කොවිඩ්: ඩෙල්ටා ප්ලස් බිහිසුණු වේවි ද?

කොවිඩ්: ඩෙල්ටා ප්ලස් බිහිසුණු වේවි ද?

කොවිඩ් දෙවැනි රැල්ල ඉන්දියාවට අතිශය දරුණු විය. ආසාදිතයන් සහ මරණ වාර්තා වීම අඩුවෙමින් පවතින අතර රට නැවත විවෘත කිරීම ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතී.

නමුත් තව මාස කීපයකින් තුන්වැනි රැල්ලක් ඉන්දියාව පුරා ව්‍යාප්තවිය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

ඊට පවතින සූදානම පිළිබඳව, ප්‍රාන්ත ආණ්ඩුවලින් අධිකරණය විමසා ඇත. ඇතැම් විශේෂඥයන් පවසන්නේ සති 12ත් 16ත් අතර කාලයක් ඇතුළත තුන්වැනි රැල්ල ආරම්භ විය හැකි බවකි.

Getty Images

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගැන බොහෝ දෙනාගේ අවධානය මතු වී තිබේ. දැන් බොහෝ දෙනාගේ කතා බහට ලක් වී ඇත්තේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයයි. දැනට භාවිත වෙමින් පවතින එන්නත් මගින් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය පරාජය කළ නොහැකි විය හැකි බවට ඇතැම්හු සැක පළ කරති.

ඩෙල්ටා ප්ලස් යනු මෑතකදී ඉන්දියාවෙන් පළමුවරට සොයා ගනු ලැබූ ඩෙල්ටා ප්‍රභේදය හා සම්බන්ධ අලුත්ම වෛරස් ප්‍රභේදයයි. ඉන්දියාවේ දෙවෙන රැල්ලට වගකිව යුත්තේ එම ඩෙල්ටා ප්‍රභේදයයි.

කෙසේ නමුත් මෙකී තුන්වන රැල්ල පිළිබඳව පවතින බිය කෙතරම් යථාර්ථවාදී ද?

කොවිඩ් රැල්ලකට පසුව තවත් රැල්ලක් හට ගැනීම අපේක්ෂා කළ හැකි දෙයකි. නමුත් එය කෙතරම් දරුණු වේද යන්න තීරණය කිරීම සඳහා සලකා බැලිය යුතු සාධක කීපයක් ම පවතී.

කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද

ඉන්දියාවෙන් දිනකට වාර්තාවන ආසාදිතයන් ගණන දල වශයෙන් 50,000ක මට්ටමට පහළ බැස ඇත. පසුගිය මැයි මාසයේ දී ආසාදිතයන් 400,000ක් වැනි ඉහළ ප්‍රමාණයක් දිනකට වාර්තා විය. ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඩු කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඉන්දියාව පුරා ක්‍රියාත්මක වූ දැඩි ලොක්ඩවුන් නීති රීති ය.

මැතිවරණ රැළි, ආගමික උත්සව සහ වෙළෙඳපොළ කඩ සාප්පු ජනාකීර්ණ වීම නිසා දෙවන රැල්ල ඇති වූ බවට දෝෂාරෝපණ එල්ල විය.

ඉන්දියාවේ කුම්භ මේලා ආගමික උත්සවය පැවැත්වුණේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ සඳහා හිමාලය පාමුල හරිද්වාර් නගරයට ජනකාය රැස්වුණේ කොවිඩ් දෙවන රැල්ල ඉන්දියාවට දරුණු ප්‍රතිඵල ගෙන දෙමින් සිටියදීම ය.

EPA
කුම්භ මේලාවේ ප්‍රධානතම දිනය අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබුණි. මිලියන 3කට අධික හින්දු භක්තිකයන් පිරිසක් එදින ගංගා නදියට බැස ස්නානයේ යෙදුනහ. ඉන්දියාවෙන් දිනකට වාර්තාවන නව ආසාදිතයන්ගේ ගණන බ්‍රසීලය පරයා ගියේය.

පූජෝත්සවයේ විශාලත්වය හැකිතරම් අඩු කිරීමට පියවර ගත්තේ ඊට සහභාගී වූ ප්‍රධාන පෙළේ හින්දු පූජකවරයෙකු මරණයට පත්වී සතියකට පසුවය. මෙම ආගමික උත්සවය සංකේතාත්මක සැමරීමක් බවට සීමා කරන ලෙස අගමැති මෝදි ඉල්ලීමක් කළේය.

නමුත් ඒ වන විට සිදුවිය යුතු හානිය සිදුවී හමාරය.

කුම්භ මේලා පූජෝත්සවය සඳහා වන්දනාකරුවන් මිලියන 9.1ක් හරිද්වාර් නගරයට පැමිණි බව උත්සව සංවිධායකයෝ පැවසූහ. දරුණු වසංගතයකින් පෙළෙමින් සිටියදී මෙවැනි දෙයක් සංවිධානය කිරීම හේතුවෙන් තම ප්‍රාන්තය "අවමානයට පාත්‍ර වූ" බව උත්තරාඛාන්ද් මහ අධිකරණය පවසා තිබුණි.

කුම්භ මේලා ආගමික උත්සවය සමඟ පවතින දරුණු අවදානම ආරම්භයේ පටන් ම බරපතල ලෙස සැලකිල්ලට භාජනය වී තිබුණි.

මෙවැනි වැරදි ප්‍රතිපත්ති තීරණ, දුර්වල නිරීක්ෂණ සහ කල්තියා කරන ලද අනතුරු ඇඟවීම් නොතකා හැරීම පිළිබඳව චෝදනා පවතී. මෙම වැරදි නැවත සිදුවන්නේ නම් තුන්වන රැල්ල කඩිනම් වීම වලක්වාලිය නොහැකි බව විශේෂඥ මතයයි.

ප්‍රජා ප්‍රතිපත්ති සහ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රකාන්ත් ලහාරියා පවසන්නේ ඉන්දියාව මේවන විට ඉතා තීරණාත්මක තැනකට පැමිණ ඇති බවයි. තුන්වන රැල්ලේ ඉරණම ප්‍රධාන වශයෙන් ජනතාවගේ හැසිරීම මත තීරණය වනු ඇති බව ඔහු පැවසීය.

රටේ ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම ඉතා වැදගත් බව ඔහු පිළිගනී. නමුත්, "රට විවෘත කිරීම සඳහා අප ඉක්මන් වන්නේ නම් සහ ජනතාව කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් ඉන් සිදුවන්නේ වෛරසය නැවත වේගයෙන් ව්‍යාප්ත වීම සඳහා උදව්වීමක්" බව ඔහු අවධාරණය කරයි.

"කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද සහ නීති ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක විය යුතුයි. යම්කිසි වෙළෙඳපොළක් හෝ ව්‍යාපාරයක් ඒ නීති කඩ කරන්නේ නම් දඬුවම් නියම කළ යුතුයි."

අලුත් ප්‍රභේද තර්ජනයක් වේවිද?

දෙවන රැල්ල ඉන්දියාවට බිහිසුණු විය|දෙවන රැල්ල ඉන්දියාවට බිහිසුණු විය

ඉන්දියාවේ දෙවන රැල්ල දරුණු වීමට වැඩි වශයෙන් බලපෑවේ ඩෙල්ටා ප්‍රභේදයයි. මෙම වෛරසය තවදුරටත් ජනතාව අතර මහා පරිමාණයෙන් ව්‍යාප්තවීමට ඉඩහළහොත් එවැනි තවත් අලුත් ප්‍රභේද මතුවනු ඇති බව විශේෂඥ මතයයි.

'ඩෙල්ටා ප්ලස්' ලෙස නම් කර ඇති නව වෛරස් ප්‍රභේදය පිළිබඳව "දැඩි අවධානයක්" යොමු වී ඇති බව ඉන්දීය රජය නිවේදනය කළේය. නමුත් එමගින් තුන්වැනි රැල්ලක් හටගන්නා බවට සහතික කිරීම සඳහා තවමත් විද්‍යාත්මක සාධක නොමැත. ඒ කෙසේ වෙතත් වත්මන් තත්ත්වය "සති කීපයක් ඇතුළත වෙනස් විය හැකි" බව විශේෂඥයෝ පවසති.

වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පවසන්නේ වෛරසය ව්‍යාප්තවෙමින් පවතින තුරා අලුත් ප්‍රභේදවලින් ඇතිවන තර්ජනය දිගටම පවතින බවය.

"භයානක වෛරස් ප්‍රභේද කල්තියා හඳුනාගැනීමටත් ඒවා මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් පවතින ක්‍රමවේද තව තවත් වැඩිදියුණු කිරීමට අප පියවර ගත යුතුයි."

ජුනි මාසය දක්වා ඉන්දියාව වරින්වර ලබා ගෙන ඇති වෛරස් නියැදි (සාම්පල) ප්‍රමාණය 30,000ක් පමණ වේ. නමුත් විශේෂඥයන් පවසන්නේ මීට වඩා ප්‍රමාණයක් ලබා ගත යුතුව පවතින බවය.

දැනට පවතින එන්නත්, මේ වනතෙක් හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේද සඳහා පමණක් ඵලදායී වන බවක් පෙනෙන්නට ඇති බවත් අලුතින් බිහි වන ප්‍රභේද සඳහා එම එන්නත් වැඩ කරයි ද යන්න පිළිබඳව කිසිදු සහතිකයක් නොමැති බවත් වෛද්‍ය ඒ ෆතාවුදීන් පැවසීය. ඔහු කොවිඩ් රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකි.

එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19| එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19

එමෙන්ම, එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ද කොවිඩ් වැළඳුණු අය එමටය. විශේෂයෙන්ම මෙවැනි අවස්ථා හමුවන්නේ එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා සිටි උදවිය අතරය.

කෙසේ නමුත් දෙවන වතාවට කොවිඩ් 19 වැළඳුණු උදවියට එතරම් බරපතල රෝග ලක්ෂණ මතුවී නොමැති බවට සාධක පළවිය.

දිල්ලි නුවර කොවිඩ් රෝගීන් සඳහා වෙන්වුණු විශාලතම රෝහල වන ලෝක් නායක් ජායි ප්‍රකාශ් නාරායන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන, එන්නත සම්පුර්ණ කරන ලද වෛද්‍යවරුන්ගෙන් 60%කට නැවත කොවිඩ් වැළඳී ඇති නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට රෝහල්ගත වීමට අවශ්‍ය නොවූ බව විශේෂඥ වෛද්‍ය ෆාරා හුසේන් පැවසුවාය.

"ඔවුන්ගේ පවුල්වල, කොවිඩ් 19 වැළඳුණු ඇතැම් සාමාජිකයන්ට රෝහල්ගත වන්නට සිදු වුණා." වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

දිල්ලියේ තවත් රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ, එහි සේවකයන් 113 දෙනෙකුගෙන් 15 දෙනෙකුට එන්නත සම්පුර්ණ කර දෙසතියකට පසුව කොවිඩ් 19 වැළඳී ඇති බවය. ඉන් 14 දෙනෙකුට සුළු රෝග ලක්ෂණ මතු වූ අතර එක් අයෙකුට පමණක් රෝහල්ගත වීමට සිදු වී තිබේ.

නිල වාර්තා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19 වැළඳී ඇති බවය.

නමුත් මෙම දත්ත වාර්තා අසම්පුර්ණ බව පෙනෙන්නට තිබේ. මුල් මාස තුන ඇතුළත සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී, තමන් එන්නත සම්පුර්ණ කර තිබේදැයි යන ප්‍රශ්නය අසා නොමැත.

වෛද්‍ය ෆතාවුදීන් ගේ මතය නම් ඉන්දියාවේ තුන්වැනි රැල්ලක් ඇතිවීම නොවැලක්විය හැකි බවය. නමුත්, "නව වෛරස් ප්‍රභේද ගැන ඇස ගසාගෙන සිටියහොත් සහ ආරක්‍ෂිත ක්‍රමවේද තදින් ක්‍රියාත්මක කළහොත් තුන්වැනි රැල්ල පමා කරගැනීමට හා දරුණු මට්ටමකට පත් වීම වලක්වා ගැනීමට හැකිවනු ඇති" බව ඔහු පවසයි.

"අපි ඒ දේවල් කළේ නැත්නම්, තුන්වැනි රැල්ල අපට හිතා ගන්නවත් බැරි තරමේ වේගයකින් අප අතරට ඒවි."

ප්‍රතිශක්තිය ප්‍රමාණවත් ද?

BBCතුන්වැනි රැල්ලේ ප්‍රතිඵලය තීරණය වන තවත් සාධකයක් වන්නේ ඉන්දියාවේ සමස්ත ජනගහනය සතුව පවතින කොවිඩ් ප්‍රතිශක්තිය කෙතරම් ද යන්නයි. මෙම ප්‍රතිශක්තිය එන්නත් මගින් සහ කොවිඩ් වැළඳීම මගින් ඇතිවේ.

ජුනි මාසයේ 9 වැනිදා සිට 22 වැනිදා දක්වා ඉන්දියාවේ දිනකට එන්නත් මාත්‍රා මිලියන 3.25ක් බැගින් දල වශයෙන් ලබා දී තිබේ.

නමුත් එන්නත ලැබිය යුතු සියලු දෙනාට මේ වසර නිමා වන විට එය ලබා දී නිමකිරීමට නම් දිනකට මාත්‍රා මිලියන 8.5කට වැඩි ප්‍රමාණයක් ලබා දිය යුතු වේ.

මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලැබී ඇත්තේ ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් 4%කට පමණි. පළමු මාත්‍රාව 18%කට ලැබී තිබේ.

එන්නත් වැඩසටහන වේගවත් නොකළහොත් ඉන්දියාවේ මිලියන ගණනක් ජනතාව අනතුරට පත්විය හැකිබව විශේෂඥ වෛද්‍ය ලහාරියා පැවසීය.

ඉන්දියාව මේ වන විට එන්නත් වර්ග තුනක් භාවිත කර තිබේ. කොවිශීල්ඩ්, කොවැක්සින් සහ ස්පුට්නික් V එම එන්නත් වර්ග තුනයි.

ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරින් තුන්වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. එහි නිල සංඛ්‍යා ලේඛනය අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 300,000කට අධික ය. ඊට ඉදිරියෙන් සිටින්නේ එක්සත් ජනපදය සහ බ්‍රසීලය පමණි.

ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩ නැගී ඇති ප්‍රමාණය නිශ්චය කරගැනීම සඳහා ඉන්දියාවේ කෙතරම් ප්‍රමාණයකට කොවිඩ් රෝගය වැළඳී තිබේදැයි සොයා ගැනීම ඉතා අපහසුය.

පිටිසර පලාත්වල ගම්මාන පමණක් නොව නාගරික ජනතාව අතර පවා බොහෝ දෙනෙකුට වෛද්‍ය පරීක්ෂණ ලබා ගැනීමට අවස්ථාවක් නොතිබුණු හෙයින් සත්‍ය වශයෙන් ම රෝගය මේ වන විට වැළඳී ඇති පිරිස ගැන නිසි වාර්තා නොමැත. කොවිඩ් මරණ පවා වාර්තා වූයේ අඩුවෙනි.

Reuters| "ඒ නිසා තුන්වැනි රැල්ලක් ඇතිවීම වලක්වන්න බැහැ"

වෛද්‍ය ලහාරියා ගේ විශ්වාසය නම් ජනගහනයෙන් 55%කට හෝ 60%කට මේ වන විට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබී ඇති බවය.

අශෝක විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෞතම් මේනන් ගේ ඇස්තමේන්තුව අනුව මෙම ප්‍රතිශතය තවත් ඉහළය. ඔහු පවසන්නේ ජනගහනයෙන් 60-70% ක් පමණ මේ වන විට කොවිඩ් 19ට එරෙහි ප්‍රතිශක්තිය ලබා ඇති බව තමන් විශ්වාස කරන බවය. එබැවින් දෙවැනි රැල්ල වැනි අතිශය දරුණු මට්ටමක රැල්ලක් යළි ඇති නොවනු ඇති බව ඔහුගේ මතයයි.

නමුත් ඉන් සතුටට පත් නොවිය යුතු බවට ඔහු අනතුරු අඟවයි.

"ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට දැනටමත් ප්‍රතිශක්තිය ලැබී තිබුණත් එවැන්නක් නොලැබූ පිරිස අඩු තරමින් 20-30%ක් වත් සමාජයේ ඉන්නවා. මේ අය අතර වයෝවෘද්ධ උදවිය වගේම ප්‍රතිශක්තිය දුර්වල උදවියත් ඉන්නවා. ඒ නිසා ආසාදිතයන් වැඩි වීමක් ඇතිවූ වහාම එය ඉතා ඉක්මනින් හඳුනා ගැනීම සඳහා අප පරීක්ෂාකාරීව සිටිය යුතුයි." ඔහු පැවසීය.

රෝගයට ගොදුරු විය හැකි සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ඉන්දියාව තුළ සිටීමත් කොරෝනාවෛරසයේ දරුණු ප්‍රභේද ඇතිවෙමින් පැවතීමත් නිසා මෙම තත්ත්වය සුළුකොට නොතැකිය යුතු බව විශේෂඥයෝ ඒකමතිකව පිළිගනිති.

"ඒ නිසා තුන්වැනි රැල්ලක් ඇතිවීම වලක්වන්න බැහැ. එය පමා කිරීම සහ එහි බලපෑම සීමා කර ගැනීම තියෙන්නේ අපේ අතේමයි." වෛද්‍ය ෆාතාහුදීන් පැවසීය.

"අවුරුද්දක් තිස්සේ මේ රෝගයත් එක්ක යුද්ධයක් කරන සෞඛ්‍ය සේවකයන් ගැනත් පොඩ්ඩක් හිතන්න. අපිට හරිම මහන්සියි. කරුණාකරලා ඔබේ ආරක්‍ෂකයා පහතට දමා සලකන්න එපා. තුන්වැනි රැල්ලකට අපිව ඔරොත්තු දේවිද කියල මටනම් හිතා ගන්න බැහැ." වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.

(BBC/Sandeshaya - දිල්ලි නුවර සිට විකාස් පාන්ඩේ සැපයූ ලිපියක් ඇසුරිනි.)