ඩෙල්ටා රැල්ල: රෝහල් රැසක් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශට පත්කරයි

ඩෙල්ටා රැල්ල: රෝහල් රැසක් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශට පත්කරයි

ගාල්ල කරාපිටිය රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර රටේ ප්‍රමුඛ රෝහල් වන මෙම රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතින බවයි වාර්තා වන්නේ.

‘‘රටේ පවතින වත්මන් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. අපේ රෝහලේ කොවිඩ් සඳහා වෙන් කර ඇති ICU ඇඳන් හතරම රෝගීන්ගෙන් පිරී තිබෙනවා. මේ තත්ත්වය තුළ තවත් දැඩි සත්කාර ඇඳන් 06 ක් ස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටිනවා ‘‘ රත්නපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගො පැවසුවා.

මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතරින් කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයත් සමග ගාල්ල කරාපිටිය රෝහලේ ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ තත්වය තුළ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති ඒකකවල ධාරිතාවය ඉක්මවායමට පටන් ගෙන ඇති බැවින් රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරනු ලබන බවට කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා ලිඛිතව දන්වා තිබෙනවා.

‘‘කොවිඩ් රෝගයට ගොදුරැ වීමෙන් සංකුලතාවයන්ට ලක්වන රෝගීන් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකුලතාවයන් නොමැති රෝගීන් අදාළ බලධාරීන් දැනුවත් කර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩපහසුකම් ලැබෙන තුරු නිවසේ සිට සම්මත ආරක්ෂක විධිවිධාන අනුව රැඳී සිටින ලෙස‘‘ ඔහු විශේෂ ඉල්ලීමක් කරනවා.

බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ මේ වන විට රෝහල් ගණනාවක හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ අතර (03) දින වනවිට කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් (ICU නොවන) 33,000 න් 30,000 ක් පමණ පිරී පැවති බවත් කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කරන ලද රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 90% ඉක්මවා රෝගීන් සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා

 

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ඉහළට
බොහෝ ප්‍රදේශයන්හි ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හමුවේ රෝගීන් සංඛ්‍යාව සහ ඔක්සිජන් මත ජීවිතය රඳා පවතින රෝගීන් සංඛ්‍යාව වඩාත් භයානක ලෙස ඉහළ යාමත් සමග ප්‍රතිකාර ලබා දීමේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ මාධ්‍ය නිවේදනයක් මගින් හෙළි කළා.

‘‘ඔක්සිජන් ඉල්ලුම වැඩිවීමත් සමඟම එහි සැපයුම නිසියාකාරව පවත්වාගෙන යාමේ ගැටලුවට ඉදිරි දින කිහිපයේදී මුහුණ පෑමට සිදුවිය හැකියි. එවැනි තත්ත්වයක් තුළ ඔක්සිජන් හිඟය හෝ වඩාත් වැදගත් ලෙස ඇඳන් වෙත ඔක්සිජන් සැපයුම ලබා දීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිසා රෝගීන් මරණයට පත් වීමේ අවදානමක් තිබෙනවා. ඔක්සිජන් අර්බුදය රජයේ සහ පුද්ගලික යන අංශ දෙකටම එකසේ අදාළ විය හැකියි. මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි” යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටියා.

වාර්තා වන ප්‍රමාණයට වඩා සිවු ගුණයක්

මේ අතර දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙන් තවත් හතර පස් ගුණයක් සමාජයේ සිටින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔහු වැඩි දුරටත් සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කරන පරීක්ෂණ ක්‍රමවේදයන්ට අනුව දැනට 80% ඉක්මවා සිටින රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් හඳුනා ගත නොහැකි බවයි.

“මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහල් වෙත එන සංඛ්‍යාව මිස හඹා ගිහින් සොයා ගනු ලබන හෝ අහඹු පරීක්ෂණ මගින් සොයා ගනු ලබන රෝගීන් නොවේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රට වසා දමන්නේ නැහැ

කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කළත් රට ලොක්ඩවුන් කිරීමට රජය මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ.

එම කරුණට හේතු දක්වමින් ඇය මෙසේ ද සදහන් කළා. “මොකද ලෝකඩවුන් එක හරහා ජනතාවට විශාල ආර්ථික පීඩනයක්, විශේෂයෙන්ම වක්‍ර රැකියා කරන පුද්ගලයන්ට විශාල නරක බලපෑමක් ඇති කරන නිසා දැන්ම ලොක්ඩවුන් එකකට යන එකක් නැහැ. රජයේ රෝහල්වල පහසුකම් ඉහළ නංවමින් එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය වන්නේ. වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත වෙලා ඉන්නවා. ඒත් සමහර අයට ඇඳන් ලබා දීමේ හැකියාවක් නෑ. රෝහල් පද්ධතියේ තදබදයක් තියෙනවා. කලින් සතියට වඩා ගිය සතියේ රෝගීන්ගේ 26%ක පමණ වර්ධනයකුත් මරණ 20% පමණත් වැඩි වී තියෙනවා, එනිසා බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් නිවෙස්වල තබා වෛද්‍ය උපදෙස් ලබා දීමට රජය තීන්දු කර තිබෙනවා” ඇය පෙන්වා දුන්නා.