එන්නත්කරණයේ සාර්ථකත්වයෙන් ඊශ්‍රායලයේ සංචරණ සීමා ලිහිල් වෙයි

එන්නත්කරණයේ සාර්ථකත්වයෙන් ඊශ්‍රායලයේ සංචරණ සීමා ලිහිල් වෙයි
ෆයිසර් කොවිඩ් එන්නත් හේතුවෙන් රෝහල්ගත්වීම් සහ මරණ අඩුව ඇති බවට ගවේෂණයකින් තහවුරුවීමෙන් අනතුරුව තම රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීමට ඊශ්‍රායල බලධාරීන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
 
එම ගවේෂණයෙන් ෆයිසර් එන්නත 95.8%ක් සාර්ථක බව තහවු වීමත් සමඟ මෙලෙස රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීමට සැලසුම්කර තිබේ.
 
ඊශ්‍රායලය ලොව මෙතෙක් ඉහළම එන්නත්කරණ වේගයක් වාර්තා කර ඇති රට බවට පත්ව තිබෙන අතර එරට ජනගහණයෙන් 49%කට එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදී  තිබෙයි.
 
කොවිඩ් වෛරසය යලිත් එරට තුළ හිස එසවීම නිසා රට තෙවෙනි වරටත් වසා දැමීමට රාජ්‍ය බලධාරීන් කටයුතු කළ අතර එරට තුළ ක්‍රියාත්මක නිරෝධායන නීති රීති හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලන කර ගැනීමට හැකියාව ලැබුණි.
 
කෙසේ නමුත් එන්නත්කරණයේ සාර්ථකත්වය හේතුවෙන් රට තුළ සංචරණ සීමා ලිහිල් කරමින් පෙබරවාරි 21 වෙනි දින සිට රට තුළ කඩ සාප්පු, පුස්තකාල සහ කෞතුකාගාර විවෘත කිරීමට අවසර හිමිවෙනු ඇත.
 
රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීමට කටයුතු කළත් සෞඛ්‍ය උපදෙස් අකුරටම  පිළිපැදිය යුතු බව රට වැසියන්ට සිහිපත් කර දී තිබෙන අතර එහිදී සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය  බවත් සඳහන්.
 
තවද ගුවන්තොටුපොළ තවත් සති දෙකක් වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත.