මැදපෙරදිග හාම්පුතුන් මූලිකව ගෙවන රුපියල් ලක්ෂ 10 ක මුදලට මොකද වෙන්නේ

nimal siripala de silva

මැදපෙරදිග සමහර රටවල්වලට යන අපේ ගෘහ සේවිකාවක් වෙනුවෙන් මූලික ගෙවීමක් ලෙස ඒජන්සිකරුවන්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දෙන බවත්, එම සම්පූර්ණ මුදල විදේශ විනිමය ලෙස නීත්‍යානුකූලව මෙරට බැංකු ඔස්සේ ‍ ලංකාවට පැමිණෙන්නේදැයි මූල්‍ය තාක්ෂණික විගණනයක් කොට සොයා බලන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා මහ බැංකු නිලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

එක් ගෘහ සේවිකාවක් සැපයීම වෙනුවෙන් අතරමැදියන්ට මැදපෙරදිග හාම්පුතුන් ලබා දෙන මෙම රුපියල් ලක්ෂ දහයෙන් 50% ක මුදලක් එම ගෘහ සේවිකාවගේ නමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තැන්පත් කළ යුතු බවට නීති සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,විදේශ ප්‍රේෂණ පිලිබද කාර්ය සාධක බළකායේ නිලධාරීන් සමග කම්කරු අමාත්‍යවරයා පසුගිය දා (02) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමා සහ මහ බංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්,කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ,විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස් අරුනෛයිනාහයම්, විදේශ සේවා නියුක්ති කාර්යංශය සභාපති කමල් රත්වත්තේ, විදේශ රැකියා ඒජන්සි කරුවන්ගේ සංගමය සභාපති බුද්ධි ප්‍රදීප් මහතා ඇතුළු නිලධාරීහු රැසක් මෙම සාකච්ඡාවට එක් වූහ. විදේශගත ශ්‍රමිකයන් ගෙන් අප රටට ලැබෙන විදේශ විනිමය තවදුරටත් වැඩි කරගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හඳුනාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ඇමති වරයා මෙහි දී පැවසීය.

අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය වී ඇත්තේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපයීම්ය.අද වන විට ඔවුන් ගෙන් අපේ රටට වසරකට ඩොලර් බිලියන 7 ක මුදලක් ප්‍රේෂණය වේ.එය ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ආරම්භ කළ යුතු බව ඇමැතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.එහි දී දැනට විදේශ ගතවන ශ්‍රමිකයන් සහ ගෘහ සේවිකාවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අතිරේකව, විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි නිපුණතා සහිත ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යැවීමෙන් අප රටට ලැබෙන විදේශ විනිමය ආදායම තවදුරටත් වැඩි කර ගත හැකි බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එසේම මව්රටට පැමිණෙන විදේශ ගතව සිටි ශ්‍රමිකයන් නැවත එම රැකියා සදහා යාමට දිරි ගැන්වීම කළ යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

අප රටේ ලැබෙන බැංකු පොලියට වඩා වැඩි පොලියක් එම විදේශ රටවල දී සිය තැන්පත් සදහා ලැබෙන බැවින්, බොහෝ විදේශගත ශ්‍රමිකයන් තමන්ගේ මුදල් එම රටවලම බැංකුවල තැන්පත් කිරීමට පෙළඹී ඇත. එම නිසා ඔවුන්ගේ තැන්පත්වලට දෙන බැංකු පොලී අනුපාතය වැඩි කිරීමට පියවර ගෙන විදේශගත ශ්‍රමිකයන්ගේ ඉපයීම් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා මෙන් මහ බැංකු නිලධාරීන් ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.එසේම නිල නොවන ශ්‍රම වෙළදපල ඔස්සේ, එනම් තාවකාලික කෙටි කාලීන වීසා මගින් විවිධ රටවලට ගොස් රැකියා කිරීමේ ක්‍රමවේදවලට අවහිර කිරීමට අයිතියක් නැති බවත්,පවතින අවහිරතා අවම කළ යුතු වන අතර, නමුත් එසේ හොර පාරෙන් රට රැකියාවලට යන අයට විදේශ සේවා නියුක්ති කාර්යංශය වග නොකියන බව ද ඇමතිවරයා පැවසීය.

එසේම විදේශ රැකියා ඒජන්සි මගින් රැකියා සදහා යවන අයගේ සුබසාධනය ගැන සොයා බැලීමත් ඒජන්සි හිමියන්ගේ වගකීමක් බව ද , පසුගිය කාලයේ කොවිඩ් නිසා විදේශයන් හි අසරණ වූ අපේ ශ්‍රමිකයන් පිලිබද ඒජන්සි හිමියන් ගත් සුබසාධන පියවරයන් සහ කොවිඩ් සමයේ විදේශ රැකියා ඒජන්සිකරුවන් ගෙන ආ රැකියා ඇබෑර්තු පිලිබද වාර්තාවක් ලබා දෙන ලෙස ද ඇමතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැවසීය.