ගෘහ සේවිකාවක් මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වෙයි

kalitha-west-bengoal-india

දේශපාලනයේ ජයග්‍රහණය කළ හැක්කේ මුදල් ඇති අයට සහ සමාජයේ සම්මත යැයි පැවසෙන වෘත්තිකයන් පමණයි යන වැඩවසම් මානසිකත්වය සහ පිළිගැනීම සුනු විසුනු කරමින්, බටහිර බෙංගාල ප්‍රාන්තයේ අවුස්ග්‍රම් (Ausgram) මැතිවරණ කොට්ඨාසයෙන් සාමාන්‍ය ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවක් මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වී ඇත.

අවුස්ග්‍රම් ප්‍රදේශයේ පදිංචි කලිතා මජ්හි, දැඩි මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ඇගේ අධ්‍යාපනය අතරමග නතර කිරීමට සිදු වූ කාන්තාවකි. මේ නිසා ඇය පවුලට ආර්ථික වශයෙන් උපකාර කිරීම සඳහා නිවාස කිහිපයක ගෘහ සේවිකාවක ලෙස සේවය කර තිබේ. ඇගේ සැමියා නල එළීමේ වෘත්තියේ නිරත වූවෙක් බව පැවසේ.

මෙම යුවලට පාර්ත් නැමැති 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතෙකු ද සිටින බව පැවසෙන අතර, දුප්පත්කම සහ පවුලේ බර කරට ගෙන සිටියදීත්, කලිතා සිය දේශපාලන ගමන මෙලෙස ආරම්භ කර තිබේ. ඇය ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් මසකට ඉන්දියානු රුපියල් 2500ක පමණ සුළු වැටුපක් උපයන්නියකි. ඇයගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය බිම් මට්ටමේ මහජන නියෝජනය පිළිබඳ ප්‍රබල ආදර්ශයක් ලෙස සලකනු ලබන අතර, මෙම මැතිවරණ ප්‍රතිඵලය මේ වන විට කාගේත් දැඩි අවධානයට ලක්ව තිබේ.

ඇය භාරතීය ජනතා පක්ෂයේ (BJP) බූත් මට්ටමේ සිට සාමාන්‍ය ක්‍රියාකාරිනියක ලෙස සිය දේශපාලන කටයුතු ආරම්භ කර ඇති අතර ඇගේ දක්ෂ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කළ පක්ෂය, 2021 මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේදී ඇයට අවස්ථාවක් ලබා දී ඇති බව පැවසේ. එහිදී ඇය 41% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තද, අවසානයේ පරාජයට පත් වී ඇත.

කෙසේ වෙතත්, කලිතා කෙරෙහි විශ්වාසය තැබූ බව පැවසෙන පක්ෂයේ ඉහළ පෙළේ නායකත්වය, මෙවර මැතිවරණයේදී නැවතත් ඇයට අවස්ථාව ලබා දී ඇති අතර එහිදී ඇය ඡන්ද 12,535 ක වැඩි ඡන්දයකින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.

කලිතා මජ්හි සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ තමා සතුව ඇත්තේ රුපියල් ලක්ෂ 1.61 ක් පමණ වටිනා දේපළක් පමණක් බවයි.

දැඩි දරිද්‍රතාවයෙන් පීඩා විඳි පසුබිමකින් පැමිණියද, ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් ඇය අද මන්ත්‍රීවරියක බවට පත්ව සිටින අතර ඉන්දීය ගෘහ සේවකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් ඇය ක්‍රියාකරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මැතිවරණ දේශපාලනයට පිවිසීමට පෙර, මජ්හි මහත්මිය නිවාස කිහිපයක පිරිසිදු කිරීම්, ඉවුම් පිහුම් සහ රැකවරණ කටයුතු කරමින් සේවය කළාය. ඇයගේ සේවා යෝජකයන් ඇයව විනයගරුක සහ විශ්වාසවන්ත තැනැත්තියක ලෙස හඳුන්වන අතර, ඇය බොහෝ විට අලුයම සිටම වැඩ ආරම්භ කළාය. තම වගකීම් මධ්‍යයේ වුවද, ඇය සිය ගම්මානයේ බිම් මට්ටමේ ජන ජීවිතය සමඟ දැඩි සබඳතාවක් පවත්වා ගත් බව පැවසේ.

භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂකයෙකු ලෙස නම් කිරීමෙන් පසුව, මජ්හි මහත්මිය මැතිවරණ කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම අවධානය යොමු කිරීමට පෙර, යම් කාලයක් යනතුරු සිය නිවෙස්වල වැඩ කටයුතු සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සමබරව කරගෙන ගොස් ඇත.

මජ්හි මහත්මියගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ප්‍රධාන වශයෙන්ම කාන්තා සවිබල ගැන්වීම්, කම්කරු අයිතිවාසිකම් සහ ඇයගේ දිස්ත්‍රික්කයේ වෙනස් කොට සැලකීමට ලක් කරන ලද ප්‍රජාවන්ගේ සමාජ සුබසාධන ගැටලු මුල් කරගනිමින් මෙහෙයවන ලද බව වාර්තා වේ. දේශපාලන නායකත්වය යනු ධනවතුන්ට හෝ ප්‍රභූ පන්තියට පමණක් සීමා වූවක් නොවන බව ඔප්පු කරමින්, මෙවැනි සරල පසුබිමකින් පැමිණි කාන්තාවක ලැබූ මෙම ජයග්‍රහණය ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකේ.

කලිතා මජ්හිගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ද බරපතල සංවාදයක් මතු කරයි. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ගෘහ සේවිකාවන් දශක ගණනාවක සිට තමන් "කම්කරුවන්" ලෙස පිළිගන්නා ලෙසත්, තමන්ට ද කම්කරු නීති ආවරණය ලබා දෙන ලෙසත් ඉල්ලා සටන් වදිති.

දැනට පවතින නීතිමය රාමුව තුළ ගෘහ සේවය බොහෝ විට "අවිධිමත් සේවයක්" ලෙස සැලකීම හේතුවෙන් එම ශ්‍රමිකයන් දැඩි අසාධාරණයකට ලක්ව සිටිති. මෙහි ප්‍රධානතම ප්‍රතිඵලයක් වන්නේ ඔවුන්ට හිමිවිය යුතු ස්ථාවර අවම වැටුපක් නිර්දේශ වී නොමැති වීමයි. ශ්‍රී ලංකාවේ ජාතික අවම වේතන පනතින්ද ගෘහ සේවකයන් නම් කොටම ඉවත් කර තිබීම රටක් ලෙස එක් රැකියා ක්ෂේත්‍රයක් ජාතික කම්කරු මගින්ම වෙනස් කොට සැලකීමකි.

එමෙන්ම, විධිමත් සේවා අංශවල පවතින පරිදි සීමිත සේවා කාලයක් හෝ නීත්‍යානුකූල නිවාඩු අයිතියක් ඔවුන්ට හිමි නොවන අතර, EPF සහ ETF වැනි අත්‍යවශ්‍ය සමාජ ආරක්ෂණ ක්‍රමවලින් ද ඔවුන් බැහැර කර ඇත. මෙම තත්ත්වය වඩාත් බරපතල වන්නේ සේවා ස්ථානයක් ලෙස පෞද්ගලික නිවසක් තුළ සිදුවන කායික හෝ මානසික හිංසනයන්ට එරෙහිව නීතිමය රැකවරණයක් ලබා ගැනීමට ඇති අවස්ථා සීමිත වීම නිසාය. මේ අනුව, ගෘහ සේවය විධිමත් සේවාවක් ලෙස පිළිගෙන අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ මූලික අවශ්‍යතාවකි.

ගෘහ සේවක අයිතිවාසිකම් තහවුරු කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 189 වැනි සම්මුතිය වැනි ප්‍රමිතීන් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කෙරුණද, ඒවා දේශීය නීතියට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තවමත් පවතින්නේ මන්දගාමී මට්ටමකය.

ශ්‍රී ලංකාවේ බලධාරීන් මෙම ගෘහ සේවකයින්ගේ ගැටලු සඳහා විසඳුම් අද නොවේ හෙට යනුවෙන් කල් දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කණගාටුදායකය.

කලිතා මජ්හි වැනි බිම් මට්ටමේ සටන්කාරියන් බලයට පත්වීම, මෙවැනි අමතක කර දමා ඇති ජනකොටස්වල හඬ ව්‍යවස්ථාදායකය තුළ දෝංකාර දීමට ඉවහල් වනු ඇත. දේශපාලන බලය යනු හුදු වරප්‍රසාදයක් නොව, තමන් නියෝජනය කරන පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමේ මෙවලමක් බව ඇයගේ ජයග්‍රහණය අපට පසක් කර දෙයි. ඇය ඉදිරියේ දී BJP යනු පක්ෂයක් සමග කුමක් කරන්නේද යන්න යම් ආකාරයක ප්‍රශනයක් ඉතිරි කෙරුණද ජනතාවගේ සැබෑ පීඩාවන්ට එරෙහිව සටන් කරන මෙවැනි රැකියා වල නියුතු වූවන්ට මෙය මහත් පිටුබලයක් වනු ඇත.

| කල්ප මධුරංග