- හැඳුනුම්පත් ගන්නත් රිට් ආඥාවක් දැමූ කතාවක්
- පදිංචිය ගැන ප්‍රශ්නයක් මතුකරලා ඒත් එම ලිපිනයටම වසර 7ක් තිස්සේ ඡන්දෙත් දීලා
- ඉල්ලුවේ දරුවන්ගේ ජාතික හැඳුනුම්පත හදන්න පදිංචිය සනාථ කළ ලිපියක් ඒත් ග්‍රාමනිලධාරී එය ලබාදී නෑ
- ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, දිසාපති ළඟටත් ගිහින් බැරිම තැන රිට් ආඥාවක් දාලා වැඩේ කරගෙන
පසුගිය දිනක හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයකු පිළිබඳව රටේ කා අතරත් කතාබහට ලක්වන්නට විය. ඒ ඔහු සිදුකළ ක්‍රියාව වීර ක්‍රියාවක් ලෙස සලකා නොව රජයේ කාර්යාලයක දේපළවලට පවා හානි කරමින් සිදුකළ විනාශය ගැනය.
පෙර කී කතාව සැකෙවින් මෙසේය. සිය පියාගේ උප්පැන්නයේ පිටපතක් ලබාදෙන ලෙස කාර්යාලීය නිලධාරීන්ගෙන් ඉල්ලා එම ඉල්ලීම ඉටු නොවූ තැන අදාළ පුද්ගලයා හා කාර්යාලීය නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවන්නේ ය. මේ වචන හුවමාරුව කොතරම් දුර ගියේද යන්න අවසානයේදී මේ පුද්ගලයා කෝපයට පත්ව ආයතන අංශය තුළ කෑ කෝ ගසමින් කලහකාරී ලෙස හැසිරෙමින් ගැටුම්කාරී වාතාවරණයකට ප්‍රශ්නය රැගෙන ගියේය. මෙකී පුද්ගලයාගේ හැසිරීම වළක්වන්නට අදාළ නිලධාරීන් කොතෙක් උත්සාහ කළද ඔහු විසින් කාර්යාලයේ පුටුවක් රැගෙන එයින් පහරදී පරිගණක කිහිපයකටත් එම ආයතනයේ වීදුරු ඇතුළු අනෙකුත් දේපළවලටත් දැඩි හානි අලාභ සිදු කළේය.
අදාළ පුද්ගලයා එහිදී ක්‍රියාකළ ආකාරය පිළිබඳවත් රජයේ දේපළ විනාශ කිරීම සම්බන්ධවත් ඔහුට සුදුහුණු පිරියම් කිරීමට අපට අවශ්‍යතාවක් නැත. මේ කියන තැනැත්තාගේ නොමනා කලහකාරී හැසිරීම එකහෙළා ප්‍රතික්ෂේප කිරීමට ද අප කිසිසේත්ම පසුබට වන්නේ නැත. අදාළ සිද්ධියේදී එම කාර්යාලයේ නිලධාරීන්ගෙන් ඔහුට යම් වරදක් සිදුවූවාදැයි අපි නොදනිමු. එහෙත් අද වන විට මෙරට රාජ්‍ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාවය හා පවතින ගැටලු සහගත තත්ත්වයන් මේ කියන හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම පමණක් සීමා නොවන බව නම් කිව යුතුය.
අප මේ කියන්නට යන කතාව ද පෙර කී පරිදි හම්බන්තොට සිද්ධියට සමාන නොවූවද නීතිඥවරියක් විසින් තම දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් වන හැඳුනුම්පත් ලබාගැනීමට යෑමේදී ඇය මුහුණ පෑ බලවත් අසාධාරණයක් ගැනය. තවත් විදිහට කිවහොත් දරුවන්ට හැඳුනුම්පත් ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතීමට ද ඇයට අවසානයේ සිදුවන්නේය.
ඇය එසේ අධිකරණයට ගොනුකරන ලද පෙත්සමේ දැක්වෙන පරිදි කතාව මෙසේය.
මෙම සිදුවීමට මුහුණපාන්නේ කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීරය. ඇය පුරා වසර විස්සක කාලයක සිට නීතිඥ සේවයේ ද නියැලෙන්නියකි. මීට වසර හතක කාලයක සිට ඇය කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඇයට හිමි නිවසේ පදිංචිකාරිණියක් ද වූවාය. එමෙන්ම ඇය එම නිවස පිහිටි ලිපිනය යටතේ ඡන්ද නාමලේඛනයේ වසර හතක කාලයක සිට ලියාපදිංචි වී ඡන්දය අයිතිය පවා භාවිත කොට ඇත. තවද බැංකු ගිණුම්, බිල්පත් ආදී සියලුම ලිපි ලේඛනයන්වල පවා සඳහන් වූයේ ද ඇය පදිංචිව සිටින ලිපිනය ය. මේ කියන ලිපිනයේ ඇයගේ පදිංචිය සනාථ කළ හැකි සියලුම ලේඛන ද ඈ සතුව තිබිණි.
අදාළ පෙත්සමෙහි සඳහන් ආකාරයට ඇය 2024/08/01 දින මිලාගිරිය ග්‍රාමසේවක බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරිවරිය හමුවීමට යන්නේ තම දරුවන් දෙදෙනා ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට වයස සපුරා ඇති හෙයින් ඒ සඳහා තම පදිංචිය තහවුරු කොට ලිපියක් ලබා ගැනීමටය. ඇයට එසේ යෑමට සිදුවන්නේ තම දරුවන් දෙදෙනා පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබා ඇති හෙයින් එම පාසල මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් නොකරන නිසාවෙන් පෞද්ගලිකව හැඳුනුම්පත් සඳහා අයැදුම් කිරීමට සිදුව ඇති බැවිනි. තම දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපනයටත්, මෙරට පුරවැසියකු ලෙස අනන්‍යතාවය ලබාගැනීමටත් ඒ සඳහා පුරවැසියකුට ඇති අයිතිය නිසාම තමාට අයත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය වෙත ගොස් සිය පදිංචිය තහවුරු කරන සහතිකයක් ඉල්ලා ඇත. එහෙත් අදාළ ග්‍රාම නිලධාරීවරිය ඇයගේ එම ඉල්ලීම එකහෙළා ප්‍රතික්ෂේප කොට ඇයට පවසන්නේ තමන්ට පදිංචිය සනාථ කොට සහතිකය ලබාදීම කිසිසේත්ම කළ නොහැකි කටයුත්තක් බවය. එහෙත් මෙම සිදුවීමට වර්ෂයකට පෙරාතුව එම ග්‍රාම නිලධාරීවරිය විසින්ම මෙම නීතිඥවරියට ග්‍රාමසේවක සහතිකයක් නිකුත් කර ඇති අතර එය ද ඇයට අමතක වී ඇති බව ඇය විසින් ගොනුකළ පෙත්සමේ සඳහන්ය. එහිදී එසේ සහතිකයක් නිකුත් නොකිරීමට හේතු විමසන ඇයට අදාළ ග්‍රාම නිලධාරීවරිය කිසිදු හේතුවක් නොදැක්වීම ද මෙම සිද්ධියේ විශේෂත්වයකි.
අදාළ පෙත්සමේ සඳහන් පරිදි අදාළ ග්‍රාම නිලධාරීවරියගේ නිරුත්තරභාවය නිසාම අදාළ නීතිඥවරිය ප්‍රාදේශීය ලේකම් හමුවීමට යන්නේ සිද්ධිය පිළිබඳව වාර්තා කිරීමටත් යම් සහනයක් ලබා ගැනීමටත් ය. එහිදී ඇය ඉල්ලා සිටින්නේ තම දරුවන් දෙදෙනාගේ වයස සම්පූර්ණ වී ඇති බැවින් ඔවුනට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට අවශ්‍ය ග්‍රාමනිලධාරී විසින් නිකුත් කරන සහතිකය ලබාගැනීමට කටයුතු කරන ලෙසය. එහෙත් ඇයගේ එම ඉල්ලීම හමුවේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා ද පවසන්නේ ඒ සම්බන්ධ වගකීම ග්‍රාමනිලධාරිවරයා සතු බවය. විසඳුමක් නැති මෙම ප්‍රශ්නය එතැනින් දිස්ත්‍රික් ලේකම්වරයා වෙතද එතැනින්ද නොනැවතී දිසාපතිවරයා දක්වා ගිය ද ඇයට ඒ හැම තැනකින්ම ලැබෙන්නේ මෙවැනි පිළිතුරකි.
“මේ ගැන කටයුතු කරන්න බලය තියෙන්නේ ග්‍රාම නිලධාරීවරියට පමණයි. අපට ඊට වැඩිය දෙයක් කියන්න බැහැ.”
එම පෙත්සමෙහි සඳහන් වන්නේ මෙරට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ සඳහන් 9 වන වගන්තියට අනුව සාමාන්‍ය පදිංචිය යටතේ පුද්ගලයන් ලියාපදිංචිය සිදුකළ හැකි බවද පෙන්වා දුන්නද එයටද නිසි ප්‍රතිචාර නොලැබුණු බවය.
මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පදිංචි වයස අවුරුදු 16 සම්පූර්ණ වූ සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම පුද්ගලයින් ලියාපදිංචි කිරීම හා නව හැඳුනුම්පතක් හිමිවන්නේය. ඒ සඳහා ඉහත සුදුසුකම් සැපිරූ ඕනෑම පුරවැසියෙකුට අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. එසේ අයදුම් කරන අයදුම්කරුගේ විස්තර සහතික කිරීමේදී ඔහු පාසල් අයදුම්කරුවකු නම් විදුහල්පති හෝ පරිවේණාධිපති එය සහතික කළ යුතුය. එහෙත් මෙම සිද්ධියේදී එම දරුවන් දෙදෙනා පෞද්ගලික පාසලකින් ඉගෙනුම ලබා ඇති හෙයින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අවශ්‍ය ග්‍රාම නිලධාරී සහතිකය තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය සහතික කිරීම අනිවාර්ය ය. එහෙත් මේ කියන ග්‍රාම නිලධාරීවරිය මේ නීතිඥවරියගේ ඉල්ලීම එකහෙළා ප්‍රතික්ෂේප කරන්නේ කුමන කාරණයට දැයි අපි නොදනිමු. එහෙත් මෙම ගැටලුව ආරම්භ වන්නේ අදාළ ග්‍රාම නිලධාරිවරිය ඇයගේ දරු දෙදෙනාගේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අවශ්‍ය කරන සහතිකය ලබා දීමට ප්‍රතික්‍ෂේප කිරීමෙනි. මේ ගැටලුව කොතරම් දුර ගියාද යන්න අවසානයේදී මේ නීතිඥවරියට සිදුවන්නේ තම දරු දෙදෙනාගේ අයිතිවාසිකම් ඉල්ලා අභියාචනාධිකරණයට රිට් ආඥාවක් ඉදිරිපත් කිරීමටය.
නීතිඥවරිය විසින් අභියාචනාධිකරණයට රිට් ආඥාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව තහවුරු වූ කරුණු අනුව අදාළ මේ නිලධාරීන් පොරොන්දුවන්නේ ග්‍රාම නිලධාරීවරිය හරහා පදිංචිය සනාථ කරන සහතිකය ඇයට ලබාදීමටය. ඇය තම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් දිනාගන්නේ එසේය.
මේ කතාව හම්බන්තොට ප්‍රාදේශීය කාර්යාලයේ යකා නැටූ පුද්ගලයාගේ කතාවට කිසිසේත් සමාන නැත. එහෙත් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ද අප මෙතෙක් කතා කළ නීතිඥවරියගේ ප්‍රශ්නයට සම්බන්ධ නිලධාරීන්ගේ ක්‍රියා කලාපයට සමාන යැයි ඇතැම්විට කෙනෙකුට සිතන්නට ද පුළුවන. මෙකී සිද්ධීන් තුළින් තේරුම් යන්නේ අපේ රටේ කඩාවැටී වල් බිහි වී ඇති රාජ්‍ය සේවයේ තත්ත්වය නොවේද. කොටින්ම කිවහොත් රටේ පුරවැසියකුට තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමටත් ‘රිට්’ ආඥාවක් දමන්න අවශ්‍ය වන තැනටම රාජ්‍ය සේවය පත්වීම බෙහෙවින්ම කනගාටුදායකය. ‘රිට්’ එකක් දැමීම ද රටේ සෑම පුරවැසියකුටම කළ නොහැක්කක් බවද කිව යුතුය. එයට අඩුම තරමේ මුදලින් ලක්ෂ පහ හයක වියදමක්වත් දැරිය යුතුය. එහෙත් අදාළ නීතිඥවරියට සිදුවන්නේ රිට් ආඥාවක් දමා දරුවන්ගේ පුරවැසි අයිතීන් ඉල්ලා සිටීමටය. මේ කතාව ද පසෙකින් තබා අප අසන්නේ රටේ සාමාන්‍ය ජන ජීවිතය ගතකරන අහිංසක මිනිසුන්ට තමන් මුහුණ දෙන අසාධාරණයකදී එසේ නිකරුණේ මුදල් වැය කළ හැකිද යන්නය.
රටේ අවාසනාවකට මෙන් මෙරට පුරවැසියන්ගේ හැඳුනුම්පතක් ලබාගැනීමේ මූලික අයිතිවාසිකම ද තඹ දොයිතුවකට මායිම් නොකරන රාජ්‍ය සේවකයන් හඳුනා ගැනීමටවත් එහි ප්‍රධානීන් ද නොමැති වීම බලවත් ගැටලුවකි. මන්ද අප මෙතෙක් සඳහන් කළ නීතිඥවරිය ඉල්ලුවේ මෙරට පුරවැසියකු හැටියට තම දරුවන්ට හිමි මූලික අයිතිවාසිකමක් මිස වෙනත් වරප්‍රසාද නොවේය.
| රමින්ද මාවතගේ | දිවයින