දරුවන් 10,000කට ජීවිතය දුන් ඉන්දීය හෙදිය

දරුවන් 10,000කට ජීවිතය දුන් ඉන්දීය හෙදිය

ඉන්දීය සෞඛ්‍ය සේවාවේ හෙදියන්ට සහ වින්නඹු මව්වරුන්ට අතිශය වැදගත් තැනක් හිමිව තිබේ. එහෙත්, ඉහළ ඉල්ලුම සහ සීමිත සම්පත් හේතුවෙන් ඔවුහු අභියෝගවලට මුහුණ දී සිටිති. සාර්ථක දරු උපත් 10,000කට අධික සංඛ්‍යාවකට දායක වීම නිසා ඉන්දීය රජයේ සම්මානයකට ද පාත්‍ර වූ මෑතකදී විශ්‍රාම දිවියට පිවිසි හෙදියක වූ කතීජා බිබී, ඇයගේ 33 වසරක් දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ කාන්තා සෞඛ්‍ය සේවාව පිළිබඳ ආකල්පවල ඇය දුටු වෙනස්කම් දෙස ආපසු හැරී බැලීමකි, මේ.

"මට ආඩම්බරයි කියන්න, මගේ නිරීක්ෂණය යටතේ බිහි කරපු බබාලා 10,000 අතරින් කිසි ම දරුවෙක් මිය ගියේ නෑ," 60 හැවිරිදි කතීජා බිබී එසේ පවසන්නේ, සිය රැකියාවේ විශේෂ ම සිද්ධිය එය බව සලකමිනි.

තමිල් නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය මා. සුබ්‍රමනියන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, කතීජා‌ගේ සේවා කාලය තුළ කිසිදු ළදරු මරණයක් වාර්තා නොවීම නිසා ඇයට රාජ්‍ය සම්මානයක් පිරිනැමූ බව ය.

ඇය දකුණු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ රජයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක සේවය කළ දශක තුනක කාලය තුළ, ඉන්දියාව මාතෘ මරණ අනුපාතය ඉහළ මට්ටමක සිට ගෝලීය සාමාන්‍යයට ආසන්න රටක් බවට පරිවර්තනය වී ඇත. ඇය පවසන්නේ, ගැහැනු දරුවන් ඉපදීම සහ දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ධනාත්මක වෙනසක් ඇති වූ ආකාරය තමන් දුටු බව ය.

කතීජා ගර්භණී මවක වූයේ, ඇය 1990 වසරේදී සේවය ආරම්භ කළ කාලයේ ය.

"මම එතකොට මාස හතක ගර්භණී මවක්... එහෙම තියෙද්දි ත් මම අනෙක් කාන්තාවන්ට උදව් කළා. මාස දෙකක කෙටි මාතෘ නිවාඩුවකට පස්සේ මම ආයෙත් වැඩට ගියා," කතීජා ආවර්ජනය කළා ය‍. "මම දන්නවා ලේබර් රූම් එකට කාන්තාවක් යනකොට මොන වගේ චකිතයකින් ද ඉන්නේ කියලා, ඒ නිසා මම පළවෙනියට ම ප්‍රමුඛතාව දෙන්නේ, ඔවුන් සහනයක් වීමට සහ විශ්වාසයක් ඇති කිරීමට යි."

Kathija with a newborn

| දරු ප්‍රසූතයේදී මව්වරුන්ට මග පෙන්වීමට ඉවහල් වූයේ මවක ලෙස තමන් ලැබූ අත්දැකීම් බව කතීජා පවසයි.

ජූනි මාසයේදී විශ්‍රාම ගිය කතීජා, සන්සුන්බවක් පෙන්නුම් කරයි. චෙන්නායි නගරයේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ග්‍රාමීය නගරයේ විල්ලුපුරම් නගරයේ පිහිටි ඇගේ මාතෘ සායනයේ සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය උපකරණවලින් සමන්විත නොවන අතර, යම් සංකූලතාවක් දුටුවහොත්, ඇය ගර්භණී මාතාවන් දිස්ත්‍රික් රෝහල‌ වෙත පිටත් කළා ය.

කතීජාට මෙම රැකියාව සඳහා කැමැත්තක් ඇති වූයේ, ග්‍රාමීය හෙදියක වූ ඇගේ මව වන සුලෙයිකා හේතුවෙනි. "මම පොඩි කාලෙ සෙල්ලම් කළේ සිරින්ජර් එක්ක. මම ඉස්පිරිතාල සුවඳට පුරුදු වුණා," ඇය ආවර්ජනය කළා ය.

කුඩා අවදියේ සිට ම, දිළිඳු සහ අර්ධ සාක්ෂරතාවක් සහිත ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා ලබා දීමේ වැදගත්කම ඇය අවබෝධ කරගෙන සිටියා ය. එකල, පෞද්ගලික රෝහල් දුර්ලභ වූ අතර, සෑම තරාතිරමක ම කාන්තාවන්ට, දැන් මූලික සෞඛ්‍ය මධ්‍යස්ථානය ලෙස හඳුන්වන රජයේ මාතෘ නිවාසය කෙරෙහි විශ්වාසය තැබීමට සිදුව තිබිණි.

"මම වැඩ කරන්න පටන් ගන්නකොට එක දොස්තර කෙනෙකු යි, සහයකයින් හත් දෙනෙකු යි, හෙදියන් දෙන්නෙකු යි විතර යි හිටියේ," කතීජා පවසයි. "පළවෙනි අවුරුදු කීපයේ වැඩ ගොඩක් අධික වුණා. මගේ දරුවන් බලා ගන්න ත් මට බැරි වුණා. පවුලේ උත්සව මග ඇරුණා. ඒත්, ඒ කාලේ මට වටිනා අත්දැකීම් ලැබුණා."

1990 වසර වන විට ඉන්දියාවේ මාතෘ මරණ අනුපාතය (MMR) සජීවී දරු උපත් 100,000කට 556ක් විය. එම වසරේ ම ළදරු මරණ අනුපාතය සජීවී දරු උපත් 1000කට ළදරු මරණ 88ක් ලෙස වාර්තා විය.

රජයේ වත්මන් සංඛ්‍යා දත්ත අනුව මාතෘ මරණ අනුපාතය සජීවී දරු උපත් 100,000කට 97ක් වන අතර, ළදරු මරණ අනුපාතය සජීවී දරු උපත් 1,000කට 27ක් දක්වා අඩු වී තිබේ.

In this photograph taken on April 28, 2023, an Auxiliary Nurse Midwife (ANM) health worker examines a pregnant woman at a state-run rural health centre at a village in Darbhanga district of India's Bihar state. - India's overall birthrate has fallen in tandem with its rising economy, but poverty, illiteracy and a deep-rooted bias for male children has left Bihar a national outlier

| බිහාර් ප්‍රාන්තයේ සායනයක වින්නඹු කාන්තාවක විසින් ගැබිනි මවක් පරීක්ෂා කරනු ලබන අවස්ථාවක්

කතීජා සිතන ආකාරයට මෙම ප්‍රගතියට හේතු වී ඇත්තේ, ග්‍රාමීය සෞඛ්‍ය සේවය සඳහා රජයේ ආයෝජනය සහ කාන්තා සාක්ෂරතා අනුපාතය ඉහළ යාම යි.

සාමාන්‍ය දිනයකදී, කතීජා දරු උපත් එකකට හෝ දෙකකට දායක විය. එහෙත්, ඇය වැඩියෙන් ම කාර්ය බහුල වූ දිනය ඇයට ආවර්ජනය කර ගැනීම අපහසු නැත. එය ජාත්‍යන්තර කාන්තා දිනය වූ අතර ඇය සායනය තුළට ඇවිද යන විට එහි සිටි පිරිස් ඇයට සුබ පැතූහ. "මම දැක්කා ලේබර් රූම් එකේ කාන්තාවන් දෙන්නෙක් මං එනකම් බලාගෙන හිටියා. මම ඔවුන්ගේ දරුවන් බිහි කරන්න උදව් කළා. ඊට පස්සෙ තව ත් කාන්තාවන් හය දෙනෙක් අපේ සායනයට ආවා."

කතීජාට සහයට සිටියේ එක් සහයිකාවක පමණි. එහෙත්, ඇය සිය ආතතිය ඉක්මනින් අමතක කළා ය. "මම එදා ගෙදර යන්න හදනකොට බබාලා අඬන සද්දෙ ඇහුණා. මට ඒක සුන්දර හැඟීමක් වුණා."

නිවුන් දරුවන් යුගල 50ක් සහ තුන් නිවුන් දරුවන් තිදෙනෙකු ලොවට බිහි කිරීමට ඇයට හැකි වූ බවට ඇය සතුව සංඛ්‍යා දත්ත තිබේ.

මේ වන විට, ධනවත් පවුල්වල කාන්තාවන් පෞද්ගලික රෝහල් වෙත යාමට කැමැත්තක් දක්වන බව කතීජා පවසයි. සිසේරියන් සැත්කම් ද වැඩි වී ඇති බව ඇගේ අදහස යි.

"දරු උපත්වලදී මරණයට පත්වුණ අවස්ථා ගොඩක් මගේ අම්මා දැකලා තියෙනවා. සිසේරියන් සැත්කම්වලින් ගොඩක් ජීවිත බේරිලා තියෙනවා," කතීජා පවසයි. "මම වැඩ කරන්න පටන් ගත්ත කාලේ කාන්තාවන් ශල්‍යකර්මවලට බයෙන් හිටියේ. ඒත්, දැන් වැඩි දෙනෙක් බය ස්වාභාවික දරු උපත්වලට යි. ගොඩක් අය ශල්‍යකර්ම තෝරා ගන්නවා."

පසුගිය දශක තුන තුළ, ග්‍රාමීය කුටුම්භවල ආදායම ඉහළ ගොස් ඇති හෙයින්, ඊට අදාළව සුවිශේෂී අභියෝග නිර්මාණය වී තිබේ. "ගර්භණී දියවැඩියාව ඉස්සර ගොඩක් දුර්ලභ යි. ඒත් දැන් ඒක ගොඩක් සුලභ යි."

දරු ප්‍රසූතියේදී සිය භාර්යාවන් සමග පැමිණීමට උනන්දුවෙන් සිටින සැමියන්ගෙන් දැන් කතීජාට වැඩි වශයෙන් ඉල්ලීම් ලැබෙන බැවින් සැලකිය යුතු සමාජ වෙනසක් සිදුවී ඇතැයි පෙනෙන්නට තිබේ.

"මම හොඳ වගේ ම නරක ත් දැකලා තියෙනවා. බිරිඳ ගැහැනු දරුවෙක් බිහි කළා ම සමහර ස්වාමි පුරුෂයෝ බලන්නවත් එන්නෙ නෑ. සමහර අම්මලා පාලනය කරන්න බැරි තරම් අඬනවා, දෙවෙනියට හෝ තුන් වෙනුවට ගැහුනු දරුවෙක් ලැබුණා ම."

This photograph taken on April 24, 2023 shows a newly born daughter of Manu Bala after her delivery at a civil hospital in Dehra, in Kangra district of India's Himachal Pradesh state. -

| හිමාචල් ප්‍රදේශ්හි රෝහලකදී මවක් සිය අලුත උපන් දියණිය පෙන්වයි

90 දශකයේදී, ලිංගික වරණය මත ගබ්සා කිරීම් සහ ළදරු ඝාතන පිළිබඳ සිද්ධි කෙතරම් පුළුල් ලෙස වාර්තා වූයේ ද යත්, ළදරුවන්ගේ ලිංග භේදය දෙමාපියන්ට හෙළි කිරීම ඉන්දීය රජය වෛද්‍යවරුන්ට තහනම් කළේ ය. අනවශ්‍ය ගැහැනු දරුවන් රැකබලා ගැනීම සඳහා තමිල්නාඩු රජය Cradle Baby Scheme (තොටිල්ල ළදරු යෝජනා ක්‍රමයක්) යනුවෙන් යෝජනා ක්‍රමයක් ද දියත් කළේ ය. "ඒත් දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ," කතීජා පවසයි. "ගොඩක් විවාහකයින් දරුවන් දෙන්නෙක් තමයි හදන්න කැමති. ඒගොල්ලො ලිංග භේදය සලකන්නෙ නෑ."

විශ්‍රාම ගැනීමෙන් පසු ජීවිතය පිළිබඳ ඇයට ස්ථිර සැලසුම් නොමැත‍. එහෙත්, තමාට අහිමි වන දේ ගැන ඇය දනී‍.

"අලුතෙන් ඉපදුණ දරුවෙක් ඉස්සෙල්ලා ම අඬන හඬ අහන්න මම නිතර ම බලාගෙන ඉන්නවා," ඇය පවසයි.

"වේදනාත්මක දරු ප්‍රසූතියකින් දරුවෙක් බිහි කරන අම්මා කෙනෙක් පවා තමන්ගේ දරුවෝ අඬන හඬ ඇහුණා ම සියල්ල අමතක කරලා හිනා වෙනවා. ඒ සතුට, සහනය දැකීම මට ප්‍රීතිමත් අත්දැකීමක්. ගත වුණ අවුරුදු සියල්ල පුරා ඒක මට ආත්මය එක්ක බැඳුණ ගමනක්."

| ප්‍රමිලා ක්‍රිෂ්ණන් (bbc/sinhala)