ලොව පුරා රටවල සංක්‍රමණ විරෝධී විරෝධතා රැල්ලක් ඇති වූයේ ඇයි?: ශ්‍රී ලාංකිකයින්ට මුහුණ පෑමට සිදුව ඇති බලපෑම් මොනවා ද?

වඩා හොඳ ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් සංවර්ධිත රටක පදිංචියට යාම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ ජනතාවගේ අභිලාෂය බවට පත්ව තිබුණේ, මෑතක සිට නොවේ.
වීසා සහිතව නීත්‍යනුකූල ක්‍රමයට හෝ වීසා රහිතව හොර පාරෙන් එම රටවලට යාමට ජනතාව උත්සහ කරන්නේ, එකී අභිලාෂය නිසා ය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සිදුවුණු දරුණු කඩා වැටීමත් සමග ජීවත් වීමට වඩා හොඳ මගක් සෙවූ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ එක ම අරමුණ වූයේ ද රට හැර යාම ය.
මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් අනාවරණ වූයේ 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25කට අධික පිරිසක් විවිධ හේතු මත රට හැර ගොස් ඇති බව ය. ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව එවකට පැවසීය.
කෙසේ වෙතත්, වර්තමානයේ ලොව රටවල් කිහිපයක ම ක්‍රියාත්මක වෙමින් පවතින සංක්‍රමණ විරෝධී විරෝධතා හේතුවෙන් තවදුරටත් ලාංකිකයින්ට "ගුණාත්මක ජීවිතයක් සඳහා" රට හැර යාමේ අවකාශය පවතින්නේ ද යන ගැටලුව දැන් පැන නැගී තිබේ.
මෙම තත්ත්වය ලාංකිකයින්ට පමණක් නොව, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි දකුණු ආසියාතික රටවල විදෙස්ගත වීමේ අපේක්ෂාවෙන් පසුවන්නට පොදු ගැටලුවක් බවට පත්ව ඇත.
එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, පෝලන්තය සහ ජපානය ආදී රටවල ක්‍රියාත්මක සංක්‍රමණ විරෝධී විරෝධතාවල පොදුවේ නිරීක්ෂණය වුණු සටන් පාඨයක් වූයේ, "end mass immigration" යන්න ය. එහි දල සිංහල පරිවර්තනය මෙසේ ය: "මහා පරිමාණයෙන් සිදු කරන සංක්‍රමණ නතර කරනු," යන්න ය.
දශක ගණනාවක් පුරා සිදු වූ සංක්‍රමණවලට එරෙහිව වර්තමානයේ මෙවැනි විරෝධතා රැල්ලක් නිර්මාණය වූයේ කෙසේ ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කරන විමසා බැලීමකි.
ලොව පුරා රටවල තත්ත්වය කුමක් ද?
ගෙවුණු සති අන්තයේ එක්සත් රාජධානියේ 150,000කට අධික පිරිසක් මධ්‍යම ලන්ඩනයට රැස්ව සිටියේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන ටොමී රොබින්සන් විසින් සංවිධානය කරන ලද "Unite the Kingdom" යන පා ගමන සඳහා ය.
බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් ද වීඩියෝ තාක්ෂණය හරහා වයිට්හෝල්හිදී විරෝධතාකරුවන් අමතමින් "පෙරළා සටන කරනු" නැතිනම් "මිය යනු" යැයි පවසනු දක්නට ලැබුණු අතර පාලනයකින් තොරව සිදුවන දැවැන්ත සංක්‍රමණ සහ එක්සත් රාජධානියේ ආණ්ඩු වෙනසක් පිළිබඳව ද පවසනු එහිදී නිරීක්ෂණය විය.
මේ අතර, මීට සති දෙකකට පමණ ඉහතදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් ඇතුළු එරට ප්‍රධාන නගරවල ද දහස් ගණනක් ජනතාවගේ සහභාගීත්වයෙන් "March for Australia" නමින් සංක්‍රමණ විරෝධී විරෝධතා සංවිධානය කර තිබුණු අතර ඒවා ඔස්ට්‍රේලියානු රජය විසින් අන්ත දක්ෂිණාංශික දේශපාලනික සබඳතා ඇති සහ "වෛරය පතුරුවන" විරෝධතා බව සඳහන් කරමින් හෙළා දකිනු ලැබ තිබිණි.
පිටුවහල් කිරීම් සඳහා ඉල්ලීම් කරමින් සහ මහා පරිමාණ සංක්‍රමණ නතර කරන ලෙස ඉල්ලමින් කැනඩාවේ, ටොරොන්ටෝ නගරයේ "Canada First" ලෙස නම් කෙරුණු විරෝධතාවක් සැප්. 14 වන දා පැවැත්වුණු අතර, ඊට ප්‍රතිවිරුද්ධව සංක්‍රමණවලට සහය දක්වන සිය ගණනකගේ සහභාගීත්වයෙන් තවත් විරෝධතාවක් ක්‍රියාත්මක විය.
මේ අතර, පෝලන්තය පුරා නගර රැසක ජූලි මාසයේදී සංක්‍රමණ විරෝධී විරෝධතා පවත්වා තිබේ. එම විරෝධතා සංවිධානය කරනු ලැබ තිබුණේ අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායමක් වන 'කොන්ෆෙඩරාසියා' සහ තවත් ජාතිකවාදී සංවිධානයක් විසිනි.
ජපානයේ ඔසාකා නගරය ඇතුළු නගර කිහිපයක ද සැප්තැම්බර් මුල් සතියේ සංක්‍රමණ විරෝධී විරෝධතා ක්‍රියාත්මක වූ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, රජය රට තුළ අප්‍රිකානු වීසා ලබන්නන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි කිරීමට සැලසුම් කරන බවට ඇති බිය වර්ධනය වීමෙන් පසුව මෙම විරෝධතා වැඩි වූ බව ය. එම විරෝධතාවලට ද ඊලෝන් මස්ක් සිය සහය පළ කර තිබුණු බවට ජපාන මාධ්‍ය වාර්තා කළේ ය.
සංක්‍රමණ විරෝධී විරෝධතාවල පසුබිම කුමක් ද?
ඔස්ට්‍රේලියාවේ ඉන්දු-පැසිෆික් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා පෙන්වා දුන්නේ, සංක්‍රමණ විරෝධී රැල්ල ඇති වූයේ, ඇමෙරිකා එක්සත් ජනපදය මුල් කරගෙන බව ය.
"විශේෂයෙන් ම ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත් වීමත් එක්ක, ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති හරහා බොහෝ යුරෝපීය සහ පැසිෆික් රටවල්වල සංක්‍රමණ විරෝධී මතවාද ඇති වෙනවා," ඔහු බීබීසී සිංහල සමග කැනඩාවේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් පැවසීය.
වත්මන් විරෝධතාවල අරමුණ පිළිබඳව පැහැදිලි කරමින් ආචාර්යවරයා පෙන්වා දුන්නේ: "සංක්‍රමණ විරෝධී විරෝධතාවලට වඩා මෙතන තියෙන්නේ, 'මාස් ඉමිග්‍රේෂන්' කියන එක. ඉතාමත් විශාල පරිමාණයෙන් සංක්‍රමණ සිද්ධ වීම සම්බන්ධයෙන් ඒ රටවල්වල ඉන්න ජාතිකයන් දැවැන්ත උද්ඝෝෂණ දියත් කිරීම තමයි අපිට දකින්න ලැබෙන්නේ."
මෙම තත්ත්වය අද වන විට යුරෝපයට, ජපානයට, ඔස්ට්‍රේලියාවට මෙන් ම කැනඩාව වැනි රටවල්වලට ද "දැඩිව" බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.
නම හෙළි කිරීමට අකමැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික සිසුවියක බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, එරට ක්‍රියාත්මක විරෝධතා "කුඩා දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ සුළු අරමුණු ඉටු කර ගැනීම සඳහා" පවත්වන ඒවා බව ය.
සමේ වර්ණය නිසා ඉලක්කයක් වනවා ද?
දකුණු ආසියානුවන්ගේ සමේ වර්ණය බොහෝ විට අඳුරු පැහැයක් ගන්නා බැවින් මෙවැනි විරෝධතා ක්‍රියාත්මක වන පසුබිමක ඔවුන් විදෙස් රටවලදී ඉල්ලක්ක වීමේ අවදානමක් පවතින්නේ ද? යන්න පිළිබඳව ඇතැමෙක් ප්‍රශ්න කරති.
එම ප්‍රශ්නය අප ආචාර්ය හසිත් කන්දඋඩහේවා වෙත යොමු කළ අතර, ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, "කළු සහ දුඹුරු, නැත්නම් බ්ලැක් ඇන්ඩ් බ්‍රවුන් ස්කින් එක තමයි ගොඩක් වෙලාවට මේකේ ඉලක්කයක් බවට පත් වෙලා තියෙන්නේ," යනුවෙනි.
ඔවුන්ගේ ඉල්ලක්කය "බොහෝ වෙලාවට සුදු නොවන ජාතිකයන්," යැයි ඔහු පැවසීය. "ඇත්තට ම මම ඉන්න රටේ, කැනඩාවේ වුණත් ගොඩක් වෙලාවට මාව අඳුන ගන්නේ ඉන්දියානු ජාතිකයෙක් විදිහට. ඒ හින්දා අපිට කියන්න වෙනවා මම ශ්‍රී ලාංකිකයෙක් කියලා."
"ඔවුන්ගේ ඉලක්කය වන්නේ බොහෝ වෙලාවට සුදු නොවන ජාතිකයන්. [ඔවුන්] එම රටවල්වලට විශාල ප්‍රමාණයෙන් සංක්‍රමණය වීම සහ ඒ රටවල්වල සම්පත් විශේෂයෙන් ම අපි දන්නවා සංක්‍රමණිකයින්ට ලැබෙන විවිධ වරප්‍රසාද අසීමාන්තික ලෙස පාවිච්චි කිරීම වගේ හේතු සාධක මත පදනම් වෙලා තමයි මේක ව්‍යාප්ත වෙන්නේ."
මීට වසර දෙකකට පමණ පෙර සිය පවුල සමග ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වූ විරාජ් ජයසුන්දර ද බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ඒ හා සමාන අදහසක් පළ කළේ ය.
සබැඳි පුවත්
"සරණාගතයින් ලබා දෙන පහසුකම්, මෙහේ පුරවැසියෙකුටවත් එහෙම හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව," ඔහු සිය අත්දැකීම ඇසුරින් පැහැදිලි කළේ ය.
එසේ වුව ද, ශිෂ්‍යයින් සහ වෙනත් වෘත්තීන් සඳහා නීත්‍යනුකූල ලෙස එරටට පැමිණෙන සංක්‍රමණිකයින් ද ඇතැම් අවස්ථාවලදී මෙම විරෝධතාවල ඉලක්ක බවට පත්වන බව ඔහු පැවසීය.
විරාජ් එක්සත් රාජධානියේ වේල්සයේ ජීවත් වන අතර ජාල ඉන්ජිනේරුවරයෙකු ලෙස රැකියාවේ නිරත වෙයි.
ඔහු සඳහන් කළේ, ඇතැම් විටෙක එරට පුරවැසියන් තමන් ඉන්දියානුවෙකු යැයි සිතන නමුත් කතාබහ කිරීමෙන් අනතුරුව එම වැරදි අවබෝධය පහව යන බව ය.
"හැබැයි විරෝධතා පටන් ගත්තට පස්සේ පොදු ස්ථානවල, සුපර්මාකට්වල, බස්වල එහෙම යනකොට පොඩ්ඩක් සුදු ජාතිකයෝ අමුතු විදිහට බලනවා. ඒ ඇරුණා ම නම් විශේෂ බලපෑමක් නැහැ මේ විරෝධතා නිසා," යනුවෙන් බීබීසී සිංහල සමග අදහස් දැක්වූ මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික සිසුවිය පැවසුවා ය.
'පකිස්ථාන්, බංගලි අය ඒ අයගේ විධියට ඉන්න හදන්නේ'
බොහෝ විට දකුණු ආසියාතික සංක්‍රමණිකයින් වෙනත් රටකට සංක්‍රමණය වූ පසු එම රටේ සංස්කෘතියට අනුගත නොවීම ගැටලුවක් බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා පැවසීය.
එය ශ්‍රී ලාංකිකයින් ඉලක්ක වීමට ද හේතුවක් බව ඔහු පැහැදිලි කළේ ය.
"දකුණු ආසියානු සංක්‍රමණිකයින් යම් කිසි රටකට සන්ක්‍රමය වුණා ම ඒ අදාළ රටේ සංස්කෘතිය නීතිරීති පද්ධතියට අනුගත නොවී තමන්ගේ මවු රටේ පද්ධතියේ සංස්කෘතික අංග, නීති රීති ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමයි මේ වන විට අපි බොහෝ ම පහසු ඉලක්කයක් බවට පත් වෙලා තියෙන්නේ."
විරාජ් ද ඒ හා සමාන අදහසක් පළ කළේ ය.
"පකිස්ථාන්, බංගලි අය ඉන්න බර්මින්හැම් වගේ පැති ඒ විධියමයි. ඒ අයගේ විධියට ඉන්න හදන්නේ. අපිට එහෙම එකක් නැහැනේ. මෙහේ අය ඒකට කැමති නැහැ," ඔහු තම අත්දැකීම් ඇසුරින් පැවසීය.
'අපි තවමත් ඉන්දියානු ඩයස්පෝරාව තරම් තර්ජනයකට ලක් වෙලා නැහැ'
ඔස්ට්‍රේලියාවේ ඉන්දු-පැසිෆික් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකිකයින් තවමත් ඉන්දියානු හෝ පකිස්ථාන ඩයස්පෝරාව තරම් තර්ජනයට ලක්ව නොමැති බව ය.
"මම හිතන්නේ අපි විශේෂයෙන් ම ඩයස්පෝරාවක් විදිහට අපි තවමත් ඉන්දියානු ඩයස්පෝරාව තරම් තර්ජනයකට ලක් වෙලා නැහැ. පකිස්ථාන ඩයස්පෝරාව තරම් තර්ජනයකට ලක් වෙලා නැහැ. හැබැයි අපිට තර්ජනයක් තියෙනවා විශේෂයෙන් ම රැකියා වෙළෙඳපොළ, සමාජ අනුගත වීම් වගේ දේවල්වලදී අනාගතයේදී යම් ආකාරයක බලපෑමක් සිද්ධ වේවි කියන එක තමයි මට සඳහන් කරන්න වෙන්නේ," ඔහු පැහැදිලි කළේ ය.
ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ 1980 - 2000 සහ 2000 - 2020 යුගවල සංක්‍රමණය වූවන්ගේ බහුතරයක් සංක්‍රමණ විරෝධී මතවාදයක් දරන බව ත් ආචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
නිත්‍ය සංක්‍රමණ සහ ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම
ආචාර්ය හසිත් කන්දඋඩහේවා පෙන්වා දුන්නේ, නිත්‍ය සංක්‍රමණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇතුළු අංශ කිහිපයකට බලපෑමක් එල්ල වන බව ය.
"අපි දකිනවා මේ පහුගිය වසර වසර 5 තුළ විශේෂයෙන් ම 2020- 2025 කාලය තුළ ලංකාවෙන් විශාල ප්‍රජාවක් සංක්‍රමණය වුණා. මේ සංක්‍රමණය වුණු ප්‍රජාව බොහෝ වෙලාවට නිත්‍ය සංක්‍රමයන් දක්වා පැවතුණා.
අතීතයේ තිබුණේ ගොඩක් වෙලාවට මැද පෙරදිග හෝ ජපානය වගේ රටකට වගේ ගිහිල්ලා, ඉතාලිය වගේ රටකට ගිහිල්ලා, යම්කිසි මුදලක් උපයලා ඒ මුදල ප්‍රේෂණය කරනවා ලංකාවට."
නමුත් නිත්‍ය සංක්‍රමණ හේතුවෙන් වර්තමානයේ එවැනි තත්ත්වයක් නොපවතින බැවින් "ගොඩක් වෙලාවට අපේ තියෙන ධනය එළියට ගලා යාමක් වෙන්නේ නැහැ. ඇතුළට එන ප්‍රමාණය අඩු යි ඇත්තට ම. මේක දීර්ඝකාලීනව ලංකාවේ ආර්ථික තත්ත්වයට බලපාන්න පුළුවන්," ඔහු පැහැදිලි කළේ ය.
නිත්‍ය සංක්‍රමණ හේතුවෙන් මෙරට ශ්‍රම බළකායට ද බලපෑම් එල්ල වන බව ආචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
"ඊළඟට මතු වෙන්න පුළුවන් අර්බුදයක් විදිහට මම දකින්නේ ශ්‍රම බළකාය. පුහුණු ශ්‍රම බළකායට ගොඩක් ලොකු බලපෑමක් වෙලා තියෙනවා," ඔහු පැවසීය.
ඔහු අවධාරණය කළේ, ඒ හරහා මෙරට ආයතනවල පුහුණු ශ්‍රම බළකායේ අඩුවීමක් සිදුවන බව ත් එමගින් මෙරට තුළ තවත් වසර 10ක් වැනි කාලයකදී "දැනුම පරතරයක්" නිර්මාණය වන බවත් ය.
"ඒක අපිට මිල කළ නොහැකි අංශයක්," ඔහු පැවසීය.
ආචාර්යවරයා තවදුරටත් එහි බලපෑම මෙලෙස පැහැදිලි කළේ ය.
"තුන්වෙනි සාධකය තමයි මම දකින්නේ මේ නිත්‍ය සංක්‍රමණයත් එක්ක ම අපි අපේ සංස්කෘතිය වගේ දේවලුත් අනෙක් රටවල්වලට අරගෙන ගිහිල්ලා ඒ රටවල් තුළ ක්‍රියාත්මක කරනවා. ඒක එක පැත්තකින් හොඳයි.
නමුත් අපි ආක්‍රමණික සංස්කෘතියක්, ඒ කියන්නේ අපි යන රටේ සංස්කෘතිය අභිබවා යන සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්න යාමෙන් එක්තරා විධියකට දෙපාර්ශවයට ම යම් යම් ගැටලුකාරී තත්ත්වයක් අනාගතයේ මතු වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයන් වළක්වා ගනිමින් 'Sri Lankans' කියන නාමය පවත්වා ගෙන යාම සංක්‍රමණික ප්‍රජාවට තියෙන ලොකු වගකීමක්," ඔහු පැහැදිලි කළේ ය.
'අධ්‍යාපනය කියන්නේ ඇතුළට යන්න පාවිච්චි කරන උපක්‍රමයක්'
අධ්‍යාපනික අරමුණු අරබයා පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වන යුගය දැන් අවසන් වී ඇති බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සමග පැවසීය.
"අධ්‍යාපනය තියෙන්නේ අරමුණක් විදිහට. ඇතුළත් වීම සඳහා භාවිත කරන උපක්‍රමයක් විදිහට විතර යි තියෙන්නේ. නැතුව අධ්‍යාපනය ලබලා ඒ දැනුම නැවත ගෙන ඒමක් සිද්ධ වෙන්නේ නැහැ," ඔහු අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක ජීවන තත්ත්වයක් සහ අනෙකුත් අභිලාෂයන් සපුරා ගැනීමට නොහැකි පසුබිමක පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති වීම තුළින් සංක්‍රමණ පහළ නොයන බව ද ආචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
"ලංකාවේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ බ්‍රාන්ච් එකක් දැම්මත් මේ තියෙන නිත්‍ය සංක්‍රමණ රැල්ල දිගට ම යනවා. බුද්ධිගලනය වගේ ම ඒ තුළින් ඇති වන දැනුම විනාශ වීමකුත් මේ හරහා සිද්ධ වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
ආචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ, වත්මන් තත්ත්වය කිනම් ආකාරයකට දෝලනය වනු ඇති ද? යන්න පිළිබඳව තව ම ප්‍රකාශ කළ නොහැකි බව ය.
(bbc/sinhala)