යවසායයන් පවත්වාගනිමින් පුද්ගලික අංශයන්ට මූලිකත්වය දීමෙන් රාජ්‍ය කළ යුතුය යන්න මෙයින් මුල් තැන ගනී. විශේෂයෙන්ම, තාක්ෂණිකව ලෝකයේ සෑම ආර්ථිකයක්ම මිශ්‍ර ආර්ථිකයක් වන අතර, රාජ්‍ය මැදිහත්වීමෙන් තොරවම ආර්ථිකය කළමණාකරනය කළ නොහැකි බැව් සාමාන්‍ය සම්මතයකි.

දැන් උපායමාර්ගිකව රාජ්‍ය ව්‍යවසාය පවත්වාගත යුත්තේ කුමන ක්ෂේත්‍රයන් අරභයාද යන්න සහ කුමන අයුරෙන් ද යන්න හඳුනා ගැනීම මෙම මූලික ගැටලුවට පිළිතුර සොයා ගැනීමට ප්‍රමාණවත් වෙයි. එහෙත් ශ්‍රී ලංකාව තුල සිදුවන විකිණීමේ ක්‍රියාවලිය එවන් තාර්කික ප්‍රවේශයකින් නොව ඊට හාත්පසින්ම වෙනස් හේතු, බොරු සහ කරුණු වසන්කිරීම් මත විද්වතුන්ට ඉහත මාතෘකාව ලබාදී, මහජනයාට බොරු වපුරා අන්දවා මේ විකිණීම මෙන්ම ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමටද නියමිතය. එහෙයින්ම අපගේ අවධානය මෙම අධ්‍යයනයේදී මේ පුලුල් වපසරියම ආවරණය කෙරිණ.

රට ගෙනයන අත

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු ඔහුගේ පළවෙනි අයවැය කතාවේදී ප්‍රකාශ කර සිටියේ ජේආර් ජයවර්ධන මහතා ගෙන ගිය  වැඩපිළිවෙල  ඉදිරියට ගෙනා යුතු බවය. එහෙත් මේ රටේ බොහෝ කාලයක් තිස්සේ කරගෙන ආවේ එකම වැඩපිළිවෙලක්ය. ඒ ජේ.ආර් ජයවර්ධනගේ වැඩපිළිවෙළ මය. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ එම වැඩ පිළිවෙල කඩිනමින් ඉෂ්ට කිරීමෙන් මේ රට සංවර්ධනය වන බවය.

එහෙත් අඩු වැඩි වශයෙන් අද දක්වාම 1978න් පසුව දිගින් දිගටම රට ගමන් කලේ ජේආර් ජයවර්ධන මහතා විසින් ආරම්භ කළ විවෘත ආර්ථික ක්‍රමය මෙන්ම රාජ්‍ය ආයතන විකුණා දමමින් ජාතික සම්පත් අන්සතු කරමින් ආගමනකය. ජේ ආර් ජයවර්ධන මහතාට සහ පසුව පැමිණි ජනාධිපතිවරුනට විකුණා දැමීමට නොහැකිව ඉතිරිව තිබූ ආයතන ප්‍රමාණයක් මෙන්ම දේශීය සම්පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් තම පාලන කාලයේදී විකුණා දැමීමට කටයුතු කළේය. එහෙත් ඒ කිසිවකින් ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය අපොහොසත් වූ බව පෙනී ගියේය. මෙලෙස පක්ෂ විපක්ෂ සියලු ජනාධිපතිවරුන් මේ වැඩපිළිවෙල දිගින් දිගටම අනුගමනය කළේය. එයිනුත් ඔබ්බට යමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉන්දියාව වැනි රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා පවා එළඹිණි. ඒ කාලයේ සිට ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන්නට ද විය. මේ තත්ත්වයත් සමඟ එයින් ඇතිවුණු ගෙවුම් ශේෂ අර්බුදය හේතුවෙන් ජාතික සම්පත් පුද්ගලීකරණය කිරීමටත් ඔබ්බට ගොස් ඒවා පිටරට වලට විකුණා දැමීමට සිදුවන තැනට පත් වීය. මෙලෙස ණය ගැනීමත් ජාතික සම්පත් විදේශයන්ට විකුණා දැමීමත් යම් ප්‍රමාණයක් පෞද්ගලිකරණය හරහා විශේෂයෙන්ම හිතවතුන්ට සහ ජාවාරම්කාරයන්ට ලබාදීමත් දිගින් දිගටම සිදුවෙමින් පැවතිණි.

මේ ආර්ථික වැඩපිළිවෙළෙහි අසාර්ථකභාවය ජනතාවට  වැටහුණු හෙයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේදී ඔහුට යම් යම් ආයතන ප්‍රමාණයක් නැවතත් රජයට පවරා ගැනීමට සිදු විය. එහෙත් ණය ගැනීම සහ නෑදෑ හිතමිතුරන්ට සත්කාර කිරීම අත් නොහැරී හෙයින් එම ආයතන වල සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩල තම නෑදෑ හිත මිතුරන්ගෙන් පුරවා දැමීය. රාජ්‍ය මුදල් හැසිරවීම ජාවාරම්කරුවන් අතට පත් විය. රජයේ ව්‍යපෘති තනි එක් සැලසුමක් යටතේ රටේ සංවර්ධනය අරමුණු කොට නොපැවතුනු නිසාත් ඉතා ආර්ථික වශයෙන් වැදගත් වූ සංවර්ධන ව්‍යපෘතීන්ගෙන් වුවද නිසි පල නෙලා ගැනීමට අදත් ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබේ.

විදේශ බලපෑම

අද රාජ්‍ය සම්පත් විකිණීම සිදුවන්නේ විදේශීය රටවල් වලින් වුවමනාව මතය. ඒවායේ ව්‍යපාරිකයන්ගේ වුවමනාව මතය. කාලාන්තරයක් තිස්සේ ඉන්දියාවත්, චීනයත්, එක්සත් ජනපදයත් ප්‍රධාන කොට ශ්‍රී ලංකාව වෙත ඇති කළ මේ පීඩනය මේ මොහොතේ වඩාත්ම තදින් සිදු කරමින් සිටින්නේ ඉන්දියාවයි.

එට්කා සම්බන්ධයෙන් සාකච්ඡා කරන කණ්ඩායමේ ප්‍රධානියා වන කේ ජේ වීරසිංහ මහතා කියා සිටිනුයේ වෙනකවදාටත් වඩා තදින් ඉන්දියාව මේ මොහොතේ එට්කා ගිවිසුමේ සාකච්ඡා අවසන් කොට අත්සන් කිරීම සඳහා තදින් පෙනී සිටින බවයි. එමෙන්ම ඉන්දීය සාකච්ඡා කණ්ඩායම ඒ බැව් මාධ්‍යට පවා පවසා තිබේ.

විදුලිබල මණ්ඩලය කොටස් කොට විකිණීමට වන සූදානමේ දී, එහි පනත සකස් කිරීමට පවා ඉන්දීය සමාගම් ප්‍රධානීන් හවුල් වී කටයුතු කරන බව දැනගන්නට තිබේ.

ඉතා මෑතකදී පවා එට්කා ගිවිසුමට මෙන්ම ජාතික සම්පත් විකිණීමට විරුද්ධව සිටි දේශපාලකයන් අද කැබිනට් මණ්ඩලය තුළ මෙයට  කත් අදින්නේ හෝ නිහඬව සිටින්නේ, ඔවුන්ට කිනම් ආකාරයේ බලපෑමක් සිදුවූ නිසා දැයි සොයා බැලිය යුතුව තිබෙයි.

එපමණක් නොව පක්ෂ විපක්ෂ දේශපාලකයන් බොහෝ දෙනෙකු මෙන්ම පක්ෂ පවා මෙදා ඉන්දියාවේ ඉහත ක්‍රියාවලිය සම්බන්ධව ඉතා සුමට ප්‍රතිපත්තියකට එළැඹ තිබෙයි. ඔවුන්ට මුදල් ඇතුළුව විවිධ ආකාරයෙන් එල්ලවන බලපෑම් සහ රෝ සංවිධානයට ඇති බය මෙහිදී මුල් තැනක් ගනී.

මෙලෙස බොහෝ කාරණා මෙම විදේශීය බලපෑම සම්බන්ධයෙන් ගෙනහැර දැක්විය හැකියි. එමෙන්ම අතීතයේදී ලංකාවට මෙන්ම ආසන්න අනෙකුත් රටවලට ඇතිකරන විදේශ බලපෑම් දෙස නිරීක්ෂණයෙන් මෙම කරුණ ඉතා පැහැදිලිව අවබෝධ කොට ගත හැකිය.

දේශපාලකයින්ගේ සහ නිළධාරීන්ගේ වාසිය

දශක ගණනාවක් තිස්සේ සිදුව ආ මේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය තුල ජනතාවට අසන්නට තිබුණු වංචා දූෂණ අනේකය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධූරය හිමි කරගන්නේ අල්ලස දූෂණයට තිත තැබීමේ පොරොන්දුව ඇතිවය. එනම් ඊට පෙර පැවති රජයන් වංචාව දූෂණය නාස්තිය සැලකිය යුතු තරමින් සිදුකළ බවට ජනතාව දැන සිටි බවට සාක්ෂියකි. ඉන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද රාජ්‍ය ආයතන විකුණා දැමූ අතර, ඒවායින් බොහොමයක් ඉතා ආන්දෝලනාත්මක ගිවිසුම් හා සම්බන්ධ වෙයි.

1990 ආසන්න කාලයේ සිට ආරම්භ වන මේ පුද්ගලීකරණ ක්‍රියාවලියේදී මුලභාගයේදී රාජ්‍ය ආයතන දේශපාලන හිතමිතුරන්ට ප්‍රදානය කළත් පසුව විදේශයන්ට විකුණා දැමීමේ ක්‍රියවලියක් බවට මෙය පත් විය. පසුකාලීනව විදේශයන් සමග වෙළඳ ගිවිසුම් සඳහා ද එළඹුණ අතර, ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඉහළ යන විට මෙලෙස එම හිඩැස පියවීමට තව තවත් රටේ ජාතික සම්පත් විකුණා දැමීමට සිදුවිය.

ඉහත වගුවෙන් දක්වා සිටින්නේ මෙලෙස ඉන්දියාව සමග වෙළඳ හිඟය ක්‍රමයෙන් ඉහළ ගිය ආකාරයයි. විකිණීමේ මෙම ක්‍රියාවලිය ආරම්භයට ඉහත පෙන්නුම්කළ ආර්ථික පීඩනය හේතු වුවත්, විදේශයන්ට විකුණා දැමීමෙන්, වඩා වැඩි පුද්ගලික වාසි ඇති බැව් වටහා ගැනීමට දේශපාලකයෝ සමත් වූහ. එදා සිට අද දක්වා විදේශයන්ට ජාතික සම්පත් විකිණීමත්, කිසිදු සැලසුමකින් තොරව වැඩි වියදම් සහිත විදේශ ආයෝජන රට තුලට ගෙන ඒමත් සිදුවන්නේ මේ රසවැටීමෙන් අනතුරුවය.

ජනතාව මේ විකිණීමේ ක්‍රියාවලිය හා එකඟද?

ජනතාව මේ විකිණීමේ ක්‍රියාවලියට එකඟ නොවන බැව් වසර 2005 ජනාධිපතිවරණයේදී පෙන්වා දුන්නේය. ඒ රාජ්‍ය ආයතන තව දුරටත් විකිණීම නැවැත්විය යුතු බවත්, ආයතන නැවත පවරා ගත යුතු බවත් ජනතා මතය විය. ඒ අනුව කටයුතු සිදුවූවත් දේශපාලකයාට සිය ගජ මිතුරන්ට සැලකීමට  ක්රමවේදයක් අවශ්ය විය.

ඒ අනුව රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානීන්ට අධ්‍යක්ෂක මණ්ඩලයට සිය ගජමිතුරන් පත් කරමින් ඒවා පුරවා දැමීය. ප්‍රතිඵලය ලෙස මේ ආයතනය වංචා දූෂණ සිදුවන පාඩු ලබන ආයතන බවට ඉතා වේගයෙන් පත්විය. දැන් නැවත විකුණා දැමීමට උත්සහ දරන ආයතන අතර මේ ආයතනද පවතී.

වසර 2019-2020දී ද පැවති ජනාධිපතිවරණය සහ මහමැතිවරණයන්හිදී ජනතාව පෙන්වා සිටියේ එට්කා ආදි ගිවිසුම් වලට එළඹීම සහ හම්බන්තොට වරාය ආදී ජාතික සම්පත් විකිණීමට පවතින විරෝධයයි. එසේ පත්වූ රජය නැගෙනහිර ජැටිය විකුණා දැමීමට කටයුතු කරන විටද ජනතාව ඉතා දැඩි විරෝධයක් ගෙන ඒමෙන් ද ජනතාව මේ විකිණීමේ ක්‍රියාවලියට විරුද්ධ බව පැහැදිලිව පෙන්වා දී තිබේ.

මේ උත්සාහය ආයතනය කාර්යක්ෂම සහ පාඩු නොලබන තැනට ගෙන ඒමද?

අද මේ විකුණා දැමීමට නියමිත රාජ්‍ය ආයතන මේ වන විටත් ලාභ ලබමින් සිටී.

ඒ අතර බැංකු විදුලිබල මණ්ඩලය, හිල්ටන්, වෝටර්ස් එජ් සහ ටෙලිකොම් ආදී ආයතන රාශියකි.

ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී රුපියල් බිලියන 56ක ආදායමක් ලැබිය යුතු බවට මේ වන විට ඇස්තමේන්තු ගත කොට ඇත.

ප්‍රධාන රාජ්‍ය බැංකු 2ක පමණක් රුපියල් බිලියන 21.2ක් 2022 වසරේ බදු ලෙස රජයට ගෙවා තිබේ. බදු ගෙවීමෙන් පසු ලාභයේ එකතුව රුපියල් බිලියන 49.1කි. මේ සියලු ලාභයන් උපයන්නේ බැංකු සේවය දුෂ්කර පලාත්වලට ලබා දෙමින් මෙන්ම අස්වැසුම වැනි සහනාධාර, රජයේ වෙනත් සහනාධාර සහ රජයේ අනෙකුත් සේවාවන් රාශියක් ජනතාවට ලබාදීම සඳහා බැංකුජාලය කටයුතු කරමින් ය. මේ සේවාවන් රජය වෙනත් ආයතනයකින් ලබා ගත්තේ නම් ඔවුනට විශාල මුදලක් ගෙවීමට සිදුවනු බැව් නියතය.

එහෙත් සමස්ථයක් ලෙස මුලු මහත් රාජ්‍ය අංශයම අකාර්යක්ෂම බැව් ඉතා පැහැදිළිය. ඒ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයන් බොහෝ වෙයි. එසේ නම් ලාභ ලබන ව්‍යවසායයන් විකිණීමට වේගවත් වන දේශපාලකයෝ සමස්ථ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමට පියවර නොගන්නේ ඇයිදැයි පෙරලා විමසීමට සිදුව තිබේ. සරලවම මෙහිදී පැහැදිලි වන්නේ දේශපාලකයාගේ වාසිය සහ විදේශයන්ගේ බලපෑම මත මේ විකිණීම, ප්‍රතිව්‍යහගත කිරීම වැනි සුන්දර නාමයන්ගෙන් සරසා සිදු කිරීම මිස, වඩා අකාර්යක්ෂම රාජ්‍ය අංශයේ කොටස් කිසිවක් කාර්යක්ෂම තත්ත්වයට ගන්නා වෑයමක් නොපෙනේ.

එසේනම් මේ උත්සාහය විකිණිය හැකි ලාභ ලබන ආයතන විකිණීමට මිස රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමට නොවේ.

මේ උත්සාහය වංචා දූෂණ පිටු දැකීමටද?

දූෂණ සංජානන දර්ශකය (Corruption Perception Index) යනු රටේ ජනතාව සිදුවන දූෂණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය 2022 සිට 2023 දක්වාම හදිසියේම දර්ශකයේ එකක දෙකකින් පහත වැටීමක් ශ්‍රී ලංකාවට අත්විය. ඒ හේතුවෙන් ලෝකයේ 101 වැනි තැන් සිටි ශ්‍රි ලංකාව දැන් 115 තැනට පහත වැටී තිබේ. මෙයින් පැහැදිලි වන්නේ සමාජයේ දැක්මට අනුව පසුගිය අවුරුද්ද පුරාවටම දූෂණ වංචා ඉහළ යෑම මිස පහත යාමක් සිදු නොවූ බවයි. එනම් රජයේ උත්සාහයෙන්ම දූෂණ වංචා පිටුදැකීමට නොවන බව ශ්‍රී ලාංකික සමාජය තේරුම් ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලනය එදා මෙදා තුරා දූෂණය පිටුදැකීම සඳහා කළේ  අකර්මණය කොමිෂන් සභා පත්කිරීම, නීති රීති සකසා ක්රියාත්මක නොකර සිටීම,  පසුව එන රජයන් විසින් මේ කොමිෂන් ආදිය සුදු අලින් සහ අකාර්යක්ෂමතාවයට හේතු ලෙස පෙන්වමින් ඒවා ඉවත් කර  දැමීමයි.

පෙර ප්‍රසම්පාදන කොමිසම නිශ්ඵල ලෙස පවත්වාගෙන යෑම සහ ඉවත් කිරීම ආසන්නතම නිදර්ශනයක් වේ. මෙවන් උදාහරණ කොතෙකුත් ඇතත් අදටත් ඒ ක්‍රියාවලියම සිදුවන බවට හොඳම නිදර්ශනය වන්නේ ආසියාවෙන්ම හොඳම පනත යැයි  වත්මන් ආණ්ඩුවම කියන  දූෂණ මර්ධන පණත කඩදාසියට පමණක් සීමාව ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත් කොට තිබීමයි.

COPE සහ COPA කමිටු වාර්තා මෙන්ම රජයේ විගණන වාර්තා පෙන්වා දෙන දූෂණ සහ අක්‍රමිකතා කිසිවක් සඳහා විසඳුම් ගෙනා හැකි ක්‍රමවේදයක් මේ කිසිදු රජයක් ගෙන එන්නේ නැත. අඩුම තරමේ එම වාර්තාවන්ට අනුව වැරදි සහගත පුද්ගලයන් ශ්‍රී ලංකන් සමාගම වැනි අතිශයින් පාඩු ලබන ආයතනයන්ගේ ප්‍රධාන පුටුවලින් වත් ඉවත් කරන්නෙ නැත.

ඇත්තෙන්ම මේ දේශපාලන ක්‍රමය රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක් ආයතනය කාර්යක්ෂම කරමින් දූෂණ වංචා පිටු දකිමින් සාර්ථකත්වය කරා ගෙන යනු දුටු විට ඔහු ඉවත් කොට දේශපාලන හෙංචයියෙකු පත් කිරීම සාමාන්ය ස්වභාවයයි.

ඒ සම්බන්ධයෙන් මෑතකදී ඇති හොඳම උදාහරණය, මිල්කෝ ආයතනයේ ප්‍රධානියා ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා එම ආයතනය සාර්ථකව කරගෙන යද්දී ඔහු ඉවත්කර තමන්ගේ දේශපාලන පක්ෂයේ ලේකම්වරයෙකුට පත් කිරීමෙන් බංකොලොත් භාවයට පත් කර තිබේ. එමගින් රටට පාඩු වුණත් හෙට මේ ආයතනය විකුණා දැමීමෙන් දේශපාලකයා විශාල වාසියක් ලබා ගනී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය විශාල වැඩිද?

අධ්‍යයන ආයතනයක් ලෙස පෙනී සිටින පිරිසක් මේදිනවල කුඩා වීඩියෝ පටයක් හරහා පෙන්වා සිටින්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නියුක්ත සේවකයින් සංඛ්යාව බෙහෙවින් වැඩි බවයි. ඔවුන් සංසන්දනය කරන්නෙ, රාජ්‍ය සේවය සිය ජනතාවට කාර්යක්ෂමව සහ සාධාරණව ලබා දීමට අසමත් වූ රටවල් වන, පාකිස්තානය, ඉන්දියාව(3.8%) සහ බන්ගලාදේශය(3.1%) සමගයි. ඉන්දියාව සහ බංගලාදේශය ලෝකයේ රාජ්ය අංශයේ රැකියා නියුක්තිය අඩුම රටවල් 3න් දෙකකි. අනෙක නයිජීරියාවයි.  ඒ ආසන්නයේ පවතින ඉතිරි රටවල් නම්, උගන්ඩාව, කොලොම්බියාව, ඉතියොපියා, ඝානාව, ග්වාතමාලා, මැඩගස්කර්, රුවන්ඩා, සෙනගල්, ටැන්සානියා සහ සැම්බියා යන රටවල් වෙයි. ඉහත රටවල් සියල්ල 7%ට අඩු රාජ්ය අංශයේ සේවා නියුක්තිය ඇති රටවල් වේ.

ඔවුන් අධ්‍යයන ආයතනයකට වඩා ප්‍රපගැන්ඩා මෙහෙයවන ආයතනයක් බැව් මෙන්ම ඔවුන් ශ්‍රී ලංකාව කැඳවාගෙන යන්නෙ කොහාටද යන්නද මේ රටවල් දෙස බැලීමෙන් මොනවටද පැහැදිලි වෙයි.

එක්සත් ජනපදයේ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය 13.4% වන අතර චීනයේ එම අගය 28%කි. ශ්‍රී ලංකාවේ 14.8% යන අගය වඩා එක්සත් ජනපදයට ආසන්න අගයකි. ලෝකයේ වඩාත්ම ප්‍රජාතන්ත්රවාදී ගනයට ගැනෙන, නොර්වේ(32.2%), ස්වීඩන්(29.3%), ඩෙන්මාක්(30.2%) සහ ෆින්ලන්තය(26.1%) ආදී රටවල ඉහළ රාජ්ය සේවා නියුක්තියක් ඇති රටවල් වේ. ඕස්ට්‍රේලියාව(28.9%), එංගලන්තය(22.5%) සහ කැනඩාව(21.2) වැනි ශ්‍රී ලාංකිකයින් බහුලව සංක්‍රමණය වන රට වලද ඉහළ රාජ්‍ය අංශයේ සේවා නියුක්තියක් පවතී.

දකුණු ආසියාතික රටක් වන භූතානයේ (25%) ඉහත ප්‍රතිශතය ඉතා ඉහළ වන අතර ආසන්න රටවල් වන මැලයාසියාව(15.1%) සහ තායිලන්තය (9.6%) එම අනුපාතය අතින් යම් ආසන්නතාවක් දක්වයි.

මූල්‍ය වශයෙන් කඩාවැටුනු ඉතාලියේ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය 16%කි.

මේ අනුව පෙනීයන්නේ කාර්යක්ෂමතාව මිස, රාජ්‍ය අංශයේ ප්‍රමාණය පිළිබඳ සාකච්ඡාව අදාළ නොවන බවයි.

(දෙවන කොටස ලබන සතියට)

| වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ