නිවැරදි ජනමතයක් ගොඩනගා ගැනීමට සුදුසු වටපිටාවක් නොමැති වුවහොත්, අපට දැක බලා ගැනීමට හැකි වන්නේ විකෘති ජනමතයකි. ප්‍රජාතන්ත්‍රවාදී හෝ අධිකාරිවාදී පාලන තන්ත්‍ර කුමක් වුවත්, වැරදි තොරතුරු හරහා ඡන්ද දායකයන් හසුරුවා ගැනීම බොහෝ දේශපාලන පක්ෂවල ස්ථාපිත පුරුද්දක් වේ. පක්ෂ සහ අපේක්ෂකයින් එක හා සමානව තම වාසියට ව්‍යාජ පුවත් මවන අතර මෑතකදී වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සමීක්ෂණ මගින් අහවල් අපේක්ෂකයා ජයගනු ඇති බවට ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය තුළින් පූර්ව මත පළ කරමින් ජන මනස නොමග යැවීමයි. පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන මේ මොහොතේදීද සමාජ මාධ්‍ය තුළින් අසීමාන්තිකව දුස් තොරතුරු සංසරණය වීම දැකගත හැකි ය. නිවැරදි විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීමෙන් තොරව දේශපාලන අභිලාශයන් සාක්ෂාත් කරගැනීම පිණිස නිර්මාණය කරන ලද මැතිවරණ සමීක්ෂණ ද මේ අතර වේ.
මෙම ලිපියේ අරමුණ මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීම නොවේ. නිසි ක්‍රමවේදයකින් තොරව සිදු කරන නියැදි සමීක්ෂණ සහ ස්වෙච්ඡා ප්‍රතිචාර දක්වන්නන්ගේ ප්‍රතිචාර එකතු පිළිබඳ සත්‍ය තත්ත්වය පෙන්වා දීම සහ ඒවායේ විශ්වාසනීයත්වය පිළිබඳව පැහැදිලි කිරීමය.
මත විමසුම් හා සැබෑ ජනමතය
යූ ටියුබ්කරුවෙකු වන සුදත්ත තිලකසිරි පසුගිය ජනාධිපතිවරණයට පෙර විවිධ ප්‍රදේශවලට යමින් ජනතා අදහස් විමසීමක් සිදු කළේය. මෙහිදී නිශ්චිත නියැදියක් හෝ පර්යේෂණ ක්‍රමවේදයක් යොදා නොගනිමින් නගරබදව යම් ප්‍රදේශයක සිටින අහඹු ලෙස මුණගැසෙන පුද්ගලයින්ගෙන් සෘජුවම ප්‍රශ්න කරමින් මත විමසුමක් ලෙස සමීක්ෂණය සිදු කරන ආකාරයක් දක්නට ලැබුණි. සමාජ මාධ්‍ය තුළ ඒ සඳහා වැඩි අවධානයක් ද යොමුව තිබුණි.
අහඹු ලෙස පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මතය විමසීමෙන් සමස්ථ ජනමතය නිරූපණය නොවෙයි. නාගරිකව සහ ග්‍රාමීයව පවතින ජනමතයද සාපේක්ෂව වෙනස් එකකි. නාගරිකව වෙසෙන්නන්ගේ අදහස් ග්‍රාමීය ජනතාවගෙන් හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත හැකිය. මෙම සමීක්ෂණයට පදනම් කරගත්තේ නගරබද ජනතාවයි. කැමරාවක් සමග එක්වරම මයික්‍රෆෝනයක් දිගු කර මෙවර ඡන්දය ලබා දෙන්නේ කාටදැයි විමසීම කිසිසේත්ම නිවැරදි ප්‍රවේශයක් යැයි කිව නොහැකිය. මන්ද ලාංකිකයින් සිතන්නේ ඡන්දය ලබා දීම දේශපාලන සංස්කෘතිය තුළ අතිශය පෞද්ගලික කාරණයක් ලෙසිනි. පුද්ගලයින් තැතිගන්වන සුළු ආකාරයෙන් ප්‍රශ්නය යොමු කිරීමේදී ඔවුන් ඒ සඳහා ලබා දෙන පිළිතුර විශ්වාසයෙන් යුත් එකක් වීමේ ඉඩකඩ සීමිතය. තවද ප්‍රශ්නයක් බල කර ඇසීමෙන් අසත්‍යයක් කීමට ද ඔවුන් පෙළැඹිය හැකිය. එම සමීක්ෂණය සිදු කරන අවස්ථාවේ සුදත්ත තිලකසිරි දැරූ දේශපාලන මතය ප්‍රසිද්ධ එකකි. එවැනි අයෙකුට සමීක්ෂණයට සම්බන්ධ වන්නන් ලබා දෙන පිළිතුරු සමීක්ෂකයාගේ දේශපාලනයට පක්ෂපාතී වීමේ වැඩි ඉඩක් පවතී. මහාචාර්ය ටියුඩර් වීරසිංහ පවසන්නේ මෙවැනි සමීක්ෂණ සකස් කර තිබෙන්නේ ඒවා සිදු කරන අයගේ ලැදියාවන් අනුව බවයි.
“මත විමසුම කියලා මොකක් හරි දෙයක් ගැන පාරට බැහැලා වොයිස් කට් ගන්නවා. මිනිස්සු ඒ වෙලාවෙ තමන් ඉන්න මනෝභාවයන් සහ මුහුණපාන ප්‍රශ්න එක්ක ඒවට උත්තර දෙනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ නියම සමාජ යථාර්ථය හෝ ප්‍රශ්න ඒකෙන් නිරූපණය වෙනවා කියන එක. එය එම මත විමසුම් කරන මාධ්‍ය ආයතන හෝ පුද්ගලයින්ගෙ අරමුණු සමග සමපාත වෙනවා. ඒ අයගෙ ලැදියාවන්වලට අනුව තමයි ඒවා සකස් කරගෙන තියෙන්නෙ. සමහර සමීක්ෂණවල වොයිස් කට් 100ක් විතර අරගෙන ඒගොල්ලො කැමති වොයිස් කට් ටික තමයි ප්‍රචාරය කරන්නෙ. සමීක්ෂණයට භාජනය කරන්නෙ නියතයක් විදිහට. එය එක් පැත්තකින් විද්‍යාත්මක පර්යේෂණ මූලධර්ම අමු අමුවේම උල්ලංඝණය කිරීමක්.’’
ඡන්දය යනු රහස්‍ය දෙයක් බව ජනතාව විශ්වාස කරන අතර කැමරාවකට මුහුණ දී ප්‍රකාශ කිරීමේ සූදානම පවතින්නේ ඉතා අවම මට්ටමකය. ලංකාවේ වැඩිපුර සිටින්නේ ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි නොකියන පිරිසය. තමා යූඑන්පී, ශ්‍රී ලංකා, එස්ජේබී හෝ මාලිමාවේ යැයි පාක්ෂිකභාවය සමාජයට අනාවරණය වී ඇති පුද්ගලයින් ද තම දේශපාලන මතයට වෙනස්ව ඡන්දය භාවිත කරයි නම් එම වෙනස පිටතට පෙන්වීමට ඔවුන් කැමැත්තක් නොදක්වන්නේ එමගින් තමන්ගේ පෞරුෂයට බලපෑමක් සිදු වේ යැයි සිතමිනි. එම නිසා කැමරාව ඉදිරිපිට මිනිසුන් තැතිගන්වා සිදු කෙරෙන මෙවැනි මත විමසුම් අසාර්ථක මෙන්ම ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා කෙරෙන බාධාවක් ලෙස සැලකිය හැකි බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.
නියැදිවල විද්‍යාත්මක බව
පසුගිය ජනාධිපතිවරණ සමයේ ‘හෙළකුරු’ සිදු කළ සමීක්ෂණයේ අගෝස්තු තෙවන සතියේ ප්‍රතිඵලයේ ප්‍රතිචාර ප්‍රමාණය 24,056 කි. එහි දැක්වෙන අන්දමට සමීක්ෂණ ප්‍රතිඵලය වී තිබුණේ,
අනුර 86.7%
රනිල් 6.8%
සජිත් 3.5%
නාමල් 1.0%
දිලිත් 0.7%
වෙනත් 1.3%
මෙම ප්‍රතිඵලයෙන් රටේ සමස්ත ජනමතය නිරූපණය නොවන බව ඕනෑම අයෙකුට පෙනී යයි. සැබවින්ම මෙම ප්‍රතිඵල වැරදි නැත. මේ ප්‍රතිඵලවලින් පෙන්වන්නේ අදාල නියැදිවල සැබෑ ජනමතයයි. ගැටලුව වන්නේ මේ නියැදිවලින් රටේ ජනමතය නිරූපණය නොවීමයි. ඒ තුළ සමහර කොටස් වැඩියෙන් සහ සමහර කොටස් අඩුවෙන් නිරූපනය වේ. ඇතැම් කොටස් නියෝජනය වීමක් සිදු වන්නේම නැත. ඒ නිසා මෙවැනි ප්‍රතිඵල වැරදි නැතත් එයින් පිළිඹිබු වන්නේ අදාල කණ්ඩායම්වල මතය පමණි. බොහෝ විට අන්තර්ජාල මත විමසුම් ගණනාවක ප්‍රතිඵල සමාන වේ. ඉන් පෙනෙන්නේ එම ප්‍රතිඵලය අන්තර්ජාලය පරිශීලනය කරන පිරිසකගේ සාමාන්‍ය ජනමතය විය හැකි බවයි.
ජූලි මාසයේ හෙළකුරු සිදු කළ මත විමසුමට 50,686 දෙනෙකු සහභාගී කරගෙන තිබුණි. එම පිරිස දිස්ත්‍රික් මට්ටමින් ඡන්දදායකයින් නියෝජනය කළ ප්‍රතිශත අගයයන් කිහිපයකි මේ.
කොළඹ - 0.47%
ගම්පහ - 0.43%
මහනුවර - 0.29%
නුවරඑළිව - 0.12%
යාපනය - 0.01%
වන්නි - 0.02%
මඩකලපුව 0.00%
මෙම නියැදිය අනුව කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩි නියෝජනයක් සහ උතුරු නැගෙනහිර අඩු නියෝජනයක් දක්නට ලැබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ නියෝජනයක් ඇත්තේම නැත. රටේ සමස්ථය නියෝජනය නොවන විද්‍යාත්මක නොවන නියැදියකින් සමස්ථ මැතිවරණ සමීක්ෂණ ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීම තාර්කික නොවේ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයේදී සජිත් 43%ක් අනුර 30%ක් හා රනිල් 20%ක් ලෙස පූර්ව ප්‍රතිඵල දක්වා තිබුණි. එම වාර්තාව සකස් කර තිබුණේ දුරකථනය ඔස්සේ සිදු කළ සංවාද 446ක් ඇසුරිනි. අප්‍රේල් මාසයේදී මෙම ආයතනය තවත් සමීක්ෂණයක් දුරකථන සංවාද 444ක නියැදියකින් සිදු කළ අතර එමගින් ප්‍රකාශ කෙරුණේ අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා 39% බැගන් ලබා ගනු ඇති බවය. සමීක්ෂණය ආරම්භයේ සිට අප්‍රේල් මාසය දක්වා අනුර කුමාර දිසානායක මහතා 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇති බවටද පූර්වානුමාන කර තිබුණි.
ජනමත විමසුමක් යනු අති සංවේදී සමීක්ෂණයක් බැවින් සමීක්ෂණ ප්‍රතිඵලයේ වලංගුභාවය වැඩිවීමට නම් නියැදිය සකස් විය යුත්තේ ජනගහණයේ සැබෑ සමාජ ආර්ථික හරස්කඩ නිරූපණය වන අයුරිනි. එනම් මෙරට ජන සංයුතිය අනුව නියැදි තුළ 52.8%ක් කාන්තා හා 47.2%ක් පිරිමි 18.2%ත් නාගරික, 77.4%ක් ග්‍රාමීය හා 4.4% ක් වතු ක්ෂේත්‍රය නියෝජනය විය යුතුය. ඊට අමතරව ජාතීන්, ආගම්, රැකියාවේ ස්වභාවයට අදාල ප්‍රතිශත අනුවද එය සකස් විය යුතුය. මීට අමතවර වයස් ඛාණ්ඩ, අධ්‍යාපන මට්ටම්, හා ආදායම් මට්ටමද නියැදිය තේරීමේදී සැලකිල්ලට ගත යුතු වන්නේ එකී සියලු සාධක ඡන්දදායක චර්යාවට බලපාන හෙයිනි. සියලු දිස්ත්‍රික්කවල ජනගහණයන්ට සමානුපාතික ප්‍රතිශතයක් නියැදි තුළ නිරූපනය වීමද වැදගත් වේ. මේ කාරණා කෙරෙහි සැලකිලිමත් වෙමින් නියැදි සකස් නොකරන්නේ නම් සමීක්ෂණයේ විශ්වාසනීයත්වය ගිලීහී යාමට එය හේතුවක් වනු ඇත.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයට සහභාගී කරගත් දත්තදායකයන්ගේ සමාජ ආර්ථික හරස්කඩ නියෝජනය අපැහැදිලිය. තවද දත්තදායකයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය අයත්වන දිස්ත්‍රික්කය වයස් මට්ටම ආදී දත්ත ඉදිරිපත් කර නැත. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිදු කළ සමීක්ෂණයට යොදාගත් 444ක නියැදිය 2023 වසරේ සමස්ථ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 0.0025%ක් පමණි. එය රටේ සමස්ථ ජනගහණය වන මිලියන 17ක් නියෝජනය කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නියැදියක් නොවෙයි.
මෙවැනි සමීක්ෂණවලදී ඉදිරිපත් කෙරෙන ප්‍රශ්නාවලිද බොහෝ විට සමබර නැත. සමීක්ෂණයක් සඳහා භාවිතා කරන ප්‍රශ්නාවලිය වැදිගත් වන්නේ එය සමීක්ෂණයේ වලංගුභාවයට තීරණාත්මක සාධකයක් බැවිනි. තවද ප්‍රශ්නය ඉදිරිපත් කරන තැනැත්තා අනුවද ලැබෙන ප්‍රතිචාරය වෙනස් විය හැක. කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ තැනැත්තෙක් ප්‍රශ්නාවලියක් යොමු කරන විට ප්‍රතිචාරය ලැබෙන්නේ ඔහු නියෝජනය කරන පක්ෂයට වාසිදායක ලෙසය.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් නීතිඥ සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දෙන අන්දමට මැතිවරණ කාලය තුළ විධිමත් අයුරින් සිදු නොකරන සමීක්ෂණ නැවැත්විය හැකි නෛතික ප්‍රතිපාදනයක් නැත. එවැනි ප්‍රතිපාදනයක් ගෙන ඒමෙන් එය අදහස් ප්‍රකාශනයේ අයිතියට බාධාවක් ලෙස සැලකිය හැකිය.
‘‘සමීක්ෂණය විධිමත් විදිහට සිදු කෙරුණු විද්‍යානුකූල එකක් නම්, එහි ක්‍රමවේදය මොකක්ද කියලා හරියට කියලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. සමීක්ෂණ කියන ඒවා ගැන අද ඇත්තටම විශ්වාසයක් නෑ. විශ්වවිද්‍යාල වලින් සමීක්ෂණ කළත් කාට පක්ෂවද ඒක කරන්නේ කියලා මිනිස්සු දන්නවා. මාධ්‍යවලින් කරන සමීක්ෂණත් එහෙමයි. ඒ තත්ත්වය තුළ ඇත්තටම සමීක්ෂණ කියන දේ ගැන විශ්වාසයක් නෑ.’’
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, මැතිවරණයක් පවතින අවස්ථාවක සමීක්ෂණ ප්‍රතිඵල සමාජගත වීම පිළිගත නොහැකි බවයි.
‘‘සාමාන්‍ය පර්යේෂණයක මෙන් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කරලා තියෙනවා නම් සමීක්ෂණයක් පිළිගන්න වෙනවා. නමුත් මගේ අදහස ඡන්දයක් ආසන්න වෙන මොහොතේ සමීක්ෂණ ප්‍රතිඵල ඡන්දදායකයන්ගේ මතයට බලපෑමක් එල්ල වෙනවා කියන එකයි. පවතින දේශපාලන සන්දර්භය අනුව තමයි මිනිස්සු ඒ සමීක්ෂණය පිළිගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නෙත්. විපක්ෂය පරාජයට පත්වන බව පැහැදිලිව දක්නට ලැබෙන අවස්ථාවක, විපක්ෂය ජය ගන්නා බවට වන සමීක්ෂණ මිනිස්සු පිළිගන්නේ නැහැ. කව්රු දිනයිද කියලා නිගමනයකට එන්න බැරි අවස්ථාවල, ඒ කියන්නෙ පනහට පනහ වගේ තියෙන වෙලාවක සමීක්ෂණවලින් යම් බලපෑමක් වෙන්න පුළුවන්.’’
මැතිවරණ සමීක්ෂණ ලංකාවේ පමණක් නොව ලෝකයේම වෙනම කර්මාන්තයක් බවට පත්ව ඇති බව මහාචාර්ය ටියුඩර් වීරසිංහ සඳහන් කරයි.
‘’ප්‍රශ්නය වෙන්නේ මේ වගේ සමීක්ෂණ කලින්ම උපකල්පනය කරපු ප්‍රතිඵල ලැබෙන ආකාරයට සාධක හා දත්ත හසුරුවනවා. එය වෙනම කර්මාන්තයක් බවට පත්වෙලා. ඒවා පිළිබඳව විශ්වාසය අද හුඟක් දුරට විද්‍යාත්මක සහ සාක්ෂි පරිසංවාදයෙන් බැහැර වෙලා තියෙන්නෙ. හුදෙක් දේශපාලන මතවාදී හා ප්‍රචාරාත්මක තලයේ දෙයක් බවට පත්වෙලා තියෙනවා. මේ ප්‍රවණතාවය දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ වර්ධනය වුණා.’’
මැතිවරණ සමීක්ෂණ හරහා ජන මනසට බලපෑමක් සිදු වේද?
මැතිවරණ සමීක්ෂණවලින් කිසිදු අඩුවක් සිදු නොවුණු පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින්ට වාසි වන අන්දමේ පුරෝකථන අසන්නට ලැබුණි. ඒ සමගම මැතිවරණය ආසන්න වෙද්දීත් ඡන්දදායකයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තමන් ඡන්දය ලබා දෙන්නේ කාටදැයි තීරණය නොකර සිටි බවටද අදහස් පළ විය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ජනාධිපතිවරණයට මාස 4කට ඉහතදී සිදු කළ විග්‍රහයක් මෙසේය.
‘‘ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී ඡන්ද දායකයාගේ තීරණ ගැනීම සමීක්ෂණය කිරීමේ භාවිතය සහ විධික්‍රමය ඒ තරම් දියුණු එකක් නොවන බව පළමුව පිළිගත යුතුව තිබේ. බොහෝ විට මෙම සමීක්ෂණ සිදු කරන්නේ දේශපාලන පක්ෂවලට හෝ අපේක්ෂකයින්ට සම්බන්ධ පුද්ගලයින් හෝ ආයතන විසින් බව පෙනේ. ඒ නිසාම ප්‍රසිද්ධියට පත් කරන සහ ජනමාධ්‍යවලට ලබා දෙන සමීක්ෂණ ප්‍රතිඵලවල විශ්වාසනීයත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්න මතු වීම වැළැක්විය නොහැක.’’
මේ නිසා සමීක්ෂණ තුළින් තමන්ගේ දේශපාලන මතය තීරණය නොකර සිටීම වැදගත් වන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් නීතිඥ සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කළේ.
‘‘එවැනි සමීක්ෂණවලින් ඇන්දෙන්න එපා. විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව කරන හැම සමීක්ෂණයක්ම පක්ෂග්‍රාහී එකක් විදිහට දකින්න. ඒවා තුළින් තමන්ගේ මතය තීරණය කරන්න එපා. ජනමනසට බලපෑමක් කරන අරමුණින් කරන බොරුවක් කියන දේ මිනිස්සු තේරුම් ගත යුතුයි.’’
මේ පිළිබඳව වඩා විචාරශීලීව සිතිය යුතු බව ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. ඔහුගේ අදහස වන්නේ සමීක්ෂණ හරහා ජන මනස වෙනස් කිරීමට දරන උත්සාහයන් මෙවැනි සමාජයක සාර්ථක වන බවය.
‘‘ඒක සාර්ථකයි. ජනතාව ඕන විදිහට රවට්ටන්න පුළුවන්. අපේ රටෙත් ඇමරිකාවෙත් කොහෙත් තත්වය ඒකයි. පුද්ගලයෙක් රැවටීමට වඩා මහජනතාව රවට්ටන එක හරිම ලේසියි. නව මාධ්‍ය, කෘතිම බුද්ධිය ඒ පිළිබඳව ඕනෑ තරම් උදාහරණ සපයනවා. අමු අමුවේම සත්‍ය සහ යථාර්ථය යටපත් කිරීමේ දැවැන්ත බලවේගයක් ලෝක මට්ටමින්ම ක්‍රියාත්මක වෙනවා.
හැබැයි විද්‍යාත්මක පර්යේෂණයේදී එසේ කළ නොහැකියි. එය අපක්ෂපාතී වෙන්න ඕන. කිසිම ලැදියාවක් තියෙන්න බැහැ. ස්වාධීන විදිහට සිදු වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. වර්තමාන සමාජ සංදර්භය තුළ විද්‍යාත්මක සමීක්ෂණ කියන දේ බොහොම දුර්ලභ දෙයක් බවට පත්වෙලා තියෙනවා. එනිසා දත්ත මගින් ඉදිරිපත් කරන දේවල්වලට වඩා බොහොම තර්කානුකූලව අප කල්පනා කළ යුතු වෙනවා. ඒක තමයි අද මිනිස්සුන්ට තියෙන අභියෝගය.’’
කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව දේශපාලන අරමුණින් පමණක් ජනමනස නොමග යැවීම සඳහා මැතිවරණ සමීක්ෂණ පාවිච්චි කරන අන්දම මේ අනුව පැහැදිලි වේ. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක පුරවැසියන් ලෙස මෙවැනි සමීක්ෂණ පිළිබඳව වගකීමෙන්, බුද්ධිමත්ව සහ විචාරශීලීව දකින්නේ නම් නිදහස් හා සාධාරණ මැතිවරණයකට එය බෙහෙවින් ඉවහල් වනු ඇත.
| දිලීෂා අබේසුන්දර