පූර්ණ එන්නත්කරණයට එන්නත් තුනම ලබාගත යුතුයි

පූර්ණ එන්නත්කරණයට එන්නත් තුනම ලබාගත යුතුයි

පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව මේ වන විට එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එන්නතද ලබා ගතයුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමඟ  (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය. විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් / පුවත්පත් කතුවරුන් / ප්‍රවෘත්ති කතුවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර එළඹෙන ජනවාරි 29 වන දිනට වසරක් සපිරෙන අතර එයට සමගාමීව දිවයිනේ සියලු රෝහල් / ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ යටතේ බූස්ටර් එන්නත්කරණ වැඩපිළිවෙල එම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවීමට සැලැසුම් කෙරෙන අතර , මෙමගින් දිවයින පුරා ජනගහනයෙන් සෑම ඉලක්කගත පිරිසකටම එන්නත් මාත්‍රා තුනම ලබාදීමට පියවර ගැනේ.

මෙම වැඩසටහනට සමගාමීව දිවයින පුරා රෝහල් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන 1500 ක පමණ මෙම එන්නත්කරණ වැඩපිළිවෙල විශේෂ වැඩසටහනක් ලෙසින් ක්‍රියාවට නැංවෙන අතර එම ස්ථානයන්හි එන්නත්කරණාය් වර්ෂ පූර්ණ වැඩසටහනද ක්‍රියාවට නැගේ. ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් සෑම සෞඛ්‍ය මධ්‍යස්ථානයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ තුළ බූස්ටර් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල වඩාත් ප්‍රවර්ධනය කිරීමටද සැලැසුම් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ප්‍රධාන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී එදින පෙරවරුවේ පැවැත්වේ.

පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා කඩිනමින් ක්‍රියාවට නංවන බවත්, ඒ සඳහා වන නීතිමය අධ්‍යයන කටයුතු අවසන්ව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

මේ වන විට එයට අදාළ ගැසට් පත්‍රය සකස් කරමින් පවතින අතර අනෙකුත් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක යෙදෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එමෙන්ම කේත අංකය හා යෙදුම සැකසීම ඩිජිටල් තාක්ෂණික අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කෙරෙන බවත්, එම කටයුතු අවසන් වූ වහා හැකි ඉක්මනින් එන්නත්කරණ කාඩ්පත පොදු ස්ථාන වලට ඇතුල් වීමේදී අනිවාර්ය කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වසරක් තුළ එන්නත්කරණය වඩාත් සාර්ථක වූ ලොව පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයිද එය තවදුරටත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙනයාම සඳහා බූස්ටර් එන්නත ලබාගැනීම ජනතාවගේ වගකීම වන බවද හෙතෙම කීය. තුන්වන ලොක්ඩවුන් කිරීමක් සඳහා කිසිදු සූදානමක් නොමැති බවත්, එසේ

යාමට සිදුවුවහොත් රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වන බවත්, ඒ තුළ විශාල කඩාවැටීමක් විය හැකි බවත් අමාත්‍යවරයා කීය.

 මේ වන විට පාසල් දරුවන්ගේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාවට නැංවෙන අතර වයස අවුරුදු 15 – 19 අතර දරුවන්ගේ පළමු එන්නතට මාස තුන සම්පූර්ණ වී ඇත්නම් දෙවන එන්නත ලබාදීමේ වැඩපිළිවෙලද ක්‍රියාවට නැංවේ.

මේ වන විට ලොව ඇතැම් ධනවත් රටවල්හි දෛනික ආසාදිතයන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන අතර , මෙවැනි තත්ත්වයන් තුළින් බේරී සාර්ථක කොවිඩ් පාලනයක් සඳහා ජනාධිපතිතුමන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් අමාත්‍යවරයා කීය. ඒ අනුව මේ වන විට මාත්‍රා තුනම සඳහා රටට අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 51 ට වඩා ගෙනවිත් ඇතැයිද හෙතෙම කීය.

ඇතැම් පිරිස් බූස්ටර් එන්නත් සම්බන්ධයෙන් අනිසි බියක් මෙන්ම පදනම් විරහිත අනිසි ප්‍රචාර ගෙනයන බවත් ඒ තුළ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇතැයිද එනිසා ඉලක්ක ගත සෑම පිරිසක්ම එන්නත් මාත්‍රා තුනම ලබාගැනීම ජීවිත සුරක්ෂිතතාවයට ප්‍රබලම සාධකය වන බවත් අමාත්‍යවරයා කීය.

විශේෂයෙන් කොවිඩ් පාලන ක්‍රියාවලියේදී මෙරට සෞඛ්‍ය අංශ දැක්වූ දැඩි කැපවීම , ඉහළ දායකත්වය එය පාලනයට වඩාත් ප්‍රබල වූයේ යැයිද ආරක්ෂක අංශ , රාජ්‍ය නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍රයන්හි ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ඒ වෙනුවෙන් දැක්වූ දැඩි කැපවීම වඩාත් අගය කරන්නේ යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ වෙනුවෙන් මාධ්‍ය ආයතන , මාධ්‍යවේදීන් ලබාදුන් සාධනීය දායකත්වය කොවිඩ් පාලනයට මෙන්ම එය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කීය.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, මාධ්‍ය ආයතන ප්‍රධානීන් , පුවත්පත් කතුවරුන්, ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.