සේවක අර්ථසාධක අරමුදල ගැන සියල්ලෝම කතා කරති. එය මෙරට පවතින විශාලම ආදායම් ගිණුම ලෙස සැලකේ. එහි අයිතිකරුවන් වන්නේ මේ රටේ කම්කරු පන්තියයි. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් එය පිහිටුවා තිබේ. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ 1958 පෙබරවාරි 13 වන දින කම්කරු ඇමති ධූරය දැරූ ටී බී ඉලංගරත්න විසිනි.
මෙරට සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම පිළිබඳව කම්කරු පන්තිය ගෞරවය පිරිනමනු ලබන්නේ ටී. බී. ඉලංගරත්නට හා එවකට අගමැති එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකටය. එය සැබෑව නොදැන කරන බරපතළ වරදකි. බණ්ඩාරනායක, ඉලංගරත්න දෙදෙනා කළේ බ්රිතාන්ය යටත් විජිත පාලනය මේ රටට හඳුන්වාදුන් අර්ථසාධක ක්රමය ලබා නොදී අවුරුදු 14ක් යටගැසීමය.
සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ යෝජනාව පළමුව ඉදිරිපත් වන්නේ බ්රිතාන්ය ආණ්ඩුව 1944 දී පත් කළ සමාජ සේවා කොමිසම ඉදිරිපත් කළ වාර්තා වෙනි. එම කොමිසමේ සභාපති ධූරය දරන ලද්දේ ලංකා විශ්වවිද්යාලයේ උපකුලපති සර් අයිවෝ ජෙනින්ස් විසිනි. 1944 වන විට බ්රිතාන්යයේ කම්කරු අයිතිවාසිකම් වර්ධනය වෙමින් පැවති අතර කම්කරු පන්තියේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අර්ථ සාධක අරමුදල හා තවත් නොයෙකුත් සුබ සාධන ක්රම එරට ඇති කර තිබුණි. එය කාර්මික විප්ලවයත් සමඟම ඇති වූ සුවිශේෂී තත්ත්වයකි.
බ්රිතාන්යය ඔවුන් ගේ යටත් විජිතයක් වූ ලංකාවට ද කම්කරු සුබ සාධන කටයුතු හඳුන්වා දීමට පියවර ගත්තේය. අයිවෝ ජෙනින්ස් සභාපතිත්වය දැරූ සමාජ සේවා කොමිසම සේවක අර්ථ සාධකය යෝජනා කළේ එවකට පැවැති රාජ්ය මන්ත්රණ සභාවට ය. එතැන් සිට වසර 14 ක් තිස්සේ ලංකාවේ කම්කරු පන්තිය අර්ථසාධක අරමුදල පිහිටුවන ලෙස ඉල්ලා සටන් කළහ.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 1947 එජාප ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ සිටියද අර්ථසාධක අරමුදල් පනත ගෙනාවේ නැත. 1956 දී ඔහු අගමැති වුවද අර්ථසාධක අරමුදල් පනත ඉදිරිපත් කළේ නැත. යටත්විජිත ආණ්ඩුව 1944 දී යෝජනා කළ අර්ථ සාධක ක්රමය ඇති කරන ලෙස ඉල්ලා 1956 දී බෘෘක් බොන්ඩ් සමාගමේ කම්කරුවෝ දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
කොළඹ වරායේ "තේ "නැව්ගත කිරීම ද ඇණහිටියේය. වරායේ තේ පෙට්ටි ගොඩ ගැසිණි. අවසානයේ සමාගම කම්කරුවන් ඉදිරියේ දණ ගැසීය. ඓතිහාසික බෘෘක්බොන්ඩ් කම්කරු සටනට නායකත්වය දුන්නේ යුනියන් පෙදෙසේ ඩෝසන් විදියේ පදිංචිව සිට මෑතකදී මියගිය කේ. ජිනදාස සහෝදරයාය. ඔහු මියෙන්නට මාස කීපයකට පෙර මා ඔහු සමග සාකච්ඡා කොට පුවත් විශේෂාංගයක් පල කළෙමි. අර්ථසාධක අරගලයේ සියලූ විස්තර හෙතෙම මා සමග පැවසීය.
වර්ජනය අඛණ්ඩව ඉදිරියට ඇදී යන අවස්ථාවේ පොලිසිය විසින් කේ ජිනදාස ප්රමුඛ කම්කරුවන් 400ක් අත්අඩංගුවට ගෙන දම්වැල්වලින් ගැටගසා කොම්පඤ්ඤවීදිය පොලිසිය දක්වා පා ගමනින් ගෙනාවේය. නමුත් ඔවුන් වර්ජනය අත්හළේ නැත. අවසානයේ බෘෘක් බොන්ඩ් සමාගම කම්කරු අරගලයට හිස නැමුවේය. බෘෘක් බොන්ඩ් සේවකයන්ට පමණක් 7 1/2 % ක අර්ථ සාධකය දිනා ගන්නට හැකි විය.
එම සිදුවීමෙන් පසු මෙරට පෞද්ගලික අංශයේ සමාගම්වල කම්කරුවෝ දිගින් දිගටම අර්ථසාධක අරමුදල ඇති කරන ලෙස ඉල්ලා ගෙන ගිය වර්ජනවල ප්රතිඵලයක් හැටියට අගමැති බණ්ඩාරනායකට බලවත් පීඩනයක් එල්ල විය.1958දී සේවක අර්ථසාධක අරමුදල් පනත ගෙන එන්නට ආණ්ඩුවට සිදුවිය.
අර්ථ සාධක අරමුදල් පනත ඉදිරිපත් කරමින් 1958 පෙබරවාරි 13 වනදා ටී. බී. ඉලංගරත්න පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.
ගරු කතානායකතුමනි,
"සර් අයිවෝ ජෙනිංස්ගේ ප්රධානත්වයෙන් පත් කළ සමාජ සේවා කොමිෂන් සභාව 1947 දී අර්ථසාධක අරමුදලක් පිහිටුවිය යුතු යැයි නිර්දේශ කළ බව ඔබතුමාට මතක ඇත. මෙතෙක් එම නිර්දේශ ක්රියාවේ යෙදවීමට කිසිම උත්සහායක් නොදරා අවුරුදු 12 ක් ගත වීම ඉතාමත් අවාසනාවන්ත සිද්ධියකි." (හෑන්සාඩ් 1958 පෙබරවාරි 13)
එදා සුද්දන් යෝජනා කළ අර්ථ සාධක අරමුදල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ඉඩ නොදී අගමැති බණ්ඩාරනායකගේ ආණ්ඩුව කොම්පැනිකාරයින්ගේ පැත්ත ගෙන නිහඬව සිටි බව නොදන්නා කම්කරු පන්තිය අර්ථ සාධක අරමුදල ඇති කිරීම ගැන අදත් අගමැති බණ්ඩාරනායකට පහන් පත්තු කරති.

| උදේනි සමන් කුමාර
