රාජ්‍ය සේවය රටට බරක් වුණේ රාජ්‍ය නිලධාරීන් නිසා ම නොවෙයි  - ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනී අනුලා ඉන්ද්‍රාණී

anula-indrani

රාජ්‍ය සේවය රටට බරක් වීමට අදාළ රාජ්‍ය නිලධාරීන්ට නිසි පුහුණුවක් නොමැතිකම හෝ ලබාදීමට ද ප්‍රධාන හේතුවක් වන බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනී අනුලා ඉන්ද්‍රාණී මහත්මිය  “රටට  බරක් නොවන රාජ්‍ය සේවයක් උදෙසා ගත යුතු මඟ”  මැයෙන්  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන ‘කතිකාව’ සංවාදයට එක්වෙමිනි.  මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේ, මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසිනි.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනී අනුලා ඉන්ද්‍රාණී මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, මේ අවබෝධය හෝ දැනුම නොමැතිකම රාජ්‍ය සේවය ගුණාත්මක කිරීමට ප්‍රබල බාධාවක්. මේ තත්ත්වය වගේම අපි හැමෝ ම දන්නා ආකාරයට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරී කටයුතු ඉටුකිරීමේ දී යම් යම් විෂයන් සම්බන්ධ දැනුම හා පුහුණුව ලබා දුන්නත් ඊට අදාළ තාක්ෂණික පහසුකම් ලබාදීමක් සිදුවන්නේ නැහැ. මේ නිසා ඔවුන් ලබා ගන්නා පුහුණුවෙන් නිසි සේවයක් ලබාදීමක් සිදුවෙන්නේ නැහැ. මේක රාජ්‍ය සේවය තුළ පවතින සුලභ තත්ත්වයක්. එසේම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් ද ඇතුළුව විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ ගිවිසුම් හෝ එමඟින් අපේක්ෂිත ඉලක්ක ගැන බොහෝ රාජ්‍ය නිලධාරීන්ට නිසි අවබෝධයක් නැහැ. තිරසර සංවර්ධන ඉලක්ක ඒ අතරින් එකක් පමණයි. රාජ්‍ය සේවය කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකළ යුතු, වගකීමක් දැරිය යුතු තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් කී දෙනකුට මූලික දැනුමක් පවා තිබෙනවාද? යන්න ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් මූලික හෝ දැනුමක් නැති රාජ්‍ය නිලධාරියෙක්ගෙන් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට අදාළ ඵලදායී සේවයක් අපේක්ෂා කළ නොහැකියි. රාජ්‍ය සේවය සම්බන්ධ තවත් ප්‍රබල ගැටලුවක් ලෙස අභිප්‍රේරණය තමා දකින බව කී ඉන්ද්‍රාණී මහත්මිය සේවක අභිප්‍රේරණය සඳහා වැටුප ප්‍රධාන සාධකයක් බවත් පෙන්වා දුන්නා ය.

 ප්‍රමාණවත් වැටුපක් ලබනවා නම් රාජ්‍ය සේවකයින් කාලය සොරකම් කිරීමට හෝ අල්ලස, දූෂණය ඇතුළු අකටයුතකම්වලට යොමුවන්නේ නැහැ. ඒ බව ප්‍රමාණවත් වැටුපක් ලබන සේවකයින් සිටින පෞද්ගලික අංශය තුළින් වටහා ගත හැකි යි. මේ තත්ත්වය තුළ ඔවුන් බලන්නේ තමන්ගේ වගකීම් නොසලකා වෙනත් ආදායම් මාර්ග සොයා ගැනීමටයි. අනුලා ඉන්ද්‍රාණී මහත්මිය වැඩි දුරටත් පෙන්වා දුන්නා ය.

අනිසි දේශපාලන හෝ නිලධාරී මැදිහත් වීම් ද රාජ්‍ය සේවය රටට බරක් කිරීමට හේතු නිර්මාණය කර ඇති බව ද විමධ්‍යගත අරමුදල් හරහා ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති මේ සඳහා දැක්විය හැකි පහසුම උදාහරණය බව අනුලා මහත්මිය තව දුරටත් පෙන්වා දුන්නා ය.

රාජ්‍ය සේවය රටට බරක් නම් එහි වගකීම රාජ්‍ය සේවකයා පමණක් නොදැරිය යුතු බවත් මේ සඳහා පුද්ගලික හේතු, අනිසි හෝ අනීතික මහජන ඉල්ලීම් සහ අනිසි දේශපාලන මැදිහත්වීම් යන ත්‍රිකෝණමිතික සම්බන්ධතාවක් පවතින බවත් මේ අභියෝගය ජය ගැනීමට රාජ්‍ය සේවකයා, පුරවැසියා සහ දේශපාලන බලාධිකාරිය යත තෙපාර්ශ්වයම සක්‍රීය දායකත්වයක් ලබාදිය යුතු බවත් අනුලා ඉන්ද්‍රාණී මහත්මිය කීවා ය.

රාජ්‍ය සේවකයින් වගකීම සම්බන්ධයෙන් කතා කළත් ඔවුන් වගවීම ගැන අවධානයක් යොමුකරනවා දැයි සරෝජ් පතිරණ කළ විමසීමේදී අනුලා ඉන්ද්‍රාණි මහත්මිය ප්‍රකාශ කළේ ඉහළම සිට පහළට වගවීම සිදුවිය යුතු වුවත් එවැනි වචනයක් ගැන පවා නිසි දැනුමක් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට නොමැති බවයි.

ඔවුන් හිතන්නේ රක්ෂාවක් ලැබුණා, දැන් මට තියෙන්නේ ඒකට අදාළ වගකීම පමණයි කියලා. ඔවුන් ඊට අදාළ වගවීමක් තිබෙන බවක්වත් දන්නේ නැහැ. මේ නිලධාරීන්ට වගකීම වගේම වගවීම සම්බන්ධ නිසි පුහුණුවක් ලබාදීම රජයේ වගකීමක් ඉන්ද්‍රාණි මහත්මිය සරොජ්ගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් වැඩි දුරටත් පෙන්වා දුන්නා ය.