මැලේසියාවේ ක්‍රියාත්මක සංක්‍රමණික උගුල් (අපායේ කතාව 18)

human-traffiking-in-mayasia

තායිලන්ත මැලේසියානු දේශ සීමාවේ තායිලන්තයට අයත් ප්‍රදේශයක් වූ  සංකෝලාහි (Songkhla) ජනතාවට විදේශීය සංක්‍රමණිකයන් නුහුරු ඇත්දැකීමක් නොවේ. නීතියේ ඇස වසමින් හෝ නීතියේ අනුදැනුම ඇතිව සංක්‍රමණික ජාවාරම්කරුවෝ මියන්මාර් ජාතිකයන් ඇතළු සංක්‍රමණික පිරිස් තායිලන්තයේ සිට මැලේසියාව වෙත රැගෙන යන්නේ සංකෝලා ප්‍රදේශය හරහා වන බැවිණි. වර්ෂ 2019, ජූනි මස 29 හෝ  ආසන්න දිනක සුපුරුදු පරිදි සංකෝලා ප්‍රදේශයේ ජනතාව සිය දෛනික කටයුතු වළ නිරතව උන්හ. සන්කෝලා ප්‍රදේශයේ,  සදාඹ (Sadao) ගම්මානයේ ජනතාවට සුපුරුදු පරිදි එදිනද සාමාන්‍ය එකක් විය.  නමුත් අසාමාන්‍ය යමක් ඇතැම් ගම් වැසියන් වෙත නිරීක්ෂණය වී තිබිණ. ගම්මානයෙ වසා දමා තිබූ කඩ කාමරයක් තුළ දරුවන් සහ ගැහැණුන් හඬන බවක්  ඇතැම් ගම් වැසියන් වෙත ඇසී තිබිණ. ඒ පිළිබඳව සැළකිලිමත් වූ ගම්වැසියෝ පොලීසියට තොරතුරු දැනුම් දුන්හ. ඒ අනුව ක්‍රියාත්මක වූ තායිලන්ත පොලීසියට වසා දැමූ කඩ කාමරය තුළ සිර කොට දමා සිටි මියන්මාර් ජාතික පුද්ගලයන් විසි දෙනෙකු මුදවා ගන්නට හැකිවිය. ඛේදජනක කරුණ වූයේ ජූනි මස 29 වන දින පිරිස මුදවා ගන්නා තුරු දින පහකට 5 ආසන්න කාලයක් පුරා ප්‍රමාණවත් තරම්  ආහාර හෝ ජලය නොමැතිව සංක්‍රමණික පිරිස එම කඩ කාමරය තුළ සිරකොට තබා තිබූ බව අනාවරණය වීමය. ඔවුන් ඉතා දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවූ බව පොලිස් නිළධාරීන් වාර්තා කොට තිබේ. වැඩිහිටි පිරිමි පුද්ගලයන් නව දෙනෙකු, ගැහැනුන් පස් දෙනෙකු පිරිස අතර වූ අතර සෙසු සියලුදෙනා වයස අවුරුදු දහ හතරේ සිට අවුරුද්දයි මාස තුනක් තරම් අඩු වයසේ වූ දරුවෙකු ඇතුළු බාල වයස්කරුවන් වූහ.  තායිලන්ත පොලීසිය හෙළිකරගෙන තිබුණේ මැලේසියාව වෙත පිවිසීමට කටයුතු සූදානම් කරනතුරු ජාවාරම්කරුවන් විසින් මෙම සංක්‍රමණිකයන් පිරිස මෙළෙස සිරකොට තබා සිටි බවය.

මේ ආකාර වූ අති දුෂ්කර අභියෝග පසු කරමින් මැලේසියාව තුළට සංක්‍රමණය වූ සරණාගත පිරිස්, දේශපාලන රැකවරණය සොයා පැමිණි පිරිස්, ආර්ථික ප්‍රතිලාභ සොයා සංක්‍රමණය වූ පිරිස් ඇතුළු මිලියන දෙකකට වඩා වැඩි   විදේශිකයන් පිරිසක් මැලේසියාව තුළ ජීවත්ව සිටින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව සඳහන් කරයි 2020-trafficking-in-persons report -malaysia - us state department). සමස්ථයක් ලෙස ගත්කළ මැලේසියානු ශ්‍රම බලකායෙන් 20% පමණ දායකත්වයක ලබා දෙනු ලබන්නේ එරට තුළ සිටින සංක්‍රමණික පිරිස් බවද එම වාර්තාව සඳහන් කරයි. මැලේසියාව තුළ සේවය කරනු ලබන නීත්‍යානුකූල සහ අනවසර ශ්‍රමිකන් යන දෙකොට්ඨාශයම ශ්‍රම සූරාකෑමට ලක් කරන ආකාරය ද රාජ්‍ය දෙපාර්තුමේන්තුව තම වාර්තාව මගින් විස්තර කොට දෙයි. පහත ඇතැම් තොරතුරු ඉදිරිපත් කෙරෙන්නේ එම වාර්තාව පදනම් කරගෙනය.

සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කෑම සඳහා ජාවාරම්කරුවන් විසින් අනුගමනය කරනු ලබන ප්‍රචලිත ක්‍රමවේදය වන්නේ රැකියා සොයා පැමිණෙන පිරිස විවිධ ක්‍රමවේද හරහා “ණය උගුල් වල” සිරකොට ණය කරුවන් ලෙස තබාගෙන ඒ සඳහා හිළවු වශයෙන් ශ්‍රම සූරා කෑමට ලක් කිරීමයි. විශේෂයෙන් ඇතැම් රැකියා නියෝජිතයෝ විසින් සංක්‍රමණිකයන් රැකියා සඳහා මැලේසියාව තුළට රැගෙන ඒමේදී,  සේවය කොට උපයා ගෙවීමේ ණය පදනම මත සංක්‍රමණික පිරිස් රැගෙන විත්  රැකියා සඳහා යොමු කරති. නමුත් අදාළ ක්‍රියාවළිය සඳහා වැයවන සත්‍ය බරපැන වෙනුවට වංචා සහගත ලෙස ඉතා ඉහළ වියදමක් වැයවූ බව සංක්‍රමණිකයන් වෙත හඟවා, ඔවුන් ගසා කන්නට ඇතැම් රැකියා නියෝජිතයෝ පෙළැඹී සිටිති. මුලින් පොරොන්දුවූ රැකියා තැරැවු ගාස්තු සංක්‍රමණිකයන් මැලේසියාවට ලඟා වූ පසු විවිධ හේතු දක්වමින් ඉහළ දැමීම මගින්ද ඇතැම් රැකියා  තැරැවුකරුවන් සංක්‍රමණ පිරිස ණයකරුවන් බවට පත්කොට ඔවුන්ගේ ශ්‍රමය මෙන්ම ඉපැයීම්ද ගසා කති. බංගලාදේශය, බුරුමය, මියන්මාරය, කාම්බෝජය ආදී නොයෙක් රවළ සිට මැලේසියාව වෙත සංක්‍රමණය වන පිරිස් මැලේසියානු රැකියා වෙළදපොළ තුළ පොදුවේ මෙලෙස ශ්‍රම සූරාකෑමට ලක්වෙති. දෛනිකව ඉතා දීර්ඝ පැය ගණනක් සේවයේ යෙදවීම, පොරොන්දුවූ වැටුප් නොගෙවීම, පොරොන්දුවූ රැකියාව වෙනුවට වෙනත් රැකියාවක් වෙත බලහත්කාරයෙන් යොමු ඉරීම, වැටුප් ගෙවීම ප්‍රමාද කිරීම වැනි නොයෙක් ආකාරයේ අතවරවළට සංක්‍රමණික ශ්‍රමිකයන් හට මුහුණ දෙන්නට සිදුව තිබේ.

එපමණක් නොව. ඇතැම් අවස්ථාවක පහරදීම, තර්ජනය කිරීම මෙන්ම මැලේසියාවෙන් පිටුවල් කරන බවට තර්ජනය කිරීම වැනි ප්‍රචණ්ඩ ක්‍රමවේද හරහා සංක්‍රමණික ශ්‍රමිකයන් බලහත්කාරයෙන් සේවයේ යොදවන අවස්ථා මැලේසියාව තුළින් වාර්තා වී තිබේ.

බොහෝ හාම්පුතුන් තමන් යටතේ සේවය කරනු ලබන සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍ර වැනි පෞද්ගලික ලියකියවිලි තමන් භාරයේ රඳවා ගැනීම මගින් තම ශ්‍රමිකයන්ගේ හිමිකම් සහ සේවයේ යොදවන ආකාරය තම අභිමතය පරිදි මෙහෙයවීමට පෙළඹී සිටිති. සේවා ගිවිසුම් උල්ලන්ගනය කරන හාම්පුතුන් තම සේවකන්ගේ මූලික අයිතීන් පවා උල්ලංගනය කරමින් ඔවුන් වහලුන් ලෙස සළකා කටයුතු කරන අවස්ථා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව ඔවුන්ගේ වාර්තාව හරහා පෙන්වා දෙයි. මැලේසියානු නීතිය අනුව සේවකයාගෙ අනුමැතිය මත  විදේශීය ශ්‍රමිකයෙකු සේවයේ යොදවා ගන්නා හාම්පුතෙකු හට ශ්‍රමිකයා සතු ආගමන විගමන ලියකියවිලි  තමා සන්තකයේ තබා ගත හැකිය. මෙම නීති ප්‍රතිපාදනය ප්‍රයෝජනයට ගන්නා මැලේසියානු හාම්පුත්තු, තමන් විසින් සේවයේ යොදවනු ලැබූ විදේශීය ශ්‍රමිකයන් සතු ගමන් බලපත්‍ර තමන් භාරයේ තබාගැනීමට පෙළඹී සිටිති. මේ හරහා විදේශීය ශ්‍රමිකයන් හට වෙනත් රැකියාවක් වෙත යොමු වීමට ඇති අයිතිවාකිකම ඇතැම් හාම්පුතුන් විසින් උල්ලංඝනය කොට තිබේ.  විශේෂයෙන් ගෘහස්ත රැකියාවල නියුතු සංක්‍රමණික සෙවකයන් මෙම ප්‍රවණතාවයෙන් බැට කමින් සිටියි. ඇතැම් අවස්ථාවක සිය සේවකයින් හට සේවා ස්ථානයෙන් බැහැරට යා නොදී බලහත්කාරයෙන් ගමන් සීමා පවා පනවමින් සේවයේ යොදවාගන්නා ආකාරයද නිරීක්ෂණය වී තිබේ.

පිළිගත් නෛතික ක්‍රමවේද මත මෙන්ම නීත්‍යානුකූල නොවන ලෙස එරට තුළ සේවය කරනු ලබන විදේශීය ශ්‍රමිකයන් පොදුවේ මෙලෙස මැලේසියානු ශ්‍රම  වෙළඳපොළ තුළ බරපතල ලෙස ශ්‍රම සූරාකෑමට හා අතවරයන්ට ලක්වෙමින් සිටින අතර, නීතිවිරෝධී සංක්‍රමණික  ශ්‍රමිකයන් වඩාත් බරපතළ ලෙස මෙම තත්වයන්ට මුහුණ දෙමින් සිටියි. මැලේසියාව තුළ සේවය කරනු ලබන නීතිවිරෝධී සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ඉලක්කගත සේවා ස්ථාන වන විශාල කටු පොල් වගා බිම් (Farm Oil land), රබර් වතු හා කර්මාන්තශාලා වැනි කෘෂිකාර්මික වැඩ බිම් සහ දැව සැකසුම් කර්මාන්ත ශලා, විශාල තාක්ෂණ වැඩ බිම් ආදී ප්‍රජාවෙන් වෙන්ව හුදකලා ලෙස ක්‍රියත්මකවන ක්ෂේත්‍රයන් තුළ ඔවුහු බරපතළ ලෙස ශාරීරික, මානසික මෙන්ම සමාජමය අපයෝජනයන්ට ලක්වෙමින් සිටිති. අවම සුභසාධනය පහසුකම් යටතේ, ප්‍රමාණවත් ආහාර සහ වෛද්‍ය පහසුකම් වළින් තොරව අවම මිනිස් අයිතිවාසිකම් පවා අහිමි වූ තත්වයන් යටතේ වහල් මෙහෙකරුවන් ලෙස ඔහුවු දිවි ගෙවති. මෙම ලියුම්කරුද පෞද්ගලිකවම එවැනි අවස්ථා අත් විඳ ඇත.

මැලේසියානු මිනිස් ජාවාරම තුළ නවතම ප්‍රවණතාවයක් ලෙස රාජ්‍ය දෙපාර්තුමෙන්තුව මිනිස් ජාවාරම පිළිබඳව වූ වර්ෂ  2020 ජාත්‍යන්තර වාර්තාව මගින්   කරනු ලබන තවත් හෙළිදරවුවක් ඇත. ඒ මැලේසියානු ලිංගික ශ්‍රම වෙළඳපොළ අරමුණු කරගෙන සිදුවන්නාවූ සංක්‍රමණික ජාවාරමයි.

නවසීලන්තයේ වෙලින්ටොන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාල (Victoria University of Wellington, New Zealand) මගින් වර්ෂ 2019 දී මැලේසියානු ලිංගික වෙළඳපොළ පිළිබදව දීර්ඝ වාර්තාවක් පළකොට කොට ඇත78 . හශීනා බෙගම් අබ්දුල් හමීඩ් (Haezreena Begum Abdul Hamid - PhD Candidate in Criminology) නම් උපාදි අපේක්ෂිකාව විසින් සම්පාදනය කොට ඇති එම ලේඛනයේ සඳහන් වන්නේ මුදල් සඳහා ලිංගික ශ්‍රමය ලබාගැනීම මැලේසියාව තුළ සංවිධානාත්මක කර්මාන්තයක් ලෙස ස්ථාපනය වන්නේ යටත් විජිත යුගයේ සිට බවයි. කෘෂිකාර්මික, කාර්මික, ඉදිකිරීම් සහ පතල් කර්මාන්ත සඳහා බි්‍රතාන්‍යයන් විසින් රැගෙන ආ ඉන්දියානු සහ චීන කම්කරුවන් හට සේවා සැපයීම සඳහා ගොඩනැගුන මැලේසියානු ලිංගික වෙළදපොළ, බි්‍රතාන්‍යය පාලනය විසින් තානායම් පිහිටුවීමත් සමඟ වඩා සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පරිවර්තනයවී තිබේ. 

ජපනුන් විසින් මැලේසියාව යටත් කොට සිටි කාලය වන 1941 වසරේ දෙසැම්බර් සහ 1945 වසරේ අගේස්තු අතර කාලය තුළ ජපන් සොල්දාදුවන්ගේ ලිංගික අවශ්‍යතා සැපිරීමට චීනය, තායිලන්තය ඇතුළු කළාපීය රටවලින් කාන්තාවන් සහ තරුණියන් මැලේසියාව වෙත රැගෙන විත් තිබෙ. මැලේසියාව තුළ ඉහළ වැටුප් සහිත රැකියා ලබා දෙන මුවාවෙන් කලාපීය රටවල තරුණියන් මැලේසියාව වෙත රැගෙන ආ ජපන් පාලකයෝ ඔවුහූ තම සොල්දාදුවන්ගේ සුඛවිහරණය සඳහා යොදවා ඇත. තම සොල්දාදුවන් අතින් දේශීය මැලේසියානු ගැහැණුන් අපයෝජනයට ලක් වී මැලේසියව තුළ ජපන් විරෝධී රැල්ලක් මතුවීම වලක්වා ගැනීමේ අරමුණනින් ජපන් පාලකයන් විසින් මෙම උපක්‍රමය අනුගමන කළ බව වාර්තාවෙයි.

රාජකීය මැලේසියානු පොලිසියේ (Royal Malaysian Police) සංඛ්‍යා වාර්තා උපුටා දක්වන ඉහත සදහන් කළ  විශ්ව විද්‍යාල වාර්තාවේ සඳහන් වන්නේ වර්ෂ 2012 දී ගණනින් 11,832 වූ මැලේසියාව තුළ සේවය කරමින් සිටි ලිංගික ශ්‍රමිකයන් සංඛ්‍යාව වර්ෂ 2014 වන විට 1,50,000 දක්වා ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය. ඒ අතුරින් අති බහුතරය යාබද රාජ්‍යයන් වන ඉන්දුනීසියාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, පිලිපීනය සහ වියට්නාමය ආදී රටවල සිට සංක්‍රමණික ජාවාරම්කරුවන් හරහා මැලෙසියාව තුළට සංක්‍රමණය වී මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇති බව ඇමරිකානූ රාජ්‍ය දෙපාර්තුමේන්තුව වර්ෂ 2014 පළකරන ජාත්‍යන්තර මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වූ වාර්තාව මගින් හෙළි කොට ඇත.

හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන ආයතන වන හෝටල්, ආපන ශලා, රූපලාවණ්‍ය මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන ආදියෙහි රැකියා ලබා දෙන මුවාවෙන් ව්‍යාජ ලියකියවිලි සකසා ගැහැණුන් සහ තරුණියන් විවිධ රටවළ සිට මලේසියාව තුළට රැගෙන ඒම මිනිස් ජාවාරම්කරුවන්ගේ තවත් උපක්‍රමයකි. තවත් පිරිසක් ජෝජිත විවාහ හරහා නීතිමය වශයෙන් විදේශීය කාන්තාවන් මැලේසියාව තුළට රැගෙන එන අතර, මැලේසියාවට ලඟා වූ පසු ඔවුන් යොමුකෙරෙන්නේ ලිංගික සේවා සපයන ස්ථාන වෙතය. එවැනි අවස්ථාවන්හිදී එම වෘතියට යොමුවීම වෙනුවෙන් ප්‍රථිරෝදය පාන කාන්තාවන් සඳහා ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර දැක්වීමට ජාවාරම්කරුවන් පෙළැඹී තිබේ. පහරදීම වැනි ශාරීරික පීඩා පමුණුවමින් සංක්‍රමණික කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා සේවයේ යෙදවීමට ජාවාරම්කරුවන් ක්‍රියාකොට ඇත.

වියට්නාමය, මියන්මාරය, තායිලන්තය වැනි රටවළ සිට මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය වැනි දකුණු ආසියාතික රටවල සිට මේ ආකාරයට කූට ලෙස කාන්තාවන් මැලේසියාව වෙත සංක්‍රමණය කිරීමට සලස්වා ඔවුන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්කෙරෙනු ලැබෙයි. මෑතක සිට නයිජීරීයාව වැනි අප්‍රිකානු රටවලට අයත් කාන්තාවන්ද මාලේසියානු ලිංගික වෙළදපොළ තුළට ඇතුළු කරන්නට ජාවාරම්කරුවෝ කටයුතු කරමින් සිටිති.  කාන්තාවන් පමණක් නොව දරුවන් සහ පිරිමි පුද්ගලයන් පවා මැලේසියානු ලිංගික වෙළදපොළ තුළ සේවයේ යොදවා ඇති බව රාජ්‍ය දෙපාර්තුමේන්තු වාර්තාව පෙන්වා දෙයි.          

“වර්ෂ 1951 එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියට” මැලේසියාව මෙම ලිපිය ලියැවෙන වර්ෂ 2020 අවසන් භාගය වන විටත් අත්සන් තබා නැත. ඒ අනුව ජාත්‍යන්තර සරණාගතයින් වෙනුවෙන් හෝ දේශපාලන රැකවරණය පතන පුද්ගලයන් වෙනුවෙන් ජාත්‍යතර නීතිය යටතේ ආරක්ෂාව සැපයීමට මැලේසියානු රජය බැඳී නැත. නමුත් එරට තුළ ලක්ෂ ගණනක් වූ විදේශීය සරණාගතයෝ දීර්ඝ කාලීනව රැඳී සිටිති. ඒ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබදව වූ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම සහිතවය. මැලේසියාව තුළ එම කාර්යාලයයේ ලියාපදිංචි සරණාගත පුද්ගලයින් ආයතනික ක්‍රමවේදයක් හරහා තුන්වන රටකට පිටත්කොට හරින තෙක් හෝ වෙනත් විකල්පයක් ලැබෙන තුරු ඔවුනට මැලේසියාව තුළ වසර කිහිපයක් ඉතා දුෂ්කර සහ අභියෝගාත්මක ජීවිතයක් ගෙවන්නට සිදුවේ. විශේෂයෙන් වෛද්‍ය පහසුකම් ලබාගැනීම, අධ්‍යාපනික කටයුතු වළට යොමුවීම සහ විධිමත් ලෙස රැකියාවක් කිරීමට මැලේසියානු  නීතිය යටතේ විදේශීය සරණාගත පිරිස් වෙත හිමිකම් නැත.  ඒ විදේශීය සරණාගතයින් ද එරට නීතිය යටතේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් ගණයෙහි ලා සැළකෙන බැවිනි. මෙ වැනි වටපිටාවක දීර්ඝ කාලීනව රැදීසිටීමේදී විදේශීය සරණාගත පිරිස් මැලේසියාව තුළ මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ ආර්ථික අපහසුතාවයන්ය. රැකියාවක නියුතුවීම සඳහා නීතියෙන් අවසර හිමි නොවන වටපිටාවක මලේසියාව තුළ කිරියාත්මක නීතිවිරෝධී රැකියා වෙළෙඳපොළවෙත යොමුවීම හැර විකල්පයක් ඔවුන් වෙත නැත. ගැහැණුන්, පිරිමින් සහ දරුවන් ආදී වූ සරණාගත පිරිස් මේ හරහා මිනිස් ජාවාරම්කරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වීමේ ඉහළ හැකියාවක් ඇති බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කණස්සල්ල පළ කරයි.

වර්ෂ 2020 ඔක්තෝබර් මාසය වන විට මැලේසියාව තුළ රැඳී සිටි ලියාපදිංචි සරණාගතයින්ගේ සහ දේශපාලන රැකවරණය පතන්නන්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 1,78,450ක් බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳව වූ මහකොමසාරිස් කාර්යාලය වාර්තා කරයි. ඒ අතරින් ප්‍රතිශතය 32% ක් වූ එනම් 57,104 ක පිරිසක් කාන්තාවෝ වන අතර 46,730 ක් තරම් වූ පිරිසක් වයස අවුරුදු 18 ට අඩු ළමෝ  වෙති 80 . මොවුන් අතරින් සියලුදෙනා කෙසේ වෙතත් අති මහත් බහුතරය තම දෛනික අවශ්‍යතා සපුරාගනු වස් කිසියම්ම හෝ මුදල් ඉපැයීමේ ක්‍රියාවලියක නිරතවන බව අවිවාදිතය. සරණාගත පිරිමි පුද්ගලයන් කම්කරුවන් ලෙස ඉදිකිරීම් වැඩබිම් තුළ, කෘෂිකාර්මික බිම් වළ හා  වෙනත් නොයෙක් ආකාරයෙන් ජාවාරම්කරුවන්ගේ ශ්‍රම සූරාකෑමට ලක්වීම සඳහා ඇත්තේ ඉහළ අවකාශයකි. වඩා සංවේදී කරුණ වන්නේ ගැහැණුන් සහ දරුවන් පිළිබඳව විමසා බැලීමෙදීය. ඒ මැලේසියානු වාණිජ්‍ය ලිංගික වෙළදපොළ තුළට ඔවුන් යොමුකරගැනීම සඳහා වූ යාන්ත්‍රණය මිනිස් ජාවාරම්කරුවන් සතුව පවතින බැවිණි. අමතරව සරණාගත දරුවන් බලහත්කාරයෙන් සිඟමනේ යොදවන ජාවාරම් ජාලයක්ද මැලේසියාව තුළ ක්‍රියාත්මක බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව හෙළිකරයි.

අග්නිදිග ආසියාව තුළ නැගී එන මැලේසියනු ලිංගික වෙළදපොළ තුළ වර්ෂ 2015 වන විට වයස අවුරුදු 18 ට අඩු දරුවන් අඩුම තරමින් 5000 ක ප්‍රමාණයක් යොදවා සිටි බව මැලේසියානු මාධ්‍ය වාර්තා කොට තිබේ. ඒ මැලේසියානු ක්ලැන්ග් නිම්න කළාපය  තුළය (Klang Valley). සමස්තයක් ලෙස ළමා ලිංගික ශ්‍රමිකයන් පිළිබදව ප්‍රමාණවත් තොරතුරු වර්තාගතව නැත.  නමුත් මැලේසියාව තුළ එය සිදුවෙමින් පවතී.

(ලබන සතියට - ආසියාවේ රන් ත්‍රිකෝණය - අපායේ කතාව - 19 )

rasika chandrasekara

| රසික චන්ද්‍රසේකර

 

සබැඳි පුවත්