හොලිවුඩ් වැඩ වර්ජනය: වැටුප් සහ කෘත්‍රිම බුද්ධිය නිසා නළුවන් කණස්සල්ලෙන්

හොලිවුඩ් වැඩ වර්ජනය: වැටුප් සහ කෘත්‍රිම බුද්ධිය නිසා නළුවන් කණස්සල්ලෙන්

| වැඩ වර්ජනය නිසා, නව ඇවටාර් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ලවනු ඇත

හොලිවුඩ් තිර රචකයින් ආරම්භ කළ වැඩ වර්ජනයකට හොලිවුඩ් නළු නිළියන් ද සම්බන්ධවී ඇති නිසා වසර 60කින් සිදුවූ විශාලතම වැඩ නැවැත්වීමට කර්මාන්තය ගොදුරුවී ඇත.

මධ්‍යම රාත්‍රියේ 160,000ක් පමණ රංගන ශිල්පීන් ලොස් ඇන්ජලීස්හි දී වැඩ නැවැත්වූ අතර, එක්සත් ජනපදයේ බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන කටයුතු එනිසා ඇණ හිටියේ ය.

Screen Actors Guild (SAG) නම් සංවිධානයට අවශ්‍යව තිබෙන්නේ, සිනමා හා රූපවාහිනී නිර්මාණ අන්තර්ජාලයේ විකාශය කරන දැවැන්තයින්, ඒවායේ ලාභයන් වඩාත් සාධාරණව බෙදීම සහ වඩා හොඳ සේවා කොන්දේසිවලට එකඟවීම ය.

ඩිජිටල් ප්‍රතිමූර්ති විසින් නළු නිළියන්ගේ ස්ථානය පැහැර ගැනීමෙන් ආරක්ෂා කිරීම ද එයට අවශ්‍යව තිබේ.

නළු නිළියන් වෙනුවට, කෘත්‍රිම බුද්ධියෙන් (AI) සහ පරිගණකයෙන් ජනනය කෙරෙන මුහුණු සහ කටහඬ භාවිතා නොකරනබවට වගවීමක් වෘත්තීය සමිතිය අපේක්ෂා කරයි.

වර්ජනය පවතින අතරතුර දී, නළු නිළියන්ට චිත්‍රපටවල පෙනී සිටීමට හෝ දැනටමත් නිර්මාණයකර ඇති චිත්‍රපටවල ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට පවා නොහැකි ය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, බ්‍රහස්පතින්දා (ජූලි 13) රාත්‍රියේ දී වැඩ වර්ජනය ප්‍රකාශයට පත්කෙරෙන අවස්ථාවේ ලන්ඩනයේ දී පැවැත්වෙමින් තිබූ ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ 'ඕපන්හයිමර්' චිත්‍රපටයේ මංගල දර්ශනය අතරතුර දී, සිනමා තාරකාවන් වන කිලියන් මර්ෆි, මැට් ඩේමන් සහ එමිලි බ්ලන්ට් එතැනින් පිටවී ගියහ.

ඔවුන් "විරෝධතා පුවරු ලිවීමට ගිය"බව, චිත්‍රපටයේ අධ්‍යක්ෂක ක්‍රිස්ටෝෆර් නෝලන් සිනමා ප්‍රේක්ෂකයින්ට පැවසූ අතර, ඔහු ඔවුන්ගේ සටනට සහාය දක්වන වග ද ප්‍රකාශ කළේ ය.

Better Call Saul නම් ටෙලිනාට්‍ය මාලාවේ තාරකාව වන බොබ් ඕඩන්කර්ක්, Sex and the City හාස්‍යමය ටෙලිනාට්‍ය මාලාවේ සින්තියා නික්සන් සහ හොලිවුඩයේ ප්‍රවීනයෙකු වන ජේමි ලී කර්ටිස්, ඉන්ස්ටග්‍රෑම් හරහා වැඩ වර්ජනයට සහාය පළකළහ.

කැලිෆෝනියාවේ පිහිටි නෙට්ෆ්ලික්ස් මූලස්ථානය ඉදිරියේ දී විරෝධතා ඇරඹීමට නියමිත වන අතර, අනතුරුව ඒවා පැරමවුන්ට්, වෝනර් බ්‍රදර්ස් සහ ඩිස්නි ආයතන ඉදිරියට යෑමට නියමිත ය.

කෘත්‍රිම බුද්ධිය භාවිතා හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා විශාල චිත්‍රාගාර විසින් "නව්‍ය යෝජනාවක්" ඉදිරිපත්කර ඇති අතර, එමඟින්, නළුවන්ගේ ඩිජිටල් සමරූපතාව ආරක්ෂා කරමින්, රඟපෑම් කටයුතු සඳහා නළු නිළියන්ගේ ඩිජිටල් ප්‍රතිමූර්ති භාවිතා කරන විට හෝ වෙනස්කිරීම් සඳහා භාවිතා කරන විට ඔවුන්ගේ කැමැත්ත ඉල්ලා සිටීම අවශ්‍යතාවක්බවට පත්කරයි.

නමුත් Alliance of Motion Picture and Television Producers (AMPTP/ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදකයින්ගේ සන්ධානය) විසින් ඉදිරිපත් කෙරුණු මේ යෝජනාව සංගමය විසින් ප්‍රතික්ෂේපවී ඇත.

SAGහි ජාතික විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන ප්‍රමන්ත්‍රණකරු ඩන්කන් ක්‍රැබ්ට්‍රී-අයර්ලන්ඩ් පැවසුවේ එම යෝජනාව පිළිගත නොහැකිබව යි.

"ඒගොල්ලෝ යෝජනා කරන්නේ අපේ පසුබිම් නළුවන්ව ස්කෑන් කරගන්න පුළුවන් වෙන්න ඕන, එයාලට එක දවසක් වැඩ කලාට විතරක් ගෙවන්න පුළුවන් වෙන්න ඕන, ඒගොල්ලන්ගේ කම්පැනියට අර ස්කෑන් පින්තූරෙයි සමරූපතාවෙයි අයිතිවාසිකම් තියෙන්න ඕනේ, ඊට පස්සෙ එයාලට ඒවා සදාකාලයටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන කියලා," ඔහු පැවසුවේ ය. "ඔයගොල්ලෝ හිතනවා නම් ඒක 'නව්‍ය යෝජනාවක්' කියලා, පොඩ්ඩක් ආපහු හිතලා බලන්න කියලා මම ඕගොල්ලන්ට යෝජනා කරනවා."

Emily Blunt, Cillian Murphy and Florence Pugh

| නළු නිළියන් වන එමිලි බ්ලන්ට් (වමේ), කිලියන් මර්ෆි (මැද) සහ ෆ්ලොරන්ස් පියු (දකුණේ) ඕපන්හයිමර්හි මංගල දර්ශනයේ දී

වැඩ වර්ජනය නිසා, මේ වන විට නිෂ්පාදනයේ පවතින චිත්‍රපටවල විශාල වැඩ කොටසක් කිරීමට නොහැකිවනු ඇත. චිත්‍රපටය රූගත කිරීම් සම්පූර්ණකර ඇති අවස්ථාවන්හි පවා, යම් කොටස් නැවත රූගත කිරීමට සහ චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලියේ අනෙකුත් අත්‍යවශ්‍ය අංග සඳහා නළු නිළියන් නොමැතිවනු ඇත.

තවමත් රූගත කෙරෙන රූපවාහිනී වැඩසටහන් ද බොහෝදුරට නැවැත්වීමට සිදුවනු ඇතත්, ඇතැම් අවස්ථාවන්හි දී එම වැඩ කටයුතු දිගටම සිදුකරගෙන යෑමට හැකිවන පරිදි රංගන ශිල්පීන් සහ නිෂ්පාදකයින් අතර අතුරු ගනුදෙනු ද සිදුවිය හැකි ය.

නව චිත්‍රපට හා ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම සඳහා උත්සවවලට සහභාගීවීමට ඉහළ පෙළේ හොලිවුඩ් තරුවලට නොහැකිවනු ඇත. එමී සම්මාන උළෙල හා කොමික් කොන් ඇතුළු වැඩසටහන් කල් තැබීමට හෝ සාටෝප රහිතව පැවැත්වීමට සිදුවනු ඇත.

AMPTPය ප්‍රකාශ කළේ, මෙම වැඩ වර්ජනය "කොහෙත්ම අප බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොවේ. මන්ද, අපේ රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට ජීවමාන කරන රංගන ශිල්පීන් නොමැතිව චිත්‍රාගාරයන්ට ක්‍රියාත්මකවීමට නොහැකි" බව යි.

"[චිත්‍රපට] කර්මාන්තය මත යැපෙන ගැණිය නොහැකි දහස් ගණනක් දෙනාට මූල්‍යමය දුෂ්කරතාවන් ඇතිකරනු ඇති මාර්ගයක් කණගාටුදායක ලෙස සංගමය විසින් තෝරාගෙන තිබෙනවා," එහි මාධ්‍ය ප්‍රකාශයෙහි සඳහන්විය.

සංගමයේ නිල නාමය වන්නේ Screen Actors Guild-American Federation of Television and Radio Artists හෙවත් SAG-AFTRA ය.

එය ස්ට්‍රීමිං සේවාවන්ට ඉදිරිපත්කර ඇති තවත් ඉල්ලීමක් වන්නේ, නළු නිළියන්ට වඩාත් ඉහළ මූලික වැටුපක් සහ අවශේෂ ගෙවීම් (එනම්, ඔවුන් රඟපෑ චිත්‍රපට සහ වැඩසටහන් පුනරාවර්තනයේ දී නළුවන්ට සිදුකරන ගෙවීම්) ලැබිය යුතුබව යි.

මෙම වැඩ වර්ජනයට, සුළු චරිත සහ රංගන කොටස්‌ සඳහා ඔවුන්ගේ ප්‍රමුඛ පෙළේ සගයන්ට වඩා සැලකිය යුතු තරම් අඩු වැටුපක් ලබන නළුවන් දස දහස්‌ ගණනක්‌ දෙනා ද ඇතුළත් ය.

"පරණ මොඩල් එකට අනුව එයාලට අවශේෂ ගෙවීම් ලැබුණෙ [නිර්මාණය ලබන] සාර්ථකත්වයට අනුව," හොලිවූඩ් රිපෝටර් සඟරාවේ ප්‍රධාන කතෘ වන කිම් මාස්ටර්ස් බීබීසීයට පැවසුවා ය. "අලුත් මොඩල් එකට අනුව එයාලා දන්නේ නෑ තිරේ පිටුපස සිද්ධවෙන්නෙ මොකද්ද කියලා. මොකද ස්ට්‍රීමිං සේවාවන් ඒ තොරතුරු පිටට දෙන්නේ නෑ."

SAGහි සභාපති ෆ්‍රැන් ඩ්‍රෙෂර් පවසන්නේ, කර්මාන්තයේ සිටින නළු නිළියන්ට "ඉතා පුරෝගාමී මොහොතක" මේ වැඩ වර්ජනය ආරම්භවූ බව යි.

"සේවායෝජකයෝ වෝල් ස්ට්‍රීට් එක යි [මූල්‍ය වෙළඳපොළ] එයාලගේ තණ්හාව යි එයාලගේ ප්‍රමුඛත්වය කරගෙන, මේ 'යන්ත්‍රය' දුවවන අතවශ්‍ය දායකයෝ ගැන අමතක කරපුවම, අපට මේ සිද්ධවෙන දේ සියලු කම්කරු ක්ෂේත්‍රවල සිද්ධවෙමින් පවතිනවා," ඇය පැවසුවා ය.

Writers Guild of America නම් මාධ්‍ය සංගමයේ සාමාජිකයින් 11,500 දෙනෙකු වැඩි වැටුපක් හා වඩා යහපත් සේවා පහසුකම් ඉල්ලමින් දියත්කළ වෙනම වැඩ වර්ජනයක් මැයි දෙවැනි දා සිට මේ දක්වා පැවැත්වෙයි.

සමහර ලේඛකයෝ, සංගමය සහ AMPTPය අතර ගිවිසුමෙන් ආවරණය නොවන ව්‍යාපෘති වෙත යොමුවී සිටිති.

මෙම කම්කරු සංගමයන් දෙකේ "ද්විත්ව ප්‍රහාරය" සිදුවූයේ 1960න් පසු පළමු වරට ය. එකල SAG මෙහෙයවන ලද්දේ දේශපාලනයට පිවිස එක්සත් ජනපද ජනපතිවීමට බොහෝ කලකට පෙර නළුවෙකුව සිටි රොනල්ඩ් රේගන් ය. රංගන ශිල්පීන්ගේ අවසන් වැඩ වර්ජනය 1980 දී සිදුවිය.

Writer strike

| Writers Guild of America සංගමය මැයි මස සිට වැඩ වර්ජනයේ නියැලෙයි

බ්‍රහස්පතින්දා (ජූලි 13) SAGහි නිවේදනය නිකුත් වන්නට පෙර එක්සත් ජනපදයේ අයිඩාහෝ ප්‍රාන්තයේ නිවාඩු නිකේතනයක දී පැවැති කර්මාන්තයේ නායකයින්ගේ රැස්වීමක දී ඩිස්නිහි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ඉගර් පැවසුවේ, නළුවන් සහ ලේඛකයින් යන දෙකොටසගේම ඉල්ලීම් ප්‍රායෝගික නොවන අතර, වසංගතයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින කර්මාන්තයකට ඒවා හානිදායකබව ය.

"මේක මගෙ හිත හරියට කලබල කරන දෙයක්," ඉගර් පැවසීය. "මේක තමයි ඒ බාධාවට පොහොර දාන්න තියෙන නරකම කාලේ."

තෙවැනි සංගමයක් වන Directors Guild of America (ඇමෙරිකානු අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය) ජූනි මාසයේ දී සාර්ථක ලෙස කොන්ත්‍රාත්තුවක් අත්සන්කර ඇති අතර වර්ජනයට සහභාගී නොවනු ඇත.

(BBC/Sandeshaya)