දිවයිනට එන්න සිටි ලාංකිකයින් පිරිසක් ඒ අදහස වෙනස්කර ගනී

දිවයිනට එන්න සිටි ලාංකිකයින් පිරිසක් ඒ අදහස වෙනස්කර ගනී
කොරෝනා වසංගතයත් සමඟ විදේශයේ රැඳී සිටි ලාංකිකයින් විශාල පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් තානාපති කාර්යාලවල ලියාපදිචිවූ අතර එලෙස ලියාපදිංචි වූ පිරිස අතුරින් බොහෝමයක් දැනටමත් දිවයිනට පැමිණ තිබේ.
 
කෙසේ නමුත් කොවිඩ් _ 19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඉල්ලීම් කර තිබූ මැදපෙරදිග රටවල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරිසක් සිය කැමත්තෙන්ම යළි එම රටවල රැඳී රැකියාවල නිරතවීමට තීරණය කොට ඇති බවත්, පිරිසක් දැනටමත් එම රැකියා ස්ථානවලට ගොස් රැකියාවල නිරත වීමට පටන්ගෙන තිබෙන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා  සඳහන් කර ඇත.
 
මැදපෙරදිග රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් කොටස් වශයෙන් මීට පෙර මෙරටට පැමිණි බවත් ඉදිරියේදී පැමිණීමට සූදානමින් සිටි පිරිසේ කොටසක් යළි එහිම රැඳී රැකියාවල නිරත වීමට තීරණය කර තිබෙන නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට කර තිබෙන ඉල්ලීම් කඩිනමින් සමාලෝචනය කොට මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටින පිරිස පමණක් කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද දැනුවත් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අදාළ තානාපති කාර්යාල සමඟ දැනට සම්බන්ධීකරණ කටයුතු සිදුකරගෙන යන බවත් 21 වැනිදා ගුවන් තොටුපොළ විවෘත කළ පසුව සති 2ක් ඇතුළත මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.