පාර්ශව කිහිපයක් විශ්‍රාම වයස 60 ඉක්මවීමෙන් සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක්

පාර්ශව කිහිපයක් විශ්‍රාම වයස 60 ඉක්මවීමෙන් සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක්
  • හැට පැන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරියෙකුගෙන්, ජනාධිපතිට ලණුවක්

නව දැනුම සහ පරිපාලන ප්‍රවාහයට බාධාවක්

සෞඛ්‍ය සේවාව නව දැනුම සහ පරිකල්පනයන් තුලත් නව තාක්ෂණික උපක්‍රම භාවිතාව තුලත් නිරන්තර නවීකරණයකට ලක් විය යුතු සේවාවක් වන අතර, ඒ සඳහා අළුත් දැනුම රැගෙන එන වෘත්තිකයන් සහ වි⁣ශේෂඥයින් ප්‍රවාහයට අඛණ්ඩව එකතුවීම සහ පිටවීම සිදුවිය යුතුය.

විශ්‍රාම වයස වෙනස් කර ප්‍රවාහයෙන් පිටවීම වැලැක්වූ විට සේවාවේ අත්‍යාවශ්‍ය නවීකරණය වැලකී ඕලාරික සහ සාම්ප්‍රදායික තත්වයකට පත්වේ.

මේ වන විටත් සෞඛ්‍ය පරිපාලනයෙන් සහ ඇතැම් විශේෂඥ සේවාවන් එම ලක්ෂණ පෙන්නුම් කර තිබෙන අතර, පවතින ආර්ථික වටපිටාව හා IMF වැනි ජාත්‍යන්තර සංවිධාන වල කොන්දේසි සලකා බැලීමේදී විශ්‍රාම වයස දිගු කර, එමගින් පමණක් 20%කින් පමණ සේවක සංඛ්‍යාව වැඩි කර ගැනීම එය අතිශය භයානක අභියෝගයකි.

වෛද්‍ය පරිපාලන ප්‍රවාහය සක්‍රීයවීම  විශාල වාසියක්

ජනාධිපතිවරයාගේ අතුරු අයවැය මඟින් ප්‍රකාශිත විශ්‍රාම වයස අවුරුදු 60 යන සංකල්පය වෙනස් කිරීමකින් තොරව විශේෂඥ වෛද්‍ය සේවාවට ආදේශ කිරීම මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පරිපලෙන සේවාවට අයත් අතිරේක ලේකම් තනතුරු දෙකක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 8 ක පමණ සුළු තනතුරු ප්‍රමාණයක් පුරප්පාඩු වීමට නියමිතය. නමුත් එම පුරප්පාඩු පිරවීම සඳහා 50 කට වැඩි ප්‍රමාණයක් සුදුසුකම් සපුරා ඇති වෛද්‍ය පරිපාලකයන් පිරිසක් සිටී.  මේ වන විටත් ඔවුන් වෛද්‍ය පරිපාලන සේවාවේ ප්‍රවාහය තුල ඉහලට  යා නොහැකිව දිගු කාළයක් දෙවන මට්ටමක හිරවී ඇති බැවින්, තවදුරටත් විශ්‍රාම වයස දීර්ග කිරීම එම අර්බුධය දික් ගැස්සවීමකි.

වෛද්‍ය පරිපාලන සේවාවේ "ප්‍රවාහය" සක්‍රීය කිරීමටත්, අළුත් දැනුම මත පරිපාලන තීන්දු නවීකරණය කිරීමටත්, එම තීරණය වාසියක් මිස කිසිසේත්ම අවාසියක් වන්නේ නැත.

නමුත්, වයස හැට ඉක්මවූ සහ ඊට ආසන්න නිළධාරීන් කිහිප දෙනෙකු හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ඉදිරිපත් කෙරෙන බැවින්, ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට ඉදිරිපත් කෙරෙන තොරතුරු හා මතවාදය නිවැරදි එකක් නොවීමට එය විශාල හේතුවක් වී ඇත.

රෝහල් විශේෂඥ සේවාවේ 90%කට වාසියි

එසේම රෝහල් විශේෂඥ වෛද්‍ය සේවාව පිළිබඳව සැලකීමේදීද 90% ක පමණ විශේෂඥ වෛද්‍ය සේවාවන්ගේ ප්‍රවාහය ඉහත වෛද්‍ය පරිපාලන සේවා යාන්ත්‍රණයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන අතර නව දැනුම, නව උපක්‍රම රැගත් සුදුසුකම්ලත් විශේෂඥ වෛද්‍යවරුන් දීර්ඝකාලයක් දෙවැනි පෙළහි හිරවීමෙන් ඔවුන් අධෛර්යයට පත්වීම සහ රට හැරයන තත්ත්වයක් පවා නිරීක්ෂණය කළ හැක.

කෙසේ නමුත් විශේෂඥ වෛද්‍ය සේවාවේ 10% ක පමණ ප්‍රමාණයක, ක්ෂෙත්‍ර කිහිපයක ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම අනුප්‍රාප්තිකයෙකු රහිත තත්වයකට පත් වන නමුත් සියළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඊට අදාල විකල්ප විසදුමක් නොවේ.

නමුත්, එම කුඩා සාධකය, මහා පොදු සාධකය බවට පත් කරමින් විශ්‍රාම වසය අවුරුදු 60 බවට පත්කිරීමේ රජයේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා සාවද්‍ය මත⁣වදෙයන් ප්‍රචලිත කිරීමේ   සැලසුම් සහගත තත්වයක් පවතින බැවින්, රජය තමතමන්ගේ හිතවත්කම් වලට හා දැනහැඳුනුම් කම් වලට මුල්තැන නොදෙමින් ප්‍රතිපත්තිමය තීරණ වෙනස් කිරීමේදී නිශ්චිත සංඛ්‍යාලේඛන හා දත්ත පිළිබඳව විද්‍යාත්මකව සලකා බැලීම අත්‍යාවශ්‍යය.

විශේෂඥ වෛද්‍ය සේවාවේ දුර්ලභ (Rare Specialty), අනු (Sub Specialty) සහ විශේෂ (Special Interest)  අංශයන්ගේ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් පවතින අතර සමස්ථ විශේෂඥ වෛද්‍ය සේවාවෙන් 10% පමණ වූ එම අංශයන්ගේ ගැටළුව විසඳීම විශ්‍රාම වයස දීර්ඝ කිරීම මගින් පමණක් සිදු කල නොහැකිය.

එම අංශ කෙරෙහි වෙනත් විකල්ප වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය අතර, එම අංශවල නිශ්චිත තොරතුරු සැලකිල්ලටගෙන අදාල විශේෂඥ වෛද්‍යවරුන්ට පෞද්ගලික වනසේ විශ්‍රාම වයස දීර්ග කිරීම සදහා පමණක් අවකාශ සැලසීම මගින් එම ගැටලුව ඉතා පහසුවෙන් විසදා ගත හැකිය.

වෛද්‍ය වෘත්තීමය සෞඛ්‍ය සේවා

හෙද සේවාවේ හෝ සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ගේ තත්වයද මේ හා සමාන වන අතර, හෙද හා පරිපූරක වෛද්‍ය සේවාන්ගේ උපාධිධාරීන් සේවාවට බදවා ගැනීම පවා නතර කර දැමීමට රජය කටයුතු කර තිබියදී, විශ්‍රාම වයස දීර්ග කිරීමට ඉල්ලීම පවා මුග්ධ ක්‍රියාවකි.

කෙසේ නමුත් එම සේවාවන්ගේ අධිකාරී හා විශේෂ ශ්‍රේණියේ මේට්‍රන් තනතුරුවල විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බැවින්, එම ප්‍රධාන තනතුරු සුළු ප්‍රමාණය සදහා විශේෂ අවසරයක් ලබා දීම ගැටලුවට අදාල ප්‍රායෝගික පිළිතුරකි.

වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ගේ කාර්යක්ෂමතාවය ඇති කර ගැනීම මෙන්ම සඳහා නව දැනුම අවශෝෂණය කිරීමේ ප්‍රවාහයට බාධා කිරීම පෞද්ගලික වුවමනාවන් පිරිමසා ගැනීම සදහා හෝ වෘත්තීය සමිති වාසි සදහා අප මේ මොහොතේ කිසිසේත්ම භාවිතා නොකල යුතුය.

ආර්ථික අර්බුධය සහ විශ්‍රාම වයස

සෞඛ්‍ය ආර්ථිකයේ  (Health Economy) අර්ථයෙන් මානව සම්පතෙහි කාර්යක්ෂමතාවය සහ සඵලදායිබව පිළිබදව අප මෙතෙක් කිසිදු තැකීමක් කර නොමැති අතර හොද සෞඛ්‍ය සේවාවක් පවතින රටක් බවට අප, අප විසින්ම හදා ගත් මතවාදය හැරුණුකොට, දියුණු සෞඛ්‍ය සේවාවකට අදාල ආර්ථික සාක්ෂරතාවය අපේ රටේ සෞඛ්‍ය  සේවාවට නැත.

රටේ පවතින ආර්ථික අර්බුධයට ගැළපෙන පරිදි සෞඛ්‍ය සේවාවේ මානව සම්පත කළමනාකරණය කර ගැනීම රජය සහ වෛද්‍ය පරිපාලනයේ මූලික අවධානයට ලක් විය යුතු අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සෞඛ්‍ය සේවාව විකුණා දමන්නට යැයි තර්ජනය කරන තුරු ⁣බලා නොඉද, කාර්යක්ෂම මානව සම්පත් කළමනාකරණයක් සඳහා අවශ්‍ය මුලෝපායන් යෙදවීම, අනවශ්‍ය කාර්ය මණ්ඩලය බරපතල ගැටළුවක් බවට පරිවර්තනය වීමට පෙර නියාමනය කිරීම,  වැනි තත්වයන් කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අවධානය යොමු විය යුතුය.

මේ වන විටත් වෛද්‍ය වෘත්තිකයින් යොදවා ඊට වඩා අඩු වැටුප් පිරිවැයකින් ආවරණය කරවා ගත හැකි සේවාවන් ආවරණය කරවීමේ විලාසිතාවක ඇතැම් වෛද්‍ය පරිපාළකයින් නිරතව සිටින අතර එමගින් සෞඛ්‍ය සේවාව ඵලදායීතාවයේ දර්ශක අත හැර, වෘත්මය තරගයක් කරා තල්ලුකර දමා ඇත. ඒ ඒ වෘත්තීමය සේවාවන්ට අදාල රාජකාරිය පමණක් ලබා ගැනීම මගින් හා වැඩි වැටුපක් ගෙවා අඩු වෘත්තීමය රාජකාරි ආවරණය කර ගැනීමෙන් වැලකීම මගින් බොහෝ වෘත්තීන්ගේ සේවක හිගය මගහැර ගැනීම මෙන්ම විශාල වැටුප් බිලක් ඉතුරු කර ගැනීමටද හැකිය.

අවශ්‍යම අයට පෞද්ගලිකව හැට ඉක්මවන්න දෙන්න

කෙසේ වෙතත් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ රජයේ තීරණය සත්‍ය වශයෙන්ම තීරණාත්මක බලපානු ලබන ස්ථානයකට හෝ තනතුරකට අදාලව පෞද්ගලික වනසේ විශ්‍රාම වයස වෙනස් කිරීම හෝ සේවා දිගු ලබා දීම හෝ වෙනත් ක්‍රමවේදයක් හරහා සෞඛ්‍ය වෘත්තිකයෙකු හෝ විශේෂඥයෙකු රඳවා තබා ගැනීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රියාමාර්ගයක් ලබා දීම මඟින් මතුවෙන ඕනෑම ගැටළුවක් විසඳා ගැනීමේ හැකියාව තිබියදී, සමස්ථ සේවාවක් හෝ වෘත්තියක් සළකා බලමින් විශ්‍රාම වයස පිළිබඳ රජයේ තීරණය අයාලේ දක්කාගෙන යාමට ඉඩ හැරීම මේ මොහොතේ රට අපේක්ෂා කරන රටට අවශ්‍ය දේශපාලන නොවන බව අවධාරණය කරමු.

Ravi kumudesh photo 2

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය