උද්ධමනයට පිළියමක් ලෙස වැටුප් වැඩි කිරීමේ සූදානමක්

උද්ධමනයට පිළියමක් ලෙස වැටුප් වැඩි කිරීමේ සූදානමක්
තම රටේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති පසුබිමක අවම වැටුප්වලට අදාළ සංශෝධන සම්බන්ධයෙන් සලකා බැලීමට ඉන්දුනීසියා රජය සූදානම් වන  බවට විදෙස් මාධ්‍ය පවසයි.
 
 මේ වනවිට එරට උද්ධමනය 2015 වසරෙන් පසු ඉහළම අගයට ළඟා වී ඇති අතර මේ ආකාරයෙන් උද්ධමනය ඉහළ යාමට වැඩි වශයෙන්ම බලපා ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමය. 
 
මේ මස මුලදී ඉන්ධන මිල සියයට 30කින් පමණ වැඩි කිරීමට ජනාධිපති ජෝකෝ විදෝදෝගේ රජය පියවර ගත් අතර එරට ඉන්ධන සහනාධාර වෙනුවෙන් රජය දරන වියදම අඩු කිරීම එහි අරමුණ වූ බැව් සඳහන්ය.
 
ඉන්ධන මිල මේ ආකාරයෙන් වැඩි කිරීමත් සමග ජනතාව ඊට එරෙහිව විරෝධතා දැක්වීමට පටන් ගත් අතර මෙම විරෝධතාවල පෙරමුණේ සිටියේ වෘත්තිය සමිති සහ ශිෂ්‍ය සංවිධානයන්ය. 
 
මිල ගණන් ඉහළ යද්දී ජනතාවගේ ආදායම් එක තැන පල් වෙමින් තිබීම ගැන ඔවුහු පෙන්වා දුන් අතර එරට ක්‍රියාත්මක වන රැකියා නීති සම්බන්ධයෙන් ද මෙම පාර්ශ්වවල විරෝධය එල්ල විය. මෙම නීති හාම්පුතුන්ට වාසිදායක ආකාරයෙන් සකස් වී ඇති බව ඔවුන්ගේ ප්‍රමුඛතම චෝදනාව විය.
 
ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පසුගිය දා වෘත්තිය සමිති සහ ශිෂ්‍ය නියෝජිතයන් හමු වී ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කර තිබිණි. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ දී භාවිත කරන සූත්‍රය සංශෝධනය කිරීමටද, එහිදී අවධානය යොමුවී තිබේ.