කාර්යාංශ සේවා රැසක් නිවසේදීම සිදුකර ගැනීමට දැන් අවස්ථාව

කාර්යාංශ සේවා රැසක් නිවසේදීම සිදුකර ගැනීමට දැන් අවස්ථාව
  • www.slbfe.lk වෙබ් අඩවිය යාවත්කාලීන කරයි.

විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවිය යාවත්කාලීන කර ජනගත කිරීම ඊයේ දින (2023.11.27) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් සිදුකරන ලදී.

මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම හා ලියාපදිංචිය අලුත් කිරීම, රැකියා බැංකුවේ ලියාපදිංචි කිරීම, නව විදේශ රැකියා අවස්ථා හඳුනා ගැනීම හා විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ රැකියාවට යාමට පෙර හා විදෙස් රැකියාව අවසන් කර මෙරටට පැමිණීමෙන් අනතුරුව විගමණික ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් සම්බන්ධව තොරතුරු ලබාදීම හා අවශ්‍ය ලියාපදිංචි කිරීම් සිදුකිරීමට නවතම යාවත්කාලීන කළ වෙබ් අඩවිය මගින් පහසුකම් සලසා තිබේ.

ආකර්ශනීයව හා නව තාක්ෂණයට ගැලපෙන අයුරින් සිංහල, ඉංග්‍රිසි හා දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබාගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයයි.

ශ්‍රී ලංකාවේ විගමණික ප්‍රජාව මෙරට ආර්ථිකයේ විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ ප්‍රමුඛයා වන අතර ඔවුන් වෙනුවෙන් පහසුකම් සැලසීමට රාජ්‍ය මට්ටමින් ගත හැකි සැම පියවරක්ම රජය විසින් ගනු ලබන බවත්, එමෙන්ම විදේශ රැකියා මෙරටට ගෙන එනු ලබන බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන් නියාමනය කරමින් ඔවුන්ගේ සේවාව අගය කරමින් වෘත්තිකභාවයකින් යුතුව කටයුතු කිරිම සදහා කාර්යාංශය විසින් පියවර ගනිමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් සඳහන් කළේය. ශ්‍රමිකයන් බදවා ගන්නා විදේශ රාජ්‍යන් සමග රාජතාන්ත්‍රික මට්ටමින් අවබෝධාත්මක සම්බන්ධතාවයක් පවත්වා ගැනිම හේතුවෙන් වැඩි වැඩියෙන් විදේශ රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට විවෘත වී ඇති පසුබිමක වාර්ෂිකව විදේශ රැකියා වලට පිටත් වන ප්‍රමාණය හා ඔවුන් විසින් මෙරටට එවන ප්‍රේෂණය ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ජනතාවට සමීප හා කාර්යක්ෂම ඵලදායි සේවාවක් ලබාදෙන අමාත්‍යාංශ අතර ප්‍රමුඛතම අමාත්‍යාංශයක් වන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම හරහා ශ්‍රමිකයින් ලබාගන්නා විදේශීය රටවල් හා නිපුණතා සපිරි ශ්‍රී ලාංකීය ශ්‍රමික ප්‍රජාව අතර පාලමක් ගොඩනැගීම මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම මගින් හැකිවන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.