අති දැවැන්ත මධ්‍යම පන්තිය සතුටු කිරීම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අති දැවැන්ත මධ්‍යම පන්තිය සතුටු කිරීම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

පසුගිය ජනාධිපතිවරණය මෙන්ම ඉදිරි මහ මැතිවරණය ද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් අර්බුදයකට ලක්ව, බංකලොත් වූ රටක බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මධ්‍යම පාංතික නැගිටීමක් තුළින් සිදු වුණ පසුගිය අරගලය දේශපාලනමය වශයෙන් පමණක් නොව ආකල්පමය වශයෙන් ද අතිෂය තීරණාත්මක එකක් වූ බව ද පෙන්වා දුන්නේ ය. වර්තමානය වන විට මෙරට මධ්‍යම පංතිය සමස්ත ජනගහනයෙන් 70-80%ක් දක්වා අතිෂය පුළුල් පරාසයක් දක්වා විහිදි ඇතැයි ද එය දකුණු ආසියාවේ විශාලතම මධ්‍යම පංතිය බව ද කීවේය.

අනපේක්ෂිත ලෙස පුළුල් හා බලවත් වූ මෙරට මධ්‍යම පංතියේ වුවමනා එපාකම් සහ බලය ගැන තමා 2023 ආරම්භයේ සිට අවධානයෙන් පසු වූ බව කී අජිත් අමරසිංහ මෙම මධ්‍යම පංතියේ අපේක්ෂාවක් ඉටු නොවන්නේ නම් ඔවුන් යළි නැගී සිටින බව තමා අවධාරණයෙන් පෙන්වා දුන් බව  ද සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මෙසේ ද පෙන්වා දුන්නේ. ඇත්ත වශයෙන්ම මධ්‍යම පංතියේ මේ අපේක්ෂා ඉටු නොවීම තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් වුණේ. මධ්‍යම පංතිය විශාල වශයෙන් ජීවත් වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය  විශාලතම ඡන්ද ප්‍රමාණය දිනා ගත්තා. එසේම සාපේක්ෂව මධ්‍යම පංතිය අඩු මැතිවරණ කොට්ඨාශවල ඔවුන්ට ලැබුණ ඡන්ද ප්‍රමාණය අඩුයි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය මධ්‍යම පංතියේ ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකියි. ඒ අනුව උගත්, වෘත්තීයභාවයකින් යුතු සහ ඉහළ අපේක්ෂා සහිත මධ්‍ය පංතියේ අභිලාෂයන් සපුරාලීම තමයි ඉදිරි පාර්ලිමේන්තුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදා හැරීම ආදි දේශපාලනික කරුණු පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරියට නොපැමිණි නමුත් ඒවා නොවැදගත් බව ඉන් අදහස් නොවන බව කී අජිත් අමරසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වූයේ ආර්ථික අර්බුදය සහ එයින් ගොඩ ඒමට කළ හැක්කේ කුමක්ද? යන්න බව පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදයට හේතුව නාස්තිය හා දූෂණය ලෙස මධ්‍යම පංතිය විශ්වාස කළ බවයි.

Dr Ajith Amarasinghe

මේ හා ගමන් කළ තවත් කරුණු කිහිපයක වැදගත්කම පැහැදිලි කරමින් අජිත් අමරසිංහ තත්ත්වය තව දුරටත් විග්‍රහ කරමින් මෙසේ ද ප්‍රකාශ කළේය. අන්න ඒ නාස්තිය හා දූෂණය පිටුදැකිය හැකි දේශපාලන පක්ෂයට බලය දීම තමයි මේ අවස්ථාවේ දී සිදු වුණේ. ඒ වගේම තමයි මධ්‍යම පංතිය අතෘප්තියට පත්වන තවත් වැදගත් කරුණක් සිද්ධ වුණා. ඒ පසුගිය ආණ්ඩුව මධ්‍ය පංතිය මත ඍජු සහ වක්‍ර අධික බදු බරක් පැටවීමට ක්‍රියා කළා. ඒ වගේම ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගියා. මේ තත්ත්වය හමුවේ එළියට නොපෙනුණාට, නොපෙන්නුවාට මධ්‍යම පංතියේ විශාල පිරිසක් දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් දිළින්දන් බවට පත් වුණා. ඒ අනුව ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගය බලයට පත් කිරීමේ ගාමක බලවේගය බවට මේ අතෘප්තිමත්, පීඩාවට පත් වූ මාධ්‍යම පංතිය පත් වුණා.

ආර්ථික අර්බුදයෙන් බංකලොත්භාවයෙන් මිදීම ආණ්ඩුව ගත් පියවර මේ දක්වා නිසි ලෙස සාකච්ඡාවට ලක්ව නැති බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ බංකලොත්භාවයෙන් ගොඩ ඒමට ආණ්ඩුව පිරිමැසුම්කරණය නමින් තමා විසින් නම්කරන ලද ආර්ථික උපාය අනුගමනය කළ බවත් පෙන්වා දුන්නේය. පිරිමැහීම යන වචනය මෙරට ජනතාවට සමීප වචනයක් බවත් එහි ඍණාත්මකභාවයක් නොමැති වීමත් හේතුවෙන් තමා මෙම වචනය භාවිත කළ බවත්  අජිත් අමරසිංහ සඳහන් කළේය.

දූෂණය පිටුදැකීම හා නාස්තිය අවම කිරීම පිරිමැසුම්කරණ ප්‍රතිපත්තිවලින් දෙකක් පමණක් බව පෙන්වා දුන් අජිත් අමරසිංහ පසුගිය ජනාධිපතිවරණයේ දී මේ ගැන සාකච්ඡා වූ බව ද පෙන්වා දුන්නේ ය.

අකාර්යක්ෂම හෝ පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිරිමැසුම්කරණ ප්‍රතිපත්තිය හා බැඳී පවතින බවත් ඉදිරි ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමේ අභියෝගය පවතින බවත් පෙන්වා දුන් ඔහු දැවැන්ත අයවැය හිඟය අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන (ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැනි) සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය පැහැදිලි කර ගැනීම ඉදිරියේ පවත්වන ආණ්ඩුව හමුවේ පවතින ප්‍රමුඛ අභියෝගයක් බව ද අවධාරණය කළේය.

නාස්තිය හා දූෂණය අවම කිරීමේ කටයුතු ආරම්භ කළ විගස මේ දක්වා ඒවාට අනුගතව සිටි දේශපාලන සහ නිලධාරී බලවේගවල බාධාවන්ට හා තර්ජනයන්ට මුහුණදීමට සිදුවීම අනිවාර්යය වන බවත් එම බාධාවන්ට සහ තර්ජනවලට මුහුණ දීමට දක්වන සමාර්ථකම මත ආණ්ඩුවේ පැවැත්ම තීරණය විය හැකි බවත් අජිත් අමරසිංහ පෙන්වා දුන්නේය.

මේ රට බංකලොත් වුණේ පිනට කන්න දුන්න නිසාය යන අදහසට තමා විරුද්ධ වන බවත්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) වාර්තාවකට අනුව රජය සහනාධාර වශයෙන් දරන්නේ සමස්ත රාජ්‍ය ආදායමෙන් 2%ක් පමණක් බවත් පෙන්වා දුන් අජිත් අමරසිංහ යුරෝපයේ ධනවත් රටවල් සහනාධාර වශයෙන් සමස්ත රාජ්‍ය ආදායමෙන් 30%ක් පමණ දරන අවස්ථා තිබෙන බව හෙළි කළේය.

හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වීමට ඍජු බදු ප්‍රතිපත්තිය ප්‍රධාන සාධකයක් වූ බවත් ඉදිරි ආණ්ඩුවට ද ඍජු බදු අඩු කිරීම හෝ නොකර සිටීම තීරණාත්මක වනු ඇති බවත් කී අජිත් අමරසිංහ වක්‍ර බදු සම්බන්ධයෙන් ද සංවේදී වීමට ආණ්ඩුවට සිදුවනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.

පිරිමැසුම්කරණ ප්‍රතිපත්තියේ දී අනුගමනය කළ යුතු තවත් වැදගත් කරුණක් පැහැදිලි කළ අජිත් අමරසිංහ පෙන්වා දුන්නේ ඵලදායී නොවන ක්ෂේත්‍රවල සිට ඵලදායී ක්ෂේත්‍ර දක්වා ශ්‍රම බළකාය විතැන් කිරීමේ අභියෝගය ද ඉදිරි ආණ්ඩුව හමුවේ තිබෙන තවත් සංවේදී අභියෝගයක් බවයි. මෙහිදී ප්‍රමුඛ වන්නේ රාජ්‍ය සේවය වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම කිරීම බවත්, රාජ්‍ය සේවය ඵලදායී සහ කාර්යක්ෂම කිරීම  යනු නොයෙකුත් අභියෝග නිර්මාණය  වන කටයුත්තක් බවත් එවැනි අවස්ථාවක ආණ්ඩුවට නොසිතූ අභියෝගය හා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් අමරසිංහ මෙසේද කීවේය, ඉදිරි මහ මැතිවරණයෙන් බලයට පත් වන්නේ වමට බර ආණ්ඩුවක් බව සහතිකයි. යම් කිසි අවස්ථාවක මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ ආර්ථිකමය කාරණා නිසයි. ඒ නිසා ආර්ථිකමය තීන්දු ගැනීමේදී ආණ්ඩුවට දැඩිව කල්පනාකාරී වෙන්න වෙයි. එහෙම නොවුණොත් මිනිස්සුන්ට 76 වසරක ශාපය, නාස්තිය, දූෂණය ආදිය බොහොම ඉක්මනට අමතක වෙයි. ඒත් පිරිමැසුම්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ජාතික ජන බලවේගයට යම්කිසි සාධනීය තත්ත්වයක්, වාසිදායක තත්ත්වයක් තිබෙනවා. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය ලෙස මම දකින්නේ නිසි පරිදි ආර්ථිකය ස්ථාවරය කර ගැනීම සහ නිෂ්පාදන ආර්ථිකයක් තුළින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම ය.

(පසුගියදා පැවති 197 වැනි කතිකාව වැඩසටහන තුළින් ඊළඟ පාර්ලිමේන්තුව වෙත පැවරෙන කාර්යභාරය සහ එහිදී මහජනතාව සතු වගකීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසින් සංවාදය මෙහෙයවනු ලැබු සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.)