කොවිඩ්: එන්නත්කරණ විරෝධී උද්ඝෝෂණ නිසා මෙල්බර්න්හි වැඩබිම් වසා දැමෙයි

Melbourne-workers

කොවිඩ්-19ට එරෙහි එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම අලලා ඇරඹි ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයක් හේතුවෙන්, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය මෙල්බර්න් නගරය අවට පිහිටි ඉදිකිරීමේ වැඩබිම් වසා දමා තිබේ.

සඳුදා සිදුවූ මෙම උද්ඝෝෂණයට හේතුවූයේ, සේවාස්ථානයන්ට පිවිසීම සඳහා ඒවායේ කාර්යමණ්ඩල සාමාජිකයින් තමා එන්නත ලබාගත් බවට ඔප්පු කළ යුතුයැ යි ප්‍රකාශයක් නිකුත්වීමත් සමග ය.

ඉදිකිරීම් කම්කරුවන් සහ අනෙකුත් උද්ඝෝෂකයින් එකිනෙකා හා ගැටීමෙන් අනතුරුව, ඇතැම් වැඩබිම් සති දෙකක් දක්වා කාලයක් වසා තබන බව බලධාරීහු ප්‍රකාශ කළෝ ය.

ගැටුම නිසා දේපල හානි සිදුව ඇති අතර, පුද්ගලයින් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

Construction workers clash with industry union members at a protest at Construction, Forestry, Maritime, Mining and Energy Union (CFMEU) headquarters in Melbourne

| එන්නත්කරණය අනිවාර්ය කිරීමට විරෝධය දැක්වූ මෙල්බර්න්හි ඉදිකිරීම් සේවකයින්, එම ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සාමාජිකයින් සමග ගැටුණි

එන්නත්කරණයට විරුද්ධව උද්ඝෝෂණය කිරීම සඳහා සිය ගණනක් දෙනා අද (සැප්. 21) ද මෙල්බර්න් නුවරට රැස්ව සිටියහ. කෘත්‍රිම විලක්කු දැල්වූ ඔවුන් මාධ්‍යවේදීන් වෙත මූත්‍රාවලින් දමා ගැසූ බව වාර්තා වේ.

සඳුදා ඇතිවූ කෝලාහලය මැඩපැවැත්වීමට කැරලි මර්දන ඒකකය යෙදවුණු අතර, පිරිස විසුරුවා හැරීම සඳහා රබර් උණ්ඩත්, ගම්මිරිස් ඉසිනයත් භාවිතකර ඇතැ යි වාර්තා වේ.

Construction workers against mandatory vaccine requirements clashed with industry union members in Melbourne| සඳුදා උද්ඝෝෂකයින් පාලනය කිරීම සඳහා සිය ගණනක් පොලිස් නිලධාරීන් යෙදවිණි

සඳුදා ගැටුම් අතරතුරේ දී ඕස්ට්‍රේලියානු ඉදිකිරීම්, වන සංවර්ධන, පතල් කැණීම්, සහ බලශක්ති වෘත්තීය සංගමයේ (CFMEU) වික්ටෝරියා ප්‍රාන්ත ශාඛා කාර්යාලයයේ ඉදිරිපස වූ වීදුරුව කුඩුකර දමා, ගොඩනැගිල්ල ද විරූපණයකර තිබේ.

ගැටුම් ඇරඹීමට හේතු වී ඇත්තේ, ඉදිකිරීම් කටයුතුවල නියැලෙන කම්කරුවන් සැප්තැම්බර් 23 වන බ්‍රහස්පතින්දා දාට පසු දිගටම රැකියාවේ නිරතවීමට නම්, තමා අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇතැ යි ඔප්පු කිරීම අත්‍යවශ්‍යයැ යි සඳහන් කරමින් නිකුත් වූ නිවේදනයක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රජයේ නියෝගයන්ට පක්‍ෂපාතීත්වය දැක්වීමේ අරමුණින් CFMEU සාමාජිකයින් මෙල්බර්න් කාර්යාලයයට පැමිණ සිටි අතර, තම කාර්යාලයයට එල්ලවූ ප්‍රහාරය "හැකි උපරිමයෙන්" හෙළා දකිනා බවත්, කෝලාහලය ඇරඹුණේ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් විරෝධතාව "රිංගීමෙන්" පසු බවත් එම සංගමය ප්‍රකාශ කළේ ය.

සිය සාමාජිකයින්ගෙන් ඇතැමෙකු ගැටුම් අතරතුරේ දී තුවාල ලැබූ බව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන එම සංගමය, කලහකාරීන් නිලධාරීන් වෙත බෝතල්වලින් දමා ගැසුවේයැ යි ද ප්‍රකාශ කළේ ය.

"ඕස්ට්‍රේලියාව පුරා ආරක්‍ෂිතව සේවය කිරීමට අපගේ සාමාජිකයින්ට ඇති අයිතිය වෙනුවෙන් අප වෘත්තීය සමිතිය තව දුරටත් පෙනී සිටින අතරම, අප තැතිගන්වා අපගේ කාර්යය නවතා දැමිය නොහැකියැ"යි ද එම ප්‍රකාශයේ සඳහන් වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාස්ටර් බිල්ඩර්ස් ඇසෝසියේෂන් යන ඉදිකිරීම් වෘත්තීය සම්මේලනය ෆේස්බුක් පෝස්ටුවක් පළ කරමින් කියා සිටියේ මෙල්බර්න් මහනගර සීමාව, ගීලොං, සර්ෆ් කෝස්ට්, බැලරට්, සහ මිචෙල් ෂයර් යන ප්‍රදේශවල පිහිටි සියලු ගොඩනැගිලි කටයුතු සහ ඉදිකිරීම් වැඩබිම් සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට සිදුවුණු බව යි.

කොවිඩ්-19 පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කිරීම සහ මෙල්බර්න්හි සිදුවූ "කැරලි" යන හේතූන් ද්විත්වයම නිසා එම තීරණය ගනු ලැබූබව එම පෝස්ටුවේ සඳහන් වේ.

ඉදිකිරීම් කටයුතු නවතා දැමීමේ තීරණය සති දෙකකට බල පැවැත්වීමට සැලසුම්කර ඇතත්, ප්‍රාදේශීය පාලන ආයතනයන් විසින් ලොක්ඩවුන් සීමා ඉවත් කළහොත් වැඩබිම් ඊට පෙර විවෘත කළ හැකිබව සම්මේලනය වැඩි දුරටත් ප්‍රකාශකර සිටියි.

Police officers inspect a smashed façade at the Construction, Forestry, Maritime, Mining and Energy Union (CFMEU) headquarters in Melbourne, Victoria, Australia, 20 September 2021| උද්ඝෝෂකයින් පිරිසක් අතින් හානියට පැමිණි CFMEU ගොඩනැගිල්ල ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්

කොවිඩ්-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සාපේක්ෂව අවම මට්ටමේ පවතින රටක් වන ඕස්ට්‍රේලියාව, වෛරසය පාලනය කිරීමේ දී දැක්වූ ප්‍රයත්නය හේතුවෙන් ඇගැයීමට ද ලක්ව ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයයෙන් නිකුත් කෙරුණු නවතම දත්තයන්ට අනුව, මේ වන විට එරටින් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 87 000ක් පමණ වන අතර කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1167කි.

කෙසේ නමුත්, ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් රෝගයේ පැතිරීම වේගවත් වී ඇති මේ අවස්ථාවේ මෙල්බර්න්, සිඩ්නි, සහ කැන්බරා නගරවලින් ද කොවිඩ් පොකුරු කීපයක් මතුවීම නිසා එරට ජනගහණයෙන් හරි අඩක් පමණම මෑතක දී ලොක්ඩවුන් කිරීමට සිදුවිය.

(බීබීසී/සන්දේශය)