ඊශ්‍රායලය වෙත යැවෙන ලාංකික කෘෂි කම්කරුවන් 10,000 සේවයේ යොදවන්නේ කොහෙද?

ඊශ්‍රායලය වෙත යැවෙන ලාංකික කෘෂි කම්කරුවන් 10,000 සේවයේ යොදවන්නේ කොහෙද?

ඊශ්‍රායල ගාසා ගාසා යුද්ධය හමුවේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති මොහොතක, මෙරටින් කෘෂි කම්කරුවන් 10,000ක් ඊශ්‍රායලය වෙත යැවීම සඳහා එළඹ ඇති ගිවිසුම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබේ.

ඇතැම් පාර්ශව ඒ පිළිබඳව නගන චෝදනා ද මීට හේතුවී තිබේ.

අදාළ ක්‍රියාවලිය තුළ පවතින විනිවිදභාවයේ මඳබව, යුදමය තත්ත්වයක් පවතින පසුබිමක ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ ආරක්ෂාවට ඉන් කිනම් තර්ජනයක් එල්ලවනු ඇති ද යන්න, ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදයෙන් ඊශ්‍රායලය වාසි ලබා ගැනීමට උත්සහ දරන බව, ඔවුන්ට යුද්ධ පුහුණුව ලබා දෙන බව මෙන් ම, එම රැකියා ලබා දීම සඳහා මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ද ආදිය එම චෝදනා අතරින් කිහිපයකි.

Israeli volunteers pack crates of mangoes onto the back of a truck during the harvest at a farm in Moshav Sde Nitzan, in southern Israel near the border with the Gaza Strip, on October 25, 2023.

| ඔක්තෝබර් 7 වන දායින් පසු, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියාවල නියැළී සිටි විදේශීය කම්කරුවන් 30,000න් 8,000ක් පමණ ඊශ්‍රායලය හැර ගොස් ඇතැ යි ද, පලස්තීන කෘෂි කම්කරුවන් 20,000කට පමණ රටට ඇතුළුවීම තහනම් කර ඇතැ යි ද එරට වෙබ් අඩවියක් වාර්තා කර තිබිණි

ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් 10,000 "වහා ම බඳවා ගැනීමට ඊශ්‍රායලයට ඉඩ සලසන" ගිවිසුමකට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෝෂෙ ආබෙල් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර එළඹ ඇතැ යි, ඊශ්‍රායලයේ ව්‍යාපාරික පුවත් වෙබ් අඩවියක් වන Globes නොවැ. 6 වන දා වාර්තා කර තිබුණි.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයට පවතින යුදමය තත්ත්වයෙන් දැඩි ලෙස පහර වැදී ඇති අතර, එරට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නියැළී සිටි විදේශීය කම්කරුවන් 30,000න් 8,000ක් පමණ ඔක්තෝබර් 7 වන දා සිට ඊශ්‍රායලය හැර ගොස් ඇතැ යි එම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

ඒ සමග ම පලස්තීන කෘෂි කම්කරුවන් 20,000කට පමණ රටට ඇතුළුවීම තහනම් කර ඇති බව ද එහි සඳහන් විණි.

ලාංකික කම්කරුවන් සේවයේ යෙදවීමට විරෝධය

ආහාර ස්වෛරීභාවය, ඉඩම්, ජලය, බීජ සහ ස්වභාවික වනාන්තරවල ආරක්ෂාව ආදී අරමුණු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR), කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ඊශ්‍රායලය වෙත ශ්‍රී ලංකාවෙන් කෘෂි කම්කරුවන් 10,000ක් යැවීමට එය විරෝධය පළ කරන බව පවසයි.

එම ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින්, අදාළ කම්කරුවන් කෘෂි කටයුතු සඳහා යොදවන භූමි ප්‍රදේශ ඊශ්‍රායලයට අයත් ස්වාධීන භූමි ප්‍රදේශ ලෙස ඔවුන් පිළිනොගන්නා බව ප්‍රකාශ කළේය.

"මේ භූමිය පැහැදිලිව ම ඊශ්‍රායලය පලස්තීනයෙන් උදුරා ගත්ත භූමියක්, විවිධ කාරණා පාදකකර ගෙන. ඒ භූමිය සඳහා ලංකාවේ ශ්‍රමිකයන් විධියට යැවීම ගැන අපි සම්පූර්ණ විරෝධය පළ කරනවා."

මේ වන විටත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට මරු කැඳවූ ඊශ්‍රායල ගාසා යුධමය වාතාවරණය හමුවේ ඊශ්‍රායල වෙත යවනු ලබන කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වගකිව නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

මොන්ලාර් නියෝජිතයින් පසුගිය දා පලස්තීන තානාපති කාර්යාලයයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහායිර් එම්. එච්. සයිඩ් හමුවී ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවෙන් කෘෂි කම්කරුවන් යැවීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය පිළිබඳ ඔවුන් විරෝධය පළ කරන බව ප්‍රකාශ කර තිබේ.

එමෙන් ම, ගොවීන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටින එම ව්‍යාපාරය 'පලස්තීන ගොවීන්ගෙන් කොල්ලකන ලද' භූමියක ශ්‍රී ලංකාවේ කම්කරුවන් සේවයේ යෙදවීම තරයේ හෙළා දකින බව ද එහිදී ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව මොන්ලාර් නියෝජිතයින් විසින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, එම අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අධ්‍යක්ෂ සිම්රින් සිං ඇතුළු පාර්ශව වෙත, තීව්‍ර වන ගාසා ගැටුම මධ්‍යයේ ඊශ්‍රායලයට කෘෂි කම්කරුවන් යැවීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය හෙළා දකිමින් නොවැ. 27 වන දා ලිපියක් ද යොමු කරනු ලැබ තිබේ.

එමඟින් ඔවුන් දන්වා ඇත්තේ, ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් යැවීමට ගත් තීරණය, 'ජන සංහාරයක් ලෙස ප්‍රකාශ කළ හැකි සන්නද්ධ ගැටුමකට සම්බන්ධ රටක් සමග' කම්කරු ගිවිසුම් සඳහා එළඹීම කෙතරම් යෝග්‍ය ද යන්න පිළිබඳ සදාචාරාත්මක ප්‍රශ්න මතු කරන බව ය.

මොන්ලාර් මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, "මේ අරන් යන කම්කරුවන් යොදවන්නේ කොහෙට ද සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිරවුල් තත්ත්වයක් ඇති කරලා නැහැ," යනුවෙන් තවදුරටත් සඳහන් කළේ ය.

එමෙන් ම, ලෝකයේ බොහෝ රටවල් පවතින යුදමය තත්ත්වයට ඊශ්‍රායලයට විරෝධය පළ කර ඔවුන්ගේ නිෂ්පාදන ආදිය වර්ජනය කරන මොහොතක ශ්‍රී ලංකාව ඊශ්‍රායලය වෙනුවෙන් මෙවැනි තීරණයක් ගන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි විවේචනයක් පවතින බව ඔහු පැවසීය.

ඔහු අවධාරණය කළේ, එම කෘෂි කම්කරුවන් ඊශ්‍රායලයට යොමු කිරීමේ මෙම ක්‍රියාවලිය පිළිබඳව 'කිසිදු ආකාරයකය පිළිගත හැකි තොරතුරක්' ඉදිරිපත් නොකරන බව ය.

"ලංකාවේ කෘෂිකර්මාන්තය ඉතා ම සැලසුම්සහගතව යම් විධියකට විනාශ කරමින්, කෘෂි කර්මාන්තයට ඉදිරියට යාමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය කප්පාදු කරමින් තිබෙන මොහොතක, එය ආරක්ෂාකර ගැනීමට මැදිහත්වීම් කළ යුතු මොහොතක, ගොවීන් අධෛර්යවත් කර ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළන තත්ත්වයකට පත් කිරීම" සම්බන්ධයෙන් ද ඔහු විරෝධය පළ කරන බව චින්තක රාජපක්ෂ පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය "විශාල කඩාවැටීමකට" ලක්ව ඇති බව ය.

බටහිර ඉවුරෙන් සහ ගාසා තීරයෙන් පැමිණි ශ්‍රමිකයන් නතර කිරීමත්, සේවය කළ ඇතැම් විදේශ ශ්‍රමිකයන් රටින් පිටව යාමත් ඊට හේතු වී තිබේ.

නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුර සහ ගාසා තීරය, 1967 වසරේ සිට ඊශ්‍රායල හමුදා අත්පත්කර ගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශ බව වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) සඳහන් කරයි.

MONLAR letter

| මොන්ලාර් නියෝජිතයින් විසින්, තීව්‍ර වන ගාසා ගැටුම මධ්‍යයේ ඊශ්‍රායලයට කෘෂි කම්කරුවන් අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය හෙළා දකිමින් යොමු කළ ලිපිය

'කවුරු හරි එන්න ඉන්නවා නම්, ඒ ගොල්ලන්ට මහඟු අවස්ථාවක්'

කෙසේ වෙතත්, අර්බුදයකට ලක් වී තිබෙන ඊශ්‍රායල කෘෂිකර්මාන්තය වෙනුවෙන් දායකවීමට ඔවුන්ගේ රැකියාව අතරතුර ලැබෙන නිවාඩු කාලය වැය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳව පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

මාධ්‍යවල පළ වූ එවැනි වීඩියෝවක අදහස් පළ කළ ශ්‍රී ලාංකිකයෙකු ප්‍රකාශ කළේ, "අපේ ඇත්තට ම අරමුණ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලංකාව කියන නාමය ඉහළින් තියන්න. ඇත්තට ම ශ්‍රී ලංකාවේ ඉඳලා යම් කිසි සේවකයෙක් වතු කම්කරුවෙක් හෝ වේවා, නැත්නම් කෙයාර්ගිවර් ක්ෂේත්‍රයේ හෝ වේවා කවුරු හරි එන්න ඉන්නවා නම්, ඒ ගොල්ලන්ට මහඟු අවස්ථාවක් වෙන්න පුළුවන්," යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබිණි.

ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ප්‍රතිචාරය

Globes වෙබ් අඩවිය වාර්තා කර තිබුණු පරිදි මෙරටින් කෘෂි කම්කරුවන් 10,000ක් යැවීම සඳහා ඊශ්‍රායලය සමග ගිවිසුමකට එළඹියේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර විමසීමක් කළේ ය.

ඔහු, ඒ පිළිබඳව "අපිට මුකුත් කියන්න එපා කියලා ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඉන්ෆෝම් කරලා තියෙනවා,"යි ප්‍රකාශ කළේ ය. ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නොපවතින බව ද ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ගාසා තීරයේ සහ ලෙබනන් දේශසීමා ආසන්නයේ සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් වෙනත් ස්ථාන වෙත යොමු කර ඇති බව ය.

රට තුළ ජන ජීවිතය 90%ක් පමණ සාමාන්‍ය තත්ත්වයේ පවතින බව ඔහු සඳහන් කළේ ය.

"ජන ජීවිතය ගැන ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ අය තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඊට අමතරව ඒ ගොල්ලෝ සතිඅන්තවල දී ස්වේච්ඡාවෙන් ගොවිපළවල්වල වැඩ කරනවා. ලංකාවේ ගොඩක් අය යනවා. ඒ වගේ ම ඒගොල්ලෝ රුධියත් පරිත්‍යාග කරනවා."

එක් එක් කලාප සඳහා වෙන්වුණු නිලධාරීන් සිව් දෙනෙකු තානාපති කාර්යාලය තුළ සිටින බව ත්, හඳුන්වා දී ඇති විශේෂ දුරකතන අංකයක් හරහා හදිසි අවස්ථාවල දී එම නිලධාරීන් හා සම්බන්ධ විය හැකි බව ත් නිමල් බණ්ඩාර බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මේ දක්වා යළි ශ්‍රී ලංකාවට යා යුතු බවට තානාපති කාර්යාලය දැනුවත් කර නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000ක් පමණ සිටින බව ය.

මුදල් අය කරන බවට චෝදනා

නොවැ. 23 වන දා ඩේලි මිරර් පුවත්පත එහි ප්‍රධාන පුවත හරහා, 'Corruption taints recruitment for Korean, Israeli jobs' යන සිරස්තලයෙන්, මෙම නව රැකියා අවස්ථා සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ දී දේශපාලනඥයන්ගේ නියෝජිතයින් වැඩි මුදලක් අය කරන බවට පැමිණිලි ලැබී ඇති බව වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම රැකියා පිරිනැමීම රජයන් දෙකක් අතර එළඹි ගිවිසුමක් අනුව සිදුවන බැවින් ඊශ්‍රායලයේ රැකියාව සඳහා තෝරාගත් තරුණයින් අනුමත ගාස්තුවලට වඩා වැඩි මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන බව එහි දක්වා තිබිණි.

ඩේලි මිරර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණේ, මෙම රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම මතභේදයට තුඩු දී ඇත්තේ එම ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොමැතිකම හේතුවෙන් බව ය.

'පලස්තීනුවන්ගේ ගෙවල් ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්'

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මේ සම්බන්ධයෙන් නොවැ. 25 වන දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්, ඊශ්‍රායලය වෙත දැනට යැවීමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා එරට දී යුද්ධ පුහුණුවක් ලබාදීමේ සූදානමක් පවතින බව ප්‍රකාශ කළේ ය.

එම ක්‍රියාව පිළිබඳව අරාබි රටවල්වල විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකු එය 'ඉතා ම වැරදි වෙලාවක ගන්න වැරදි තීරණයක්' බව ඔහු සමග පැවසූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

"ඊයේ මම කතා කරද්දී ජනාධිපතිතුමා සභාවේ ඉඳිද්දිත් කිව්වා, මේක හරියට මේ පලතීනුවන්ගේ ගෙවල් ගිනි ගන්නකොට ගිහිල්ලා සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්. මේ ඊශ්‍රායලයට දැනට යවන අයට යුද්ධ පුහුණුවක් ලබා දීමේ සූදානමකුත් තියෙනවා. ඒ ගියාට පස්සේ ඒ ගොල්ලන්ට තුවක්කු භාර දීලා - මොක ද වැඩිහිටි අයගේ සාත්තු කිරීම්වලටත් ඒ වගේ වැඩකටයුතුවලත් ඉඳිද්දි, විශේෂයෙන් මේ ගාසා තීරණයෙන් එන ශ්‍රමිකයන් අහිමිවීමත් එක්ක ඇති වෙන පුරප්පාඩුවලටත් ඒ වගේ ම පලස්තීනුවන්ගෙන් බලහත්කාරයෙන් උදුරා ගත්ත බිම් කොටස්වල ගිහිල්ලා වැඩ කරන්න තමයි මේ රැකියා අවස්ථා ලබා දෙන්නේ. ඒක යි ඇත්ත කාරණාව. ඉතින් මේ පිළිබඳව අරාබි රටවල්වල විදේශ තනාපතිවරුන් කිහිප දෙනෙක් මට කියා සිටියා මේක ඉතා ම වැරදි වෙලාවක ගන්න වැරදි තීරණයක් කියලා."

විෂයභාර ඇමතිවරයාගේ ප්‍රතිචාරය

නමුත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර නොවැ. 25 වන දා මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත ප්‍රධාන පුවත ලෙස නොවැ. 23 අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් කිසිදු පදනමක් නොමැති චෝදනා ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඊශ්‍රායල රැකියා අවස්ථා සඳහා සිදු කරනු ලබන බඳවා ගැනීම් විනිවිදභාවයකින් යුතුව සිදු කරන බව ය.

"ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ්අඩවිය හරහා ඕනෑ ම පුද්ගලයෙකුට ඒ සඳහා ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා පාර්ශවයකින් බලපෑම් එල්ල වී නැත." හෙතෙම කියා සිටියේය.

රාජ්‍යයන් දෙක අතර පවතින එකඟතාව අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් මෙම ශ්‍රමිකයන් යොමු කරන අතර ඒ සඳහා කිසිදු බාහිර පාර්ශවයකට ගෙවීම් සිදු නොකළ යුතු බව අමාත්‍යවරය සඳහන් කළේ ය.

"මෙම රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් මුදල් එක් කරන ජාවාරම්කරුවන්ට දැඩි නීතිමය පියවර ගනිමින් සිටියදීත් ඒ සඳහා කිසිදු පියවරක් නොගන්නා බවට හැඟවෙන බවට කරනු ලබන වාර්තා සම්පූර්ණයෙන් ම සාවද්‍ය," බව ද ඔහු එහිදී පැවසීය.

අමාත්‍යවරයා එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ප්‍රතිචාර දැක්වීය.

ඔහු පෙන්වා දුන්නේ, ඊශ්‍රායලය වෙත දීර්ඝකාලීනව ශ්‍රමිකයින් යොමු කරමින් සිටිය ද, උද්ගත වුණු යුදමය තත්ත්වය හමුවේ එය තාවකාලිකව නතර කළේ එහි සිටින ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව නිසි තොරතුරු ලබා ගන්නා තුරු බව ය.

"ඒ තොරතුරු ලබා ගැනීමෙන් පසු, අපේ ශ්‍රමිකයන් ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශවලටවත් යවන්නේ නැහැ. ඒ රට, අපේ රටේ උතුරේ යුද්ධෙ තියෙන කොට ගාල්ල, මාතර වගේ පැතිවල කෘෂිකර්මාන්තයට යවනවා වගේ තත්ත්වයක් මේ තියෙන්නේ."

එම ප්‍රදේශ වෙත අදාළ කම්කරුවන් යොමු කිරීමේ දී අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

"කිසිදු යුද්ධ පුහුණුවක් මේ අයට ලබා දෙන්නේ නැහැ. මේ වගේ කතා කියලා මේ පාර්ලිමේන්තුව නොමඟ නොයවන ලෙස ඉල්ලා සිටිනවා."

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, "කිසිදු ආකාරයකින් ගාසා තීරයේ අත්පත් කරගත් ඉඩම්වලට හෝ පලස්තීනුවන් සතු ඉඩම්වලට යොමු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. වගකීමෙන් කියනවා, අනෙක් ප්‍රදේශවලට තමයි මේ ශ්‍රමිකයන් යොමු කිරීම සිද්ධ කරන්නේ," යනුවෙනි.

(bbc.com/Sinhala)