අනාගත ලෝකයේ ආර්ථික බලවත්තු ‘BRICS’ ද?

අනාගත ලෝකයේ ආර්ථික බලවත්තු ‘BRICS’ ද?

යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය සහ වර්ධනය වෙමින් පවතින එක්සත් ජනපද-චීන එදිරිවාදිකම් හේතුවෙන් ගෝලීය දේශපාලනය කිසියම් සංධිස්ථානයකට එළඹෙමින් පවතින බව මත පළ වෙනවා. බටහිර රටවල් අතර පවතින සහයෝගීතාවය සහ ගෝලීය ආර්ථිකය හැසිරවීමේ දී ඔවුන් පෙන්වන ආධිපත්‍යය වෙනුවෙන් ප්‍රතිස්ථාපනය කළ හැකි විකල්පයක් කෙරෙහි අවධානය යොමු වීම ඊට හේතුව යි.

පොදුවේ “බටහිර රටවල්” ලෙස සඳහන් කළත්, මෙම කණ්ඩායම “G7 සංවිධානයේ රටවල්” ලෙස හැඳින්වීම වඩාත් උචිත යි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ කැනඩාව, G7 රටවල් ලෙස හඳුන්වන අතර, යුරෝපා සංගමය “ගණනය නොකළ”, විශේෂ සාමාජිකයෙක් වශයෙන් G7 සමඟ එක් වී සිටිනවා.

| වර්තමාන ප්‍රවණතාවය, අනාගත ලෝකයේ බල හුවමාරුවකට හේතු විය හැකි යි. එවිට “G7” රටවල් යනු ගෝලීය ආර්ථිකය සහ දේශපාලනය හමුවේ එකම ප්‍රබල සාධකය නොවෙ යි – www.iucn.org

G7 සඳහා විකල්ප සැලකීමේ දී රුසියාව, ඉන්දියාව සහ චීනය නිතැනින් සිහියට නැඟෙන ආර්ථික බලවතුන් ත්‍රිත්වයක්. ඔවුන් එකතු වී ගොඩනඟන ලද “BRICS” සංවිධානය, “G7” තරම් කතා බහට ලක් නොවුණත්, වර්තමාන ප්‍රවණතාව අනුව ඉදිරියේ දී එය වෙනස් විය හැකි යි.

මොකක්ද මේ “BRICS” ?

BRICS යනු බ්‍රසීලය (Brazil), රුසියාව (Russia), ඉන්දියාව (India), චීනය (China) සහ දකුණු අප්‍රිකාව (South Africa), යන රටවල් ඇතුළත් වන පරිදි නිර්මාණය කරගත් කෙටි යෙදුමක්. ලෝකයේ විශාලත ම ආයෝජන බැංකුවක් වන ගෝල්ඩ්මන් සැක් හි ආර්ථික විද්‍යාඥ ජිම් ඕ’නීල්, 2001 දී මෙම යෙදුම නිර්මාණය කළ අතර, 2050 වනවිට උක්ත රටවල් ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍යය දරණු ඇති බවට අනාවැකි පළ වුණා.

| “BRICS” නායකයන් හමු වූ අවස්ථාවක් – blog.bti-project.org

ආරම්භයේ දී රටවල් එකතුව සඳහා දකුණු අප්‍රිකාව ඇතුළත් ව තිබුණේ නැහැ. 2010 දී දකුණු අප්‍රිකාව සාමාජිකත්වය ලබාගත් අතර, එතෙක් “BRIC” ලෙස හැඳින්වූ සාමුහිකය “BRICS” යනුවෙන් හැඳින්වූවා.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව වසර ගණනාවක් මුළුල්ලේ ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති රටවල් වශයෙන් සැලකෙනවා. දැන් දැන් ඔවුන් සාමුහික වශයෙන් ස්වාධීන වූ ස්වභාවයෙන් ගෝලීය ආර්ථිකය තුළ හැසි‍රෙන අන්දම දැකිය හැකි යි.

බලවත් ආර්ථික කණ්ඩායම

ආසන්නත ම උදාහරණය වන්නේ රුසියාවේ බලශක්ති වෙළෙඳපොළ යි. යුරෝපා සංගමය ඇතුළු බටහිර බලවතුන් රුසියාවේ බොරතෙල් සහ ස්වභාවික වායු අපනයනයට කොතරම් බාධා එල්ල කළ ද රුසියාව ට විශාල බලපෑමක් ඇති වුණේ නැහැ. ඉන්දියාව සහ චීනය ඔවුන් ගේ බොරතෙල් සහ ස්වභාවික වායු සඳහා සැලකිය යුතු මට්ටමේ ඉල්ලුමක් සාදා දුන්නා. මේ සියල්ල ම “BRICS” රටවල් වීම විශේෂත්වයක්.

| “BRICS” ජාතීන් සතු ව ඇති විශාලතම වත්කමක් වන්නේ ශ්‍රම බලකාය යි. එය පහත ඇතැම් සංඛ්‍යා කෙරෙහි සෘජු බලපෑමක් ඇතිකර තිබෙනවා – www.facebook.com

අනෙක් වැදගත් ම කාරණය වන්නේ මෙම රටවල් සතු ව පවතින විශාල ශ්‍රම බළකාය යි. “G7” රටවල පවතින ජනගහනය වයස්ගත වෙමින් ජනගහන වර්ධන වේගය පවා අඩාල වෙමින් පැවතුණ ද  “BRICS” රටවල් තුළ ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් තත්ත්වයක්. උදාහරණයක් ලෙස ඉන්දියාව ලෝකයේ විශාලත ම ශ්‍රම බළකාය හිමි රට බවට පත් වෙමින් සිටිනවා. ඕනෑම ක්ෂේත්‍රයක් සඳහා පළපුරුදු වෘත්තිකයන් ඔවුන් සතු වන අතර, විදෙස් ශ්‍රමිකයන් ලෙස ඉන්දියානුවන් ලෝකය පුරා පැතිරෙමින් සිදු කරන බලපෑම සුළුපටු නැහැ.

මේ සියල්ල සැලකීමේ දී “BRICS” රටවල්, යුරෝපා සංගමය වැනි දේශපාලන සන්ධානයක් හෝ විධිමත් වෙළෙඳ සංවිධානයකට එහා ගිය විභවයක් සතු සාමුහිකයක් බව පෙනෙන්නට තිබෙනවා. සැබැවින් ම ඔවුන්ට දැනටමත් ප්‍රතිපත්ති මත රඳා පවතින බලවත් ආර්ථික කණ්ඩායමක් පිහිටුවීමේ හැකියාව තිබෙනවා. මේ ආර්ථික බලමුළුව ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍යය තමා සතු කර ගැනීමේ ගමන ආරම්භ කළේ අද ඊයෙක නොවෙ යි. “New Development Bank” ඊට කදිම උදාහරණයක්

New Development Bank

2014 දී අමෙරිකානු ඩොලර් බිලියන 50 ක ආරම්භක මුදලක් සමඟ “BRICS” රටවල් ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ලෙස නව සංවර්ධන බැංකුව (New Development Bank) බැංකුව ආරම්භ කළා. මීට අමතර ව ඔවුන් ගෙවීම් සමඟ අරගල කරන සාමාජිකයන්ට සහය වීම සඳහා “Contingent Reserve Arrangement” නම් ද්‍රවශීලතා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමටත් කටයුතු කළා.

| ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ලෙස ගොඩනැඟූ නව සංවර්ධන බැංකුව – www.dw.com

මෙම දීමනා “BRICS” ජාතීන්ට පමණක් නොව, “IMF” හි ව්‍යුහාත්මක ගැළපුම් වැඩසටහන් සහ කප්පාදු පියවර සමඟ වේදනාකාරී අත්දැකීම් ඇති බොහෝ සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන ආර්ථික සහිත රටවල්වලට අස්වැසිල්ලක් වුණා. බොහෝ රටවල් “BRICS” කණ්ඩායම සම්බන්ධ වීමට උනන්දු වූයේ ඉන් පසුව යි.

2021 දී “BRICS” නොවන සාමාජිකයන් වූ ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ සහ බංග්ලාදේශය, නව සංවර්ධන බැංකුවේ කොටස් ලබා ගනිමින් හවුල්කරුවන් ලෙස සම්බන්ධ වුණා. කෙසේ නමුත්, බැංකුවේ ආරම්භක සාමාජිකයන් සිදු කළ ඩොලර් බිලියන 10 ආයෝජනවලට වඩා එම ආයෝජන බෙහෙවින් අඩු අගයක් ගෙන තිබුණා. ආරම්භයක් ලෙස නව සංවර්ධන බැංකුවේ මෙම ආයෝජක වර්ධනය, “BRICS” රටවල් සඳහා යහපත් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකි යි.

රුසියාවට සම්බාධක නොමැති තැනක්

යුක්‍රේන-රුසියානු යුද්ධයේ ආරම්භයේ සිට “BRICS” රටවල් “G7” බල අධිකාරයෙන් කැපී පෙනෙන ලෙස ඈත් වන ස්වභාවයක් දක්නට ලැබුණා. රුසියාවට එරෙහි සම්බාධකවලට ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව හෝ චීනය සහභාගී නොවූ අතර, රුසියාවට සිය වෙළෙඳපොළ වෙනත් දිශාවකින් වර්ධනය කර ගැනීමේ අවස්‍ථාව හිමි කරදීමටත් ඔවුන් ක්‍රියා කර තිබුණා. බ්‍රසීලය මූලිකව ම රුසියාවෙන් ගෙන්වන පොහොර මත යැපෙන බැවින්, රුසියාව සමඟ අර්බුදකාරී වාතාවරණයක් ඇතිකර ගැනීමට උත්සහ කළේ නැහැ.

| රුසියානු බොරතෙල් සඳහා ඉන්දියාව සහ චීනය වෙළඳපොළ සාදා දුන් අයුරු – www.statista.com

උද්ගත ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් යුරෝපීය සහ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන් කනස්සල්ලට පත් වී සිටිනවා. ඔවුන් පවසන ආකාරයට යුක්‍රේන යුද්ධය හේතුවෙන් දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ බෙදුම් රේඛාවක් ලෝකයේ ඇති ව තිබෙන බැවින්, “BRICS” හි ගෝලීය වර්ධනය හරහා ලෝකය නැඟී එන බලවතුන් ගේ ආර්ථික සමාජයක් බවට පත් විමේ හැකියාවක් තිබෙනවා.

බටහිර ප්‍රතිපත්ති සම්පාදකයන් දක්වන බිය තවමත් බටහිරට දැනෙන මට්ටමේ ප්‍රතිවිරෝධයක් නොවිය හැකි යි. කෙසේ නමුත්, ස්වෛරී සහ ස්වාධීන චින්තනය වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් බවට “BRICS” සන්ධානය පත් වෙමින් තිබීම ප්‍රබල අභියෝගයක් විය හැකි යි. “G7” තරමට ම  “BRICS” එකතුව අනාගතයේ දී ප්‍රබල වුවහොත්, ද්වී ධ්‍රැවීය වූ ලෝකයේ මධ්‍යස්ථ ව සිටින රාජ්‍ය වඩාත් හොඳ කොන්දේසි සඳහා තරග කිරීමේ හැකියාවක් පවතිනවා. එහි දී “BRICS” හි ප්‍රතිපත්ති වඩාත් හිතකර නම්, එම කඳවුරට සමාජිකයක් එකතු වීම වැලැක්විය නොහැකි යි.

අමෙරිකානු ඩොලරයටත් රතු එළි!

එක්සත් ජනපද ඩොලරය වසර ගණනාවක් මුළුල්ලේ ජාත්‍යන්තර වෙළෙඳාමේ නිල මුදල් ඒකකය වශයෙන් භාවිත වුණා. ඒ හරහා ඔවුන්ට ගෝලීය වෙළෙඳාමේ සැලකිය යුතු ස්වාධිපත්‍යයක් ඇති කර ගැනීමටත් හැකියාව ලැබුණා. බොහෝ කලක සිට අමෙරිකානු ඩොලරයෙන් ඉවත් වී ජාත්‍යන්තර වෙළෙඳාම් කටයුතු සිදුකර ගෙන යාමට ඇතැම් රටවල් අපේක්ෂාවෙන් පසු වුව ද ඒ සඳහා සුදුසු අවකාශයක් නිර්මාණය වුණේ නැහැ.

| “BRICS” ජාතීන් නිසා එක්සත් ජනපද ඩොලරය ට අන්තර්ජාතික වෙළඳාමේ දී අවම වැදගත්කමක් ලැබේවි ද – sputnikglobe.com

 රුසියානු-යුක්‍රේන යුද්ධය ඇරඹීමෙන් පසු එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බව දකින්නට ලැබෙනවා. විශේෂයෙන් ම බටහිර ජාතීන් රුසියානු බල ශක්ති වෙළෙඳපොළ සඳහා ඔවුන් මෙතෙක් විවෘත කර තිබූ මාර්ග වසා දැමීමෙන් පසු ඔවුන් ඉන්දියාව සහ චීනය සමඟ ගනුදෙනු පෙරට වඩා ශක්තිමත් කර ගැනීමට ක්‍රියා කළා. එහි දී අමෙරිකානු ඩොලරය අවම සාධකයක් බවට පත් වුණේ නිරායාසයෙන්.  එම ගනුදෙනු සිදු කිරීමේ දී චීනයේ යුවාන් සහ ඉන්දියානු රුපියල භාවිත කිරීමේ උනන්දුව වර්ධනය වීම ඊට හේතුව යි.

ඩොලරයට විකල්පයක්..?

එක්සත් ජනපදය ප්‍රමුඛ “G7” ‍රටවල් මෙතෙක් ගෝලීය වෙළෙඳපොළේ පවත්වා ගෙන ගිය බල අධිකාරිය බිඳ දැමීමේ මුල් අදියර මේ සමඟ ම කරලියට පැමිණි බව සිතිය හැකි යි. ඔවුන්ට අභියෝගයක් එල්ල කළ හැකි එකම ආර්ථික බලමුළුව “BRICS” සන්ධානය වන බැවින්, ලෝකයේ නව ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතය යුක්‍රේන-රුසියානු යුද්ධය සමඟ ඔවුන් තීව්‍ර කළ බව පෙනෙන්න තිබෙනවා. එය තවදුරටත් තහවුරු වූයේ “BRICS” ජාතීන් ගෙවීම් සඳහා නව මාධ්‍යයක් නිර්මාණය කිරීමට උත්සුක වීමත් සමඟ යි.

එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍ය බිඳ දැමිය හැකි විභවය ඇත්තේ “BRICS” ජාතීන්ට බවට මත පළ වෙනවා -beincrypto.com

එක්සත් ජනපද ඩොලරයට අසීමිත බලයක් ලැබීමත් සමඟ අනෙකුත් ආර්ථික කෙරෙහි එක්සත් ජනපදයට අසමානුපාතික බලපෑමක් එල්ල කිරීමේ අවස්ථාව උදා වුණා. දිගු කලක් මුළුල්ලේ සම්බාධක පැනවීම හරහා සිය ඉලක්ක සපුරා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණෙත් ඒ නිසා යි. නමුත්, මෙවර එක්සත් ජනපදයට සිතූ තරම් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. රුසියාව කෙසේ හෝ මෙම තත්ත්වයට මුහුණ දෙමින් ඩොලරය සතු ආධිපත්‍යය බිඳ දැමීමේ පිඹුරුපත ද සකසමින් සිටින බව පෙනී යනවා.

අලුත් යුගයක ඇරඹුමක් ද?

එක්සත් ජනපද ඩොලරයෙන් ස්වාධීන වූ ගෙවීම් මාධ්‍යයක් පිහිටුවමින් ජාත්‍යන්තර වෙළෙඳාමට පිවිසීමේ හැකියාව “BRICS” සන්ධානය ගොඩනඟා ගතහොත්, එක්සත් ජනපදය ඇතුළු “G7” බලමුළුවේ හැසිරීම තවදුරටත් ගෝලීය ආර්ථිකයේ ප්‍රබල සාධකයක් වන්නේ නැහැ. දේශපාලනමය වශයෙන් අනෙකුත් රටවලට බලපෑම් සිදුකළ හැකි විභවය ද එමඟින් අවම වෙනවා. මුදල් උච්චාවචනය සහ පොලී අනුපාත වෙනස්වීම් මත ඇති වන විපර්යාස අවම වන අතර, “BRICS” රටවල් සහ ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට කැමති රටවලට මූල්‍ය අර්බුද කළමනාකරණය කිරීමේ හැකියාවත් පෙරට වඩා වර්ධනය වනු ඇති.

යුක්‍රේන-රුසියානු යුද්ධය අවසාන වූ කාලයක මුළු ලෝකය ම අලුත් යුගයකට ඇතුල් වීමට ඉඩ තිබෙනවා. හුදෙක් සන්ධානයක් හෝ සාමුහිකයක් වශයෙන් හඳුන්වන “BRICS” රටවල් ඒ වනවිට අලුත් ආර්ථික බලමුළුවක් ලෙස පරිණාමය වී තිබෙන්නට පුළුවන්. දැනටමත් මුල් සාමාජිකයන් “BRICS+” නම් අලුත් සංකල්පයක් හඳුන්වා දෙමින් සාමුහිකයේ නිත්‍ය සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීමේ අවධානය යොමු කර ඇති අතර, බොහෝ රටවල් “BRICS” සාමුහිකය සමඟ එක්වීමේ උනන්දුවෙන් ද පසු වෙනවා.

කවරයේ ඡායාරූපය: බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව වසර ගණනාවක් මුළුල්ලේ ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති රටවල් වශයෙන් සැලකෙනවා - www.archyde.com

මූලාශ්‍ර: www.dw.comwww.firstpost.com, www.investopedia.com

(මිලාන් පෙරේරා - Roar media)