ඊශ්‍රායලයේ කෘෂි රැකියා මැවූ තවත් ඒජන්සියක් වටලයි

ඊශ්‍රායලයේ කෘෂි රැකියා මැවූ තවත් ඒජන්සියක් වටලයි
  • බඳවාගැනීම් රජයෙන් පමණයි. කිසිවෙකුට මුදල් දෙන්න එපා - ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලයි

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකළ ජාඇල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් වැටලීම් කර පුද්ගලයින් දෙදෙනෙකු 2023.11.27 දින අත්අඩංගුවට ගෙන තිබේ.

ජාඇල පිහිටි රෝයල් ග්‍රීන් ඉන්ටර්නැෂනල් නම් කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනය විසින් ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා Tiktok හා Whatsapp යන සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ දැන්වීම් පළකරමින් පුද්ගලයින් බඳවාගැනීම් සිදුකරන බවට පෞද්ගලික ඔත්තුකරුවෙකු මගින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් කාර්යාංශ පනත උල්ලංඝණය කරමින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම හේතුවෙන් 2023.11.27 දින අදාල ස්ථානය වැටලීම් කර, අදාල රැකියා නියෝජිතායතනයේ බලපත්‍රලාභියා හා එහි සේවය කළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම ස්ථානයේ තිබී ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 135, පොලිස් වාර්තා, ජීව දත්ත පත්‍රිකා හා අත්සන් කර ඇති පොරොන්දු පත්‍රිකා ඇතුළු ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 2023.11.28 දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වැඩිදුර නඩු විභාගය 2024.02.13 දින කැඳවීමට නියමිතයි.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න, සරත් විමලවීර, එම්.කේ.සුමනවීර, ඉදුනිල් පුෂ්පකුමාර, දිල්හානි සපරමාදු, මහීෂ කොඩිප්පිලිආරච්චි, ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක්වූහ.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා හිමිවන්නේ රජයන් දෙක අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන බැවින් ඒ සඳහා බඳවා ගැනීම් සිදුකළ හැක්කේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණි. එබැවින් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිඳු පාර්ශවයකට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙසත්, එසේ රැකියා සඳහා බඳවා ගැනීම් කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය 011 2864241 අංකය ඔස්සේ දැනුවත් කරන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.