රටක පැවැත්මට අදාළව සැලකීමේදී මැතිවරණයක් යනු ඉතා තීරණාත්මක හා අතිශයින්ම වැදගත්කමක් ගන්නා දැවැන්ත මෙහෙයුමකි. ඒ අනුව මැතිවරණයක් වැනි විශේෂ ක්‍රියාවලියක දී සුවිශේෂ වූ ක්‍රියාමාර්ග සමුදායක් ගනු ලබන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුත්ත හරහා ජනතා පරමාධිපත්‍යය සපුරාම තහවුරු කරනු පිණිසය.
එහිදී සැලකිල්ලට ගනු ලබන්නේ සියලු ඡන්ද හිමියන්ට සමාන අවස්ථා හිමිවේ ද යන්න හා කිසිවෙකුට අගතියක් නොවන්නේ ද යන කාරණයයි. එමෙන්ම මැතිවරණයක දී උපයෝගී කරගන්නා කුමන හෝ ක්‍රමවේදයක් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු නොවිය යුතු අතර ඒ තුළ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ද ඉහළින්ම ආරක්ෂා කරගත යුතුව ඇත්තේය. එමෙන්ම ජාතික හා ජාත්‍යන්‍තර වශයෙන් ද ඒ කෙරෙහි විශ්වාසයක් ද තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන්නේය.
සුවිශේෂ වරප්‍රසාදයක් නොවේ
වෙනත් බොහෝ රටවල ක්‍රියාත්මක වන්නා සේම තැපැල් ඡන්දය ද එහි එක් සුවිශේෂී අංගයකි. ඒ මගින් විශේෂ පිරිසකට මැතිවරණ දිනයට පෙර නිශ්චිත දින හා වේලාවන් ඇතුළත තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාකර දී තිබේ. තෝරාගැනීමකින් පසු එම පිරිසට එකී අවස්ථාව හිමිකර දෙන්නේ කිසි ලෙසකින් සුවිශේෂී වරප්‍රසාදයක් ලෙස නොවේ. එහි අරමුණ වන්නේ සෘජුවම හෝ සහායක සේවාවන් ලෙස මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවිය යුතු පිරිස් වෙත තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදීමය.
මැතිවරණයක් යනු පාර්ශ්ව ගණනාවක සාමුහික ක්‍රියාවලියකි. එහිදී මූලික වන්නා වූ මැතිවරණ රාජකාරී පැවරෙන්නේ යයි සැලකෙන රාජ්‍ය සේවකයන්ට හා ඊට අදාළ අත්‍යවශ්‍ය සේවාවන්හි නියැලෙන ආරක්ෂක හා අනෙකුත් සේවාවන් ගණනාවකට අයත් නිලධාරීන් හා සේවකයන් සඳහා එහිදී තැපැල් ඡන්ද හිමිකම පවතී.
නීතිය මෙන්න
එමෙන්ම තැපැල් ඡන්ද හිමිකම ලැබෙන මැතිවණ මොනවා ද යන්න පනත් ගණනාවකම පැහැදිලිවම සඳහන් කර තිබේ. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1981 අංක 07 දරණ ජනමත විචාරණ පනත, 1981 අංක 15 දරණ ජනාධිපති තෝරාගැනීමේ පනත, 1987 අංක 02 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ පනත සහ 1959 අංක 11 දරණ ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත යන පනත්හි ඒ බව අන්තර්ගතය. 1959 අංක 11 දරණ ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනතෙන් පළමු වරට තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට හිමිකර දී තිබේ. ඒ අනුව පළමු වරට මැතිවරණයකදී තැපැල් ඡන්දය භාවිත කර ඇත්තේ, 1960 පැවති මහ මැතිවරණයේදී ය.
තැපැල් ඡන්ද හිමිකම ඇත්තේ කාටද ?
එමෙන්ම තැපැල් ඡන්ද හිමිකම ඇත්තේ කාටද යන්න 1981 අංක 15 දරණ ජනාධිපති තෝරාපත්කර ගැනීමේ පනතෙහි පැහැදිලිව ම සඳහන් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, ශ්‍රී ලංකාවේ නාවුක හමුදාවේ, ශ්‍රී ලංකාවේ පොලිසියේ, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන හා ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයන්හි, නිලධාරීන්ට හා සේවකයන්ට ද එම හිමිකම ලබා දී තිබේ.
එසේම තැපැල් ඡන්ද හිමිකම ලබන කුමන හෝ මට්ටමේ නිලධාරියෙක් හෝ සේවකයෙක් අදාළ ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු එකී මැතිවරණයේදී සාමාන්‍ය ඡන්ද පොළක නැවත වතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සිර දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ.
අනෙක් අතට තැපැල් ඡන්ද පිළිබඳව සලකා බලන කල්හි පැහැදිලි වන කරුණක් වන්නේ එය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සැලකිය යුතු මට්ටමෙන් අඩු ඡන්ද ප්‍රමාණයක් වන බවය. එයට දැක්විය හැකි උදාහරණය වන්නේ 2025 පළාත් පාලන මැතිවරණයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 17,296,330ක් වන විට එම මැතිවරණයේදී තැපැල් ඡන්ද සඳහා අයදුම් කර ඇති සංඛ්‍යාව 648,495ක් පමණක් වීමය.එමෙන්ම ජනාධිපතිවරණයකදී සහ මහ මැතිවරණයකට සාපේක්ෂව සලකා බැලීමේදී අනෙකුත් මැතිවරණවලදී තැපැල් ඡන්ද සඳහා අයදුම් කරන ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු ප්‍රතිශතයක් ගන්නා බව දැකගත හැකිය. ඒ බව පැහැදිලි වන ආසන්නතම උදාහරණය වන්නේ 2024 ජනාධිපති මැතිවරණයේ දී තැපැල් ඡන්ද සඳහා 712,319ක් පමණ පිරිසක් අයදුම් කර ඇතත් 2025 පළාත් පාලන මැතිවරණයේදී එය 648,495ක් පමණ වීමය.
තැපැල් ඡන්දදායකයා තීරණාත්මක වීම
එය එසේ වුව ද අප රටේ පවත්වන ඕනෑම මැතිවරණයට අදාළව සැලකීමේදී තැපැල් ඡන්දදායකයා තීරණාත්මක සාධකයක් වන්නේ කරුණු දෙකක් හේතුවෙනි. ඉන් ප්‍රධානම හා වැදගත්ම සාධකය වන්නේ එකී පිරිස මැතිවරණයක ප්‍රධානතම යාන්ත්‍රණය වන හෙයිනි. දෙවැනි වැදගත් සාධකය වන්නේ එක් එක් මැතිවරණයන්ට අදාළව සැලකීමේ දී ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් තම ඡන්දය ප්‍රකාශ කරන රටාව පිළිබඳව අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට පෙර එමගින් යම් ආකාරයක අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් ලැබීමය. මක් නිසාද යත් ඡන්ද කොට්ඨාශ මට්ටමින් හෝ දිස්ත්‍රික් මට්ටමින් හෝ ජාතික මට්ටමින් හෝ ප්‍රථිපල ප්‍රකාශයට පත්කිරීමට පෙර තැපැල් ඡන්ද ප්‍රතිඵල සැම විටකම පාහේ ප්‍රකාශයට පත්කරන හෙයිනි.
ඒ අනුව සමස්ථයක් ලෙස සැලකීමේදී තැපැල් ඡන්ද ක්‍රියාවලිය මෙන්ම තැපැල් ඡන්දදායකයා ද රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ යහපැවැත්ම උදෙසා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය යාවත්කාලීන කිරීමට අදාළව වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි. ඒ නිසාම ඊට ලැබෙන අවධානය තුළ මෑත අතීතය දක්වාම තැපැල් ඡන්ද ක්‍රියාවලිය තුළ විවිධ අයථා ක්‍රියා, මැතිවරණ නීති උල්ලංඝණය කරන සිදුවීම් මෙන්ම සාමාන්‍යයෙන් මැතිවරණකදී දූෂණ ගණයට වැටෙන ක්‍රියාවන් මෙන්ම ඇතැම් විට ප්‍රචණ්ඩ ක්‍රියාවන් ද සිදුව ඇති බව නොරහසකි.
අමිහිරි අතීතයක්
එහිදී අප අමතක නොකළ යුතු අමිහිරි අතීතයක් ඇති බව සිහිතබා ගත යුතුව තිබේ. එහිදී, මැතිවරණ ක්‍රියාවලියට අදාළව සැලකීමේදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ද, පොලිස් වාර්තා අනුව ද මැතිවරණ නිරීක්ෂණ ආයතන වාර්තා අනුව ද පොදුවේ මහජන මතය අනුව ද මෑත ඉතිහාසය තුළ ‘අති දූෂිත’ ලෙස හැදින්විය හැකි මැතිවරණ තුනක් පැහැදිලිවම හදුනාගත හැකිය. 1981 යාපනය සංවර්ධන සභා මැතිවරණය, 1982 ජනමත විචාරණය හා 1999 වයඹ පළාත් සභා මැතිවරණය ලෙස ඒවා පිළිවෙළින් හඳුන්වා දිය හැකිය. එම මැතිවරණ තුනට අදාළව සලකා බැලුව ද මැතිවරණ දිනය තුළ සිදුව ඇති අමිහිරි සිදුවීම් සලකා බැලීමේ දී තැපැල් ඡන්ද ක්‍රියාවලිය පමණක් පාරිශුද්ධ විය නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත.
මහින්ද දේශප්‍රිය කියන යටගියාව
ඒ කෙසේ වෙතත් පොදුවේ අප රටේ අතීත කාලපරිච්ඡේදය සැලකීමේ දී ‘තැපැල් ඡන්ද ක්‍රියාවලිය තුළ සිදුව ඇති අක්‍රමිකතා කුමන ස්වරූපයක් ගත්තේ ද?’ යනුවෙන් අප මැතිවරණ ක්‍රියාවලිය තුළ දීර්ඝ අත්දැකීම් සහිත ප්‍රමුඛ රාජ්‍ය නිලධාරියෙකු වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කරන කළෙමු.
එහිදී මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, අප රටේ එක්තරා යුගයක තැපැල් ඡන්ද ක්‍රියාවලිය සැලකීමේ දී බොහෝ පැමිණිලි ලැබුණ සිදුවීම් වර්ග දෙකක් පිළිබඳව සඳහන් කළ හැකි බවය. මහින්ද දේශප්‍රිය මහතාට අනුව ඒවා තැපැල් ඡන්දදායකයන් තම ඡන්දය ප්‍රකාශ කරන විට එය දේශපාලන ක්‍රියකාරිකයන්ට හෝ ඉහළ නිලධාරීන්ට එය පෙනෙන ආකාරයට කරන්නට සිදුවීමය. එය බොහෝ ආරක්ෂක අංශවල හා ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්ට හා සේවකයන්ට පොදුවේ එකල මුහුණ දීමට සිදුව තිබූ තත්ත්වයක් බව පැවසේ.
එයට අමතරව ඇතැම් රාජ්‍ය ආයතනවල, විශේෂයෙන්ම ආරක්ෂක අංශවල සේවය කරන ලද, එහෙත් මැතිවරණකදී තැපැල් ඡන්ද ඉල්ලා නැති අයගේ නමින් අයදුම් පත් ඉදිරිපත් කරමින් වෙනත් පුද්ගලයන් තැපැල් ඡන්ද පාවිච්චි කළ අවස්ථා පිළිබඳව එකල බොහෝ පැමිණිලි ලැබී තිබේ. එහිදී ආසන්න වශයෙන් සමාන නම් ඇති පිරිස් බහුලව තැපැල් ඡන්ද ලේඛණවල ඇතුළත්ව තිබූ අවස්ථාවල සංවිධානාත්මක ලෙස දේශපාලන බලය යොදමින් හොර ඡන්ද පාවිච්චි කළ බවට එම කාලයේ පැමිණිලි ලැබුණ බව ද මහින්ද දේශප්‍රිය මහතා හෙළි කළේය.
ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම
තැපැල් ඡන්ද ක්‍රියාදාමයට අදාළව එකල පැවැති එවැනි අවාසනාවන්ත තත්ත්වයන් පසුව සම්පූර්ණයෙන්ම නැවතී ඇත්තේ ඡන්දය පාවිච්චි කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීමට 2009 වසරේදී තීර්ණය කිරීමත් සමඟ ය. ඒ අනුව 2010 වසරේදී පැවති ජනාධිපතිවරණයේ සිට එවැනි තත්ත්වයන් අවම වෙමින් පැමිණ අද වන විට එවැනි තත්ත්වයන් වාර්තා නොවන තත්ත්වයක් දක්වා යහපත් වර්ධනයක් ඇතිවී තිබෙන බව මහින්ද දේශප්‍රිය මහතාගේ අදහසයි.
එවැනි යහපත් තත්ත්වයක් වර්ධනය කර ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව ද මැතිවරණ කොමිෂන් සභාව ද ගත් ඇතැම් තීරණ හේතුවී තිබේ. සෑම තැපැල් ඡන්ද පොළක්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකුගේ අධීක්ෂණයට ලක් කිරීම. එමෙන්ම තැපැල් ඡන්ද ප්‍රකාශ කරන අවස්ථාවන් ආවරණය කිරීමට පිළිගත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත අවසර ලබාදීම වැනි තීරණ ඒ සඳහා ඉවහල් වී ඇත. එය සාධනීය තත්ත්වයකි. ඒ බව තහවුරු වන්නේ 2025 පළාත් පාළන මැතිවරණ සමය තුළ 700කට වඩා පැමිණිළි ප්‍රමාණයක් ෆැපරල් සංවිධානය වෙත ලැබී ඇතත් තැපැල් ඡන්ද ක්‍රියාවලියට අදාළව වරදක් වූ බවට කිසිදු පැමිණිල්ලක් තමන් වෙත නොලැබුණ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා අප වෙත තහවුරු කිරීම මගිනි.
මෑත කාලීන අයහපත් වර්ධනයක්
එවැනි යහපත් තත්ත්වයන් නිර්මාණය වී තිබුණ ද පොදුවේ මෑත කාලීන සෑම මැතිවරණයකදීම දැකගත හැකි අයහපත් වර්ධනයක් ද ඇත. සංවිධානාත්මක ලෙස දුස් තොරතුරු ප්‍රචාරය කිරීම එම තත්ත්වයයි. ඒ සඳහා සමාජ මාධ්‍ය යොදාගනු බොහෝ විට දැකගත හැකිය. සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයින් මෙන්ම සමාජයේ අවධානයක් ලැබෙන චරිත මෙන්ම රටේ ඉහළම වගකීම් දැරූ අය ද එවැනි දුස් තොරතුරු ප්‍රවර්ධකයන් වී සිටීම එහි දී කණගාටුදායක තත්ත්වයකි.
තැපැල් ඡන්ද දායකයින් විසින්ම දුස් තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගිය දා මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී සිදු කර ඇත . එහිදී සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ සඳහන් කර තිබේ. “තමන් ලැදි පක්ෂයට වාසිදායක වන ආකාරයට එවැනි ප්‍රකාශ කරනවා. ඒක නතර කරන්න මැතිවරණ කොමිෂමට හැකියාවක් නැහැ. ඔවුන්ට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තිබෙනවානේ. තැපැල් ඡන්ද පෝලිමේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඔවුන් සාමාන්‍ය පරිදි රහසිගතව තමයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. එවැනි තත්ත්වයක් තුළ කොහොමද ඡන්දය දුන්නේ කාටද කියලා කියන්න පුළුවන්. තමන්ගේ භාර්යාව පවා ඡන්දය දුන්නේ කාටද කියලා කියන්න ස්වාමි පුරුෂයාට පුළුවන්කමක් නැහැනේ”
මෙහිදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තැපැල් ඡන්දය සම්බන්ධ දුස් තොරතුරු ප්‍රචාරය කරන මාධ්‍යවේදීන් ගැන ද සඳහන් කිරීමට අමතක නොකළේය. ලසන්ත ද සිල්වාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ සඳහන් කර ඇත.
ප්‍රශ්නය - තැපැල් ඡන්දය කලින් ගණන් කරනවාද ? ඒ කියන්නේ සාමාන්‍ය ඡන්ද ගණන් කරන්න කලින් තැපැල් ඡන්ද ගණන් කරනවාද ?
මැතිවරණ කොමසාරිස් ජනරාල් - මේවා ඡන්ද ක්‍රියාවලිය ගැන කිසිම අවබෝධයක් නැති මිනිස්සු කියන කතා. නමුත් මේවා පතුරුවන්නේ නූගත් මාධ්‍ය විසින්නේ. සමාජ මාධ්‍ය වගේම, ‘සියල්ල දත්’ කියලා හිතාගෙන ඉන්න මාධ්‍යවේදීන් තමයි මෙවැනි කතා පතුරුවන්නේ. මට නම් පවා කියන්න පුළුවන් (නම් කිහිපයක් කියයි). මේ අය දන්න කිසිම දෙයක් නැහැ. කර්තෘවරයා සහ අයිතිකාරයා හරි අල්ලගෙන මේ අය පොරවල් වෙනවා. හෙඩිම දා ගන්නේත් මේ අයම තමයි. මේ අය කියන කුණුහරුප මේ රටේ මිනිස්සු විශ්වාස කරනවා කියලා මම නම් හිතන්නේ නැහැ”
තැපැල් ඡන්නදායකයින් මේ ආකාරයෙන් දුස් තොරතුරු ප්‍රචාරය කරන විට ඊට නොදෙවෙනි ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කළ පළමු දිනයේ දීම එවකට ජනාධිපති ධුරය දරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බව, ඉහළ තනතුරක් දරන ලද අයෙක් සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් දැමීම තැපැල් ඡන්දය සම්බන්ධ දුස් තොරතුරු ප්‍රචාරය කිරීමට අදාළ තවත් ප්‍රකට උදාහරණයකි.
එද රනිල්, අද ජජබ
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ද එක්තරා ෆේස්බුක් පිටුවක් එවැනිම වූ ප්‍රචාරයක් ගෙන යාම තවත් උදාහරණයකි. මෙවර එම ෆේස්බුක් පිටුව ප්‍රචාරය කරන ලද්දේ ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ජාතික ජන බල්වේගයට ලැබී ඇති බවකි. නිල වශයෙන් තැපැල් ඡන්ද ගණන් කිරීමක් සිදුව නැති තත්ත්වයක් තුළ එවැනි ප්‍රචාර අන්තර්ගත කළ හැක්කේ ‘දුස් තොරතුරු’ කුලකයට ය. සමාජ මාධ්‍ය වේගයෙන් ප්‍රචලිත වී ඇති කාලවකවානුවක හා රටේ සාමාන්‍ය ජනතාව අතර සමාජ මාධ්‍යයන්හි පළවන බොහෝ තොරතුරු ‘සත්‍ය යයි’ පිළිගැනීමට ලක්වන ආකාරයක් පෙනෙන්නට ඇති පසුබිමක එය අයහපත් තත්ත්වයකි. එය අප හමුවේ ඇති ජයගත යුතු අභියෝගයකි.
| සුනිල් ජයසේකර