සේවකයන්ගේ සෞඛ්යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම හුදෙක් නීතිමය අවශ්යතා සපුරාලීම සඳහා පමණක් සිදුකළ යුතු කාර්යයක් නොවන බවත්, මනුෂ්යත්වය, සේවක අයිතිවාසිකම් සහ ශ්රමයේ වටිනාකම පදනම් කරගත් සුරක්ෂිතතා සංස්කෘතියක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා අවධාරණය කළේය.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) පෙරවරුවේ නාරාහේන්පිට - කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්ය සතිය නිමිත්තෙන් සංවිධානය කෙරුණු සම්මන්ත්රණයේ සමාරම්භක උත්සවය අමතමිනි.
සේවකයන්ගේ සෞඛ්යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම කම්කරු අමාත්යාංශයේ හෝ කම්කරු දෙපාර්තමේන්තුවේ පමණක් වගකීමක් නොවන බව පෙන්වා දුන් අමාත්යවරයා, ඒ සඳහා සේවායෝජකයන්, සේවකයන් සහ සමාජයේ සියලු පාර්ශ්වයන් සාමූහිකව මැදිහත් විය යුතු බව පැවසීය.
වෘත්තීය සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ඇතැම් ආයතන ක්රියාමාර්ග ගනු ලබන්නේ නීතිමය අනුකූලතාව සපුරාලීමේ අරමුණින් පමණක් බවත්, එම ආකල්පයෙන් ඔබ්බට ගොස් මිනිස් ජීවිතවල වටිනාකමට ප්රමුඛත්වය ලබාදිය යුතු බවත් අමාත්යවරයා සඳහන් කළේය. ඇතැම් ව්යාපාරික තීරණ ගැනීමේදී අනතුරක් වැළැක්වීමට වැයවන මුදල සහ අනතුරකින් පසු ගෙවීමට සිදුවන වන්දි මුදල සංසන්දනය කරන අවස්ථා පවතින බව පෙන්වා දුන් අමාත්යවරයා, එවැනි තීරණවලදී ආර්ථික ලාභයට වඩා මිනිස් ජීවිත, සේවක අයිතිවාසිකම් සහ මානව අභිමානයට ප්රමුඛත්වය හිමිවිය යුතු බව අවධාරණය කළේය.
ජපානය ඇතුළු සංවර්ධිත රටවල වැඩබිම් සුරක්ෂිතතාව සහ සදාචාරාත්මක නිෂ්පාදන පිළිබඳව පවතින අවධානය උදාහරණයට ගත් අමාත්යවරයා, එවැනි ප්රමිතීන් දීර්ඝකාලීන අත්දැකීම්, සමාජ මැදිහත්වීම් සහ ප්රතිපත්තිමය වෙනස්කම් හරහා වර්ධනය වී ඇති බව ද පැවසීය. සේවක සුරක්ෂිතතාව වෙනුවෙන් ආයෝජනය කරන ආයතනවලට තරගකාරී වෙළෙඳපොළ තුළ අවාසිදායක තත්ත්වයක් ඇති නොවීමට නම් සියලු ආයතන පොදු ප්රමිතීන් සහ වගකීම් අනුව කටයුතු කිරීම වැදගත් බව ද අමාත්යවරයා පෙන්වා දුන්නේය.
එසේම, සෞඛ්යාරක්ෂිත ක්රමවේද පිළිබඳ දැනුම තිබීම පමණක් ප්රමාණවත් නොවන බවත්, එම දැනුම පුද්ගලයන්ගේ දෛනික හැසිරීම්, පුරුදු සහ ජීවන රටාව තුළින් පිළිබිඹු විය යුතු බවත් අමාත්යවරයා සඳහන් කළේය. සෞඛ්ය සම්පන්න පරිසරයක් යනු වැඩබිමකට පමණක් සීමා වූ සංකල්පයක් නොවන අතර, පුද්ගලයන්ගේ ආහාර පුරුදු ඇතුළු සමස්ත ජීවන රටාවම සෞඛ්ය සම්පන්න විය යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්යවරයා, ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක් ලෙස ශ්රී ලංකාව යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම සඳහා විනය, කැපවීම සහ සාමූහිකත්වය පදනම් කරගත් ප්රතිපත්තිමය ක්රියාමාර්ග රැසක් ගෙන ඇති බව සඳහන් කළේය.
රජයක් විසින් ගනු ලබන ප්රතිපත්තිමය තීරණවල ප්රතිඵල සෑම විටම කෙටි කාලයකින් දෘශ්යමාන නොවන බවත්, මාර්ග සහ ගොඩනැඟිලි ඉදිකිරීම වැනි ව්යාපෘතිවලට අමතරව දිගුකාලීන සමාජ හා ආර්ථික ප්රතිලාභ ලබාදෙන ප්රතිපත්ති ක්රියාත්මක කිරීම ද රජයක ප්රධාන වගකීමක් බවත් අමාත්යවරයා පැවසීය.
පසුගිය වසර දෙක තුළ රජය ගත් ප්රතිපත්තිමය ක්රියාමාර්ගවල ප්රතිඵල ක්රමයෙන් ජනතාවට ලැබෙමින් පවතින බවත්, ශ්රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ජාත්යන්තර විශ්වාසය ශක්තිමත් වෙමින් පවතින බවත් අමාත්යවරයා සඳහන් කළේය. ජාත්යන්තර මූල්ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතන ශ්රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් ද මෙහිදී සිහිපත් කළ අමාත්යවරයා, දේශගුණික විපර්යාස, ස්වාභාවික ආපදා සහ ජාත්යන්තර ගැටුම් වැනි බාහිර අභියෝග හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා සාමූහික කැපවීම අත්යවශ්ය බව පෙන්වා දුන්නේය.
වෘත්තීය සුරක්ෂිතතාව සඳහා වැය කරන මුදල් අමතර පිරිවැයක් ලෙස නොව සේවක ජීවිත සහ ආයතනවල අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස සැලකිය යුතු බව අමාත්යවරයා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය. සේවා ස්ථානවල සුරක්ෂිතතාව ඉහළ නැංවීම තුළින් සේවකයන්ගේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය වන අතර, අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි, දේපළ හානි, නිෂ්පාදන කටයුතු අඩාල වීම සහ ඒ ආශ්රිත මූල්යමය පාඩු අවම කරගැනීමට හැකිවන බව ද අමාත්යවරයා සඳහන් කළේය.
මනුෂ්යත්වයට ගරු කරන, ශ්රමයේ වටිනාකම හඳුනාගන්නා සහ සෞඛ්ය සම්පන්න, සුරක්ෂිත වැඩබිම් සහිත සමාජයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාව බව පැවසූ අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා, එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සේවායෝජකයන්, සේවකයන් සහ අදාළ සියලු පාර්ශ්වයන් එක්ව කැපවීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වූ කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ වැඩබිම්වල වෘත්තීය සුරක්ෂිතතාව නීතිමය අවශ්යතා සපුරාලීමට පමණක් සීමා නොකර, සෑම සේවා ස්ථානයකම ස්ථිර සංස්කෘතියක් බවට පත් කළ යුතු බවයි.
පසුගිය කාලය තුළ මෙරට වැඩබිම් ආශ්රිතව ගිනි ගැනීම් ඇතුළු විවිධ අනතුරුදායක සිදුවීම් වාර්තා වූ බවත්, එම සිදුවීම් හේතුවෙන් වටිනා මිනිස් ජීවිත ගණනාවක් අහිමි වූ බවත් නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේය.
ජාත්යන්තර කම්කරු සංවිධානයේ වාර්තා අනුව ලොව පුරා වාර්ෂිකව ලක්ෂ තුනකට අධික සේවක පිරිසක් වෘත්තීය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන අතර, මිලියන 370කට ආසන්න පිරිසක් මාරාන්තික නොවන වෘත්තීය අනතුරුවලට මුහුණ දෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපත් කළ තොරතුරු අනුව ශ්රී ලංකාවේ වාර්ෂිකව සේවා ස්ථානවල සිදුවන අනතුරු හේතුවෙන් පුද්ගලයන් 80කට ආසන්න සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්වන අතර, තවත් පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් මාරාන්තික නොවන වෘත්තීය අනතුරුවලට මුහුණ දෙන බව ද නියෝජ්ය අමාත්යවරයා පැවසීය. මෙම තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී වෘත්තීය සුරක්ෂිතතාව පිළිබඳ අවධානය එක් දිනයකට හෝ සතියකට පමණක් සීමා නොකළ යුතු බවත්, දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩබිම්වල ඇතිවන නව අභියෝග පිළිබඳව ද පුළුල් අවධානයක් යොමු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඇතැම් සේවා ස්ථානවල කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරුන් පරීක්ෂණ සඳහා පැමිණෙන අවස්ථාවලදී පමණක් සේවකයන් ආරක්ෂිත උපකරණ භාවිත කරන බවත්, පරීක්ෂණ අවසන් වූ පසු එම උපකරණ භාවිතය අත්හැර දමන අවස්ථා ද වාර්තා වන බවත් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
“ආරක්ෂිත උපකරණ භාවිත කළ යුත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙන්වීමට හෝ පරීක්ෂණවලින් සමත් වීමට නොවෙයි. තමන්ගේ ජීවිතය සහ සෞඛ්යය ආරක්ෂා කරගැනීමටයි. නීතිය ක්රියාත්මක කරන නිලධාරීන් රැවටීමෙන් සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු වන්නේ නැහැ. ඒ නිසා වෘත්තීය සුරක්ෂිතතාව සෑම වැඩබිමකම දෛනික ක්රියාකාරිත්වයේ අත්යවශ්ය අංගයක් බවට පත් කළ යුතුයි.” යනුවෙන් නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
වැඩබිම්වල සුරක්ෂිතතාව තහවුරු කිරීමේදී සේවායෝජකයන්ට මෙන්ම සේවකයන්ට ද විශාල වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් ඒ මහතා, ආරක්ෂිත උපකරණ සවි කිරීම හෝ නීතිමය අවශ්යතා සපුරාලීම පමණක් ප්රමාණවත් නොවන බවත්, ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ අවංක කැපවීම සහ ක්රියාකාරී සහභාගිත්වය අත්යවශ්ය බවත් අවධාරණය කළේය.
වෘත්තීය සුරක්ෂිතතාව සම්බන්ධයෙන් රාජ්ය අංශයේ වගකීම ද නීතිය ක්රියාත්මක කිරීමට පමණක් සීමා නොවිය යුතු බවත්, සේවායෝජකයන්, සේවකයන්, වෘත්තීය සමිති සහ අදාළ රාජ්ය ආයතන ඒකාබද්ධව කටයුතු කරන පුළුල් වැඩපිළිවෙළක් අවශ්ය බවත් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය තුළ විවිධ වැඩසටහන් සංවිධානය කළ ද, එම සතිය අවසන් වීමෙන් පසු වැඩබිම්වල ආරක්ෂිත ක්රියාමාර්ග අඛණ්ඩව ක්රියාත්මක නොවන්නේ නම් එවැනි වැඩසටහන්වලින් අපේක්ෂිත ප්රතිඵල අත්කරගත නොහැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
“අපගේ ඉලක්කය විය යුත්තේ වාර්ෂිකව සිදුවන වෘත්තීය අනතුරු සංඛ්යාව අඩු කිරීම පමණක් නොවෙයි. සේවා ස්ථානවල සිදුවන මාරාන්තික සහ මාරාන්තික නොවන අනතුරු සංඛ්යාව ශුන්යය කිරීමයි. Zero Accidents යන ඉලක්කය කරා අප ගමන් කළ යුතුයි. එය අභියෝගාත්මක ඉලක්කයක් වුවත් සියලු පාර්ශ්වයන්ගේ අවංක කැපවීම සහ සහයෝගය තුළින් එම ඉලක්කය කරා ළඟාවිය හැකියි.” යනුවෙන් නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්ය සතියට සමගාමීව පැවැති මෙම සම්මන්ත්රණයේදී වෘත්තීය සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්ර ඔස්සේ දැනුවත් කිරීමේ දේශන මෙන්ම ප්රශ්නෝත්තර සැසියක් සහ සාකච්ඡා වාරයක් ද පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණි.
මෙම අවස්ථාවට කම්කරු අමාත්යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වළලියද්ද මහත්මිය ඇතුළු නිලධාරීහු ද, පළාත් අටක වැඩබිම් නියෝජනය කරමින් වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්යය පිළිබඳ කටයුතු කරන නිලධාරීහු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
