කොලොම්බියාවේ ජනාධිපති ලෙස තේරී පත්වූ ගුස්ටාවෝ පෙට්‍රෝ සහ උප ජනාධිපති ලෙස තේරී පත්වූ ෆ්‍රැන්සියා මාකේස්

gustavo-petro

අද ඔහු කොලොම්බියාවේ ජනාධිපති ලෙස තේරී පත්වී සිටියි. නමුත්, ගුස්ටාවෝ පෙට්‍රෝ කොන්ග්‍රස් සභිකයෙකුව සිටිය දී වරක් බොහෝදෙනා තුළ බිය දැනවූ පැරාමිලිටරි ප්‍රධානියා වූ කාලෝස් කස්ටාඤෝ සමග රැස්වීමකට සහභාගී වූයේ ය. ඒ, තමා මරා නොදමන ලෙස කස්ටාඤෝට ඒත්තු ගැන්වීමට ය.

පෙට්‍රෝ ඔහුගේ මතක සටහන්වල මෙසේ ලියයි: "ඔහු සමග ස්ථිර සහ දැඩි ලෙස කතා කරන ලෙස මට පවසා තිබුණි. ඒ මක්නිසාද යත්, ඔහු එසේ කතා කරනා පුද්ගලයන් හමුවේ හැකිළෙන අයෙකු ලෙස ප්‍රකටව තිබීම හේතුවෙනි."

එය 2000 වසර විය. ඊට දස වසරකට පෙර ගරිල්ලා හමුදාවන්ගේ සේවයෙන් නිදහස් කරන ලද පෙට්‍රෝ, ගරිල්ලන්ට එරෙහිව සටන්කළ නීතිවිරෝධී සන්නද්ධ කණ්ඩායම් වන පැරාමිලිටරි හමුදාවලට නීතිපති කාර්යාලය තුළින් සහායක් ලැබෙන බවට විවේචනය කළේ ය. එය ඔහුට මරණ වරෙන්තුවක් උපයා දීමට සමත්විය.

"මම නැවතත් ඔහුට තදින් පිළිතුරු දුන්නා," පෙට්‍රෝ සිහිපත් කරයි. "ඉන් මිනිත්තු කිහිපයකට පසු ඔහු ගොතගසමින්, ඇඹරෙමින් සිටියා."

පැරාමිලිටරි භටයින් ඔහුව ඝාතනය නොකළා පමණක් නොව, පෙට්‍රෝ පවසන පරිදි, රාජ්‍යය සමග සාමය ඇතිකර ගැනීමේ ප්‍රයෝජනය ගැන ද ඔවුනට ඒත්තුගොස් තිබුණි. ඇත්තෙන්ම, වසර පහකට පසුව එසේ සිදුවිය.

Colombia

| කොලොම්බියාවේ ජනාධිපති ලෙස තේරී පත්වූ ගුස්ටාවෝ පෙට්‍රෝ සහ උප ජනාධිපති ලෙස තේරී පත්වූ ෆ්‍රැන්සියා මාකේස්

ඔහුගේ පැරණි මිතුරෙකු සහ සහෝදර සටන්කාමියෙකු වන හොසේ කුවෙස්ටාට අනුව, මෙම සිදුවීම 2022 - 2026 කාලයේ කොලොම්බියාවේ ජනාධිපතිබවට පත්වී සිටින පුද්ගලයා පිළිබඳ හොඳ චිත්‍රයක් ලබාදෙයි: මන්ද, "ප්‍රශ්න විසඳීමට ඇති එකම ක්‍රමය ගවයා අංවලින්ම අල්ලාගැනීම බව ඔහු විශ්වාස කරන නිසා ය."

හැට දෙහැවිරිදි පෙට්‍රෝ කොලොම්බියාවේ දේශපාලන ඉතිහාසයේ පෙරළියක් සිදුකරමින් එරට ප්‍රථම වාමාංශික නායකයා බවට පත්වූයේ ය. ඔහු පවතින ආර්ථික ආකෘතිය විවේචනය කරන්නෙකු සේම, සාම්ප්‍රදායික දේශපාලන පන්තිය විසින් හුදෙකලා කර දමා ඇත්තෙකි.

මිලියන 11.2කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ඔහු එරට ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ජනාධිපතිවරයා බවට පත්වූයේ ය. එය ප්‍රතිශතයක් ලෙස ගත්කල, ඔහුගේ ප්‍රතිවාදියා වූ රොඩොල්ෆෝ හර්නාන්ඩෙස්ගේ ඡන්ද 47.31%ට සාපේක්ෂව 50.44%කි.

ප්‍රචණ්ඩත්වය සහ අසමානතාව පිරි රටක් වන කොලොම්බියාව සාමය හා සමානාත්මතාවය කරා ගෙන යන ගැඹුරු දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පෙට්‍රෝ සිය මැතිවරණ ව්‍යාපාරයේ දී පොරොන්දු වූයේ ය. ඔහු බොහෝවිට පවසන පරිදි ඒ "ජීවිතයේ සහ ආදරයේ මාවතට" ය.

ඉගෙනුමට ලැදි, කැරලිකාර, අන්තර්වර්තික ජනාධිපතිවරයා ගරිල්ලෙකු ලෙස වසර 12ක් ගත කළ අතර, කොන්ග්‍රසයේ දී නිර්භීත විවේචනාත්මක ප්‍රකාශ සිදුකිරීමෙන් සිය දේශපාලන පැතිකඩ ගොඩනඟා ගත්තේ ය.

ඔහුගේ ඒකාධිපති සහ මතභේදකාරී පෞරුෂයට බොහෝ දෙනා බියව සිටියි (තමා ඒකාධිපති ලක්ෂණ ඇත්තෙකු බව ඔහුම පිළිගත්තේ ය). ඒ, ඔහුගේ එම ස්වභාවය, රට තුළ අවුල් ඇති කරන, රට පාලනය අසීරු කරන දේශපාලන ගැටුමක් ජනනය කරනු ඇතැ යි යන අනුමානය නිසාවෙනි. නැතිනම්, හිටපු වෙනිසියුලානු නායක හියුගෝ චාවේස් සමග ඔහුට ඇති මතවාදී සමීපත්වය (ඔහු එය ප්‍රතික්ෂේප කළත්) කොලොම්බියාව තුළ ද අසල්වැසි රටේ මෙන් ආර්ථික අර්බුදයක් නිර්මාණය කරනු ඇති බවට ඇතැමුන් බිය පළකරයි.

කස්ටාඤෝ හමුවීම හිටපු ගරිල්ලෙකුට සියදිවි නසාගැනීමක් හා සමාන වූවක් නමුත් පෙට්‍රෝ එය අවස්ථාවක් බවට පත්කර ගත්තේ ය. "එදා මට දැනුණා ඔහුට මම අනාගතයේ දී ප්‍රයෝජනවත් විය හැකිබව ඔහුට දැනුණු බව," ඔහු පසුව පැරාමිලිටරි භටයින් අත්සන් කළ හමුදාව ආයුධ බිම තැබීම ගැන සිහිපත් කරමින් කියා සිටියේ ය.

සමාජ පෙරළියක් සහ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක, වෙනස සඳහා වූ මෙම ව්‍යාපාරයේ දී පෙට්‍රෝ පෙන්වා සිටියේ "අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම" හා බැඳි එම හැකියාව යි. ඔහු එසේ සිදුකළේ අප්‍රිකානු-ස්ත්‍රීවාදී සමාජ නායිකාවක් සමගිනි. ඇය දැන් උපජනාධිපති ලෙස තේරී පත්ව සිටින ෆ්‍රැන්සියා මාකේස් ය.

"අන් අය අවදානම් දකින තැන, පෙට්‍රෝ දකින්නේ අවස්ථාවන්," දශක ගණනාවක් තිස්සේ ඔහු හඳුනන කුවෙස්ටා පවසයි. "ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවස්ථාවාදියෙක්."

අන්තර්වර්තික කැරලිකරුවා

ගුස්ටාවෝ පෙට්‍රෝ උරෙගෝ උපත ලැබුවේ කැරිබියානු සැවානාවේ ගව පාලනය සහ කපු වගාව සිදුකරන කුඩා නගරයක පහළ මධ්‍යම පාන්තික පවුලකට ය. ඔහුගේ පියා පාසල් ගුරුවරයෙකු වූ අතර මව ජාතිකවාදී පක්ෂයක සාමාජිකාවකි.

සහෝදරයන් තිදෙනෙකුගෙන් වැඩිමලා වන පෙට්‍රෝ විස්තර කෙරෙන්නේ අඳුරු වර්ණවල ඇඳුමින් නිතර සැරසුණු, පොත්පත් කෙරෙහි නැඹුරු වූ ලැජ්ජාශීලී තරුණයෙකු ලෙස ය.

ඔහු මුහුදුබඩ පෙදෙසකින් පැමිණෙන්නෙකු වුවත්, ඔහුගේ චරිතය වඩාත් සමාන වන්නේ බැරෑරුම්, අන්තර්වර්තික, හා අවිශ්වාසවන්ත ගති ලක්ෂණ පෙන්වන අන්දියානු කඳුකරයේ මිනිසුන්ට ය.

Gustavo Petro

එම සංස්කෘතික පරස්පරය ඔහු විසින්ම ඔහුගේ දේශපාලන නැඹුරුවට පවරා ඇති විරුද්ධභාෂයකි: 'ඔහු පැවසුවා 'ස්වභාවයෙන්ම අමිත්‍රශීලී සහ දැඩි' ගතිගුණ ඇති කොලොම්බියානු වාමාංශිකයන්ට 'කැරිබියානු නැඹුරුව' ලබාදී, ඔවුන්ව මඳක් සොලවා දැමිය යුතු බවත්, එවිට තමන්ගේ සමාජය තේරුම් ගැනීමට ඔවුනට හැකි වනු ඇති බවත්," කොලොම්බියානු පුවත් වෙබ් අඩවියක් වන ලා සිලා වසියා වාර්තා කරයි.

ඔහු කුඩා කාලයේ දීම ඔහුගේ දෙමාපියෝ සිපකිරා නගරයේ පදිංචියට පැමිණියෝ ය. එය කොලොම්බියානු අගනුවර වන බොගෝටාවට උතුරින් පිහිටි නගරයකි.

පෙට්‍රෝ අධ්‍යාපනය ලැබුවේ පූජකවරුන් විසින් පවත්වාගෙන ගිය පොදු පාසලක වන අතර, ඔහුගේ ජීවිතයට ඉතා විශාල බලපෑමක් වූ සුප්‍රසිද්ධ ලේඛක ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ද එම පාසලෙන් ඉගෙනුම ලැබූවෙකි.

කැරැලිකරුවෙකු ලෙස පෙට්‍රෝගේ අන්වර්ථ නාමය වූයේ 'ඕරිලියානෝ' ය. ඒ, ගාර්ෂියා මාකේස්ගේ අතිප්‍රසිද්ධ නවකතාව වන "සියක් වසෙක හුදෙකලාව" නවකතාවේ ප්‍රධාන චරිතයක් වන කර්නල්වරයාට ගෞරවයක් වශයෙනි. පෙට්‍රෝ ඔහුගේ සෑම කතාවකම අවසානයේ දී එම නවකතාවේ වැකි උපුටා දක්වයි.

කුතුහලයෙන් පිරි යෞවනයෙකු ලෙස පෙට්‍රෝ වෘත්තීය සමිති රැස්වීම්වලට සහභාගී වූ අතර, වයස අවුරුදු 17 දී නාගරික, ජාතිකවාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා කණ්ඩායමක් වූ 'අප්‍රේල් 19 ව්‍යාපාරය' (M19) හා සම්බන්ධ විය.

ඔහු නිතර බොගෝටා වෙත ගිය අතර, එහිදී ආර්ථික විද්‍යාව හැදෑරීමට එක්ස්ටර්නාඩෝ නම් පුද්ගලික විශ්වවිද්‍යාලයයක ශිෂ්‍යත්වයක් ද හිමිවිය.

1985 දී - M19 යුක්තියේ මාලිගයට කඩා වැදීමට සූදානම් වන විට (මෙය අවම වශයෙන් පුද්ගලයින් 101 දෙනෙකු මියගිය සිදුවීමකි) - පෙට්‍රෝ අත්අඩංගුවට ගෙන හමුදා කඳවුරකට ගෙනයනු ලැබුණි. ඔහුට එහිදී වධ දුන් බව ඔහු පවසයි.

වසර දෙකකට පසු ඔහු නිදහස් කෙරුණු අතර, නැවත අත්අඩංගුවට ගන්නා තෙක්ම රටේ විවිධ ප්‍රදේශවල සටන්කාමී ක්‍රියාවන්හි නිරත විය.

එහෙත්, 1990 දී M19 විසිරුවා හැරුණි. එකල, ඔහු සිපකිරා පිහිටා තිබූ කුන්ඩිනාමාර්කා ප්‍රදේශය නියෝජනය කරමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්ව සිටියෙකි.

ඔහුට ජීවිත තර්ජන එල්ලවූ අතර, වයස අවුරුදු 34 දී ඔහු පළමුවරට රට හැර ගියේ ය.

යුරෝපයේ ගත කළ කාලය

සේවයෙන් මුදවා දමන ලද හිටපු ගරිල්ලා ආරක්ෂා කිරීමේ මාර්ගයක් ලෙස, රජය ඔහුට බෙල්ජියම් තානාපති කාර්යාලයේ කුඩා තනතුරක් ලබාදුන්නේ ය.

පෙට්‍රෝ යුරෝපයේ ගතකළ වසර හතර ඔහුගේ දේශපාලන පැතිකඩ ගොඩනැගීමට විශාල වශයෙන් දායකවිය. එහිදී ඔහු සංවර්ධිත ලෝකය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සහ කොලොම්බියාවේ ද තිබිය යුතුයැ යි ඔහු විශ්වාස කරනා දැනුම පදනම් වූ සමාජය දැන හඳුනා ගත්තේ ය.

එහිදී ඔහු සමාජ සාධාරණත්වයට පසු ඔහුගේ අවධානයට ලක්වූ ප්‍රධාන මාතෘකාව වන පරිසරය ද අධ්‍යයනය කළේ ය. දේශගුණ විපර්යාසයට දායක නොවීමක් ලෙස වසර 30ක් තිස්සේ තමා මෝටර් රථයක් ධාවනය නොකළ බව ඔහු ඔහුගේ මතක සටහන්වල දක්වයි.

පෙට්‍රෝ ඔහුගේ ඉහළ ආත්ම මානය ද සඟවන්නේ නැත. "මිනිසුන්ගේ සුළඟ මාව එක තැනක සිට තවත් තැනකට ගෙන ගියා, ඔවුන් මාව යෝධයෙකු බවට පත්කළා," ඔහු සිය පොතේ විස්තර කරයි.

Gustavo Petro

ඔවුන් ඔහු "අහංකාර", "සමාජයේ ඉහළට නැගුමට උත්සාහ දරන", "ගැලවුම්කරුවෙකු" ලෙස හඳුන්වන්නේ "ඔහු ජනතාවගේ ගැලවුම්කරුවෙකු බව ඔහු විශ්වාස කරන නිසාවෙනි."

වම ඔහුගේ බුද්ධිමය උඩඟුබව, කළමනාකරණ ඒකාධිපතිත්වය, සංකල්පමය මුරණ්ඩුකම, සහ ධ්‍රැවීකරණ කතිකාව විවේචනය කරයි. දකුණ රට සඳහා ඔහුගේ වන ආර්ථික දැක්ම, චාවේස් වැනි චරිතවලට ඔහුගේ සමීපත්වය, සහ ඔහුගේ ගරිල්ලා අතීතය ගැන අප්‍රසාදය පළ කරයි.

ආයතන-විරෝධී දේශපාලකයෙක්

1998 දී පෙට්‍රෝ නැවත කොලොම්බියාවට යන තර, යළිත් වරක් කුණ්ඩිනාමාර්කාහි නියෝජිතයෙකු ලෙස තේරී පත්විය.

"කොලොම්බියාවේ වඩාත්ම දක්ෂ කොන්ග්‍රස් සභිකයෙකු ලෙස සැලකෙන අයෙකුගේ වෘත්තිය සැබවින්ම ආරම්භ වූයේ එලෙසිනි," ලා සිලා වසියා ලියයි.

Gustavo Petro

 

පෙට්‍රෝ සහ ඔහුගේ පාර්ලිමේන්තු කණ්ඩායම, 2002-2010 කාලයේ පැවති ඇල්වාරෝ උරිබේ රජය යටතේ සිදුවූ බරපතල ලෙස අපකීර්තිසහගත සිදුවීම් හෙළා දුටුවේ ය. ඒ අතර, දේශපාලඥයින් සහ පැරාමිලිටරිවරුන් අතර සම්බන්ධය සහ සන්නද්ධ හමුදාවන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ආදිය විය.

කොලොම්බියාව පාලනය කරන "මාෆියා තන්ත්‍රයක්" ගැන පවසන පෙට්‍රෝ, "විවාද මගේ ජීවිතයේ කාර්යයක් බවට පත්ව ඇතැ"යි ඔහුගේ කෘතියේ සටහන් කරයි.

2011 දී, පෙට්‍රෝ බොගෝටාහි නගරාධිපති සඳහා වූ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ය. එය රටේ දෙවැනි වැදගත්ම තනතුර වන සේම, බොහෝ ජනාධිපති අපේක්ෂකයින් සඳහා වේදිකාව ද විය.

බොහෝදෙනා ඔහු අපකීර්තියට පත් කිරීමට යොදාගන්නේ ඔහුගේ නගරාධිපතිධුර කාලය යි. ඔහු මාධ්‍ය සමග, නියාමන ආයතන සමග, ජනාධිපතිධුරය සමග, වීදි වෙළෙඳුන් සමග මෙන්ම ගොන්පොරලෝලීන් සමග ද සටන් වැදුනේ ය.

නමුත් ඔහුගේ ලොකුම ආරවුල වූයේ නගරයේ කසළ බැහැර කිරීම මෙහෙයවූ ව්‍යවසායකයින් සමග ය. ඔවුන්ගේ ව්‍යාපාරය ඉවත්කර එය රජයේ සේවයක් බවට පත් කිරීමට ඔහුට අවශ්‍යවිය. මෙම ප්‍රතිසංස්කරණය, විශාල නගරයක කසළ එකතු කිරීමකින් තොරව දින ගණනාවක් ගතවීමට මෙන්ම, ඔහුගේ ධුරය අහිමිවීමට ද හේතු විය.

එවිට ඔහු තමාට එරෙහි කුමන්ත්‍රණයක් සිදුවී ඇතැ යි කියමින් මෙගාෆෝනයක් අතැතිව පාරට බැස්සේ ය. අන්තර්-ඇමරිකානු මානව හිමිකම් උසාවියෙන් ඔහුට පක්ෂව තීන්දුවක් ලැබීමත් සමග, දින 35කට පසු නැවතත් ඔහු සේවයේ පිහිටුවනු ලැබිණි.

"ඔහුගේ උපායමාර්ගය වූයේ තත්ත්වය ඔහුට වාසිදායකකර ගැනීම යි," ලා සිලා වසියා පවසයි. "ඔහු තමා විසින් උපුටාදමනු ඇතැ යි පොරොන්දු දී බියපත් කළ සමාජ පද්ධතියෙන් පීඩාවට පත්කරන ලද අපේක්ෂකයෙකුගේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම ආරම්භ කළේ ය."

අගනුවරවැසියන් ඔහුට දැක්වූ පක්ෂතාව ඕනෑම අවස්ථාවක 60%ට වඩා වැඩි අගයක් ගත්තේ ය. ඔහු 2018 දී අයිවන් ඩුක් ජනාධිපති ලෙස තේරී පත්වූ විට එහි ජයග්‍රහණය කළ අතර, දැන් නැවතත් එය දිනා තිබේ.

නගරාධිපති ලෙස ඔහුගේ කාලය ජයග්‍රහණයන් ද ලබා තිබේ: එකල මිනීමැරුම් සහ දරිද්‍රතාව පහත වැටුණි. මිලියන සංඛ්‍යාත ජනතාවකට ජලය සඳහා ප්‍රවේශය ලැබුණි. නිවාස සහ වෛද්‍ය ආධාර වැඩසටහන් ශක්තිමත් කෙරුණි. තමන්ගේ ධුරකාලයේ දී, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා පුනරුත්ථාපන සැලසුම්, පාරිසරික අවධානයක් ඇති නගර සංවර්ධන ආකෘති, පාසල්, සහ දුප්පතුන් සඳහා නිවාස නිර්මාණය ආදිය සිදුකළ බවට ඔහු පුරසාරම් දොඩවයි.

නමුත් ඔහු නගරාධිපති ලෙස කටයුතු කළ කාලය බොහෝදෙනාගේ මතකයේ රැඳී ඇත්තේ දේශපාලන අවුල් ජාලයක් ලෙසත්, තම ජාතික පැතිකඩ එළිදැක්වීමට ඔහු ප්‍රයෝජනයට ගත් කාලයක් ලෙසත් ය. ඔවුන් විශ්වාස කරන්නේ නගරයේ ගමනාගමනය සහ නාගරික සංවර්ධනය මේ කාලයේ නරක අතට හැරුණු බව යි. එමෙන්ම පාසල් සහ ළදරු පාසල් ඉදිකිරීම වැනි ඔහු ලබාදුන් බොහෝ පොරොන්දු ඉටු නොවූබව ද ඔවුන් පවසයි.

පෙට්‍රෝ නගරාධිපති කාර්යාලයෙන් පිටව ගියේ දුසිම් ගණනක් නඩු සහ දඩ සමගිනි. ඔහුට අනුව මේ කාලය ඔහු බංකොලොත්භාවයට ඇද දැම්මේ ය.

"ඔහු මිනිසුන් ආදර්ශයක් දෙන, ආකර්ෂණය කර ගන්නා පුද්ගලයෙකි; මන්ද ඔහු නිර්භීත, ධෛර්යසම්පන්න, සහ තමා විනාශයේ හෙළාගන්නා අන්දමේ ප්‍රවේශයන් දක්වන පුද්ගලයෙකු බැවිනි," ඔහු නගරාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට සමීප දේශපාලනඥයෙකු වූ කාර්ලෝස් විසෙන්ටි ඩි රූ පවසයි.

"නමුත් එය ඔහුගේ කළමනාකරණ හැකියාවට බලපායි. මක්නිසාද යත්, ඔහු පවත්නා සමාජ පද්ධති සහ සම්මුතීන් බිඳදැමීම කෙරෙහි දක්වන සැළකිල්ල, ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දක්වන සැළකිල්ලට වඩා ඉහළ බැවිනි."

Gustavo Petro with Juan Manuel Santos and Antanas Mockus

| ගුස්ටාවෝ පෙට්‍රෝ, හිටපු කොලොම්බියානු ජනපති හුවාන් මැනුවෙල් සැන්ටෝස් සමග

"ඔහුට බලය පිළිබඳව උමතුවක් ද වේ. මන්ද ඔහු ස්පර්ශ කරන සෑම දෙයක්ම - ඒ වරදකරුබව තහවුරු වූ අපරාධකරුවෙකු වේවා, නරක අදහසක් වේවා - ඔහු සම්බන්ධ වූ පමණින් නරකින් මිදෙන බව ඔහු විශ්වාස කරයි" ඩි රූ පවසයි.

2015 දී ඔහු නගරාධිපති කාර්යාලයෙන් ඉවත්වූ දා සිට, පෙට්‍රෝ ජනපතිවීමට කැපවී ක්‍රියා කළේ ය.

ඔහු මුලින්ම අපේක්ෂකයෙකු වූයේ 2010 දී නමුත්, 2018 සහ 2022 දී දශක ගණනාවක් රට පාලනය කළ අයගේ ප්‍රතිවිරෝධියා ලෙස තම ස්ථාවරය තහවුරු කර ගත්තේ ය.

'රාජ්‍ය නිලධාරියෙකු' ලෙස ගොඩනැගීම

2018 දී, කොලොම්බියාව වාමාංශික FARC කැරලිකරුවන් සමග සංකීර්ණ සාම ක්‍රියාවලියක් සිදුකළ අතර, එය සමාජය දෙකඩකර ගරිල්ලන් කෙරෙහි කෝපය නැවත උත්සන්න කළේ ය.

අසල්වැසි වෙනිසියුලාවේ මානුෂීය අර්බුදය උග්‍රවෙමින් පවතින අවස්ථාවක, හියුගෝ චාවේස්ගේ හිටපු ගරිල්ලා මිතුරෙකු ජනාධිපති කර ගැනීමේ අදහසට ප්‍රමාණවත් අනුගාමික ප්‍රසාදයක් හිමිවූයේ නැත. අනතුරුව ඉවාන් ඩුක් දෙවන වටයේ දී පෙට්‍රෝ ලකුණු දහයකින් පරාජය කළේ ය.

නමුත් පසුගිය වසර හතර තුළ රට වෙනස් වූ අතර, පෙට්‍රෝ ද වෙනස් විය.

Gustavo Petro and Francia Márquez

| පෙට්‍රෝ, සහ උපජනාධිපති ලෙස තේරී පත්වූ මාකේස්

කොලොම්බියාව මෑතක දී වෙනසක් ඉල්ලා සිටින සමාජ නැගීසිටීම් රැසකට මුහුණ දුන්නේ ය. වසංගතය එරට අසමානතාව සහ දරිද්‍රතාව උග්‍රකර දැමිය.

පෙට්‍රෝ සබඳතා ගොඩනැගීමටත්, සම්ප්‍රදායික දේශපාලඥයන් සමග මිත්‍රවීමටත්, දේපළ අල්ලා නොගන්නා බවට දිවුරුම්දීමටත්, හිඟය හෝ උද්ධමනය වැඩි නොකරන බවට පොරොන්දුවීමටත් කැපවිය. තම රජය තුළ විපක්ෂය පීඩාවට පත්නොවන බව පැවසූ ඔහු, කොලොම්බියාව මීළඟ වෙනිසියුලාව බවට පත්කළ හැකි වාමාංශිකයා යන ප්‍රතිරූපයෙන් ඈත්වීමට උත්සාහ කළේ ය.

ගැටුම් සඳහා ප්‍රසිද්ධව සිටි හිටපු ගරිල්ලා සටන්කාමියා, වඩාත් ඉවසිලිවන්ත, නම්‍යශීලි දේශපාලඥයෙකු බවට පත්විය.

ඔහු බලයට ගෙන ආ සභාගය වන ඓතිහාසික ගිවිසුමක් පිළිබඳ ඔහුගේ අදහස, කස්ටාඤෝ සමග ඔහුගේ රැස්වීමේ මතය හා සමපාත වේ. ඒ, සෑම කෙනෙකුම සිහින දකින සාමය සාක්ෂාත්කර ගැනීම සඳහා විවිධ පාර්ශවයන් අතර සම්මුතියක් ඇති කිරීම යි.

නමුත් ඔහුට එරෙහි සමාජ පද්ධතියේ බලය, සහ ගැටුමට ලැදි පෞරුෂය සමග ඊළඟට ඔහු මුහුණ දෙන්නේ වඩාත් අභියෝගාත්මක කාලයකට වනු ඇත.

(bbc/sandeshaya)