වෘත්තීය ජනමාධ්‍යකරණය සහ සිය දිවි නසා ගැනීම්

වෘත්තීය ජනමාධ්‍යකරණය සහ සිය දිවි නසා ගැනීම්

මීට මාස කිහිපයකට කලින් කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක් කපල, කොටලා ඝාතනය කිරීම මම හිතන්නේ ඔබ ගොඩක් දෙනාට මතක ඇති.

ඒ ඝාතනය ගැන චෝදනා ලැබුවේත් ශ්‍රී ලාංකික තරුණයෙක්.

ඒ ඝාතනය ගැන එදා ලංකාවේ ජනමාධ්‍ය හැසිරුණ ආකාරයත්, කැනඩාවේ ජනමාධ්‍ය හැසිරුණ ආකාරයත් ඔබට මතකද?

කැනඩාවේ ඉන්න ප්‍රවීණ මාධ්‍යවේදී රසික පෙරේරා එදා 'සංදේශය' නාලිකාවත් එක්ක කැනඩාවේ ජනමාධ්‍ය ගැන කරපු පැහැදිලි කිරීම බොහෝ දෙනාගේ ප්‍රසංසාවට ලක්වෙලා තිබුණ. (https://www.youtube.com/watch?v=JQmaQQCSGTk)

ලෝකේ අනිත් රටවල ජනමාධ්‍යවල තියන වෘත්තීයමය හැසිරීම අපේ රටේ බොහෝ දෙනා අගය කළත් අපේ රටේ අති බහුතර පිරිසක් හොයාගෙන යන්නේ කුණු රසය. රටේ හිටපු රාජ්‍ය නායිකාවකට තිත්ත කුණුහරුපෙන් බනින සුදත්තගේ කුණුහරුප, එහෙමත් නැත්නම් 'ගවේෂණශීලී මාධ්‍ය කලාව' කියාගෙන අතේ පැලවෙන බේගල් ඇද බාන චමුදිතගේ 'truth' ලක්ෂ ගණන් මිනිස්සු නරඹන්නේ සත්‍යය වෙනුවට මිනිස්සු ඒ කුණු රසයම හොයන නිසා; අපේ රටේ මිනිස්සු කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔය පච නාලිකාවල කියන හැම පචයක්ම රස විඳිමින් අනුමත කරන නිසා. මිනිස්සු බලන්නේ නැත්නම්, views එන්නේ නැත්නම් මේ අශ්ලීල, කෙබර, ආචාර ධර්ම තුට්ටුවකට මායිම් කරන්නේ නැති මාධ්‍ය කලාව ලත් තැනම ලොප් වෙනවා. ඒක ඩිජිටල් මාධ්‍යයට වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයටත් පොදු සත්‍යයක්.

සුදාගේ කුණුහරුප ගැන සුජිත් රත්නායක මිත්‍රයා දාපු සටහනකට (https://www.facebook.com/sujith.rathnayake.773/posts/pfbid02991TCcMAqcsN9ciMwEmHozxdJG6oACckkeYBe3AJKxStGdHi4KzfY4WZKF1ovAugl) ජයන්ත කහටපිටිය හොඳ කමෙන්ට් එකක් දාල තිබුණ. ඒ කියන්නේ අපේ රටේ පාලකයිනුත්, බලයට එන්න උත්සහ කරන අයත් මේ කුණුහරුප නාලිකාවලට ඇවිත් ඒව ප්‍රවර්ධනය කරනවා කියල. ඒකත් ඇත්ත. Views කීයද, subscribers ල කීයද කියල විතරක් බලන්නේ නැතුව අපේ රටේ නායකයිනුත් ආචාර ධාර්මික නාලිකාවලට ප්‍රමුඛත්වය දෙනව නම්, මේ කුණුහරුප නාලිකා පාඩමක් ඉගෙන ගන්නවා. 

මිනිස්සු ඉගෙනගන්නෙත් නැත්නම්, පාලකයිනුත් ratings පස්සෙම විතරක් දුවනව නම් අඩුම ගානේ ඩිජිටල් අවකාශයටත් කිසියම් ආකාරයක ස්වාධීන නියාමනයක් තියෙන්නම ඕනේ.

ඇත්තටම මට හරිම පුදුමයි මේ නාලිකාවල ඉන්න මිනිස්සු දිගින් දිගටම කියන එක කතාවක් ගැන. "වගකීමෙන්ද කියන්නේ?" මේ 'මාධ්‍යවේදියෝ' අහනවා. 'ප්‍රකාශයේ වගකීම ඔබ භාරගන්නවාද?' කියල අහල disclaimer එකකුත් දානවා. අඩු ගානේ මේ 'මාධ්‍යවේදියෝ' මාධ්‍ය කලාවේ අ යන්න ආ යන්නවත් දන්නේ නැද්ද? නැත්නම් දැනගෙන හිතාමතාම වගකීමෙන් පැනල යන්න උත්සහ කරනවද? කවුරු මොනවා කීවත්, නොකීවත් මාධ්‍යයක කිසියම් දෙයක් පළ කළා නම් ඒකෙ වගකීම ප්‍රකාශකයාගේ, කියපු කෙනාගේ නෙවෙයි. 'ඔන්න මම නෙවෙයි කිවුවේ' කියල කාටවත් නීතියෙන් පැනල යන්න බැහැ.

මේ ටික කිවුවේ තවත් ඉතාම වැදගත් කාරණයක් ගැන කියන්න.

මම කාලයක් දිවි නසා ගැනීම් වලක්වන්න කටයුතු කරන ඇමෙරිකානු ස්වෙච්ඡා සංවිධානයක් එක්ක වැඩ කළා. ඒකෙ ප්‍රධානියා මාර්තා ටේලර් කියන කළු ජාතික ගායිකාව (https://www.youtube.com/watch?v=dtRu4iUFjXI). ඇයත් කිසියම් අවස්ථාවක ජීවිතේ ගැන බොහොම කළකිරුණ කෙනෙක්. ඒ වගේම මර්නිකා (නිකා) ෂෙල්ටන් ක්‍රියාධාරිනියත් මට එතෙන්දි මුණ ගැහුණ (https://www.youtube.com/watch?v=6pxetQCTwVg). කිහිප වතාවක්ම ජීවිතේ ගැන කලකිරුණ ඇය දැන් ඒ වගේ මානසික පීඩාවන්ට ලක්වෙන ඇමෙරිකානුවන් වෙනුවෙන්ම කැප වෙලා වැඩකරන ක්‍රියාධාරිනියක්.

මේ සාකච්ඡාවලදී මම දැකපු ලස්සනම දෙයක් තමයි ඔවුන් කොයි තරම් ප්‍රවේශමෙන් ඒ කතාබහ පවා හසුරුවනවද කියන එක. උදාහරණයක් විදියට දැන් ලෝකේ බොහෝ දෙනා committed suicide කියල කියන්නේ නැහැ. මොකද committed කියන වචනයෙන් හැඟවෙන්නේ අපරාධයක් කළා වගේ හැඟීමක්. ඒ වෙනුවට දැන් හුඟක් දෙනා භාවිත කරන්නේ took his/her own life වගේ දෙයක්. අනික ජීවිතෙන් සමුගන්න හැඟීමක් මතුවෙන කෙනෙක් එයින් බේරාගන්නේ කොහොමද, counselling එක වටිනාකම වගේ දේවල් අපි නිතර කථා කළා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වගේම ඩිජිටල් අවකාශයේත් ඒ වගේ සිදුවීම් වාර්තාකරණයේදී කොයි තරම් ප්‍රවේශම් සහගත විය යුතුද කියන දේ ගැනත් අපි නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගත්ත.

මට මතකයි මෑතකදී ලන්ඩන්වලදී අවාසනාවන්ත විදියට ශ්‍රී ලාංකික දරුවෙකුගේ ජීවිතය අහිමි වුණා. ඒ වෙලාවේ ඒ දරුවාගේ පාසලේ කිසිම දරුවෙක් දැන  හිටියේ නැහැ සිද්ද වුණේ මොකක්ද කියල. දරුවා මිය ගිහින් බව විතරක් පාසලේ බලධාරීන් අනෙක් දරුවන්ට කිවුව. අවශ්‍ය නම් ඕනෑම දරුවකුට කවුන්සලින් ලබාගැනීමේ හැකියාව තිබුණ. සිදු වුණේ මොකක්ද කියල බොහෝ දෙනා දැනගත්තේ මාස ගණනකට පස්සේ දරුවාගේ තාත්තගේ සාක්කිය මාධ්‍යවල පළවුනාට පස්සේ.

ඕස්ට්‍රේලියාවේ තත්වය ඊටත් වඩා ඉහළයි. මම අහල තියන විදියට ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය සිය දිවි නසා ගැනීම් වාර්තා කරන්නෙම නැහැ. පොලිසිය හෝ අනෙක් බලධාරීන් මාධ්‍ය සාකච්ඡා තියල ඒ වගේ සිදුවීම් ගැන විස්තර කරන්නෙත් නැහැ. වැදගත්ම දේ එහෙම අවාසනාවන්ත, ඉතා සංවේදී සිදුවීම් රස කර, කර තලු මර, මර වාර්තා කරන්න කියල සමාජය ඉල්ලා සිටින්නේත් නැහැ. මොකද ඕස්ට්‍රේලියාව 'ලෝකෙන් උතුම් රට' කියල හඳුන්වාගත්තේ නැති වුනාට අපිට වඩා ගොඩක් දියුණු සමාජයක්. 

දරුවෙක්, වැඩිහිටියෙක් මානසික ආතතියක් නිසා ජීවිතයෙන් සමුගත්ත නම්, ඒ වගේ දේවල් වාර්තා කරන හැටි බීබීසී ආයතනයේ මාර්ගෝපදේශවල තියෙනව.(https://downloads.bbc.co.uk/.../Section_05_Harm_and...)

ඒ වගේම මම පාඨමාලාවක් හදාරපු DART Centre for Journalism & Trauma ආයතනයෙත් මේ ගැන ඉතාම පැහැදිලි මාර්ගෝපදේශ තියෙනවා. (https://dartcenter.org/topic/suicide)

සිංහලෙන් හෝ දෙමළ භාෂාවෙන් මේ මාර්ගොපදේශ නැතිවීම අඩුපාඩුවක් තමයි. ඒත් ඔබට අවශ්‍ය නම් තොරතුරු විමසන්න ඒ ආයතනයේ අපේම පර්යේෂකයෙකුත් ඉන්නවා. ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා. සංවේදී තොරතුරු වාර්තාකරණය ගැන ඔබට විශේෂඥ උපදෙසක් අවශ්‍ය නම් කිසිම පැකිලීමක් නැතුව උපකාර කරන්න අමන්ත සූදානම්.

ඉතිහාසයේ පළවෙනි වතාවට නිර්ප්‍රභූ ජනාධිපතිවරයෙකුත් පත්කරගෙන ලංකාවේ මිනිස්සු ඉල්ලන්නේ අලුත් රටක්. ඒත් අපි වෙනස් වෙන්නේ නැත්නම් අනුරට හෝ මාලිමාවට විතරක් අලුත් රටක් හදන්න බැහැ.

අලුත් රටක් හදන්න අපිත් වෙනස්වෙමු. කුණු රසය, බොරුව විකුණන මාධ්‍ය ප්‍රතික්ෂේප කරමු. මාධ්‍යවේදීන් විදියට කරුණු මත, සත්‍යය මත පදනම් වූ මාධ්‍යකරණයක යෙදෙමු.

saroj pathirana

| සරෝජ් පතිරණ

2024 ඔක් 10 / fb පිටුවෙන්