යුක්තිය පසඳලීමට අපරාධය දඬුවමක් කරගැනීම

sri-lanka-prison

සමාජ සාධාරණත්වය සමබර කරගෙන පවත්වාගෙන යාමට යුක්තිය ඉටුකරගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම පාලකයින්ගේ මූලික වගකීමක් යන්න අමුතුවෙන් සටහන් කලයුතු නොවේ. පොදුජනතාවට හිමි යුක්තිය ඉෂ්ට කරගැනීම උදෙසා ඇති අභියෝග සහ අධිකරණ පද්ධතිය මත පැටවී ඇති වගකීම පිලිබද සංඛ්‍යා ලේඛන සහ දත්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දත්ත සංඛ්‍යා ලේඛණ මගින් පෙන්වා දී ඇත.

සියලුම දේ ඩිජිටල්කරණය වන ක්ෂණික යුගයේ උසාවියේ තීන්දුව බෝල් පොයින්ට් පෑනෙන් ලියන විනිසුරුවන්ට යුක්තිය ඉටුකරන්නට ඇසිය යුතු, එක් උසාවියකට ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය 3300 ක පමණ ඇත. අපරාධ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට දශකයක් පමණ කාලයක් ගතවන බව යසන්ත කෝදාගොඩ ශේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පෙන්වාදී ඇත. උසාවි 330 ක්‍රියාත්මක වෙන විට රට පුරාම ඇත්තේ බන්ධනාගාර 33 ක්‍ පමණි.

බන්ධනාගාර රැඳවියන්ට සහ නිලධාරීන් කිහිප දෙනෙක්ම අවාසනාවන්ත ලෙස මීගමුව බන්ධනාගාර ගැටුමකින් ජීවිතක්ෂයට පත්වීම සමග ඇරඹුන යුක්තිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රමවේදය ගරාවැටීමේ සිද්ධිය සමග ඇරඹුන ජූලි මාසය අවසන් වූයේ අගෝස්තු මාසය මැදවන විට රට පුරා ඇති බන්ධනාගාර වල ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීමට ආරක්‍ෂක අංශවල සහය ලබාගැනීමෙනි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 65% රිමාන්ඩ් රැදවියන් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සදහා අත් අඩංගුවට පත් වූ අයය. අධිකරණ කටයුතු පිලිබද අමාත්‍ය වරයාගේ ප්‍රකාශය අනුව 2026  රිමාන්ඩ් සිරගතවු 30000 න් 23000 ක්ම මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධ වැරදි කරුවන්ය. මෙම තත්වය බොහෝවිට ජනබලවේග රජයේ මත් උවදුර පාලනය සදහා ගෙනයන වැඩපිළිවෙලේ ප්‍රගතිය මත සිදුවූවක් විය හැක.

ප්‍රශ්නය නිවැරදිව හඳුනාගැනීම, ඒය නිරාකරනය සඳහා ලබාදිය හැකි විසඳුමේ හරි අඩක් යන්න අවධාරනය කර ගනිමු.

සඟ වෙඳ ගුරු ගොවි කම්කරු යන සමාජ බලවේග වලින් පන්නරය ලැබූ ශ්‍රී ලාංකේය ප්‍රගතිශීලී දේශපාලන බලවේග පසුගිය දශක කිහිපයේ එම බලවේග යටපත් කර ඉදිරියට ආර්ථිකව ශක්තිමත් මැරවර බලවේගය යටතේ දුර්මුඛ වූහ. මතට තිත තැබීමට බලය ලබාගත් අය බලයෙන් තිතට මත්වූහ. මත් ද්‍රව්‍ය ව්‍යාපාරය වල නිරතු වූවන්ගේ ආධාර අනුබල දේශපාලන පක්ෂ වලට නොඅඩුව ලැබිනි. ඒක් දේශපාලන පක්ෂයක් මත් කුඩු ව්‍යාපාරිකයින් මත යැපෙන විට තවත් පක්ෂයක් මත් වතුර නිෂ්පාදනය කොට බෙදාහරින සමාගම් වලින් අනුග්‍රහය ලබති.

කලකට පෙර කොලොන්නාව ප්‍රදේශයේ ජනප්‍රිය දේශපාලනඥයෙක් ස්වයං රැකියා දියුණුවට මහන මැෂිං බෙදා දුන්නේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකුගේ මූල්‍ය අනුග්‍රහය මතය. මේ අයුරින් ගොඩනැගුණ දේශපාලනඥයින් සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් ගේ සහසම්බන්ධය පසුව පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් දක්වා ව්‍යාප්ත වීය.  මේ දිනවල පැවැත්වෙන ඇසළ පෙරහැර වල අනුග්‍රහය මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ගේ අධීක්‍ෂණය යටතේ කාවඩි නැටුම් සිදුවන බව ජනමාධ්‍ය වාර්තාකර ඇත. වර්තමානයේ අප අත්විදින්නේ ඉහත විස්තර කල  අවාසනාවන්ත තත්වයන්ගේ අනපේක්ෂිත ප්‍රතිඵලයන්.

නොකල අපරාධ වලට දඬුවම්! කල අපරාධ වලින් නිදොස්කොට නිදහස්!

පුද්ගලයින් බොහෝ විට අල්ලස් ලබන්නේ මුදලට වඩා ඔවුන්ගේ පක්ෂපාතිත්වයන් සහ අභිලාෂයන් මගිනි. හිටපු ඇමෙරිකානු විනිසුරු රොබට් එච් ජැක්සන් වරක් සටහන් කල ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. මෙහි අඩංගුවන තත්වය වර්තමාන ශ්‍රී ලාංකේය අධිකරණ ක්ෂේත්‍ර වල සිදුවන සිද්ධීන් තේරුම්ගැනීම පහසුකරවයි. එකම අපරාධය හා සම්භන්ධ චූදිතයන්ට වරෙක නිදොස් කොට නිදහස් වන විට ඊළඟ තීන්දුව ඔවුන්ට මරණ දඬුවම නියම කරනු ලබයි.මෙම තත්වයන් යුක්තිගරුක පුරවැසියන් අධිකරණමය යාන්ත්‍රණය දෙස කුතුහලයක් ඇති කරවයි.

මෑත අතීතයේ  අධිකරණවල විභාග වූ ප්‍රසිද්ධ "සුදු කොඩි" නඩුවේ සිට "සිල් රෙදි" නඩුව දක්වා ශ්‍රී ලංකාවට ද මෙම ප්‍රකාශය හොඳින් අදාළ වේ. මෙම තත්වය දැන් මත් (කුඩු) සහ සිර (කූඩූ) දක්වා ව්‍යාප්ත වී ඇත. මේ අතර 1996 දී අහිංසක කුමාරපුර ගම් වැසියන්ට මරුකැඳවූ අධිකරණ ක්‍රියාමාර්ග වලින් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටුනොවූ නඩුව නීති පතිවරයාගේ මැදිහත්වීම මත නැවත ඇසීමට ලබාදී ඇති තීරණය වසර තිහකට පසුව වුවද අගය කල යුතු යුක්තිගරුක කටයුත්තකි. මීගමුවේ බන්ධනාලාරයේ මියගිය රැඳවියන් අපරාධකරුවන්ද? ඔවුන් සමඟ මියගිය බන්ධනාගාර නිලධාරීන් අපරාධකරුවන්ද? ඔවුන්ට සිය ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවීය.

අයුක්තිය රජවීම කදිමට අර්ථ දක්වන ප්‍රකාෂයක්  ඇමෙරිකානු ලේඛක ඕසන් වෙල්ස් (Orson Welles) පවසා ඇත.ඔහුගේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රකාශ අතරින් එකක් වර්තමානයේ අධිකරණ ක්ෂේත්‍රය තුල මතුවන සිද්ධීන් විශ්ලේෂණය පහසු කරවනු පිණිස උපුටා දක්වමි. "කිසිවෙකුට යුක්තිය ඉටුනොවේ,  බොභෝ දෙනෙකුට ලැබෙනූයේ සිය  වාසනාව හෝ  අවාසනාව මත ලැබෙන තීන්දුවක් පමණි,"- ඕසන් වෙල්ස්

ශ්‍රී ලංකාවේ, පුරවැසියන්ට යුක්තිය ඉටු කරගැනීම උදෙසා අති විශිෂ්ට අධිකරණ පද්ධතියක් ස්ථාපනය කර ඇත්තෙමු. අමාත්‍යවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිසුරුවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණ, නීතිඥ සංගමය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිඥයින් විශාල සංඛ්‍යාවකින් සමන්විත අධිකරණ යන්ත්‍රණය රජයේ යුක්තිය පසඳලීමේ කාර්ය පරිපාටිය ක්‍රියාත්මක කරයි. මේ සියලු ව්‍යුහයන් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී, පොදු මහජනයාට යුක්තිය  සහ සාධාරණත්වය ඉටුවෙනවාද? නො එසේනම් අයුක්තියම පමණක් රජවෙනවාද?

නීති සහ විනය ගරුකවීම ඉහළ සිට පහලට ගලන දිය දහරාවක් සේ විය යුතුවෝ

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විවිධ මතවාද පසුගිය සති කිහිපයේදී සමාජ කථිකාවන්ට වාද විවාද වලට බඳුන් වීය. විනිසුරුවන් පත්කරවීමට අවශ්‍ය සම්පත් හිඟය සහ විධායක හස්ථය නොමනා ආකාරයට ඔවුන්ගේ උසස්වීම් සහ ස්ථානමාරුවීම් වලට යොදාගැනීම අනාදිමත් කාලයක සිට සිදුව ඇත. මෙය විණිසුරුවන්ට පමණක් බලපාන තත්වයක් නොවන අතර අපරාධ පරීක්ෂණ වල නිරතවන පොලිස් නිලධාරීන්ට ඒල්ල වෙන තවත් අභියෝගයෙකි. කීර්තිමත් විශිෂ්ඨ ඝනයේ අපරාධ පරීක්ෂණ විමර්ශණ නිලධාරියෙකු වන පොලිස් පරීක්ෂක ශානී අබේසේකර මහතා මෙවැනි අවාසනාවන්ත තත්වයකට මුහුණ දී අපරාධයක් නොකොට දඬුවම් ලද නිලධාරියෙකි. 2019 පාස්කු ප්‍රහාර ත්‍රස්තක්‍රියවේ විමර්ශණ කටයුතු වල නිරතවී සිටි ශානී අබේසේකර පොලිස් පරීක්ෂක වරයා දේශපාලන බලපෑම් හේතුන් මත මතභේදාත්මක අපරාධ පරීක්ෂණ කටයුතු වලින් ඉවත් කොට වෙනත් තනතුරකට මාරුකරනු ලැබීය. ඒවකට ජේෂ්ඨත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති වරයෙකු යැටියට උසස්වීමක් ලැබීමට සුදුස්සෙකු වීය. ඒපමනක් නොව ගොතනලද සාක්ෂි මත නොකල අපරාධයක චූදිතයෙකු වී රිමාන්ඩ් බන්ධනාගාර  ගතවී 2020 ඔහුට ලැබීමට නියමිත උසස්වීම අහිමි කරගත්තේය.

මෙම අසාධාරණයට ඒරෙහිව කල අභියාචණාවක් සලකා බැලූ ජාතික පොලිස් කොමිසම ශානී අබේසේකර පොලිස් පරීක්ෂකවරයා සියළු චෝදනාවලින් නිදහස් කොට 2020 අගෝස්තු 25 දින සිට බලපැවැත්වෙන පරිදි ලබාදීමට 2026 අගෝස්තු මස 6 වැනිදින තීරණය කලහ. අපරාධ විමර්ශන නිලධාරියෙකුට නොකල වරදකට දඬුවම් ලබන සමාජයෙක සාමාන්‍ය පුරවැසියන්ට කවර ආකාරයයෙක යුක්තියක් අපේක්ෂා කලහැකිද? පුරවැසියන්ට හිමිවිය යුක්තිය පාලකයින් උදුරාගන්නෝ ද?

නීතිය, සාමය යුක්තිය යන්න පිළිබඳව පොදු මහජන විස්වාශය බිදවැටී ඇත. මන්ද ලෙඩේ  සුවකිරීමට නියමිත වෙදා ම ලෙඩේ වී ඇති බව මෙම ලිපියේ සඳහන් කරුණු වලින් පාඨකයින්ට පැහැදිලි වනු ඇත. ලෙඩේ සහ ලෙඩා ඉතුරු කර වෙඳා පණ අදින තත්වයකට අප සමාජය තල්ලු කර තිබීම  කනගාටුදායක තත්වයකි.

නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමේ පිරිහීම ආරම්භ වන්නේ විධායකයේ සහ ව්‍යවස්ථාදායක සභාව නැමැති දේවස්ථානයෙන් බව මෙම ලේඛකයාගේ මතයයි. අතීත සිදුවීම් ගණනාවකින් පෙනී ගොස් ඇති පරිදි, නීතිඥයින් වන දේශපාලනඥයන්ම විරුද්ධ මත දුර්වල කිරීමට සහ බලයේ රැඳී සිටීමට අධිකරණ පද්ධති උල්ලංඝනය කිරීමට පෙළඹී ඇත. මේවා සිදුවන විට පුරවැසියන් අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගන්නා අතර ක්ෂණික සාධාරණයක් (තමන් විසින්ම දඬුවම් දීම) තෝරා ගනී. බොහෝ දෙනාගේ කණගාටුවට කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ මෙහෙයුම් සහ පාලනය පවතින්නේ නීතිඥයින්ගේ සහ නීති සම්පාදකයින්ගේ ආධිපත්‍යය යටතේ වීමයි. බොහෝවිට නීතීඥ වෘත්තිකයින් දේශපාලනයට සම්බන්ධවී නීති අණපනත් සම්මත කරගැනීමම සමාන්‍ය පුරවැසියන්ගේ යුක්තිය උදුරා දැමීමට හේතුභූතව ඇති බව  මෙම ලියුම් කරුගේ මතයයි.

මෙහි වඩාත්ම අවාසනාවන්ත තත්වය වනුයේ රාජ්‍ය බලය හොබවන අයවළුන් සිය දේශපාලන බලය ග්‍රහණය කරගැනීමට නීතිය, අධිකරණ පද්ධතිය, පොලීසිය සහ බන්ධනාගාර පද්ධතිය මුළුමනින්ම අවභාවිත කිරීමය. එහි සමස්ත ප්‍රථිපලය  මෙම ආයතන වලට පත්වෙන නිලධාරීන් තමන්ගේ සේවය වෘත්තීය ප්‍රශස්ථ භාවයෙන් යුත් ජනතා සේවාවක් බවට ඉටු නොකට හුදෙක් සිය දේශපාලන හාම්පුතුන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් ඉෂ්ඨ කිරිමට පෙළැඹීමය.

ආසියාවේ කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම දක්ෂ නීතිඥයෙකු වූ සිංගප්පූරුවේ  නිර්මාතෘ ලී ක්වාන් යූ හිටපු අගමැතිවරයා සිය පරිපාලන නිළධාරීන්ට සහ මැති ඇමති වරුන්ට නීති සහ විනය ගරුක වීම එත්තු ගැන්වීමට යොදාගත් උපහැරණය සමකලේ නීති සහ විනය ගරුකවීම ඉෂ්ඨකල යුතුතේ ඉහළ සිට පහලට ගලන දිය දහරාවක් බඳුය. සිංගප්පූරුවේ නීති සහ යුක්ති ගරුක වීම ඉහළ සිට පහලට ගලන සුනිල දිය දහරාවක් වනවිට ශ්‍රී ලංකාවේ ගලායනුයේ ඉහළින් ඇද දමන ඕජස් දහරාවන් සේය.

යුක්තිය රජකරවීමට නම් හඬ නොනැගෙන මතයට ඇහුම්කන් දීමට හුරුවෙමු

ජාතික ජනබලවේග රජය මෙම කඩාවැටීම පාලනය කරගැනීම වේගවත් නොකලහොත් කොලොම්බියාවේ, ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය කල්ලි වල අණපනත් කම් හා සමාන අපරාධ දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජනසමාජය සුණු විසුණු කිරීමට මගපාදනු ඇත.

1971 හමුදා අපයෝජනයකට ලක්වී මරණයට පත් ප්‍රේමවතී මනම්පේරී තරුණියට යුක්තිය ඉෂ්ඨ වුවද ඒම සිද්ධිය ප්‍රසිද්ධ දේශපාලන මාතෘකාවක් වීය. ඒහෙත් ඉන් අනතුරුව දේශපාලනකරණිය වූ ආන්දෝලාත්මක ඝාතනට ලක්වූ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුටම තවමත් යුක්තිය ඉටුව නැත.

ඒ අතරින් මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති අල්විස්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ද සිටී. ඒ සමඟම 2019 පාස්කු ඉරුදින අහිංසක පුරවැසියන් 268 ද‌ෙනෙකෙුට ජීවිත අහිමි කල මෙල‌ේච්ච ත්‍රස්ත ක්‍රියාවලියේ මහා මොළකරුවන් නීතියේ රැහැණට අසුකර වින්දිතයින්ට යුක්තිය ඉටුකරවීම ශ්‍රී ලාංක‌යේ අධිකරණ පද්ධතිය ඉටු කලයුතු ප්‍රධාන වගකීමකි. 

මේ සියල්ලම කරගෙන යාමට අවශ්‍ය කරන මූලිකම ගුණාංගය නම්  හඬ නොනැගෙන මතයට ඇහුම්කන් දීමට දේශපාලනඥයින්සේම නීතීඥ සංගම් වැනි වෘත්තීකයින්ගේ සංගම් ද හුරුපුරුදු විය යුතුය. මෙකී බලපුළුවන් කාරයින්ගේ අකටයුතු කම් වලින් සාමාන්‍ය පුැවැසියන් හෙම්බත්ව සිටී.  පාලනය හොඹවන්නන් සතු බලය ට වඩා පද්ධතිමය වෙනසක් අපේක්ෂා කරන පාලිතයන් සතු බලය අති ප්‍රභලය.

jayasri priyalal 3

| ජයශ්‍රී ප්‍රියලාල්

අගෝස්තු 10, 2026

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image