ගුවන්තොටුපළ විවෘත කිරීම ගැන සංචාරක ඇමති ගෙන් සඳහනක්

ගුවන්තොටුපළ විවෘත කිරීම ගැන සංචාරක ඇමති ගෙන් සඳහනක්

විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ යළි විවෘත කිරීම සදහා කොවිඩ් මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බවත් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරකයන් සදහා ගුවන් තොටුපළ කඩිනමින් විවෘත කිරීමේ අවශ්‍යතාව පිළිබද සංචාරක අමාත්‍ය උපදේශක කාරක සභාවේ දී චන්දිම වීරක්කොඩි ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා පහසුකම් සැපයීමට සංචාරක සේවා ස්ථාන 80ක් මේවන විට හදුනාගෙන තිබෙන බව සංචාරක සේවා අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසනවා

කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව සංචාරක සේවා සැපයිය හැකි හෝටල් සහ සංචාරක කර්මාන්තයට අයත් ආයතන වලට මේ සඳහා ලියාපදිංචි විය හැකි බවත් සෞඛ්‍ය බලධාරීන් සමඟ එම සේවා ආයතනයන්හි තත්ත්වය පරීක්ෂා කර බලා ඒවා අනුමත කළ හැකි බවත් සභාපතිනිය පවසනවා

ෆයිසර් සමාගම විසින් නිපදවන ලද කොවිඩ් එන්නත අනුමත කරන ලද පළමු රට ලෙස එක්සත් රාජධානිය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක යුරෝපය තුළද මෙම එන්නත ප්‍රචලිත වී සංචාරකයන්ගේ ප්‍රවර්ධනයක් ඇති වුවහොත් ගුවන් තොටුපල කඩිනමින් විවෘත කිරීමට සිදුවිය හැකි බවද අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා තිබෙනවා .