දි අයිරිෂ් ලයිට්: එන්නතකින් පුතු මිය ගිය බවට අසත්‍ය තොරතුරු වාර්තා කළ පුවත්පතක් මව හිංසනයට ලක් කරයි

දි අයිරිෂ් ලයිට්: එන්නතකින් පුතු මිය ගිය බවට අසත්‍ය තොරතුරු වාර්තා කළ පුවත්පතක් මව හිංසනයට ලක් කරයි

තම පුතු කොවිඩ් එන්නතකින් මිය ගිය බවට ව්‍යාජ තොරතුරු පළ කළ කුමන්ත්‍රණ න්‍යායන් පළ කරන පුවත්පතකට එරෙහිව නඩු පැවරූ ශෝකයට පත් මවක සහ ඇගේ නීතිඥවරයා දැඩි හිංසන ක්‍රියාවලියක ඉලක්කයක් බවට පත්ව තිබේ.

දි අයිරිෂ් ලයිට් විසින් එඩෙල් කැම්බල්ව ඔන්ලයින් හරහා දිගින් දිගට ම හිංසනයට ලක් කර ඇති අතර එහි ආධාරකරුවන් ඇයගේ නීතිඥවරයාට "මරණීය" තර්ජන එල්ල කර ඇත.

ලොව පුරා සිටින කුමන්ත්‍රණ න්‍යායවාදීන් එන්නත් පිළිබඳව සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා ඛේදජනක මරණ සම්බන්ධ සිදුවීම් රැසක් භාවිත කර ඇත.

මෙය එවැනි අයෙකුගේ ඥාතියෙකු විසින් නඩු පවරනු ලැබ ඇති පළමු අවස්ථාව ලෙස සැලකේ.

මරණ සඳහා වගකිව යුත්තේ "පරීක්‍ෂා නොකළ සහ භයානක" කොවිඩ් එන්නත බවට සඳහන් කරමින් දි අයිරිෂ් ලයිට් පුවත්පත පසුගිය වසරේ පළ කළ ලිපියක කැම්බල්ගේ පුතු වූ ඩියේගෝ ගිල්සෙනන් සහ තවත් 41 දෙනෙකුගේ නම් ඇතුළත් විය. සත්‍ය වශයෙන් ම, බීබීසීයට දැන ගන්නට ලැබුණේ, 2021 වසරේ අගෝස්තු මස, 18 හැවිරිදි වියේ පසු වූ ඩියේගෝ සියදිවි නසාගෙන ඇති බව ත් එන්නත ලබාගෙන නොතිබුණු බව ත් ය.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව සිදු වන මෙම හිංසන ක්‍රියාවලිය "කම්පනයක් මිස අන් කිසිවක් නොවන" බව ත් එය අගතියට පත් වූ අනෙක් පිරිස්වල ඥාතීන් පියවරක් නොගැනීමට හේතුව කුමක් ද යන වග පැහැදිලි කරන බව ත් කැම්බල් මහත්මියගේ නීතිඥ කිරන් මොහාලන්ඩ් බීබීසී රේඩියෝ 4හි Marianna in Conspiracyland පොඩ්කාස්ට් වැඩසටහන වෙත පැවසීය.

"එඩෙල් කැම්බල්ට එල්ල වෙන ප්‍රහාර දුටු බොහෝ අය නීතිඥවරයෙකු වෙත යන්න හිතා ගන්න බැරි තරම් පසුබට වුණේ ඇයි ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්," ඔහු පැවසීය.

කැම්බල් මහත්මිය බීබීසීය වෙත පැවසුවේ, දි අයිරිෂ් ලයිට් "මගේ ජීවිතය අපායක් බවට පත් කළ" බව ත් ඇය දැන් අදහස් පළ කිරීමට බියෙන් පසුවන බව ත් ය.

ඇගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ලිපිය සඳහා කැම්බල්ගේ හෝ ඇගේ පුතුගේ ඡායාරූප භාවිත නොකිරීමට බීබීසීය එකඟතාව පළ කර තිබේ.

"මහා බොරු, "මානසික වශයෙන් අස්ථාවර" බව සහ "දැවැන්ත වංචාවකට" සම්බන්ධ බවට කැම්බල්ට චෝදනා කරමින් සති කිහිපයක් පුරා දිගින් දිගට ම සමාජ මාධ්‍ය තුළ දි අයිරිෂ් ලයිට් සහ එහි කර්තෘ ජෙමා ඕ'ඩොහටි පෝස්ට් පළ කර ඇත. කැම්බල් සියදිවි නසා ගැනීමට උත්සහයක යෙදෙන බවට ද සඳහන් වී ඇත.

මොහාලන්ඩ්ට අනුව, දි අයිරිෂ් ලයිට් වෙත සහය දක්වන පුද්ගලයින් තමාව මරාදමන බවට හෝ වෙඩි තබන බවට මෙන් ම නිර්නාමිකව තම කාර්යාලය අමතා අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට තර්ජනය කර තිබේ.

"හදිසි මරණයක්" යන ශීර්ෂ පාඨය යටතේ පුවත්පතේ මුල් පිටුවේ තම පුත්‍රයා වන ඩියේගෝ ගිල්සෙනන්ගේ සහ තවත් අයගේ ඡායාරූපයක් පළ කිරීමෙන් පසු, කැම්බල් සහ ඇගේ නීතිඥවරයා, ඕ'ඩොහර්ටිට එරෙහිව අපහාසත්මක හිරිහැර කිරීම සම්බන්ධයෙන් සිවිල් නඩුවක් ගොනු කිරීමට තීරණය කළහ.

කොවිඩ්-19 එන්නතට සම්බන්ධ තරුණයින්ගේ අනපේක්ෂිත මරණ පිළිබඳව වක්‍රාකාරව පැවසීමට කුමන්ත්‍රණ න්‍යායට සම්බන්ධ ක්‍රියාකාරීන් විසින් මෙම ශීර්ෂ පාඨය සමාජ මාධ්‍ය හරහා බහුලව භාවිත කරනු ලැබ ඇත.

කැම්බල්ගේ පුතු පිළිබඳව පළ වූ ලිපියේ, දි අයිරිෂ් ලයිට් කියා සිටින්නේ, තම ආයතනය මෙම "අභිරහස් මරණ" ගැන ප්‍රශ්න නොකරන්නේ, "එය කුමක්දැයි ඔවුන් හරියට ම දන්නා බැවිනි: එනම්, "එය අයර්ලන්ත ජනතාවට ලබා ගැනීමට බල කළ පරීක්‍ෂා නොකළ සහ භයානක එන්නතක් බව" සඳහන් කරමිනි.

Portrait of Ciaran Mulholland in his office being interviewed by the BBC

| කිරන් මොහාලන්ඩ්, කැම්බල්ගේ නීතිඥවරයා පැවසුවේ, ඇයට එල්ල වූ හිංසාකාරී ප්‍රතිචාර මට්ටම කොතෙක් ද යත් එය අනෙක් අයද හඬක් නැඟීමෙන් වැළැක්වූවා විය හැකි බව ය

කොවිඩ් එන්නත් හේතුවෙන් මරණ සිදුවීම අතිශයින් දුර්ලභ ය. එක්සත් රාජධානියේ සංඛ්‍යාලේඛනවලට අනුව, අවම වශයෙන් එක් මාත්‍රාවක් ලබා ඇති මිලියන 50කට වැඩි පුද්ගලයින් අතරින්, එන්නත මූලික හේතුව ලෙස දක්වා ඇති මරණ වාර්තා වී ඇත්තේ 55කි.

දි අයිරිෂ් ලයිට් විසින් පළ කරන ලද ලිපිවල සඳහන් තව ත් සමහර යෞවනයන් අතර, එක් අයෙකු පිහිනුම් තටාක අනතුරකින් ද, තවත් අයෙකු හිසේ තුවාලයකින් ද, තෙවැන්නා මෙනින්ජයිටිස් රෝගයෙන් ද මිය ගිය බවට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහන් කර ඇත.

මොහාලන්ඩ් පැවසුවේ, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණ "පළිගැනීම" හෝ වන්දි ලබා ගැනීම නොවන බව ය. "එඩෙල් කැම්බල්ට අවශ්‍ය වුණේ, ඩියේගෝගේ සහ ඇගේ මුළු පවුලේ ම ගෞරවය ආරක්ෂා කර ගැනීම පමණ යි," ඔහු පැවසීය.

කැම්බල්ගේ නඩු කටයුත්ත සඳහා අරමුදල් සැපයෙන්නේ පරිත්‍යාග මගින් සහ ඇයගේ නීතීඥවරයා සිය සේවය මුදල් අය කිරීමකින් තොරව ලබා දීම හරහා ය.

ඩියේගෝ ගිල්සෙනන්ගේ ඡායාරූප ඉවත් කරන ලෙස ජෙමා ඕ'ඩොහටිගෙන් කිහිප වතාවකදී කළ ඉල්ලීම් අසාර්ථක වීමෙන් පසුව සහ ඔන්ලයින් ඔස්සේ එල්ල වූ හිංසනවල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ඔහු බීබීසීයට පැවසීය.

කැම්බල් සම්බන්ධ කර ගැනීම සහ අනුමැතියකින් තොරව ඇගේ පුත්‍රයාගේ ඡායාරූපයක් ඕනෑ ම කටයුත්තක් සඳහා භාවිත කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම තහනම් කරමින් ජූලි මාසයේදී, ඩබ්ලින්හි මහාධිකරණය දි අයිරිෂ් ලයිට්හි කර්තෘවරියට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

තමන් විසින් ක්‍රියාත්මක කරනු ලබන බවට ජෙමා ඕ'ඩොහටි පිළිගනු ලැබ ඇති, මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ එක්ස්හි ඇති, දි අයිරිෂ් ලයිට්හි ගිණුම ඇතුළු සමාජ මාධ්‍යවල කැම්බල් පිළිබඳ අපවාදාත්මක කරුණු අඩංගු පළ කිරීම් අඛණ්ඩව සිදු විය.

කැම්බල් මෙම හිරිහැර කිරීම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි කර ඇති නමුත් මොහාලන්ඩ් පවසන්නේ, ඔවුන් තවමත් ජෙමා ඕ'ඩොහටි සම්බන්ධ කර ගෙන හෝ ප්‍රශ්න කර නොමැති බව ය.

BBC Verify logo

අයර්ලන්ත ජනරජයේ ජාතික පොලිස් සේවය වන ගාර්ඩා ෂිචෝනා බීබීසීයට පැවසුවේ, එය "නම් කරන ලද පුද්ගලයන් පිළිබඳව අදහස් දැක්වීමට" හෝ " දැනට ක්‍රියාත්මක විමර්ශනයක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන" බව ය. අයර්ලන්තයේ "වයඹ ප්‍රදේශයේ පුද්ගලයෙකුට සිදු වූ බව කියන හිරිහැර සම්බන්ධයෙන් ක්‍රියාකාරීව විමර්ශනය කරන" බව අයර්ලන්ත පොලීසිය අනාවරණය කළේය.

අදහස් දැක්වීම සඳහා බීබීසීය කළ ඉල්ලීමට ඕ'ඩොහර්ටි සහ සෙසු පිරිස ප්‍රතිචාර දක්වා නැත. කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල දි අයිරිෂ් ලයිට් පුවත්පත පවසන්නේ BBC විසින් ඕ'ඩොහර්ටි "එන්නත් ජන සංහාරය ගැන හෙළිදරව් කළ" නිසා "චරිත ඝාතනයක්" කරනු ඇති බවයි.

An image gallery of recent front pages from the Irish Light, including the "Died Suddenly" front page was the photos blacked out and banners reading "censored by media".

| දි අයිරිෂ් ලයිට් විසින් මෑතකදී පළ කරන ලද මුල් පිටු ඇතුළත් ගැලරියේ ඩියේගෝගේ ලිපිය තහනම් නියෝගයකින් පසුව "වාරණය කරන ලද" ලෙස සඳහන් කර ප්‍රදර්ශනය කෙරෙන අයුරු

ඔන්ලයින් පෝස්ට්වලදී, ඕ'ඩොහටි විසින් එඩෙල් කැම්බල්ට හිරිහැර කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබ අතර ඇයගේ පුතුගේ මරණය යම් ආකාරයකින් අද්භූතජනක හෝ අබිරහස් බවට හැඟෙන අදහස් අඛණ්ඩව පළ කරයි.

දි අයිරිෂ් ලයිට් යනු, කර්තෘත්වයෙන් එකිනෙකට ස්වාධීන වුව ද එක්සත් රාජධානියේ ද ලයිට් පුවත්පතේ සහෝදර පුවත්පතකි. දේශපාලනඥයන්ට සහ වෛද්‍යවරුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස එක්සත් රාජධානියේ මෙම පුවත්පත ඉල්ලා ඇති බව බීබීසීය මීට පෙර අනාවරණය කළේ ය. එයට බ්‍රිතාන්‍ය උග්‍ර දක්ෂිණාංශික මතවාද දරන දේශපාලන කණ්ඩායම් සමග සම්බන්ධකම් ඇති අතර අසාර්ථක කුමන්ත්‍රණ උත්සහයකට සම්බන්ධ ජර්මානු මාධ්‍ය ආයතයනක් සමග ද සම්බන්ධතා පවතියි.

හානිදායක නොවන විශේෂාංග මෙන් ම, දි අයිරිෂ් ලයිට් විසින් කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කෙරෙන පුවත් පළ කරනු ලැබ තිබේ. "එන්නතෙන් ජීවිත හානි වන බව ෆයිසර් සමාගම දැන සිටියා, "ජලයට ෆ්ලෝරයිඩ් එකතු කිරීම අයර්ලන්ත වැසියන්ගේ බුද්ධිය හීන කරයි, "මිනිසා විසින් නිර්මාණය කරන ලද කාලගුණික විපර්යාස වංචාවක් වන්නේ ඇයි,"අයර්ලන්ත වැසියන් අයර්ලන්තය තුළ සුළු ජාතියක් බවට පත්වීමේ අවදානමක," යන පුවත් ඒ අතර වෙයි.

එන්නත් මරණයක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුල් වරට නඩු පවරන ලද්දේ කැම්බල් විසින් යැයි සැලකෙන අතර, මෙම නඩුව කුමන්ත්‍රණ න්‍යායවාදීන්ගේ ගොදුරු බවට පත් වූ අනෙකුත් වින්දිතයින්ගේ සිදුවීම් සම්බන්ධ සමානකම් ද ගෙන හැර දක්වයි.

මැන්චෙස්ටර් අරීනා බෝම්බයෙන් දිවි ගලවා ගත් පිරිස එම ප්‍රහාරය ව්‍යාජ එකක් බවට වන ප්‍රකාශවලට එරෙහිව නඩු පවරා ඇති අතර සැන්ඩි හුක් සමූහ වෙඩි තැබීමට ගොදුරු වූවන්ගේ දෙමාපියෝ ඉන්ෆොවොර්ස් වෙබ් අඩවියේ ඉදිරිපත් කරන්නෙකු වන ඇලෙක්ස් ජෝන්ස්ට එරෙහිව පැවරූ නඩුවකදී සුවිශේෂී තීන්දුවක් ද ලබා ගත්හ.

(bbc/sandeshaya)