තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල  දැඩි අවධානය

 

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ  කොමිසමෙහි සභිකයන් පත් කිරීම සඳහා රජය මගින් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන්  පහත අත්සන් කොට ඇති සිවිල් සමාජ සංවිධානයන්හි සාමාජිකයන් වන අපගේ ප්‍රසාදය පළ කරන අතර, කොමිසමෙහි සභාපතිවරයා පත් කිරීම අපගේ දැඩි අවධානයට භාජනය වී ඇත.

කොමිසම සඳහා  නිර්දේශ ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක තොරතුරු දැනගැනීමේ පනතෙහි විග්‍රහ කොට ඇත. තොරතුරු දැනගැනීම පිළිබඳ පනතෙහි 12 (2)(අ)(i) වගන්තියට අනුව නිර්දේශ කරනු ලබන සභිකයින් , “නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා  හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීණත්වය සහිත, පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතුය”. එබැවින්, බරපතල චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් කොමිසමෙහි සභික තනතුරු සඳහා නිර්දේශ නොකළ යුතුය.

එහෙයින් විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති බලය අවභාවිතා කිරීම හා සම්බන්ධ චෝදනා නොසලකා හරිමින් කොමිසමෙහි  සභාපතිවරයා ලෙස පත්කිරීීම, පවතින නීතියෙහි සැබෑ අරුතට බැහැරව ක්‍රියා කිරීමක් ලෙස දැක්විය හැකිය.

මෑතකදී ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලන වින්දිතයන් පිළිබඳ විමර්ශනය සඳහා වන ජනාධිපති කොමිසමෙහි සභාපතිවරයා ව සිටියදී ද ඔහුට එරෙහිව බලය අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා කිහිපයක්ම එල්ල විය.

ඔහුගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ දේශපාලන වින්දිතයන් පිළිබඳ විමර්ශනය සඳහා වූ ජනාධිපති කොමිසම මගින් ඒ වන විට අධිකරණය හමුවේ පැවති ඇතැම් නඩු අත්හිටුවන  ලෙසත්, ඇතැම් නඩු නවතා දමන ලෙසත් නිර්දේශ කළ අතර , එවකට නීතිපතිවරයාව සිටි නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයේදී විරෝධතාවයද පල කරන ලදී. එමෙන්ම, නඩුවලට අදාළ විමර්ශන කටයුතු සඳහා සම්බන්ධ වූ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙ හිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙම කොමිසම මගින් නිර්දේශ කරන ලදී. මෙම ජනාධිපති කොමිසමෙහි ක්‍රියාවන් මගින් රටෙහි අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බලතල බෙදීම කෙරෙහි ඇති කරන ලද බරපතල බලපෑම හේතුවෙන් එය විවේචනයට ලක්විය.

එහෙයින්, විිශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාට එරෙහිව  එල්ල වෙමින් පවතින චෝදනාවන් සැලකිල්ලට ගැනීමේදී , එම චෝදනා පිළිබඳ අවසාන තීන්දු ලැබීමට පෙර සිදු කරන ලද මෙම පත්වීම,   “පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තෙකු වීම” යන නිර්ණායකයට අනුකූල ද යන්න පිළිබඳව බරපතල සැකයක් ඇති කරයි.

තොරතුරු දැනගැනීමේ පනතෙහි 12(2)(අ)(iii) වගන්තියට අනුව, නිර්දේශ කරන ලද සභිකයින් ,”යම් රාජ්‍ය හෝ අධිකරණ ධූරයක් හෝ වෙනත් ලාභදායී ධූරයක් දරන තැනැත්තන් නොවිය යුතුය”. එහෙත්, විනිසුරු අබේරත්න මහතා දැනට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙහි (OMP) සභාපතිවරයා වන අතර, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ පනතෙහි 20 වැනි වගන්තියට අනුකූල වූ වැටුපක් ලබාගනියි.

එබැවින්  RTI කොමිසමෙහි සභාපති තනතුරට විනිසුරු අබේරත්න මහතා පත්කිරීම, RTI කොමිසමට නිර්දේශ කරනු ලබන සභිකයින්, “යම් රාජ්‍ය හෝ අධිකරණ ධූරයක් හෝ වෙනත් ලාභදායී ධූරයක් දරන තැනැත්තන් නොවිය යුතුය” යන නියමයට පටහැනි ය.

තවද මෙම RTI කොමිසමේ සංයුතිය මගින් රටේ සුළු ජාතීන්ට නිසි නියෝජනයක් ලබා දීමට අපොහොසත් වන අතර, එමඟින් සමානාත්මතාවය සහ අන්තර්කරණයේ මූලික මූලධර්ම ආරක්ෂා කිරීමට නොහැකි වන බව අපි අවධාරණය කරන්නෙමු. එබැවින්, RTI කොමිසම තුළ ඇති අපක්ෂපාතීත්වය සහ තුලනය පිළිබඳ ව ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට සහතික කිරීම සඳහා, මෙම පරතරය පියවා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකේය ජනතාව විසින් එය බලාත්මක වූ දින සිට පුළුල් ලෙස භාවිතා කරන ලද අයිතිවාසිකමක් වන අතර එයට ඔවුන්ගේ දෛනික ජීවිත වලට සාධනීය බලපෑමක් ඇති කිරීමට හැකි වී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ප්‍රධාන අභියාචනා සහ අධීක්ෂණ ආයතනය ලෙස ස්වාධීන තොරතුරු දැනගැනීමේ කොමිසමක් මගින්  තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එබැවින්, තොරතුරු දැනගැනීම පිළිබඳ කොමිසමෙහි  සභිකයින් පත්කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනතෙහි දක්වා ඇති ව්‍යවස්ථාපිත රාමුව පිළිපැදීම තහවුරු කිරීම සහ කොමිසමෙහි විවිධත්වය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා, තොරතුරු දැනගැනීම පිළිබඳ කොමිසමෙහි සභිකයින් පත් කිරීම පිළිබඳව නැවත සලකා බැලීමක් සිදුකරන  ලෙස අපි ඉල්ලා සිටිමු.

නදීෂානි පෙරේරා – විධායක අධ්‍යක්ෂ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු - විධායක අධ්‍යක්ෂ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

සකුන්තලා කදිරගාමර් – විධායක අධ්‍යක්ෂ, නීතිය හා සමාජ භාරය

රෝහණ හෙට්ටිආරච්චි – විධායක අධ්‍යක්ෂ, පැෆ්රල් සංවිධානය

ලයනල් ගුරුගේ – ජ්‍යෙෂ්ඨ පර්යේෂක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

මංජුල ගජනායක – ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)

පිලිප් දිසානායක – විධායක අධ්‍යක්ෂ, රයිට් ටු ලයිෆ් (Right to Life) මානව හිමිකම් මධ්‍යස්ථානය

මෛත්‍රී රාජසිංහම් – විධායක අධ්‍යක්ෂ, විළුදු

තිලක් කාරියවසම් – සභාපති, ෆියාන් (FIAN)

නිශාන්ත ප්‍රීතිරාජ් – ජාතික සංවිධායක, ජාතික දේශෝදය සභාව