බ්‍රිතාන්‍යයේ රැකවරණ පතන 42,000ක් අභියාචනා පිළිබඳ තීන්දු බලාපොරොත්තුවෙන්

uk-migrant

රැකවරණය සඳහා වන සිය මූලික ඉල්ලීම් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, එක්සත් රාජධානියේ රැකවරණ පතන්නන් 42,000 කට ආසන්න සංඛ්‍යාවක් අභියාචනා විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින බව නිල සංඛ්‍යා ලේඛන විශ්ලේෂණයට අනුව පෙනි යයි.

සරණාගත කවුන්සිලය පැවසුවේ වසර දෙකකින් එම සංඛ්‍යාව පස් ගුණයකින් වැඩි වී ඇති බවත්, රජය සරණාගත අර්බුදය පද්ධතියේ එක් කොටසකින් තවත් කොටසකට ගෙන යාමේ අවදානමක් ඇති බවත්, සංක්‍රමණිකයන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් හෝටල්වල නවාතැන් ගෙන සිටින බවත් ය.

සිය රැකවරණ ඉල්ලීම් සම්බන්ධයෙන් මූලික තීරණයක් ලැබෙන තෙක් සරණාගතයින් සංඛ්‍යාව දෙගුණ කර ඇති බවත්, තවත් අධිකරණ දින වෙනුවෙන් අරමුදල් වෙන් කර ඇති බව ත් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය සඳහන් කළේය.

කාලයත් සමඟ ම , බ්‍රිතාන්‍යයේ රැකවරණ පතන්නන් සඳහා හෝටල් ලබාදීම අවසන් කිරීමට සහ නවාතැන් සඳහා වන "පිළිගත නොහැකි තරම් ඉහළ" වියදම් කපා හැරීමට රජය අධිෂ්ඨාන කරගෙන සිටින බව ප්‍රකාශකයෙක් පැවසීය.

පසුගිය කොන්සර්වේටිව් රජය විසින් හඳුන්වා දුන් නීති සම්පාදනය හේතුවෙන් සැබෑ සරණාගත තත්ත්වය ඔප්පු කිරීම වඩාත් දුෂ්කර වී බැවින්, රැකවරණ පතන්නන්ගේ ඉල්ලීම් වැඩි වශයෙන් ප්‍රතික්ෂේප වෙමින් පවතින බව සරණාගත කවුන්සිලය පැවසීය.

බ්‍රිතාන්‍යය රජය විසින්, ජාතිකත්වය සහ දේශසීමා පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු, පසුගිය වසරේ දෙවන භාගයේදී රැඳී සිටීමට අවසර ලබා දී ඇත්තේ ඇෆ්ගන් ජාතිකයින් 10 දෙනෙකුගෙන් හතර දෙනෙකුට පමණි. මීට පෙර, රැකවරණය ඉල්ලා සිටින ලද සියලුම ඇෆ්ගන් ජාතිකයින්ට පාහේ සරණාගතභාවය ලබා දෙන ලදී.

රැකවරණ ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ බොහෝ දෙනෙක් මෙම තීරණයට අභියාචනයක් ඉදිරිපත් කරනු ඇතැයි සැලකේ. වර්තමානයේ, හෝටල්වල නවාතැන් ගන්වා සිටින සහ පසුගිය වසර දෙක තුළ කුඩා බෝට්ටුවලින් පැමිණි වැඩිම පිරිස වන්නේ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් ය.

සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී එන්වර් සොලමන්, වඩා හොඳ සහ සාධාරණ තීරණ ගැනීමක් කරන මෙන් ඉල්ලා තිබේ.

"පළමුවෙන් හරි තීරණය ගැනීම මඟින් සරණාගතයින්ට රට පුරා ප්‍රජාවන්ට දායක වීමට ආරක්ෂාව සලසනවා. එක්සත් රාජධානියේ රැඳී ඉන්න අයිතියක් නැති අය ව ගෞරවයෙන් හා අභිමානයෙන් ඉවත් කරලා දානවා."යැයි ඔහු පැවසීය.

අභියාචනා ගොඩගැසී ඇති අයට තවමත් නවාතැන් අවශ්‍ය බව පුණ්‍යායතනය පෙන්වා දෙන අතර, නීතිමය ප්‍රගතියක් නොමැති වීම නිසා හෝටල්වලට ගෙවීමට සිදුවන වියදම මේ වසරේ පවුම් බිලියන 1.5 ක් විය හැකි බවට අනතුරු අඟවයි.

"අපට උරුම වෙලා තිබ්බ සරණාගත ක්‍රමය මේ අරමුණට ගැලපෙන්නේ නැහැ, ඒ නිසා අපි සරණාගතයින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සහ ගොඩගැසී ඇති නඩු අවසන් කර දමන්න හදිසි පියවර ගනිමින් ඉන්නවා, මේ නිසා ඉදිරි වසර දෙක තුළ බදු ගෙවන්නන්ට ඇස්තමේන්තුගත පවුම් බිලියන 4 ක් ඉතිරි වෙයි" යනුවෙන් රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

"සරණාගත හිමිකම් විධිමත් කිරීම සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා ආගමන හා සරණාගත මණ්ඩලයේ තවත් අධිකරණ දින දහස් ගණනක්" සඳහා අරමුදල් වෙන් කරමින් සිටින බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

අධිකරණ අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2024 අවසානයේ අධිකරණයේ රැකවරණය පතන්නන්ගේ අභියාචනා 41,987 ක් ගොඩගැසී තිබූ අතර, එය 2023 ආරම්භයේදී 7,173 ක් විය.

සරණාගත කවුන්සිලයේ විශ්ලේෂණයට අනුව, පසුගිය වසරේ ගොනු කරන ලද මුළු රැකවරණ පතන්නන්ගේ අයදුම්පත් අභියාචනා සංඛ්‍යාව 2023 ට වඩා 71% ක වැඩිවීමකි.

(උපුටා ගැනීම - bbc/sinhala)