සිපීර් ගැන කතාබහේ දී නොකියවුන පරිච්ඡේදය

sipeer

සිපීර්: මො.ල සෙනෙවිරත්නගේ නවතම කෘතියයි. මො.ල මට කියූ පරිදි සිපීර් යනු ලන්දේසි වචනයකි. ලන්දේසි බස නොදන්නා අපට එය සිපිරි වේ. බස්වහරට වඩා කටවහර හුරු අයට එය හිරගෙදර වේ. මොල ගේ පොත ලියවී ඇත්තේ සිපිරි ගේ හෙවත් හිරගෙදර පාදක කරගනිමිනි. නොඑසේ නම්  බන්ධනාගාරයේ ඇතුළත කරක් ගහමිනි. එය වැදගත් වැඩකි. වැදගත් වන්නේ එය හැමෝටම කල හැකි දෙයක් නොවන නිසාය.

එවැන්නක් කරන්නට නම් කල්දේරම් බතේ රහ දත්තෙකු විය යුතුය, තාප්පෙන් මෙපිට සිට හාල් ගරා එය කල නොහැකිය. බඩපුරා කල්දේරම් බත් කා ඇති ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ගැනද අපි දනිමු. ජම්පරය හැඳගෙනම ඔවුන් ලියා ඇති පොත්පත් ද බොහෝය. අද සිටින ඇතැම් මහාචාර්යවරු සිය ආචාර්ය උපාධි නිබන්ධයන් ලියා ඇත්තේ ද ජම්පරය පිටින්ය. එහෙත් ඒ අතරින් කිසිවෙකු හිරගෙදර ඇතුළාන්තය සිය කෘති හරහා සමාජගත කර ඇති බවක් නොපෙනේ. ඒ අතරින් ඇතැමෙකු සිරගේ තුළ තමන්ගේ ජීවිත අත්දැකීම් අපට කියාදී ඇතත් හිරගේ බිත්තිවල ඇති ඝණකම කිරා මනින්නට උත්සාහ කර නැත. මො.ල ගේ සිපීර් අපට වැදගත් වන්නේ එහෙයිනි. මො.ල ඒ සඳහා සුදුසුකම් ලබන්නේ දේශපාලන හිරකාරයෙකු ලෙස වසර හතකට අධික කාලයක් මහ උළු ගණනය කරමිනි.

මො.ල එහිදී හිරගෙදර බිත්තිවල ඝණකම කිරා මැන ඇත්තේ නව ලේඛණ ආරකිනි. සිය කෘතිය තුළ ඔහු එය හදුන්වන්නේ ස්ක්‍රැපිස්වාදී සටහන් ලෙසය. කතාව කැබැලි කර වියමන් කිරීම එහි ආකෘතික ලක්ෂණය වී තිබේ. එහෙත් ඒ සෑම කැබැල්ලක්ම සමාජ දේශපාලන යථාර්තයේ අක්මුල් යා කිරීමට සමත් ය. ඒ තුළ ඇත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයේ නග්නත්වය පමණක් නොවේ. අපරාධ රාජ්‍යයේ මූල කඳවුර ද මත්ද්‍රව්‍ය ඇතුළු කළු වෙළඳ සිටුවරුන්ගේ රාජධානීන් ද අවමන් සහගත උපවිඥානගත මානව විරෝධී සංස්කෘතියේ ස්වෝත්තම ගිණි කදු ද එහි දී නිරුවත් කර තිබේ.

එහි දී අප වැදගත් කොට සලකා බැලිය යුත්තේ ශිෂ්ට සම්පන්න රටක්  උදෙසා ගත යුතු හා බැහැර කල යුතු පියවරයන් කුමක් ද යන්න පිළිබඳව ය.එහිදී තම තම දර්ශනයන්ට පක්ෂව හෝ සාම්ප්‍රදායික පෙනී සිටීම් මත පිහිටා පිළිතුරු සෙවීම නිෂ්ඵල විය හැකිය.

මො.ල ගේ පොත එළිදැක්වූ දින සිදු වූ බොහෝ අදහස් දැක්වීම් තුළ ප්‍රකාශ වුණේ රාජ්‍යයෙන් විනිර්මුක්ත කොමියුනිස්ට් පාලනයකින් මෙපිට ඉහත ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙනු ඇති බවය.

එය ඇත්තක් ද? නූතන ඉතිහාසයේ මෙලොව කිසිම විටක ප්‍රායෝගිකව තහවුරු කිරීමට අපොහොසත් වූ මනෝරාජික සුන්දර සිහින දකිමින් සිටිනවාට වඩා රටක් ලෙස අපට ප්‍රායෝගික විසදුමක් එහිදී සොයාගත නොහැකි ද? නොයුතු ද? එහිදී අප සලකා බැලිය යුත්තේ රාජ්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නය. නූතන ව්‍යවහාරය අනුව රාජ්‍යය යන පදය භාවිත කළ හැක්කේ භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන ගුණාංග සතර අඩංගු සංවිධානය සදහා ය. මෙයින් පළමු සාධක දෙක මගින් රාජ්‍යයේ භෞතික පදනම පිළිබිඹු වන අතර අවසාන සාධක දෙක මගින් රාජ්‍යයේ දේශපාලන පදනම නිරූපනය වේ.

ඒ අනුව සැලකීමේදී අපට රාජ්‍යයෙන් විනිර්මුක්ත විය හැකිද? මො.ල ගේ කෘතිය එළිදැක්වීමේදී එයට ආරාධිතයෙකු ලෙස එක්ව සිටි කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පැහැදිළිවම ප්‍රකාශ කළ ආකාරයට නූතන ලෝක තත්ත්වයන් තුළ අපට රාජ්‍යය අහෝසි කර කටයුතු කල නොහැකිය. එමෙන්ම ඔහු ද එහිදී අවධාරණය කළ පරිදිම රාජ්‍යය  යනු මර්දනකාරී ආයතනයකි. එහි අරුත ද අප අමතක කල යුතු නැත. එහි අරුත වන්නේ රාජ්‍යයට හිමි ස්වාධිපත්‍යය බලය යටතේ එයට අවශ්‍ය තරම් බලය යොදවාලිය හැකි, නීති ක්‍රියාත්මක කිරීමේ දී ඒවා කඩ කරන්නන්ට උපරිම අන්දමේ දඩුවම් ලබා දීමට ද රාජ්‍යයකට බලය ලැබීමය. එය සාමාන්‍ය දඩුවමේ සිට මරණ දඩුවම දක්වා ක්‍රියාත්මක වේ. එහෙත් එය ක්‍රියාවට නගන්නේ රාජ්‍යයේ භෞතික පදනම පිළිබිඹු වන ඉහත දක්වා ඇති පළමු සාධක තුළින් නොව ආණ්ඩුව හා ස්වාධිපත්‍යය මගිනි. එකී සාධක දෙක මගින් නිරූපනය වන්නේ රාජ්‍යයේ දේශපාලන පදනමය.

එහි දී ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන පදනම ද තේරුම් ගෙන ආණ්ඩුවක වගකීම ද අවබෝධ කරගැනීම වැදගත්‍ ය. දේශපාලන පදනම සැලකීමේ දී ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වන හා මැතිවරණ හරහා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන රටකි. ඒ අනුව අපට අප විසින් බලයට පත්කරගත් ආණ්ඩුවක් ද තිබේ. රටේ නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය හා මුදල් පාලනය කිරිමේ බලයද සහිතව එහි වගකීම පැවැරෙන්නේ ආණ්ඩුවටය.

| මො. ල. සෙනෙවිරත්න

ඒ අනුව මො.ල සිය “සිපීර්” කෘතිය හරහා අපට පෙන්වා දෙන බන්ධනාගාරයෙහි අභ්‍යන්තරයේ පවත්නා කටුක යථාර්තයට පිළියම් යෙදීමේ පළමු වගකීම පැවරෙන්නේ රටේ පවත්නා ආණ්ඩුවට ය. ආණ්ඩුව ඒ සඳහා ප්‍රවේශ විය යුත්තේ රාජ්‍යයේ ස්ථාපිත මූලික මූලධර්ම මත පිහිටමිනි. බන්ධනාගාර විසුරුවාලිය නොහැක්කේ එබැවිනි, රාජ්‍යයේ පැවැත්ම හා ආරක්ෂාවද, ජනසමාජයේ සාමය හා යහ පැවැත්මද උදෙසා නීති ක්‍රියාත්මක කිරීමේ දී ඒවා කඩ කරන්නන්ට උපරිම අන්දමේ දඩුවම් ලබා දීමට ද රාජ්‍යයකට ලැබෙන බලය තුළ බන්ධනාගාර අත්‍යවශ්‍ය සාධකයකි. එය නූතන සමාජයන්හි ඕනෑම ශිෂ්ට සම්පන්න රටකට ද අදාළ තත්ත්වයකි.

එතැනදී මො.ල සිපීර් කෘතිය හරහා අපට පෙන්වා දෙන ලංකාවේ බන්ධනාගාර තුළ නිධන්ගතව පවතින රාජ්‍ය ත්‍රස්තවාදයේ නග්නත්වය,අපරාධ රාජ්‍යයේ මූල කඳවුරු, මත්ද්‍රව්‍ය ඇතුළු කළු වෙළඳ සිටුවරුන්ගේ රාජධානී, අවමන් සහගත උපවින්‍යානගත මානව විරෝධී සංස්කෘතිය යන කරුණූ රටක් ලෙස අප සැලකිල්ලට ගත යුත්තේ එකී ව්‍යාධීන් තුරන් කිරීමට මිස එසේ කිරීම සඳහා මනෝරාජික රාජ්‍යයක් පහළ වන තෙක් බලාසිටීමට නොවේ.

එහිදී අප තේරුම් ගත යුත්තේ කුමක් ද? අප රටේ බන්ධනාගාර මෙවන් ව්‍යාධීන්ට තෝතැන්නක් වී ඇත්තේ ඇයි? හේතුව බන්ධනාගාර තාප්පයේ ආරම්භක සීමාවේදීම ලංකා රාජ්‍යය අකර්මණ්‍ය කර තිබීමය. අද වන විට ඒ් බව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පැහැදිලි වෙමින් තිබේ. ඒ නිසා බන්ධනාගාර යනු නීතියේ පාලනයෙන් තොර මුදා නොගත් කලාපයන් ය. එය නොපමාව මුදා ගැනීම රාජ්‍යයේ ද පොදු සමාජයේ ද යහපත පිණිස අත්‍යවශ්‍ය වී තිබේ.

එය සරළ නැත. එක පෑන් පහරකින් ක්‍රියාවට නැංවිය නොහැක. ඉතාමත් සංවිධිත සැලස්මක් ඒ සඳහා අවශ්‍ය වනවා නොඅනුමානය. අධිකරණ  අමාත්‍යංශය, සමාජ විද්‍යා විශේෂඥයන්, සිවිල් සමාජය  ප්‍රමුඛ රටේ යහපත උදෙසා පෙනී සිටින යාන්ත්‍රණයක් ඒ සඳහා නොපමාව පෙරමුණ ගත යුතුය. මො.ල සෙනෙවිරත්න විසින් රචිත කුඩා කෘතිය එහිදී මහා අත් පොතක් ලෙස පාදක කරගත හැකිය.

sunil jayasekara 11

| සුනිල් ජයසේකර 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා දේශපාලන විශ්ලේෂක