ඉදිරි මැතිවරණවලදී අභියෝගයක් වන කෘතිම බුද්ධිය 

ai-election

ගත වූ වසරකට අඩු කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණ තුනක් හරහා වැදගත් දේශපාලන පරිවර්තනයක් අත්විඳුනු ලැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් අතර දෝලනය වූ ජන බලය එතෙක් තුන්වෙනි බලවේගයක් ලෙස පමණක් මෙරට ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය වෙත පාර්ලිමේන්තුවේ අති බහුතරයක් සහිතව හිමිකර දෙමිනි.

මෙම මැතිවරණ තුනේදීම දක්නට ලැබුණු විශේෂත්වය වූයේ  ඔන්ලයින්, එසේත් නැත්නම් ඩිජිටල් වේදිකා විසින් දේශපාලන පක්ෂ සිදු කරන ප්‍රචාරක සන්නිවේදනයන් මෙන්ම මැතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතුවලට මහජනතාව සම්බන්ධ වන ආකාරය මෙන්ම ඡන්දදායකයන් මැතිවරණ සංවාදයන්ට සක්‍රීයව සහභාගීවීම පරිණාමනයට ලක්ව ඇති බවකි.

ඩිජිටල් වේදිකාවල වේගවත් බව මෙන්ම සමාජ මාධ්‍ය ඇතුළත් ඩිජිටල් තාක්ෂණයේ සංකීර්ණ බව හා ගැලපෙන ප්‍රතිපත්තිමය රාමුවක් මෙරට නොමැතිවීම වැනි කරුණු හේතුවෙන් ගත වූ මැතිවරණ සමයන් තුනේදීම ඩිජිටල් මාධ්‍යයෙන්  අභියෝග රැසක් මතු කරනු ලැබුවේ අපේක්ෂා කළ පරිද්දෙනි.වෛරී කථනයන්, අවමානය ඇති කරවන ප්‍රකාශ, හා ව්‍යාජ තොරතුරු හේතුවෙන් මැතිවරණ සුපිළිපන්භාවයට නොපෙනෙන අභියෝගයක් එල්ල විය හැකි බවට පුරෝකථනය කර තිබුණි.

ඩිජිටල් තාක්ෂණය 

ජනාධිපතිවරණයෙන් පසු 2024 නොවැම්බර් මස 15 වැනිදා වාර්තාවක් නිකුත් කල එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය සැප්තැම්බර් මස 21 වැනිදා පැවති ජනාධිපතිවරණයට ආසන්න වෙත්ම වෛරී ප්‍රකාශන අට ගුණයකින් පමණ වැඩි වී තිබූ බව සදහන් කර තිබුනේ ඉහත පුරෝකථනය සනාථ කරමිනි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සිදු කළ සමාජ මාධ්‍ය නිරීක්ෂකයන්ට අනුව ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුරු කුමාර දිසානායක යන තිදෙනාම එහි ගොදුරු බවට පත්ව තිබුණි. ඒ අතරින් වඩාත්ම ඉලක්කය බවට පත්ව තිබුණේ අනුර කුමාර දිසානායකය.

වසර 2024 දී අවමන් සහගත ප්‍රකාශයන්ගේ ප්‍රතිශතය 32% දක්වා පහළ ගොස් තිබුණද නොවැම්බර් මාසයේ ආරම්භ වන විට එය යළි  113%  කින් වැඩි වී තිබුණේ මහ මැතිවරණය ආසන්නයේ පැවතීම හේතුවෙනි. එහිදී කාන්තා අපේක්ෂකයන් වැඩි වශයෙන් අවමන් සහගත විවේචනයන්ට ලක්ව තිබුණි.  එය 51% ප්‍රතිශතයක් බවත් ඊට අමතරව සුළු ජාතීන්ට එරෙහිව එල්ල වූ අවමන් සහගත තොරතුරු වල ප්‍රතිශතය 24% වූ බවත් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ වාර්තාවක් උපුටා දක්වමින් නියුස් වයර් වෙබ් අඩවිය 2024 දෙසැම්බර් මාසයේදී වාර්තා කර තිබුණි. 

ජනාධිපතිවරණයේ සිටම ඩිජිටල් වේදිකා හරහා සිදු වූ ව්‍යාජ තොරතුරු ගලායාම වළක්වාලීමට වඩාත් අභියෝගයක් වූයේ කෘතිම බුද්ධිය එම තොරතුරු වඩා නිවැරැදි තොරතුරු ලෙස හුවා දැක්වීමට සමත්ව තිබීමයි. කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් විවිධ චන්දදායක කණ්ඩායම්වලට වඩාත් ආකර්ශනීය වන ආකාරයෙන් ව්‍යාජ තොරතුරු ඉතා කාර්යක්ෂමව යොමු කිරීමට හැකියාව ලැබී තිබීම ඩිජිටල් මාධ්‍ය තම ප්‍රචාරක කටයුතුවලට යොදාගත් දේශපාලන පක්ෂවලට වැඩි වාසියක් අත්කර දී තිබුණි. ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ සංවිධානය පවා මේ බව සිය වාර්තා මගින් දක්වා තිබුණි. කෘතිම බුද්ධිය ඇතුළත් තාක්ෂණය දිනෙන් දින පරිණාමයට ලක්වන බැවින් ඉදිරි කාලසීමාවන් හීදී පැවැත්වෙන මැතිවරණයන්හිදී නිරීක්ෂණ කටයුතු වඩාත් සංකීර්ණ වනු ඇත.

කෙසේ නමුත් දේශපාලන හා සාමාජීය වශයෙන් බෙදී සිටින සමාජයක් සහිත ශ්‍රී ලංකාව තුළින් තවමත් අවධානයට යොමු වන්නේ රූපවාහිනී රේඩියෝව සහ පුවත්පත් යන සාම්ප්‍රදායික ජනමාධ්‍ය තුළ පළවන ප්‍රවෘත්ති කෙරෙහිය. මෑතකදී ලර්න් ඒෂියා සංවිධානය ප්‍රසිද්ධ කළ අධ්‍යනයකදී සඳහන් වූ පරිදි ශ්‍රී ලංකාව තුළ සිංහල භාෂාව කතා කරන පුරවැසියන් තවමත් බොහෝ සෙයින් විශ්වාසය තබන්නේ තමන්ගේ සමීපයන්ගෙන් ලැබෙන තොරතුරු සහ විද්‍යුත් මාධ්‍ය මෙන්ම පුවත්පත් මගින් ලැබෙන තොරතුරු කෙරෙහි ය.සමාජ මාධ්‍ය පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය දුරස් බව එම අධ්‍යනයේදී තවදුරටත් තහවුරු වී තිබුණි.

එහෙත් ඩිජිටල් වේදිකා මත සිදුවන දේශපාලන ක්‍රියාකාරකම් වෙනදාට වඩා වේගවත් මෙන්ම සැලකිය යුතු වර්ධනයක් මෙම මැතිවරණවලදී දැකිය හැකි වුවද ඒවායේ පළවන වෛරීකථනයන් දුස් තොරතුරු, අව තොරතුරු, විකෘති කරන ලද තොරතුරු පිළිබඳව පුළුල් මහජන සංවාදයක් මෙතෙක් ආරම්භවී  නොමැත්තේ  ඒ පිළිබඳ විශ්වාසය අඩු මට්ටමක පැවති නිසා විය හැකිය. මෙය අතිශයින්ම අනතුරුදායක තත්ත්වයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. මෙම අනතුරුදායක අන්තර්ගත හුවමාරුව ප්‍රජාතන්ත්‍රවාදයට සහ  සමාජ ඒකාබද්ධතාවයට ද බරපතළ ප්‍රතිවිපාක ඇති කරනු ලැබිය හැකිය.

සමාජ මාධ්‍ය තුළ මැතිවරණ නීති උල්ලඝණය 

සමාජ ජාල තුළ වේදිකා මත සිදු වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් නිරීක්‍ෂණය කළ හෑෂ්ටැග් ජෙනරේෂන් ආයතනය මහ මැතිවරණයේදී අවමානය කැටි කර ගත්තොරතුරු හුවමාරු වූ අවස්ථා 200කට වැඩි ප්‍රමාණයක් නිරීක්‍ෂණය කර තිබුණි. මෙහි වඩාත්ම ගැටලුකාරී තත්ත්වය සාම්ප්‍රදායික මාධ්‍ය මෙන් නොව මෙලෙස සමාජ මාධ්‍යයෙන් උඩුගත කෙරෙන තොරතුරක් මිනිත්තු කිහිපයක් වැනි ඉතා සුළු වේලාවකින් පරිශීලකයන්  මිලියන ගණනක් වෙත ළඟා වීමය.

මෙම වේගවත් ව්‍යාජ තොරතුරු පැතිරයාම මහජන අවබෝධයන් වෙනස් කිරීමට මෙන්ම දුර් මතයන් පැතිරවීමට සහ මැතිවරණ ක්‍රියාවලියන් පිළිබඳ විශ්වාසයන් පළුදු කිරීමට ද, සමත් විය හැකිය. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නිලන්ති කොට්ටහච්චි මෙන්ම හරිනි අමරසූරියද ලිංගිකත්වය පදනම් කරගත අපහාසාත්මක තොරතුරුවලට ගොදුරු වූ බව හැෂ්ටැක් ආයතනය නිරීක්ෂණය කර තිබුණි. ඔවුන් දෙදෙනා පමණක් නොව විපක්ෂයෙන් තරග වැදුණු චන්ද්‍රාමනී කිරිඇල්ල වැනි අපේක්ශිකාවන්ද අපහාසාත්මක තොරතුරුවල ඉලක්කයක් වී තිබුණි.

2024 සැප්තැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයද අපේක්‍ෂා කළ පරිදිම දුස්තොරතුරු, අව තොරතුරු සහ අප තොරතුරු වලින් ගහන මැතිවරණයක් විය. ව්‍යාජ මැතිවරණ මත විමසුම් හරහා ජන මතය අවුල් කිරීමට සමාජ මාධ්‍ය තුළින් ක්‍රියාකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපා කොමිසමට පවා වරෙක තමන් විසින් කිසිදු හෝ ජනමත විමසුමක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර නොමැති බවට ප්‍රකාශ කිරීමට සිදු විය.

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහුගේ රජයේ සියලු මත්පැන් හල් වසා දමන බවට පළ වූ ව්‍යාජ ප්‍රවෘත්තියත් අනුරකුමාර දිසානායක මහතා මෙරට සිටින අටවන ධනවතා බවට හැග වෙන ව්‍යාජ ප්‍රවෘත්තියත් සමාජ මාධ්‍ය තුළ පියාපත් ලැබීමට වැඩිවෙලාවක් ගත වී තිබුණේ නැත. එමෙන්ම මැතිවරණයට ආසන්නව ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකෘතිය පිළිබඳව ද විවිධ වැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බව ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ ආයතනය අනාවරණය කළේය.

2019 දී පැවැති ජනාධිපතිවරණයේදී මෙන් සමාන නොවූවද 2024 ජනාධිපතිවරණයේදී ද වෛරී ප්‍රකාශන සමාජ මාධ්‍ය තුළ වැඩි ඉඩක් වෙන්ව තිබුණි. එහිදී වඩාත් වෛරී ප්‍රකාශනයනගේ ඉලක්කය  වී තිබුණේ අනුර කුමාර දිසානායක සහ ඔහු නියෝජනය කළ ජාතික ජන බලවේගයයි. අනුර කුමාර දිසානායක ස්වරූපය පවා ගර්භාවට ලක් කරමින් වෛරී ප්‍රකාශ ඩිජිටල් මාධ්‍ය තුළ පළවී තිබූ අතර ආගමිකත්වය ඈඳා ගනිමින් ඔහු නියෝජනය කළ ජාතික ජන බලවේගයට අතොරක් නැති වෛරී චෝදනා එල්ල කර තිබුණි.

වෛරී ප්‍රකාශ 

ඉන් පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී වෛරී ප්‍රකාශවල යම් අඩුවක් පෙන්නුම් කෙරුණද ජාතිවාදී ස්වරූපයේ වෛරී ප්‍රකාශන පළ වී තිබුණේ ඒවායින් බොහොමයක ඉලක්කය දමිළ අපේක්ෂකයන් බවට පත් කරවමිනි. ඒ අතර විජයකළා මහේෂ්වරන් හිටපු මන්ත්‍රීවරිය මෙන්ම එම  මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීනි අම්බිකා සැමුවල් ද වූවාය. අම්බිකා සැමුවෙල් අපේක්ෂිකාව  ජාතිකත්වය පදනම් කරගනිමින් දැඩි වෛරී ප්‍රකාශනයට ගොදුරුව තිබුණි.

ජනාධිපතිවරණයේදී ඉහළ නැගි වෛරී කථනය සහ අපහාසාත්මක තොරතුරු පාලනය මහ මැතිවරණය දක්වාම නිරීක්ෂණය කළ හැකි විය.වෛරී ප්‍රකාශනයන්ට අමතරව ජනාධිපති අපේක්ෂකයන්ගේ ශාරීරික ස්වරූපයන්ද අපහාසාත්මක තොරතුරු පළ කරන්නන්න්ගේ ඉලක්කයක් බවට පත්ව තිබුණේ ඩිජිටල් වේදිකාව වඩාත් අප්‍රසන්න කර වමිනි.

කෙසේ නමුත් පසුගිය 2025 මැයි 6 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී වෛරී ප්‍රකාශනයන්ගේ සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණු බව මැතිවරණ නිරීක්‍ෂකයෝ පවසති. එය ජාතික මට්ටමේ මැතිවරණයක් ලෙස නොසැලකීමත් බොහෝ අපේක්ෂකයන් තමන් නියෝජනය කරනු ලබන ප්‍රාදේශියන්ට පමණක් අවධානය යොමු කිරීමත් වෛරී ප්‍රකාශන පහත යාමට හේතුවක් වී තිබුණි. එහෙත් උතුරු හා නැගෙනහිර පළාත්වල තරග කළ දමිළ කාන්තා අපේක්ෂකයන්ගේ පුද්ගලිකත්වයට අදාළව මඩ ප්‍රහාරයන් හා ව්‍යාජ තොරතුරු පළ කිරීම් ඩිජිටල් වේදිකා තුළ දක්නට ලැබූ බවට මැතිවරණය කොමසාරිස් කාර්යාලයට ලැබී තිබූ පැමිණිලි වල සඳහන් විය.

වෛරී ප්‍රකාශනයන් ක්‍රමයෙන් අඩු වූවද පාර්ලිමේන්තු මැතිවරණයේදී සහ පළාත් පාලන මැතිවරණයේදී ඩිජිටල් වේදිකා මත අපේක්ෂකයන්ට එල්ල වූ ගැරහුම් සහ ව්‍යාජ තොරතුරු පාලනයකින් තොර විය. කාන්තා අපේක්ෂකයන්ට මෙන්ම පිරිමි අපේක්ෂකයන්ටද ඔවුන්ගේ භෞතික ස්වරූපය පදනම් කරගත් විවේචන ද එල්ල විය. ඇතැම් අපේක්ෂකයන් ඔවුන්ගේ මුහුණේ ස්වරූපයත්, අඩු දේශපාලන දැනුම වැනි කාරණා මත විවේචනයට ලක්  වූයේ පුද්ගලික විවේචන ආකෘතිය ව්‍යාප්ත කරමිනි.

අවබෝධාත්මකව පළ කෙරෙන ව්‍යාජ තොරතුරු යනු අලුත් දෙයක් නොවුව ද ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් එය උච්චතම අවස්ථාවකට ළගා වූ බව සමාජ මාධ්‍ය නිරීක්ෂණය කළ ආයතන සඳහන් කරති.අතිශයින්ම ඩිජිටල්කරණය වූ සමාජයක් පවතින ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ඡන්දදායකයන්ට දේශපාලන තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය ප්‍රබලතම භූමිකාවක් ඉටු කරනු ලබන සන්නිවේදන මාධ්‍යයකි. Whatsapp වේදිකාවල සිට ටික් ටොක්, මෙටා වැනි වේදිකා දක්වා ව්‍යාප්ත වන එවන් තොරතුරු මහජන මතයට දැඩි බලපෑමක් එල්ල කරනු දක්නට හැකි විය.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ ජාලය, ප්‍රංශ පුවත් සේවය නිවුස් චෙකර් වැනි ආයතන නිරීක්ෂණය කර තිබුණේ මැතිවරණ ව්‍යාපාර ආරම්භ වූ වකවානුවේ සිට කෘතිම බුද්ධියද තොරතුරු ව්‍යාජකරණය සඳහා යොදාගෙන ඇති බවය. ව්‍යාජ තොරතුරු හේතුවෙන් මැතිවරණ සුපිළිපත් බව අභියෝගයට ලක්වීම පමණක් නොව ජනතාව අතර ගැටලු උත්සන්න කරමින් දේශපාලන කඳවුරු අතර බෙදීම තවදුරටත් දැඩි කරමින් අප්‍රසන්න බවක් ජනිත කරවනු ලබයි.

කෘතිම බුද්ධිය යොදාගැනීම 

මෙම අව තොරතුරු, අප තොරතුරු, ව්‍යාජ තොරතුරු සමඟ සටන් කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. ව්‍යාජ ප්‍රවෘත්ති බොහොමයක් කෘතිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන නිසා ඒවායේ සැබෑව සහ වංචාව වෙන්කර දැක්වීමද අභියෝගාත්මක වී ඇත. මෙය වඩාත් සංකීර්ණ කරමින් වීඩියෝ සහ හඬපට ද ප්‍රචාරණ කටයුතුවලට එක් කර ගෙන ඇත. මෙම අවධානම හේතුවෙන් මෙරට ක්‍රියාත්මක විවිධ සංවිධාන සයිබර් ආරක්ෂක විශේෂඥයන් සමඟ එක්ව ඩිජිටල් වේදිකා වඩාත් නිවැරදි කර ගැනීමට මේ වන විට උත්සාහ ගනිමින් සිටිති. 

ගතවූ මැතිවරණ තුනම මැතිවරණ කොමිසමට මෙන්ම දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්‍ෂකයන් වැනි මැතිවරණයේ සියලු පාර්ශ්වකරුවන්ට මුහුණ දීමට සිදුවූ තරග විභාගයක් විය. ඩිජිටල් තාක්ෂණයේ පරිණාමය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ඇති කර තිබෙන බලපෑම එම මැතිවරණයන්හිදී නිරූපණය විය. මෙම ගැටලුව මැතිවරණවලින් පසුවද පවතින අතර ඒවා ප්‍රජාතන්ත්‍ර විශ්වාසයන්ට, ආයතන පිළිබඳ විශ්වාසයන්ට හා සමාජ සහයෝගීතාවටද තර්ජනයක් වීම වැළැක්විය නොහැකිය.

එබැවින් ශ්‍රී ලාංකිකයන් ලෙස අපට අවශ්‍ය වන්නේ මෙවැනි ඩිජිටල් වේදිකා මත ව්‍යාජ තොරතුරුවලින් ආරක්‍ෂා වීම සඳහාත් ඒවායේ ගොදුරක් බවට පත්වීම වළක්වාලීම සඳහාත් තොරතුරු සාක්ෂරතාවයෙන් සන්නද්ධවීමය. ඒ තුළින් වඩාත් විනිවිද සහ සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් ගොඩනැගීමට හැකිවනු ඇත.

එහෙත් එය එතරම් පහසු කාරණයක් ද නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලු සංවිධාන ජාත්‍යන්තර හා දේශීය ජනමාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය වේදිකා පවත්වාගෙන යන ජාත්‍යන්තර සමාගම් ඩිජිටල් මාධ්‍යකරුවන් වැනි සියළු පාර්ශවකරුවන් සමග එක්ව තොරතුරු තෝරා ගත යුතු ආකාරය පිළිබඳව හා එය විශ්ලේෂණය කිරීමට අවශ්‍ය ශක්‍යතාවයන්ගේ විශේෂයෙන් තරුණ පරපුර සන්නද්ධ කිරීම රජයේ ප්‍රමුඛම කාර්යයක් කරගත යුතුය.

සුපිළිපත් මැතිවරණයක් පැවැත්වීම සඳහා වන පරිසරය ආරක්‍ෂා කර ගැනීමට රජය, දේශපාලන පක්ෂ, අපේක්ෂකයන්, ඡන්දදායකයන්, මාධ්‍ය, මැතිවරණ කොමිසම, සමාජ මාධ්‍ය වැනි සියළු පාර්ශවයන්ට අයත් වගකීමකි. සමාජ මාධ්‍ය වේදිකා ඔවුන්ගේ වේදිකා මත පළ වන වැරදි තොරතුරු හදුනාගැනීමේ ක්‍රමවේදයන් ශක්තිමත් කරගත යුතු අතර ඡන්දදායකයන්ද ඒවා හඳුනාගත හැකි ශක්‍යතාවයක් වර්ධනය කර ගත යුතුය. ව්‍යාජ තොරතුරු හඳුනාගැනීම ඡන්දය ප්‍රකාශ කිරීම හා වැදගත්කමකින් යුක්තය.

මේ ඩිජිටල් සමීක්ෂණයෙන් වැලකී ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වඩාත් සංවිධාන ස්වාධීන බවට පත් කිරීම සඳහා සමාජ ජාල වේදිකා පවත්වාගෙන යන සමාගම් සමග මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණයෝ පුළුල් සහයෝගිතා වැඩපිළිවෙළකට යොමු විය යුතුය. පුරවැසියන්ට ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් හඳුන්වා දී  ඔවුන්ගේ ශක්‍යතාවයන් වැඩිදියුණු කරන අතරම ඩිජිටල් නියාමනය සඳහා සියලු පාර්ශව කරුවන් සමග සංවාදයක් වහා ඇරඹිය යුතුය. කෘතීම බුද්ධිය හමුවේ මැතිවරණ කොමිෂන් සභාවට මෙන්ම මැතිවරණ නිරීක්ෂකයන්ටද එල්ලවන අභියෝගය දුෂ් තොරතුරු හා ව්‍යාජ තොරතුරු හඳුනාගැනීම සඳහා එම තොරතුරු සත්‍යාපනයට අවශ්‍ය සාක්ෂරතාවයත් ශිල්පීය ක්‍රමයනුත් නොමැති වීමය. ජනමාධ්‍යයට ද මෙය අභියෝගයක් විය හැකි බැවින් මැතිවරණවලදී කෘතිම බුද්ධිය යොදා ගනිමින් ව්‍යාජ තොරතුරු පැතිරවීම වළක්වාලීම සඳහා තොරතුරු සත්‍යාපනයට අවශ්‍ය ශිල්පීය දැනුමෙන් සන්නද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් ඉදිරි මැතිවරණවලට පෙරාතුව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතුය.

|  නෙමින්ද විජේතුංග