කොරෝනා එන්නත: දුප්පත් රටවලට ලැබේවිද?

කොරෝනා එන්නත: දුප්පත් රටවලට ලැබේවිද?

 ධනවත් රටවල් කෝවිඩ් එන්නත් විශාල ප්‍රමාණයක් එක්රැස් කර ගන්නා බැවින් දුප්පත් රටවලට එන්නත් ලබාගැනීමේ අවස්ථාව මගහැරෙනු ඇති බවට ක්‍රියාධර කණ්ඩායම් කීපයක් අනතුරු අඟවා තිබේ.

ජනතා එන්නත් සන්ධානය (The People's Vaccine Alliance) පවසන්නේ අඩු ආදායම් ලාභී රටවල් 70කට පමණ සිය ජනගහනයෙන් 10%ක් පමණක් එන්නත් කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවය.

මෙම තත්වය උදා වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සංවර්ධනය කළ එන්නතෙන් 64%ක් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන බවට පොරොන්දුවක් පවා තිබියදී ය.

ලෝකය පුරා සිටින සියලු දෙනා අතර කෝවිඩ් එන්නත සාධාරණ අයුරින් බෙදී යන පරිදි වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා මේ වන විට විවිධ පියවර ගනිමින් සිටී. ඒ සඳහා පවතින කැපවුණු ක්‍රියාදාමය Covax නමින් හැඳින්වේ.

අඩු ආදායම් ලාභී රටවල් 92ක් සඳහා ලබා දීමට කෝවිඩ් එන්නත් මාත්‍රා මිලියන 700ක් වෙන්කරවා ගැනීමට ඔවුනට හැකියාව ලැබී තිබේ.

මෙවැනි සැලසුමක් දියත්වෙමින් තිබියදී පවා, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, Oxfam ආයතනය සහ Global Justice Now ආදී සංවිධාන රැසක් එකමුතු වී පිහිටුවාගෙන ඇති ජනතා එන්නත් සන්ධානය (The People's Vaccine Alliance) පවසන්නේ ලොව පුරා බෙදාහැරීමට තරම් නිෂ්පාදනයක් සිදු නොවන බවය. එබැවින් නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීම සඳහා ඖෂධ සමාගම් සිය තාක්ෂනය අනෙකුත් සමාගම් සමඟ බෙදාහදා ගත යුතු බව ඔවුහු පවසති.

ඔවුන් සිදු කර ඇති විශ්ලේෂණ මගින් සොයා ගනු ලබා ඇත්තේ සියලුම එන්නත් වර්ග භාවිතයට අනුමැතිය ලැබුනහොත් තම රටේ ජනගහනය මෙන් තුන්ගුණයක් එන්නත් කිරීමට සෑහෙන මාත්‍රා ප්‍රමාණයක් මේ වන විටත් ධනවත් රටවල් වෙන්කරගෙන ඇති බවය.

උදාහරණයක් වශයෙන් දක්වතොත්, කැනඩාව මේවනවිට ඇනවුම් කර ඇති එන්නත් ප්‍රමාණය එරට සිටින සෑම පුද්ගලයෙකුම පස්වතාවක් එන්නත් කිරීමට සෑහේ.

මේ වනවිට තුන්වන අදියරේ අත්හදා බැලීම් සිදුකෙරෙමින් පවතින එන්නත් අටක නිෂ්පාදකයන්ගේ දත්ත වාර්තා අනුව පෙනී යන්නේ, ලෝක ජනගහනයෙන් 14%ක් පමණක් ධනවත් රටවල වාසය කරන නමුත් දැනට සාර්ථක යැයි සැලකෙන කොවිඩ් එන්නත් නිෂ්පාදනයෙන් 53%ක් ම ධනවත් රටවල් විසින් මිලදී වෙන්කරවා ගනු ලැබ ඇති බවය.
"යම් පුද්ගලයෙකුගේ සාක්කුවේ තියෙන මුදල් ප්‍රමාණය හෝ එම පුද්ගලයා ජීවත්වන රට හෝ අනුව ජීවිතය බේරාගැනීම සඳහා පවතින එන්නතක් නොලැබී යායුතු නැහැ." Oxfam ආයතනයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කළමනාකාරිනී ඇනා මැරියට් පැවසුවාය.

"කෙසේ නමුත්, ඉතා කඩිනමින් යමක් සිදු නොවුනොත්, තව වසර කීපයක් ගතවනතුරු ලෝකයේ බිලියන ගණනක් මිනිසුන්ට හොඳ කොවිඩ් එන්නතක් නොලැබෙන්න ඉඩ තියෙනවා."

මෙම හේතුව නිසා, කොවිඩ් එන්නත් නිෂ්පාදනය කරන ඖෂධ සමාගම්වලින් ජනතා එන්නත් සන්ධානය ඉල්ලා සිටින්නේ තම තාක්ෂනය සහ බුද්ධිමය දේපල තොරතුරු අනෙකුත් ඖෂධ නිෂ්පාදකයන්ට ලබා දී එන්නත් මාත්‍රා බිලියන ගණනක් ඉක්මනින් නිෂ්පාදනය කර ගැනීමට ඉඩ සලසන ලෙසය.

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සිදුකළ හැකි බව ඔවුහු පවසති.

Pfizer-BioNTech එන්නතට එක්සත් රාජධානියේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුව ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව එය ජනතාවට ලබා දීම දැනටමත් ආරම්භ කර තිබේ.
මෙම එන්නතට එක්සත් ජනපදය සහ යුරෝපා හවුල ද නුදුරේදී ම අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

එමෙන්ම, Moderna සහ Oxford-AstraZeneca යන එන්නත් දෙක ද රටවල් කීපයක අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටී.

ජනතා එන්නත් සන්ධානය පවසන්නේ Moderna එන්නතේ සමස්ථ නිෂ්පාදනයම සහ Oxford-AstraZeneca එන්නතේ නිෂ්පාදනයෙන් 90%ක් මේ වන විට ධනවත් රටවල් මිලදී ගෙන හමාර බවය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔක්ස්ෆර්ඩ් සරසවිය සංවර්ධනය කළ එන්නත, ලාභ ලැබීමකින් තොරව අලෙවි කිරීමට එය නිෂ්පාදනය කරන AstraZeneca සමාගම කැප වී සිටී.

අනෙකුත් එන්නත් හා සසඳා බලන විට එය මිලෙන් අඩු වන අතර සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තැබිය හැකි බැවින් ලොව පුරා බෙදාහැරීම ද පහසු වනු ඇත.
එය "සාදරයෙන් පිළිගත යුතු වෙනසක්" වුවද, ජනතා එන්නත් සන්ධානය පවසන්නේ "ලබන වසර තුළ AstraZeneca සමාගමට නිපදවිය හැකි වන්නේ ලෝක ජනගහනයෙන් 18%කට පමණක් සරිලන එන්නත් ප්‍රමාණයක් පමණක්" වන බවය.

මුළු ලෝකයටම සෑහෙන එන්නත් තොගයක් නිපදවීම එක් සමාගමකට කොහෙත්ම කළ නොහැකි බව ඔවුහු අවධාරණය කරති.

රුසියාවේ Sputnik එන්නත ද ඵලදායී ප්‍රතිඵල වාර්තා කර ඇති අතර තවත් එන්නත් වර්ග හතරක් අත්හදා බැලීමේ අවසන් අදියරේ පසුවෙති.

මේ අතරතුර චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නතක් (Sinovac) එහි අවසන් අදියරේ අත්හදා බැලීම් නිම කර නොමැති නමුත් එහි නිෂ්පාදිත තොගයක් ඉන්දුනීසියාවට ගෙන්වාගෙන තිබේ. එය ජන භාවිතයට යෙදවීම සඳහා කටයුතු සුදානම් කෙරෙමින් පවතී.

මෙම චීන එන්නත ලබා ගැනීම සඳහා දැනටමත් බ්‍රසීලය, තුර්කිය සහ චිලී රාජ්‍යය ද ගිවිසුම් අත්සන් කර හමාරය.

මූලාශ්‍රය - බීබීසී/සන්දේශය